ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් පසුව ආන්ඩුව විෂඝෝර ජාතික හදිසි තත්ත්වයක් පනවයි

After terrorist bombings, Sri Lankan government imposes draconian national emergency

2019 අප්‍රේල් 23

අවම වසයෙන් ජීවිත 290ක් බිලිගනිමින් ඉරිදා එල්ල කල ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර, පොලීසියට හා මිලිටරියට අත්අඩංගුවට ගැනීමේ හා රඳවා ගැනීමේ දරුනු බලතල ලබාදෙන ජාතික හදිසි තත්ත්වයක් පැනවීමට ශ්‍රී ලංකාවේ ආන්ඩුව ගසා කා ඇත.

බොහෝ තොරතුරු හෙලිදරවු කෙරී නැතත්, එකිනෙක අතර මිනිත්තු කිහිපයක කාල පරතරයක් සහිත ව පාස්කු ඉරිදා දේව මෙහෙයන් සඳහා ජනාකීර්නවූ ක්‍රිස්තියානි දේවස්ථාන තුනක් හා සුඛෝපභෝගී හෝටල් තුනක් එල්ලකරගෙන බෝම්බ ප්‍රාහාර එල්ල කෙරුනි. මරන සංඛ්‍යාව තවත් ඉහල යා හැකිවන අතර, තුවාල ලත් 500ට වැඩි දෙනාගෙන් බොහෝ අය අසාධ්‍ය තත්ත්වයේ පසුවෙති.

අහිංසක මිනිසුන්, ගැහැනුන් හා ලමුන් ඉව බව නැති ව මරා දමමින්, ගොරතර ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් සඳහා කඩතුරාව සම්පාදනය කර ඇති, බිහිසුනු බෝම්බ ප්‍රහාර, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හෙලා දකී.

කටුවාපිටිය පල්ලියේ සිරුරු සොයන ජනයා

හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීමට පෙර ම, “ව්‍යාජ ප්‍රවෘත්ති” සංසරනය වීම වැලැක්වීමට යයි කියමින් මුහුනුපොත, යූටියුබ් හා වට්ස්ඇප් ඇතුලු සමාජ මාධ්‍ය, රටපුරා වාරනය කිරීමට ආන්ඩුව වහාම පියවර ගත්තේ ය. ඇඳිරි නීතිය දැනට මත් බලාත්මක කෙරී පවතී.

ත්‍රස්තවාදය පිලිබඳව සැකකිරීම් මත අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන, චෝදනා විරහිතව ඔවුන් දීර්ඝ-කාලයක් රඳවා ගැනීමට මිලිටරියට හා පොලිසියට ඉඩ ලබා දෙන, කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙහි (පීටීඒ) මූලික වගන්ති හදිසි තත්ත්වය යටතේ බලාත්මක කෙරෙනු ඇත.

වධ බන්ධන යොදාගෙන ලබා ගන්නා පාපෝච්චාරන උසාවිවල වලංගු සාක්ෂි සේ පිලිගැනීමට ඉඩ ලබා දෙන ත්‍රස්තවාදය වැලක්වීමේ පනත, සියලුම කොලඹ ආන්ඩු විසින් දශක තුනක් තිස්සේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව ගෙන ගිය ම්ලේච්ඡ යුද්ධයේ දී මහාපරිමානයෙන් යොදා ගැනුනි.

“කැලඹිලි, කැරලි හා සිවිල් කෝලාහලයන්” මර්දනය කිරීමට හා අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට -මෙම පියවර අතීතයේ දී වැඩ වර්ජන මර්දනයට යොදාගෙන ඇත- රාජ්‍ය බලය භාවිතා කිරීමට හදිසි අවස්ථා බලතල මගින් අවසර ලැබේ. දේපොලවලට ඇතුලු වී පරීක්ෂා කිරීමට ද ඉඩම් හැර අනෙකුත් දේපොල බලාත්කාරයෙන් අත්පත් කරගැනීමට ද පොලීසියට හා මිලිටරියට ඉන් බලය ලැබෙනු ඇත.

අතිශයින් ම ප්‍රජාතන්ත්‍ර-විරෝධී මෙම පියවරයන්, සියල්ලට මත් වඩා එල්ලවී ඇත්තේ, ආන්ඩුවේ දරුනු කප්පාදු පියවරයන්ට එරෙහි ව වැඩ වර්ජන හා විරෝධතා පුනර්ජීවනය වීමක් මධ්‍යයේ, කම්කරු පන්තියට විරුද්ධව බවට ලෝසවෙඅ අනතුරු අඟවයි. ලක්ෂ සංඛ්‍යාත වතු කම්කරුවෝ පසුගිය දෙසැම්බරයේදී තමන්ගේ දරිද්‍රතා-මට්ටමේ වැටුප් දෙගුන කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිති විසින් පාවාදෙනු ලබන තුරුම වැඩ වර්ජනයේ නියැලී සිටියහ.

ආන්ඩුවේ ප්‍රහාරවල සැබෑ ඉලක්කය කම්කරු පන්තිය බව සනිටුහන් කරමින්, හදිසි තත්ත්වය යටතේ ආන්ඩුව ගත් මුල් පියවරයන්ගෙන් එකක් වූයේ, සියලු මැයි රැලි හා රැස්වීම් තහනම් කිරීමට යෝජනා කිරීම යි. කම්කරුවන්ගේ ජාත්‍යන්තර සහෝදරත්වයේ දිනය ලෙස මැයි 1දා ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය විසින් බලගතුලෙස පිලිගනු ලැබ පවතී.

බෝම්බ ප්‍රහාර එල්ලවූයේ, වැඩෙන පන්ති අරගලය සහ එක්සත් ජනපදයත් චීනයත් අතර තියුනු වන භූ-දේශපාලන ප්‍රතිමල්ලවතාවන් විසින් අවුලන ලද, කොලඹ පාලක කවවල තීව්‍ර දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ය.

මහින්ද රාජපක්ෂ ඉවත් කරමින් 2015 මැතිවරනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පැමිනෙමින්, රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයට පත්කෙරුනේ, වොෂින්ටනය විසින් ක්‍රියාවට දැමූ තන්ත්‍ර-මාරු මෙහෙයුමක් හරහා ය. එක්සත් ජනපදය හතුරුවූයේ, රාජපක්ෂට චීනය සමග තිබූ සමීප සබඳතාවන්ට ය.

කම්කරු පන්තියේ ජීවන කොන්දේසිවලට එරෙහිව එල්ල කල දුරදිග යන ප්‍රහාරයන්හි ප්‍රතිඵලයක් ලෙස ආන්ඩුවේ ජනප්‍රියත්වය තියුනු ලෙස ඇද වැටුනු තතු තුල, වසර තුනකට පසුව සිරිසේන හා වික්‍රමසිංහ අතර විරසකතා පැනනැගුනි. පසුගිය ඔක්තෝබරයේදී වික්‍රමසිංහ නෙරපූ සිරිසේන, රාජපක්ෂ අගමැති ධුරයට පත්කොට ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය. වොෂින්ටනයේ පීඩනය යටතේ ආපසු හැරීමට බලකෙරුනු සිරිසේනට, ඔහුගේ ක්‍රියාවන් ව්‍යවස්ථා-විරෝධී බවට ලැබුනු ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවට පසුව වික්‍රමසිංහ යලි අගමැතිධුරයට පත්කිරීමට සිදු විය.

ඉරිදා බෝම්බ ප්‍රහාර සිදු වූයේ, මෙම කටුක ප්‍රතිමල්ලතා, කූටෝපායන් හා කුමන්ත්‍රනයන්ගේ සන්දර්භය තුල ය. මේ දක්වා හෙලිදරව්වී ඇති වඩාත් ම අත්‍යසාමාන්‍ය කරුන වන්නේ, නැෂනැල් තවුහීත් ජමාත් (එන්ටීජේ) නමැති ඉස්ලාමීය කන්ඩායමක් විසින් “ප්‍රමුඛ දේවස්ථාන ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කිරීමට” සැලසුම් පවතින බවට අනතුරු අඟවමින්, විදෙස් ඔත්තු සේවයක් බෝම්බ ප්‍රහාරවලට දින 10කට පෙරදී ශ්‍රී ලංකාවේ පොලීසිය දැනුවත් කර තිබූනේය යන්නයි.

අවශ්‍ය පියවර ගැනීමට පොලීසිය අසමත් වීම සම්බන්ධයෙන් නැගෙන මහජන කෝපය සමනය කරගත නොහැකිව සිටින, වික්‍රමසිංහගේ, සිරිසේනගේ හා රාජපක්ෂගේ කල්ලි එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින් සිටිති. කෙසේවුවද, පැහැදිලි ප්‍රශ්න එකකටවත් පිලිතුරු සැපයී නැත. ඉහතදී බුද්ධ ප්‍රතිමා කිහිපයක් විරූප කිරීම පිලිබඳව සම්බන්ධයෙන් පමනක් හඳුනාගෙන සිටි, කුඩා හා අප්‍රකට ඉස්ලාමීය කන්ඩායමක් විසින්, මාස ගනනක සූදානමක් අවශ්‍ය වෙන හා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සම්බන්ධ වන සංකීර්න, සම්බන්ධීකෘත ප්‍රහාරයකට අවශ්‍ය සම්පත් හා නිපුනතාවන් අත්පත්කර ගැනුනේ කෙසේ ද?

තව ද, දශක ගනනාවක සිවිල් යුද්ධයේදී ගොඩනගා ගන්නා ලද, ඔත්තුසේවා සහිත පොලීසිය හා මිලිටරිය, බෝම්බ පිපිරවීම් සිදුකල හැකි අපරාධකරුවන් නම් කරමින්, අනතුරු ඇඟවීමක් ලැබීමෙන් පසුව පවා ක්‍රියාත්මක නොවුනේ ඇයි? සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදයේ ගැඹුරින් ගිලී සිටින කොලඹ දේශපාලන සංස්ථාපිතය හා ආරක්ෂක යාන්ත්‍රනයට, මීට ඉහත දී කිතුනුවන් හා මුස්ලිම්වරුන්ටත් ඔවුන්ගේ පූජ්‍ය ස්ථානවලට පහර දී ඇති බෞද්ධ අන්තවාදී කන්ඩායම් සමග ඇත්තේ ශක්තිමත් සබඳතාවන් ය.

ආන්ඩුවේ ඇමතිවරු දුෂ්ට “ජාත්‍යන්තර ජාලයකට” ඇඟිල්ල දිගුකර ඇතත් වරදකරුවන් රට සමීපයේ බව නොතකා හැරිය නොහැක. මිලිටරි-පොලිස් යාන්ත්‍රනයේ කන්ඩායමක් ආසන්න ප්‍රහාරයට අන්ධව සිටියේ ද, නැතහොත් එහි දේශපාලන ඉලක්ක ඉදිරියට දමාගැනීම සඳහා බෝම්බකරුවන් මෙහෙයවීම පවා කලේ ද? දිවයිනේ දිග්ගැස්සුනු සිවිල් යුද සමය තුල ආරක්ෂක හමුදා විසින් කර ඇති යටිකූට්ටු වැඩ හා අපරාධවල දීර්ඝ ඉතිහාසය සැලකූ කල මෙය නිශ්චිත ව ම සිදුවිය හැක්කක් බව පෙනේ.

විදුලි සංදේශ ඇමති හරීන් ප්‍රනාන්දු බීබිසී වෙත කල විශේෂ හෙලිදරවුකාරී අදහස් දැක්වීමක දී මෙසේ ප්‍රකාශ කලේ ය: “මෙම සිද්ධිය දෙස බැලිය හැකි ක්‍රම බොහොමයක් තිබුන ද දැන් අප වඩා ප්‍රමුඛත්වය දිය යුත්තේ, මෙම ප්‍රහාරය සිදුකිරීමට මෙම මිනිසුන් අට, 10 හෝ 12 දෙනා යොමුවූයේ මන්දැයි සෙවීමට යි. කුමන්ත්‍රනයක හැකියාව ද අපි නො තකා හරින්නේ නැහැ. [අවධාරනය ඈඳිනි]”.

බෝම්බ ප්‍රහාර පිටුපස තිබිය හැකි හේතූන් කවරක් වුවත්, තමන්ගේ කටුක ප්‍රතිමල්ලතා නො තකා පාලක පන්තියේ සියලු කන්ඩායම් එක් මූලික කරුනක් සම්බන්ධයෙන් මුලුමනින් ඒකාබද්ධ ය: කම්කරු පන්තියේ ඉස්මතු වන අරගල කෙරෙහි පවතින තීව්‍ර බිය හා හතුරුකම යි.

ප්‍රථම වරට සමාජ මාධ්‍ය තහනම් කිරීම ඇතුලු ව ශ්‍රී ලංකාව තුල පොලිස්-රාජ්‍ය පියවර, ලොවපුරා ක්‍රියාත්මක කෙරෙන ප්‍රජාතන්ත්‍ර-විරෝධී න්‍යාය පත්‍රයක කොටසකි. පසුගිය මාසයේ නවසීලන්තයේ මුස්ලිම් පල්ලිවලට එල්ල වූ ෆැසිස්ට් ප්‍රහාරයෙන් පසුව අන්තර්ජාලය වාරනය කල එරට ආන්ඩුව, රාජ්‍යයේ මර්දන යාන්ත්‍රනය ප්‍රසාරනය කරමින් සිටී. දැන් ශ්‍රී ලංකාව තුල බෝම්බ පිපිරීම් ගසා කමින් පවතින්නේ, ආසියාවේ හා ජාත්‍යන්තර ව අනෙකුත් තැන්වල ද ක්‍රියාත්මක කරනු ඇත්තා වූ නව පූර්වාදර්ශයන් ලෙස යි.

කේ. රත්නායක හා පීටර් සිමන්ඩ්ස්

Share this article: