එක්සත් ජනපද - මෙක්සිකෝ දේශසීමාව වැසීමේ තර්ජනය

The threat to close the US-Mexico border

2019 අප්‍රේල් 3

වසරකට පුද්ගලයන් මිලියන 350ක් එහා මෙහා යෑම ලේඛනගත කෙරෙන, පෘථිවි පෘෂ්ටය මත ඉතාමත් කාර්යබහුල, සැතපුම් 2000ක් දිග ජාත්‍යන්තර දේශසීමාව වසා දැමීමට ට්‍රම්ප් පාලනාධිකාරය විසින් කෙරෙන තර්ජනය, ඒකාධිපතිත්වය හා යුද්ධය දෙසට ඇල වෙමින් තිබෙන ගෝලීය ධනේශ්වර පද්ධතියක බරපතල අර්බුදය පිලිබඳ ඉතා පැහදිලි නිමිත්තකි.

මෙම ජාත්‍යන්තර ප්‍රකෝපකරනය සඳහා කඩතුරාව වන්නේ ප්‍රචන්ඩත්වය හා දුප්පත්කමේ බියකරු මට්ටම්වලින් පලා යමින් සිටින මධ්‍යම ඇමරිකානු සංක්‍රමනිකයන් විසින් නිර්මානය කරන ලද යි කියන “ජාතික හදිසි තත්වය යි.” එල් සැල්වදෝර්, හොන්ඩ්‍යුරාස් හා ගෝතමාලවේ ඊනියා උතුරු ත්‍රිකෝනයේ මෙම තතු ආසන්න වශයෙන් ජනඝාතක ප්‍රතිත්‍රස්තවාදී යුද්ධ හා වොෂින්ටනයේ අනුබලය ඇති ව අටවන ලද ම්ලේච්ඡ මිලිටරි ඒකාධිපතිත්වයන්ගෙන් සලකුනු කෙරෙන, එක්සත් ජනපද අධිරාජ්‍යවාදී මර්දනයක දායාදය යි. එක්සත් ජනපදය අනුබලය දෙන මධ්‍යම ඇමරිකාවේ දක්ෂිනාංශික ආන්ඩුවලට ට්‍රම්ප් කස පහර දුන්නේ ඔවුන් “අවුරුදු ගනනක් අපගේ මුදල් ලබා ගෙන ඇතත්, කරන දෙයක් නැත” යි ට්වීටර් කරමිනි. ට්වීටර් පනිවුඩයෙන් පසු, ඔහු උතුරු ත්‍රිකෝනයේ රටවල් තුනට සියලු එක්සත් ජනපද ආධාර කපා දැමීමට නියෝග කලේ ය.

“අපගේ රටට නීති විරෝධී සංක්‍රමනිකයන් ගලා ඒම නතර කිරීමට කිසි දෙයක් නො කිරීම” පිලිබඳ ව ඔහු මෙක්සිකෝවට ද චෝදනා කර, එක්සත් ජනපද - මෙක්සිකෝ දේශසීමාව වසා දැමීමේ තර්ජනයක් නිකුත් කලේ ය.

මෙම ආන්ඩු ආරක්ෂාව පතන්නන් විය හැකි අය බිය ගැන්වීමට ප්‍රමානවත් ලේවැකි මර්දනයේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ඔහුට අවශ්‍ය වන්නේ ය. උදාහරන වශයෙන්, තම රටවල නවතිනවාට වඩා ඒවායින් පලා යාමට ඔවුන් උත්සාහ කරන්නේ නම් ඔවුන් මිය යාම වඩා නිශ්චිත බව පැහදිලි කිරීම අවශ්‍ය ය.

දේශසීමාවේ හමුදා භටයින් 4,700ක් රඳවා ඇති ට්‍රම්ප් එය යුද කලාපයක් බවට හැරවීමට කයිවාරු ගසා, පසු ගිය සතියේ ෆොක්ස් නිව්ස් හි සීන් හැනිටිට විශ්වාසයෙන් යුතු ව පැවසුවේ, ආරක්ෂාව පතමින් සිටින පිරිමි, ගැහනු හා ලමයින්ට මැෂින් තුවක්කු හැරවීමට හමුදාවන්ට නියෝග කිරිම “එය කිරීමේ ඉතා ඵලදායි ක්‍රමයයි” නමුත් “අපිට ඒක කරන්න බෑ” කියා යි. නො දෙඩූ සිතුවිලිවලට යමෙකු එක් කල යුත්තේ එකක් පමනි, “අඩු වශයෙන් තව ම නො වේ.”

දේශසීමාව වසා දැමීම අදහස් කෙරෙන්නේ උතුර බලා යෑමෙන් මධ්‍යම ඇමරිකානු සරනාගතයින් වැලක්වීමට අසමත් වීම වෙනුවෙන් මෙක්සිකෝවට එරෙහිව දඬුවමක් දීම ය. යතාර්ථයේ දී, “වාම” විකල්පයක් ලෙස මවාපාමින් බලයට පැමිනි, ජනාධිපති අන්ද්‍රෙස් මැනුවෙල් ලෝපේස් ඔබ්‍රදෝර්ගේ(අමිලෝ) ආන්ඩුව දේශ සීමාවේ තමන්ගේ ම පැත්තෙත් කොටසක් මිලිටරීකරනය කරමින් හා සංක්‍රමනිකයන් වහල් කඳවුරුවල ගාල් කරමින්, වොෂින්ටනය සමග කිට්ටු සහයෝගයෙන් ක්‍රියා කර ඇත.

එක්සත් ජනපද දේශීය ආරක්ෂක දෙපාර්තමෙන්තුවේ ඊනියා ආගමනිකයන් සුරැකීමේ නීති රීති පද්ධතිය හෝ “මෙක්සිකෝවේ රැඳීමේ” ප්‍රතිපත්තිය ද එය අනුමත කර ඇත. මෙය ඒකපාර්ශ්වීය ව පැටවුනේ මාස හෝ වසර ගනනක් පවා ගත වෙනු ඇති, ඔවුන්ගේ නඩු ඇසෙන තෙක් මෙක්සිකෝ දේශසීමාව එහා පැත්තේ සිටින ලෙස අරක්ෂාව පතන්නන්ට බල කරමිනි. පලමුව සැන් යිසිඩ්‍රෝ-ටිජුආනා වරාය පිවිසුමේ ක්‍රියාත්මක කෙරුනු එය දැන් අනෙකුත් දේශසීමා මාරුවීම්වලට ද ව්‍යාප්ත කර ඇත්තේ, මෙක්සිකෝ දේශසීමා නගරවල දරිද්‍රාපන්න හා අනතුරුදායක තතු යටතේ ජීවත් වීමට ආරක්ෂාව පතන පවුල් වලට බල කරමිනි.

මෙම කෲර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ඇත්තේ, බියජනක කොන්දේසි යටතේ ලමුන් 13,000ට වඩා රඳවා ගෙන සිටීම සමග එක්සත් ජනපද ආගමනික රැඳවුම් කඳවුරු උතුරා යමින් තිබිය දී ය.

වසා දැමීම නො නැවත ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන බවට සංඥා ඇත්තේ, වඩා දුෂ්කර ප්‍රදේශවලින් එක්සත් ජනපදයට ඇතුලු වීමට උත්සාහ දරමින් සිටින සරනාගත පවුල් වැටලීමේ දේශසීමා මුර සංචාරය සඳහා වාරාය පිවිසුම්වලින් ඒජන්තයින් 750දෙනෙකුට වඩා මාරු කිරීමට දේශීය ආරක්ෂක ලේකම් කර්ස්ටන් නීල්සන් නියෝග දීමත් සමගිනි. මෙම සංඛ්‍යාව 2,000 දක්වා ව්‍යාප්ත කිරීමට ඉඩ ඇත්තේ ඇතුලුවීමේ මාවත් වසා දැමීමට හා දේශසීමාව හරහා යාමට උත්සාහ කරන අය වෙනුවෙන් නාටකාකාර හෙමින් වැඩ කිරීමකට බල කරමිනි.

උපකල්පිත “අර්බුදය” ආගමනික බලධරන්ගේ ම ඇති කිරිමක් වන්නේ, වරාය පිවිසුම්වල දී ආරක්ෂාව පතන්නන් සඳහා හෙමින් වැඩ කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දීම සමගිනි, “මැනීම” ලෙස ප්‍රසිද්ධ මෙය ඔවුන්ට දේශසීමාව හරහා ගොස් තෙමේ ම වෙනත් දිසාවකට හැරෙන ලෙස බල කර ඇත.

දේශසීමා වසා දැමීමේ තර්ජනයට සංගත මාධ්‍ය තම නියම තකතිරුකම සමග සලකා ඇති අතර (වඩාත් නිතර විකාශනය වන වාර්තාව වන්නේ අලිගැට පේර හිඟයක අනතුරු පිලිබඳව යි) වසා දැමීමේ මානව හා ආර්ථික පිරිවැය ගිනිය නොහැකි තරම්ය.

පුද්ගලයන් මිලියන 36ක් මෙක්සිකෝවෙන් පැවතෙන්නන් වන අතර දල වශයෙන් පුද්ගලයන් මිලියන එකක් හා ආසන්න වශයෙන් වාහන මිලියන භාගයක් සෑම දිනකම දේශසීමාව තරනය කරන රටක පවුල් වෙන් කිරීම මෙන් ම කම්කරුවන් තම රැකියාවලින් ද ශිෂ්‍යයින් තම පාසල්වලින් ද වෙන් කිරීම අතිමහත් දුෂ්කරතාවන් පටවනු ඇත. ආර්ථික පැත්තෙන් ගත් විට, එක්සත් ජනපද වානිජ මන්ඩලය අනතුරු ඇඟවූ පරිදි දේශසීමාව වසා දැමීම “ඒකාන්ත ආර්ථික ඇද වැටීමක්” පොලඹවනු ඇත්තේ දෙරට අතර ඩොලර් බිලියන 1.7ක දෛනික වෙලඳාමට බලපාමිනි.

අඟහරුවාදා ට්‍රම්ප් කොංග්‍රස් මන්ඩල ඩෙමොක්‍රටිකයන්ට අවසාන නිවේදනයක් නිකුත් කලේ සංක්‍රමනික නීතිය තුල පලල් වෙනස්කම්වලට ඔවුන් දෙන අනුමැතියට පමනක් තම දේශසීමා වසා දැමීම නතර කල හැකි බව පවසමිනි. “අපට පේලි සංක්‍රමනවලින් බේරීමට අවශ්‍යයි. අපට ඇල්ලා ගැනීම හා නිදහස් කිරීම, මෙන් ම වීසා ලොතරැයිවලින් බේරීමට අවශ්‍යයි. සරනාගත ආරක්ෂාව ගැන අප යමක් කල යුතු ව ඇත. එමෙන් ම ඔබට අවංකව කියනවා නම්, විනිශ්චයකරුවන්ගෙන් බේරීමට අපට අවශ්‍යයැ”යි ඔහු පැවසී ය. වෙනත් වචනවලින් පවසන්නේ නම්, එක්සත් ජනපද භූමිය මත පය තැබීමට නිර්භීත වන ඕනෑ ම අයෙකු සඳහා කෙටි පිටුවහල් කිරීමේ වැඩ පිලිවෙලක් ට්‍රම්ප් ඉල්ලා සිටින්නේ, සරනාගතයින් හා ආරක්ෂාව සඳහා අයිතිය ආරක්ෂා කරන ජාත්‍යන්තර නීතිය මෙන් ම නියමිත පටිපාටි පිලිබඳ ව්‍යවස්ථාදායක මූලධර්ම ඉවත හෙලමිනි.

දේශසීමා වැසීමේ ආර්ථික බලපෑම ගැන ඔහු උත්සුක දැ යි වාර්තාකරුවන් විසින් ඇසූ විට, ට්‍රම්ප් ප්‍රතිචාර දැක්වූයේ මෙසේ ය, “වෙලඳාමට වඩා මට ආරක්ෂාව බෙහෝ වැදගත්. ඒ නිසා අපිට ශක්තිමත් දේශසීමාවක් අවශ්‍යයි, නැත්නම් අපි ඒක වසා දැමිය යුතුයි.”

මෙම ප්‍රවේශයේ අතාර්කිකත්වය හුස්ම හිර කරවන සුලු ය. ලෝක ධනේශ්වර ආර්ථිකයේ ගෝලීය සමෝධානයට එක්සත් ජනපද මෙකේසිකෝ දේශසීමාවේ තරම් කොහේවත් සාක්ෂි නැත. දේශසීමාවේ මෙක්සිකානු පැත්තේ මෝටර්රථ උපාංග නිෂ්පාදනය කරන අඩු වැටුප් ලබන මැකිලඩෝරා කම්හල් සම්බන්ධ කරන සැපයුම් දාමයන් එක්සත් ජනපදය පැත්තේ මෝටර්රථ කම්හල්වලින් වෙන් කිරීමේ ප්‍රතිඵලය ක්ෂනික ව නිෂ්පාදනය අබ්බාගත කෙරෙනු ඇත්තේ කම්හල් වසා දැමීමට හා, කාලය සමග එක්සත් ජනපද මෝටර් රථ නිෂ්පාදකයින්ට බංකොලොත්කම තර්ජනය කරමිනි.

කෙසේ නමුත්, මෙම අතාර්කිකත්වය, පවතින්නේ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඇඹරුනු හා සාපරාධී අපරාධකාරී මනසේ නො ව, ධනවාදී පද්ධතිය තුල මෙන් ම නිෂ්පාදනයේ ගෝලීය සමෝධානය හා ධනේශ්වර රාජ්‍ය පද්ධතිය අතර වෙන් නො කල හැකි ප්‍රතිඝතිතාවන් තුල ය.

ට්‍රම්ප් යනු මුග්ධ ව්‍යාතිරේකයක් නො වේ. මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ එක්සත් ජනපදය නායකත්වය දුන් 17 වසරක අවිච්චින්න යුද්ධවල බලපෑමෙන් ආරක්ෂාව පැතූ මංමුලාසහගත සංක්‍රමනිකයන්ට යුරෝපය ඵලදායි ලෙස තමන්ගේ ම දේශසීමා වසා දමා ඇත. පුද්ගලයන් 34,000ක් තම ජීවිත අහිමි කර ගත්, මධ්‍යධරනී ප්‍රදේශය යා නොහැකි කලාපයක් බවට හරවා ඇත. යුරෝපා සංගම් සමාජික රටවල් 1989 සිට සැතපුම් 600ට වඩා දිග දේශසීමා තාප්ප ඉදි කර අතිරේක 10,000ක සන්නද්ධ මුරකරුවන් යොදා ඇත්තේ මහාද්වීපයට එන ඕනෑ ම අයෙකු පිටිත තැබීමට හෝ පිටුවහල් කිරීමට යි.

දේශසීමා වසා දැමීම, රේසර් කම්බි බාධක ඇතිරීම, සරනාගතයින් සඳහා වහල් කඳවුරු ඉදි කිරීම හා අන්ත දක්ෂිනාංශික, විදේශිකයන් නොරුස්සන හා ෆැසිස්ට්වාදී කන්ඩායම් උසිගැන්වීම, 1930ස් ගනන්වල අඳුරු ම දින දෝංකාර නංවන ප්‍රතිගාමිත්වයට වන ජාත්‍යන්තර හැරීමේ කොටසකි. මිලිටරීකරනය කෙරුනු දේශසීමා හා රාජ්‍ය මර්දනයේ හමුදා ශක්තිමත් කිරීම එල්ල කෙරෙන්නේ සංක්‍රමනිකයන් හා සරනාගතයින්ට එරෙහිව පමනක් නො ව, සමස්තයක් වශයෙන් කම්කරු පන්තියට එරෙහිව යි. එක්සත් ජනපදය, යුරෝපය, මෙක්සිකෝව, ලතින් ඇමරිකාව, මැද පෙරදිග, උතුරු අප්‍රිකාව හා ආසියාව තුල කම්කරුවෝ පුපුරනසුලු අරගලවලට පිවස සිටිති. ඒවා බොහෝ කොට මතු වී ඇත්තේ නිල ධනපති ගැති පක්ෂ හා වෘත්තීය සමිතිවල පාලනයට පිටතිනි.

මෙම ගෝලීය ව්‍යාපාරය බලගතු ප්‍රකාශනයක් සොයා ගත්තේ, එක්සත් ජනපද දේශසීමාවෙන් යන්තම් සැතපුම් කීපයක් ඔබ්බේ, සමාගම් ගැති වෘත්තීය සමිතිවලට හා ලෝපෙස් ඔබ්‍රදෝර්ගේ පාලක මොරේනා පක්ෂයට විරුද්ධව ජනවාරි මස ඇරඹුනු, මැටමොරොස් නගරයේ මැකිලඩෝරා කම්කරුවන් 70,000ගේ වැඩවර්ජනය තුල යි. මෙක්සිකෝවේ වැඩවර්ජනය උතුරු ඇමරිකාව පුරා මෝටර්රථ කර්මාන්තයේ නිෂ්පාදනය මන්දගාමී කිරීමත් සමග, ගෝලීය වශයෙන් ඒකාබද්ධ තනි ක්‍රියාදාමකයට සම්බන්ධ, මෙම වැඩවර්ජනය ජාත්‍යන්තර පන්තියක් වශයෙන් කම්කරු පන්තියේ වෛෂයික ස්වභාවය අවධාරනය කලේ ය. තම අරගලය මෙහෙය වීමට මැටමොරොස් කම්කරුවන් නව සාමාන්‍ය සාමාජිකයින්ගේ සංවිධාන ගොඩනැගීමට උත්සාහ ගැනීමත් සමග, ඔවුන් එක්සත් ජනපදයේ කම්කරුවන්ගෙන් සහාය අයැද සිටි අතර, උතුරු ඇමරිකාවේ කම්හල් වසා දැමීමේ තර්ජනයට මුහුන දෙමින් සිටින මෝටර්රථ කම්කරුවන්ට තම සහයෝගය ප්‍රකාශ කලහ.

ධනේශ්වර ආන්ඩු විනිවිද යා නො හැකි යුද කලාප බවට හැරවීමට උත්සාහ ගනිමින් සිටින ජාතික සීමාවන් හරහා පන්ති අරගලය එක්සත් කිරීම සඳහා වන මෙම උත්සාහය පෙන්වා දෙන්නේ සෑම රටක ම කම්කරුවන් සඳහා ඇති ඉදිරි මාවත යි.

සංක්‍රමනික කම්කරුවන් මෙන් ම සමස්තයක් වශයෙන් කම්කරු පන්තිය මුහුන දෙමින් සිටින අර්බුදය විසඳිය හැක්කේ ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපායාත්මක ඉදිරිදර්ශනය මත පදනම් වූ කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත්කම සඳහා වන අරගලය හරහා පමනි. ලෝකයේ සෑම කොටසක ම කම්කරුවන්ට තම කැමත්ත අනුව ජීවත් වීමට හා වැඩ කිරීමට ඇති අයිතිය කොන්දේසි විරහිත ආරක්ෂා කිරීමට, හා දේශීය ව උපන් හා සංක්‍රමනික කම්කරුවන් බෙදීමේ සෑම උත්සාහයකට ම එරෙහිව නො පෑහිය හැකි අරගලයක් අවශ්‍ය කෙරේ.

බිල් වෑන් ඕකන්

Share this article: