කෝබින්/මේ බ්‍රෙක්සිට් සාකච්ඡාවල දේශපාලන ගම්‍යයෝ

The political implications of the Corbyn/May Brexit talks

2019 අප්‍රේල් 05

එක්සත් රාජධානියේ කොන්සවැටිව් අගමැතිනි තෙරේසා මේ හා ජෙරමි කෝබින් අතර විකල්ප බ්‍රෙක්සිට් ගනුදෙනුවක් පිලිබඳ ව කරන සාකච්ඡා, ලේබර් පක්ෂයේ නායකයා ලෙස කෝබින් තේරී පත්වීම වැඩකරන ජනයාට ඉදිරි මාවතක් සම්පාදනය කරන්නේ ය යනුවෙන් කරන සියලු කියාපෑම් තීරනාත්මක ලෙස ප්‍රතික්ෂේප කරයි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය පවතින්නේ පශ්චාත්-යුද සමයේ එය මුහුන පා ඇති විශාලතම අර්බුදය මධ්‍යයේ ය. ටෝරි ආන්ඩුව බිඳ වැටීමේ අද්දර සසල වෙමින් සිටී. දේශපාලන හා සමාජ ආතතීන් බිඳ වැටීමේ ලක්ෂ්‍යයට සේන්දු වී ඇත. මෙයට පාලක පන්තියේ ප්‍රතිචාරය වන්නේ දේශපාලනික ගැලවීම පතා කෝබින් දෙසට හැරීම යි.

අප්‍රේල් 2දා මහා මැතිවරනයක් ඉල්ලීම වහා ම අතහැර ප්‍රතිචාර දැක්වූ ඔහු “ජාතික අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ජාතික සමගිය” පතා මේ කරන මංමුලා සහගත ආයාචනයට එකඟ විය. “පසුගිය මැතිවරනයේ දී ලේබර් පක්ෂයට සහය දුන් හා නො දුන් මහජනයා ව නියෝජනය කිරීමේ වගකීම” ඔහු බාරගනු ඇත.

ටෝරීන් ව පරාජය කිරීම සඳහා පක්ෂයේ සමගිය අත්‍යවශ්‍ය බැවින් බ්ලෙයාර්වාදී දක්ෂිනාංශය එලවා දැමීම හා සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දැමීම ඉල්ලා නො සිටිය යුතු ය යන්න, ඔහුගේ ජයග්‍රහනයට ප්‍රතිචාර වසයෙන් ලේබර් පක්ෂයට බැඳුනු දහස් ගනනක් කම්කරුවන්ට හා තරුන ජනයාට වසර තුනකට වැඩි කාලයක් තිස්සේ කෝබින් අවධාරනය කර ඇත. දැන්, යුරෝපා සංගමය සමග බ්‍රෙක්සිට් ගනුදෙනුවක් සුරක්ෂිත කරගැනීමට නිශ්චිත වසයෙන් ම අසමත් වන තෙක් ආන්ඩුවට එරෙහි කිසිදු විශ්වාස භංගයක් ගෙන නො ඒමේ පොරොන්දු ඔහු විසින් “ආරක්ෂා කරද්දී”, “පක්ෂ සමගිය” යන්න “ජාතික සමගිය” විසික් විස්ථාපනය කරනු ලැබ ඇත.

2015 දී කෝබින් පක්ෂ නායකත්වය කරා ආරෝහනය වූයේ, ටෝරි, නව ලේබර් හා ටෝරි/ලිබරල් ඩිමොක්‍රටික් ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ සමාජ ධනය යෝධ ලෙස මහා ව්‍යාපාරිකය වෙත ගලායැවීමෙන් පසුව ඉස්මතු වූ කම්කරු පන්තියේ සමාජ හා දේශපාලන විරුද්ධත්වයේ පුනර්ජීවනයක් හේතුවෙනි. එය වනාහි, 2017 දී හදිසි මහා මැතිවරනයක් කැඳවීම මගින් තම තත්ත්වය ඉහල දමා ගැනීමට මේ උත්සාහ කිරීමේ දී, 1945 දී ක්ලෙමන්ට් ඇට්ලේගෙන් පසුව ලේබර් පක්ෂය වෙත විශාලතම ජනතා ගලා යාම සිදුකරමින් ටෝරීන් සුලුතර ආන්ඩුවක් බවට ලඝු කරන ලක්ෂ්‍යයක් කරා පුපුරා ගිය පෙරලා සටන් කිරීමකට කම්කරුවන් හා තරුන ජනයා විසින් දැරූ උත්සාහයක් විය.

මෙම වාසියෙන් ප්‍රයෝජන ගනු වෙනුවට පක්ෂයේ දක්ෂිනාංශය ඉදිරියේ ක්‍රමක්‍රමයෙන් පසුබැසීම කරා කෝබින්මාරු විය. ඔහුගේ සමීපතම ආධාරකරුවන් ව දඩයම් කිරීමට හා නෙරපනු ලැබීමට ඔහු ඉඩ ලබා දෙද්දී හා ඡායා අගමැති ජෝන් මැක්ඩොනල් ලේබර් පක්ෂයේ පක්ෂපාතීත්වය පිලිබඳ පොරොන්දු ලබාදීම සඳහා ලන්ඩන් නගරයට සංචාරය කල තතු තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනිවාර්යයෙන් යලි තේරී පත්වීමට ඔහුගේ පැවති විරුද්ධත්වය 2018 ලේබර් සම්මේලනය තුලදී දක්නට ලැබිනි.

අද වන විට, බ්ලෙයාර්වාදී ටොම් වොට්සන් කෝබින්ගේ දෙවැනියා වනවාට වඩා පක්ෂයේ නායකයා විය හැකි ය. යුරෝපා සංගමය තුල දිගට ම රැඳී සිටීමට කැමති ටෝරීන් සමග ජාතික සමගි ආන්ඩුවක සිටීමට තමන් සූදානම් යයි ප්‍රොස්පෙක්ට් සඟරාවට වොට්සන් ප්‍රකාශ කල විට “සංස්ථාපිතය සමඟ බැඳීමක්” සඳහා වූ සැලසුම් කෝබින්ගේ කාර්යාලය විසින් හෙලාදැක්කේ ය. දින තුනකට පසුව, මහා මැතිවරනයක් වැලැක්වීම ඉලක්ක කරගත් (ටෝරි මන්ත්‍රී ජොනී මර්සර් සඳහන් කලේ එවන් මහා මැතිවරනයකින් තමන්ගේ පක්ෂය “අතුගෑවී යනු” ඇතැයි යනුවෙනි) සංස්තාපිතය සමඟ සැබෑ බැඳීමක තමන්ගේ වැඩ කොටස කෝබින් විසින් බාරගනු ලැබී ය.

කෝබින්ට සිතීමට අකමැතිම දෙය වන්නේ ඔහුට පාලනය කල නො හැකි කම්කරු පන්තියේ ව්‍යාපාරයක ප්‍රතිඵලය ලෙස ඔහු බලයට ඒම යි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට සේවය කිරීමටත් ඔහුගේ නායකත්වය විසින් විලක්ෂනය කරනු ලැබ ඇති පන්ති අරගලය මර්දනය කිරීමේ උත්සාහයන් දිගටම පවත්වා ගැනීමටත් පමනක් ඔහුට අවශ්‍ය ය. මේගේ ප්‍රවිෂ්ටය, කම්කරු පන්තියට එරෙහි අත්‍යවශ්‍ය සහකරුවෙකු ලෙස කෝබින් පිලිබඳ ව පාලක පන්තියට පවතින සැබෑ මිනුම තහවුරු කිරීමකි.

මේවා බ්‍රිතාන්‍ය, යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තියට මූලෝපායික අත්දැකීම් ය. ලොව පුරා ව්‍යාජ-වාම සංවිධාන විසින් කෝබින් ව අනුගමනය කල යුතු මොඩලයක් ලෙස ඉදිරිපත් කරනු ලැබ ඇත. එහෙත් කෝබින්ට පෙර, ග්‍රීසියේ සිරිසාව, ස්පාඤ්ඤයේ පොඩෙමෝසය, පෘතුගාලයේ “වාම සභාගය” හා එක්සත් ජනපදයේ බර්නි සෑන්ඩර්ස්ද එම සේවය ම සම්පාදනය කරන ලද්දේ සෑම විට ම එකම විනාශකාරී බලපෑම ඇති කරමිනි.

ආරම්භයේ පටන් සමාජවාදී සමානතා පක්ෂය අනතුරු ඇඟවූ පරිදි: “කෝබින් නියෝජනය කරන්නේ, කම්කරු පන්තියේ විප්ලවවාදී වර්ධනයක් වැලැක්වීම සඳහා තීරනාත්මක භූමිකාවක් ඉටුකර ඇත්තා වූ ද යලි යලිත් අසාර්ථක වී ඇත්තා වූ ද පිලිවෙතක් වන ලේබර් පක්ෂය වමට තල්ලු කිරීමේ පිලිවෙත යලි පනගැන්වීමේ අවසන් මංමුලා සහගත උත්සාහය යි.”

යුරෝපා සංගමයේ පිටුබලය ලත් කප්පාදු පිලිවෙත්වලට විරුද්ධ වීමේ පොරොන්දුවල ප්‍රතිඵලයක් ලෙස 2015 ජනවාරියේ සිරිසාව බලයට පැමිනි විට, “එය යුරෝපීය දේශපාලන පථය වෙනස් කරනු ඇත්තා වූ පරිවර්තනීය සිද්ධියක් ලෙස සෑම තැනක ම ව්‍යාජ-වාම සංවිධාන විසින් උත්කර්ෂයට නංවන ලද්දේ” කෙසේදැයි අපි විශේෂයෙන් අවධානය යොමු කලෙමු. “ඒ වෙනුවට, 2015 ජූලියේ ජනමත විචාරනයේ දී වැඩිදුර කප්පාදුවලට එරෙහි යෝධ ඡන්දය ප්‍රතික්ෂේප කිරීමට හා එහි පූර්වගාමීන්ට වඩා දරුනු පිරිවැය කප්පාදු පැටවීමට පෙර, යුරෝපා සංගමයේ කප්පාදු පියවරයන් පැටවීම සඳහා අල්ප සහනාධාර සඳහා යුරෝපා සංගමයට යදිමින් සිරිසාව මාස ගනනක් ගතකලේ ය.”

ව්‍යාජ-වමේ කියාපෑම් නිෂ්ප්‍රභා වෙමින් පවතී. “කම්කරු පන්තික ප්‍රජාවන් තුල පවතින නොඉවසන සුලු අසන්තෘප්තිය ප්‍රකාශයට පත් කිරීමට අසමත් ව” ඇති “වෘත්තීය සමිති නායකයන්ගේ කෙඳිරියේ නිශ්ශබ්දතාව” හා “ජෙරමි කෝබිනගේ දුර්වල, නෑසෙන හඬ” පිලිබඳ ව මේ සතියේ සමාජවාදී පක්ෂය ලියන්නේ ඔහු මේ සමග කරන සාකච්ඡා ගැන සඳහනක් වත් නො කරමිනි. “ලේබර් පක්ෂය සඳහා උගුලක්” හා “හාම්පුතුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා ආවරනයක්” ලෙස සමාජවාදී කම්කරු පක්ෂය සාකච්ඡා විස්තර කරයි. “මේවායේ නැති අංශය වන්නේ අර්බුදය තුලට කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත් වීමකි. ආන්ඩුව බිඳ නො වැටී ඇත්තේ ඒ නිසායැ” යි ඔවුන් නිගමනය කරන්නේ කිසි විටෙක කෝබින් ව විවේචනය නො කරමිනි.

බ්‍රෙක්සිට් අරබයා වන වියවුලෙහි මුල් ඇත්තේ, ලෝකයේ වෙලඳපොලවල් පාලනය කිරීම සඳහා ප්‍රතිමල්ලව බලයන් අතර පවතින කටුක තරඟය විසින් අවුලුවාලන අන්තර්-අධිරාජ්‍යවාදී එදිරිවාදිකම් ගෝලීය පරිමානයෙන් පුපුරා යාමක් තුල යි. ඩොනල්ඞ් ට්‍රම්ප් යටතේ එක්සත් ජනපදය ආරක්ෂනවාදය, වෙලඳ යුද්ධය හා යුද්ධය පිලිබඳ තීව්‍ර තර්ජනයන් වෙත තියුනුලෙස හැරී ඇත. යුරෝපයේ ප්‍රධාන බලයන් ප්‍රතිචාර දක්වන්නේ තමන්ගේ ම මිලිටරිමය හැකියාවක් සහිත ආරක්ෂනවාදී වෙලඳ සන්ධානයක් ලෙස යුරෝපා සංගමය (ඔවුන් අතර එදිරිවාදිකම් එහි බිඳීයාමට තර්ජනය කරද්දී පවා) ශක්තිමත් කිරීමට උත්සාහ දරමිනි.

ජාතික ආතතීන්වල වර්ධනය සෑම තැනක ම එහි දේශපාලනික ප්‍රකාශනය සොයාගන්නේ සියලු ප්‍රධාන පක්ෂ හා අධිරාජ්‍යවාදී ආන්ඩු දකුනට ලුහුටා යාමක් තුල යි. ගෝලීය ව තරඟකාරී ලෙස පැවතීමේ අර්ථය වන්නේ කම්කරු පන්තියේ රැකියා, වැටුප් හා කොන්දේසි මත අවසානයක් රහිත ප්‍රහාරයක් වන අතර, එය අනෙක් අතට ආඥාදායක පාලන රූප ඉල්ලා සිටී. යුරෝපය තුල, යුරෝපා සංගමයේ කප්පාදු පිලිවෙත් කෙරෙහි පවතින මහජන වෛරය ගසාකන්නා වූ හා සංක්‍රමනිකයන් ද සරනාගතයින් ද දඩමීමා කරගන්නා වූ අන්ත-දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී ව්‍යාපාරවල වර්ධනයට මෙය තුඩු දී ඇත. දැනට මත් ඔවුන් ඉතාලිය, හංගේරියාව, ඔස්ට්‍රියාව හා පෝලන්තය තුල ආන්ඩු බලය දරන අතර ප්‍රන්සය, ජර්මනිය හා නෙදර්ලන්තය තුල ප්‍රධාන විරුද්ධ පක්ෂ වන්නේ මාධ්‍ය හා රාජ්‍ය යන්ත්‍රනය විසින් කම්කරු පන්තියට එරෙහි කම්පන බලයක් ලෙස දිරිමත් කරනු ලබද්දී ය.

මෙම භයානක වර්ධනයට පහසුකම් සපයන්නේ කෝබින් හා ලේබර් පක්ෂය වෙත දක්වන නො නවතින සහයෝගය විසිනි. ට්‍රම්ප්ගේ තේරී පත්වීම, ප්‍රන්සය තුල මරී ල පෙන්ගේ නැගීමට හා ජර්මනිය සඳහා විකල්පය ජර්මානු පාර්ලිමේන්තුවට ඇතුලු වීම යන සියල්ල හැකියාවක් බවට පත්කලේ නිල “වාම” පක්ෂ, වෘත්තීය සමිති හා ඔවුන්ගේ ව්‍යාජ-වාම ක්ෂමාලාපකයන් විසින් ඉටුකරන ලද දූෂිත ක්‍රියා කලාපය විසිනි.

දැන් කොන්දේසි ඉස්මතු වෙමින් තිබෙන්නේ කම්කරු පන්තියේ ප්‍රති-ප්‍රහාරයක් ගොඩනැගීමට යි. දශක ගනනාවක් තිස්සේ පැරනි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ස්ටැලින්වාදී පක්ෂ ද වෘත්තීය සමිති ද විසින් පන්ති අරගලය මර්දනය කරගෙන සිටීමෙන් පසු වැඩ වර්ජන හා විරෝධතා රැල්ලක් ජාත්‍යන්තර ව පුපුරා යන කොන්දේසි යටතේ කෝබින් හා ව්‍යාජ-වම පිලිබඳ දේශපාලනික හෙලිදරවු කිරීම සිදු වේ.

ප්‍රන්සයේ “කහ කබා” විරෝධතාකරුවන් සමග ගුරුවරුන්ගේ ජාතික වර්ජනයක් ඒකාබද්ධ වී ඇත. පෘතුගාලය හා හංගේරියාව තුල වැඩ වර්ජන රැල්ලක් සිදුවෙමින් පවතින අතර, ඉතාලිය තුල අන්ත-දක්ෂිනාංශයට එරෙහි මහජන විරෝධතා පැවැත්වේ. එක්සත් ජනපදය තුල වැඩ වර්ජන 1986න් මෙපිට ඒවායේ ඉහල ම මට්ටමට ලඟා වී තිබේ. ඇල්ජීරියාවේ හා සුඩානයේ ආන්ඩු බිඳවැට්ටවීමට තර්ජනය කරමින් මහජන විරෝධතා හා වැඩ වර්ජන පුපුරා ගොස් ඇත.

බ්‍රිතාන්‍යයේ කම්කරුවන් සවිඥානික ව පදනම් විය යුත්තේ ගෝලීය පන්ති අරගලයේ මෙම ඉස්මතු වෙමින් පවතින ව්‍යාපාරය මත ය. ඒ සඳහා නව නායකත්වයක් හා ක්‍රියාමාර්ගයක් අවශ්‍ය කෙරේ. බ්‍රෙක්සිට් හා මහාද්වීපය ජාතිකවාදී ලෙස ඉරිතැලී යාමට පිලිතුර වන්නේ යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා බ්‍රිතාන්‍ය හා යුරෝපීය කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයකි. මෙම මූලෝපායික දේශපාලන හැරීමට නායකත්වය දීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීමට සසප හා එහි සහෝදර ප්‍රන්ස හා ජර්මානු පක්ෂ කැප වී සිටිති.

ක්‍රිස් මාස්ඩන්

Share this article: