ජූලියන් අසාන්ජ් නිදහස් කරනු!

Free Julian Assange!

2019 අප්‍රේල් 12

ලෝක සමාජවාදී වෙබ් අඩවිය,, විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් බලහත්කාරයෙන් අල්ලා අත්අඩංගුවට ගැනීම තරයේ හෙලා දකී. කිසිදු අනාගත චෝදනා නැගීමකට එරෙහි සහතිකයක් සමග අසාන්ජ් ආරක්ෂා කිරීමට, ඔහු එක්සත් ජනපදය වෙත උදර්පනය කිරීමට විරුද්ධ වීමට සහ ඔහුගේ නිදහස හා පෙරලා ඔහුට ඕස්ටේ්‍රලියාවට පැමිනීම සුරක්ෂිත කරගැනීමට එක්සත් රාජධානියේ හා ජාත්‍යන්තර ව මහා පරිමාන උද්ඝෝෂනයක් සඳහා අපි කැඳවුම් කරන්නෙමු.

අසාන්ජ් මාරාන්තික උපද්‍රවයකට මුහුන පා සිටී. ඔහු වරදකරු යයි ඔප්පු වුවහොත් වසර පහක් දක්වා වන සිර දඬුවමකට හේතු විය හැකි චෝදනාවන්ට පමනක් අසාන්ජ් මුහුන දෙනු ඇතැයි කියා පාන ප්‍රකාශයක් එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. විනිවිද පෙනෙන බොරුවක් වන මෙහි අභිප්‍රාය වන්නේ, අසාන්ජ් උදර්පනය කරනු ලැබීමට පහසුකම් සැලසීමත්, ඔහු ව වධබන්ධනයන්ට හා මරනයට ලක්කල හැකි ආන්ඩුවකට භාර නො දෙන්නේ ය යන කඩතුරාවක් ඉක්වදෝරියානු හා බ්‍රිතාන්‍ය ආන්ඩුවලට සම්පාදනය කර දීමත් ය.

ඔහු එක්සත් ජනපදයේ අත්අඩංගුවට මාරු කරන්නේ නම්, මරන දඬුවමට හෝ “සතුරු සටන්කරුවෙකු” ලෙස අවිනිශ්චිත කාලයකට රඳවා ගැනීමට හේතු වන ද්‍රෝහීත්වයේ චෝදනා නැගීම ඇතුලු ඕනෑම දෙයක් සිදුවිය හැකි ය.

ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ දී බ්‍රහස්පතින්දා උදෑසන ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට ගන්නා ලදී

අසාන්ජ් ඉලක්කයක් බවට පත් වී ඇත්තේ ජනමාධ්‍යවේදීන් විසින් කල යුතු යයි සැලකෙන දෙය වන සත්‍යය හෙලිදරවු කිරීම නිසා ය. විකිලීක්ස් ප්‍රකාශකයාට එරෙහි ව සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බන්ධනාගාරගත ව සිටින චෙල්සී මෑනිං ද සමගින් අසාන්ජ්, මිලියනයකට වැඩි ජනයාගේ මරනවලට හේතු වී ඇති බොරු මත පදනම් ව දියත් කල යුද්ධවලින් ඉස්මතු වන අපරාධ හෙලිදරවු කලේ ය.

දැන් නව අපරාධ සූදානම් කරනු ලැබෙමින් පවතී. අසාන්ජ්ට එරෙහි කුමන්ත්‍රනය දිගහැරෙද්දී පවා ට්‍රම්ප් ඊජිප්තුවේ ඝාතක අල්-සිසි ව මුනගැසුනු අතර රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉරානයට එරෙහි ව තර්ජන නිකුත් කරමින් සිටියේ ය.

මෙම අපරාධයට සම්බන්ධ සෑම කෙනෙක් ම නිසි ක්‍රියාදාමයේ කඩතුරාව පවා නොමැති ව මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත කෲර ප්‍රහාරයක් එල්ල කිරීමට වරදකාරී වේ.

තම දූෂිත පරිපාලනය කෙරෙහි පවතින මහජන විරෝධය විසින් අවුලුවාලන ලද දේශීය අර්බුදයකට මුහුන දී සිටිමින් ධවල මන්දිරය විසින් ප්‍රදානය කරනු ලබන ආර්ථික ආධාර අපේක්ෂාවෙන් පසුවන ඉක්වදෝර ජනාධිපති ලෙනින් මොරේනෝ, අසාන්ජ් ව බලහත්කාරයෙන් ඉවතට තල්ලු කිරීම සඳහා ඉක්වදෝරයේ ම සරනාගත රැකවරන නීති බිඳ දැමී ය. එහි ක්‍රියාවන් අසාන්ජ්ට සහයෝගය දෙන අතිමහත් බහුතර ඉක්වදෝර කම්කරුවන්ගේ ගෞරවය උල්ලංඝනය කිරීමකි.

තෙරේසා මේ ප්‍රධානත්වය දරන එක්සත් රාජධානියේ ආන්ඩුව ඕනෑම නෛතික ක්‍රියාදාමයකට පැහැදිලි ව ම අගතිකාරී වන ප්‍රකාශ නිකුත් කරමින් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම ගැන උදම් අනමින් සිටී. මේ පාර්ලිමේන්තුව අමතමින් “අද උදෑසන මහනාගරික පොලීසිය විසින් ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට ගෙන තිබීම සමස්ත සභාව ම සාදරයෙන් පිලිගනු ඇතැ” යි ප්‍රකාශ කල විට ටෝරි මන්ත්‍රීවරු හා බොහෝ ලේබර් මන්ත්‍රීවරු එම අනුමැතියට හුරේ දැමූ හ.

අසාන්ජ් උදර්පනය කිරීමට “බ්‍රිතාන්‍ය ආන්ඩුව විරුද්ධ විය යුතු” යි ප්‍රකාශ කරමින් ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් නාම මාත්‍රික ප්‍රකාශයක් නිකුත් කල නමුත් පාර්ලිමේන්තුව ඉදිරියේ මේ ඇයගේ හෙලාදැකීම ඉදිරිපත් කල විට ඔහු කට වසාගෙන සිටි අතර, ඉක්වදෝර තානාපති කාර්යාලය තුල අසාන්ජ් බලහත්කාරී රැකවරනය යටතේ සිටි කාලයේ නිශ්ශබ්දතාව පවත්වාගෙන ගියේ ය.

එක්සත් ජනපදය ගැන සලකන කල, දැන් ට්‍රම්ප් පරිපාලනය අසාන්ජ්ට එරෙහි උද්ඝෝෂනයට නායකත්වය දෙන අතර, සාධාරන ලෙස හා යෝධ පරිමානයෙන් හිලරි ක්ලින්ටන් ව වෛරයට පාත්‍ර වන අපරාධ හෙලිදරවු කිරීමට ප්‍රතිපදානය කල නිසා අසාන්ජ්ට වරද පටවමින් ඩිමොක්‍රටික් පක්ෂය ස්ථීරසාර ව චෝදනා එල්ල කිරීම පිටුපසින් සිටී. ඩිමොක්‍රටිකයන්ගේ රුසියානු-විරෝධී උද්ඝෝෂනයේ එක් කේන්ද්‍රීය ඉලක්කයක් වන්නේ, අන්තර්ජාලය වාරනය කිරීම සඳහා වන පලල් උද්ඝෝෂනයක කොටසක් ලෙස විකිලීක්ස් වෙත එල්ල කරන පහරදීම සාධාරනීකරනය කිරීම යි.

මෙයට වගකිව යුත්තන්ගේ ලැයිස්තුවට අයත් වන තවත් කොටසක් වන්නේ, අසාන්ජ්ට එරෙහි ව චෝදනා නැගීම හා ඔහු ව ඇමරිකානු අධිරාජ්‍යවාදයට බියගුලු අතහැරීම සාධාරනීකරනය කිරීමට ආරම්භයේ දී ඔහුට එරෙහි ව ඉදිරිපත් කල ව්‍යාජ හා ගොතන ලද ස්ත්‍රී දූෂන චෝදනා ඩැහැගත් එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර ව ඉහල මධ්‍යම පන්තියේ සංවිධාන වන ව්‍යාජ-වම යි.

රාජ්‍යයේ හස්තයක් ලෙස ක්‍රියාත්මක වන සංගත මාධ්‍ය අසාන්ජ්ට පහර දීමට සහයෝගය දැක්වීම සඳහා පැනගෙන ඇත.

බ්‍රහස්පතින්දා සවස නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් පත්‍රවල කර්තෘ මන්ඩල අසාන්ජ් උදර්පනය කිරීමට සහයෝගය දක්වන ප්‍රකාශයන් නිකුත් කල හ. “විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ්ට ආන්ඩුව චෝදනා කලේ ආන්ඩුවේ රහසිගත තොරතුරු ප්‍රසිද්ධ කිරීම නිසා නො ව, ඒවා හොරකම් කිරීම නිසා ය” යි නිව් යෝක් ටයිම්ස් ප්‍රකාශ කලේ “අවිවාදනීය අපරාධයක් පිලිබඳ අසාන්ජ් මහතාට චෝදනා නැගීම මගින් පරිපාලනය හොඳින් කටයුතු ආරම්භ කර තිබෙනවා” යි වැඩිදුරටත් එකතු කරමිනි.

“අසාන්ජ් මහතා පිලිබඳ සිද්ධිය ඔහුගේ රැකවලුන් වැරදි ලෙස අනතුරු අඟවන පරිදි සිවිල් අයිතිවාසිකම් සඳහා පරාජයක් ලෙස නො ව නීතියේ පාලනයෙහි ජයග්‍රහනයක් ලෙස අවසන් විය යුතු” යි ප්‍රකාශ කල වොෂින්ටන් පෝස්ට් පත්‍රය, ට්‍රම්ප් පරිපාලනය අසාන්ජ්ට එරෙහි ව ගෙනයන උද්ඝෝෂනයට දෙන සහයෝගයේ දී වඩාත් විවෘත විය.

“අසාන්ජ් මහතා නිදහස්-මාධ්‍ය වීරයෙක් නො වේ” යි පෝස්ට් ප්‍රකාශ කලේ ය. “සැබෑ ජනමාධ්‍යවේදීන්ට වෙනස් ව විකිලීක්ස් කරුනු ප්‍රසිද්ධ විෂයපථයට අතහැරී ය.” පෝස්ට් පත්‍රයේ අර්ථ දැක්වීමට අනුව “සැබෑ ජනමාධ්‍යවේදීන්” වන්නේ පෙන්ටගනයේ නියෝගය මත ස්වයං-වාරනය කරගන්නන් ය.

වරෙක පෙන්ටගන් පත්‍රිකා පල කල මෙම ප්‍රවෘත්ති පත්‍ර, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ක්ෂමාලාපකයන්ට වැඩි යමෙක් නො වේ. යමෙකුට පරිකල්පනය කල හැක්කේ, රුසියානු ආන්ඩුව බලහත්කාරී කඩාවැදීමක් සිදුකර ජනමාධ්‍යවේදියෙක් හා එහි විදෙස් පිලිවෙත විවේචනය කරන්නෙක් අල්ලාගත්තේ නම් මාධ්‍ය වෙතින් නිකුත් වන කෝපීය මොරදීම පමනක් ය.

අසාන්ජ් ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිර වී සිටි වසර හත තුල බොහෝ දේ වෙනස් වී ඇත. වඩාත් ම අර්ථභාරී දෙය වන්නේ පන්ති අරගලය ජාත්‍යන්තර ව පුපුරා යාම යි. අසාන්ජ් වධබන්ධනයට ලක් කිරීම වඩාත් ම විකාරරූපී උදාහරනය වන ප්‍රකාශනයේ නිදහස ඇතුලු සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීමට පාලක ප්‍රභූන් ව තල්ලු කරන්නේ, ධනවාදය කෙරෙහි වැඩෙන විරෝධය සමග ඒකාබද්ධිත ව පන්ති අරගලයේ ඉස්මතු වීම කෙරෙහි පවතින භීතිය යි.

කම්කරු පන්තිය තුල අසාන්ජ්ට අතිබහුල හිතපක්ෂපාතිත්වයක් පවතී. බෙදුම් රේඛාවක් සමාජ, ආර්ථික හා දේශපාලන ජීවිතය තුල විවෘත වී ඇත. පාලක ප්‍රභූහු ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී කඩතුරාවන් ඉවතලමින් සිටිති. ඔවුන්ගේ මාධ්‍ය හා ධනවත් ඉහල මධ්‍යම පන්තියේ දේශපාලන නියෝජිතයන් වන ව්‍යාජ-සමාජවාදී විපාර්ශවය ක්‍රියාත්මක වන්නේ රාජ්‍යයේ හා මූල්‍ය කතිපයාධිකාරයෙහි ආඥාදායකත්වයේ ආරක්ෂකයන් ලෙස ය.

ජූලියන් අසාන්ජ්, චෙල්සී මෑනිං හා සියලු පන්ති යුද සිරකරුවන් ආරක්ෂා කිරීමට බලමුලුගන්වනු ලැබිය යුත්තේ ජනගහනයේ අතිමහත් පුලුල් කොටස වන කම්කරු පන්තිය යි. ඔවුන්ගේ නිදහස සඳහා වන ඉල්ලීම ගෝලීය කම්කරු පන්තියේ රැලි වීමේ හඬක් විය යුතු ය.

සියලු කම්කරුවන් හා තරුන ජනයාගෙන් ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සියල්ලන්ගෙන් ද ඉදිරියට පැමින ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා පැහැදිලි ස්ථාවරයක් ගන්නා ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය කැඳවුම් කරයි. ඔහු ව වහා ම නිදහස් කොට උපද්‍රව රහිත ව පෙරලා ඕස්ට්‍රේලියාවට පැමිනීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටින රැස්වීම්, විරෝධතා හා පෙලපාලි සංවිධානය කරන්න!

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩල ප්‍රකාශය

Share this article: