ම්ලේච්ඡ ඇමරිකාව

America the Barbaric

2019 අප්‍රේල් 06

ස්ත්‍රී දූෂන, මිනීමරුම්, පහරදීම්, පිහියෙන් ඇනීම්, අතපය කපා දැමීම්, ගිනි තැබීම් ඉහවහා ගොසිනි. හුදකලා කාමර වල දමා ඇති සිරකරුවන් විසින් උදව් ඉල්ලා කල ආයාචනයන්, සිරකුටි වල බිත්ති පුරා ලේ වලින් කුරුටු ගා ඇත. පසුගිය මාස 15 ක කාලය තුල සිය දිවි හානි කරගැනීම් පහලොවක් වාර්තා විය.

මෙය ඇල්-සිසී ගේ ඊජිප්තුව හෝ බින් සල්මාන්ගේ සෞදි අරාබියේ වධකාගාරයක විස්තරයක් නොවේ. එමෙන්ම එය කුප්‍රකට ඉරාකයේ අබුග්‍රය්බ් සිරකඳවුරේ, ගුවන්තනාමෝ බේ සිරකඳවුරේ හෝ සීඅයිඒ රහස් කඳවුරක රැඳවුම් කරුවන්ට වධහිංසා පැමිනවීමක් පිලිබඳව ද නොවේ.

මේවා මේ සතියේ නිකුත් කල අධිකරන දෙපාර්තමේන්තුවේ වාර්තාවකින් විස්තර කරන ලද, රජය මගින් පවත්වා ගෙන යනු ලබන [ඇමරිකාවේ] ඇලබාමා ප්‍රාන්තයේ සිරකඳවුරු පද්ධතියේ පවතින බියකරු කොන්දේසි වේ. එය, කුරිරු සහ අසාමාන්‍ය දඬුවම් තහනම් කිරීමට ගෙන ආ ඇමරිකානු ව්‍යවස්ථාවේ අටවන සංශෝධනය සම්පූර්නයෙන්ම උල්ලංඝනය කිරීමකි.

වාර්තාව නිකුත් කිරීමට පෙර, දරිද්‍රතාව පිලිබඳ දකුනුදිග නීති මධ්‍යස්ථානය නමැති ආයතනය විසින් මාධ්‍යයට දෙන ලද, ඇලබාමා සිරකඳවුරක ඡායාරූප 2000 කට වඩා වැඩි ප්‍රමානයක් මගින්, [වාර්තාව සඳහා] ෆෙඩරල් විමර්ශකයන් විසින් වසර දෙකකට අධික කාලයක් පුරා සිරකරුවන් සහ ඔවුන්ගේ පවුල් සමග සිදු කරන ලද සිය ගනන් සම්මුඛ සාකච්ඡා වලින් විස්තර කරන ලද කොන්දේසි වල බියකරු යථාර්තය චිත්‍රනය කරයි.

එබඳු කොන්දේසි බිහිසුනු වුවත්, කිසිදු ආකාරයකින් මෙතනට පමනක් සුවිශේෂ නොවේ. ඒවා එක්සත් ජනපදය හරහා සෑම ප්‍රාන්තයකම, ප්‍රාදේශීය කොට්ඨාශයකම සහ නගරයකම සිරකඳවුරු තුල වෙනස් වෙනස් ආකාරයන්ගෙන් නැවත නැවතත් සිදුවේ. ඇමරිකාවේ ප්‍රාන්ත රාජ්‍ය සහ ෆෙඩරල් බන්ධනාගාර, ප්‍රාදේශීය සිරකඳවුරු සහ සංක්‍රමනික රැඳවුම් කඳවුරු ඇතුලත් පිටාර ගලායන පද්ධතිය තුල මිලියන 2.3 කට අධික ජනතාවක් හරකුන් මෙන් ගාල් වී ඇත. පරිවාසය මත හෝ සමා කොන්දේසි මත සිටින අයද ඇතුලුව මිලියන 07 කට ආසන්න ඇමරිකානුවන් “අපරාධ පිලිබඳ යුක්ති පද්ධතිය” යන අභූත රූපී නමින් හඳුන්වන දෙයට හසු වී සිටිති.

ලෝකයේ බන්ධනාගාරගත කරන ලද ජනගහනයෙන් හතරෙන් එකකට වඩා වැඩි පිරිසක් සිටින්නේ ඇමරිකාව තුලය. සෑම නිවැසියන් ලක්ෂයකටම රැඳවුම් භාරයේ පුද්ගලයන් 698 දෙනෙකු සිටී. දෙන ලද ඕනෑම දිනයක සිරභාරයේ රඳවා තබා ඇති පුද්ගලයන්ගෙන් 540,000 කට වඩා වැඩි පිරිසක් කිසිදු අපරාධයකට වරද කරු වී නොමැත. බොහෝ පුද්ගලයන් ඩොලර් 10,000 ක ඤමධ්‍යස්ථ අගය% ඇප මුදල් ගෙවා ගැනීමට තරම් දුප්පත් වීම නිසාම පමනක් රැඳවුම් භාරයේ තබා ඇත. තවත් මිලියන භාගයක් එනම් සෑම සිරකරුවන් පස්දෙනෙකුටම එක් අයෙකු ප්‍රචන්ඩකාරී නොවන මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා දීර්ඝකාලීන සිරදඬුවමට යටත් වෙමින් සිටී.

සමීක්ෂකයන් තක්සේරු කරන්නේ 61,000 ක් සිරකරුවන් දෙන ලද ඕනෑම දිනයක හුදකලා සිරගත කිරීමකට, එනම් එක්සත් ජාතීන් විසින් වධහිංසාවට සමාන දෙයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇති සිරගත කිරීමේ ආකාරයක රඳවා සිටින බවයි. අඩු තරමින් බාහිර ලෝකයෙන් සම්පූර්නයෙන්ම හුදකලා කොට තබා ගෙන සිටින එම පුද්ගලයන් 4,000 ක් පමන බරපතල මානසික ව්‍යාධීන්ගෙන් පෙලේ. පන පිටින් මිනීපෙට්ටියක ලෑමට සමානවන මේ සිරගත කිරීම මගින් එම සිරකරුවන් සිය දිවි හානි කර ගැනීමේ තත්ත්වයට පත් කරවන බව ප්‍රචලිතය.

නය කරුවන්ගේ බන්ධනාගාර නිල වශයෙන් තහනම් වුවත්, දිලිඳු කම්කරුවන් නිතිපතා ඔවුන්ගේ නය තුරුස් නොගෙවීම් හේතුවෙන් රඳවා තබයි. ඉන්ඩියානා ප්‍රාන්තයේ මවක් ඇයට කිසිදා තැපෑලෙන් නොලැබුනු, නොගෙවූ ගිලන්රථ බිල්පතක් හේතුවෙන්, වෙනත් වැරදිකරුවන් සමග, ජරාජීරන වූ බන්ධනාගාරයක පෙබරවාරි මාසයේ දින තුනක් රඳවා තැබිනි. එබඳු කථා පුවත් ඉතා සුලභය.

ඔබාමා පාලනයේ පිලිවෙත් තවත් එහාට ගෙන යමින් ට්‍රම්ප් පරිපාලනය යටතේ මධ්‍යම ආන්ඩුව දහස් ගනනින් පිරිමින්, කාන්තාවන් සහ ලමුන් අතිශය පහත් කොන්දේසි යටතේ රඳවා තබමින්, සංක්‍රමනිකයන්ට එරෙහි යුද්ධයක් දියත් කර ඇත. දක්ෂින දේශ සීමාව තරනය කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් 77,000 ක් පමන දෙනා පෙබරවාරියේදී අත්අඩංගුවට ගෙන රඳවා තබාගන්න ලදී. සංක්‍රමනික කම්කරුවන්, තම නිවෙස් වලදී හා වැඩපල වලදී දඩයම් කොට, අත්අඩංගුවට ගනු ලැබේ.

මේ සතියේ, ටෙක්සාස් ප්‍රාන්තයේ ඇලන් ප්‍රදේශයේ ෆෙඩරල් නියෝජිතයන් විසින් ලියකියවිලි නොමැති කම්කරුවන් 280 ක් සිරගත කිරීමත් සමග ඇමරිකානු ආන්ඩුවේ කෲරත්වය හොඳින් ප්‍රදර්ශනය විය. දශකයකට අධික කාලයක් තුල සිදු කල විශාලතම වැටලීම එය විය.

එමෙන්ම ඇමරිකානු නගර වල වීදී මත සෑම වසරකම 1,000 කට අධික මිනිසුන් පිරිසකට වෙඩි තබා, වධ දී හෝ මරනයට පත් වන තුරු පහරදීම් සහිතව පොලීසිය විසින් සිදු කරන ඝාතන මාලාවක් ඇත. පොලිස් ඝාතන සඳහා අපරාධ චෝදනා දුර්ලභ අතර දෝෂනය කිරීම් නොමැති තරම්ය. පොලිස් භටයින්ට මරා දැමීමට, තුවාල සිදු කිරීමට සහ කිසිදු දඬුවමකින් තොරව කෲරත්වය ක්‍රියාවේ යෙදවීමට අවශ්‍ය කොල එලිය ලබා දී ඇත.

අසීමිත කුහකත්වයෙන් යුතුව ඩිමොක්‍රටිකයන් සහ රිපබ්ලිකානුවන් යන දෙපාර්ශවයම, තන්ත්‍රමාරුවක් හෝ ආක්‍රමනයක් සඳහා ඇමරිකානු පාලක පන්තිය විසින් ඉලක්ක කරන කුමන රටකට වුවද, මානව අයිතිවාසිකම් උල්ලංඝනය කලේ යයි චෝදනා කරමින් ඔවුන්ගේ කෝපය ප්‍රකාශයට පත් කරයි. ධනවත්ම ඇමරිකානුවන් තිදෙනෙකු ජනගහනයෙන් පතුලේම සිටින අර්ධයට වඩා ධනයක් පාලනය කරන, ලෝකයේ වඩාත්ම කෲර සහ අසමානතාවයෙන් පිරුනු සමාජයන්ගෙන් එකක්, ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රදීපයක් බව ඔවුන් ප්‍රකාශ කරයි.

රුසියාව හෝ චීනය තුල ඇමරිකානු බන්ධනාගාර වල පවත්නා කොන්දේසි ඇති බවට අනාවරනය වුවහොත් ආර්ථික සම්බාධක සහ “මානුෂීය” මිලිටරි මැදිහත්වීම් ඉල්ලා පුවත්පත් හා කොන්ග්‍රසය කෑ ගැසීමින් වැලපෙනු ඇති අතර එය මාධ්‍ය තුල ප්‍රතිරාව දෙනු ඇත.

වසර පනහකට පෙර නම්, ඇලබාමා සිරකඳවුරේ කොන්දේසි පිලිබඳ වාර්තාව බඳු වාර්තාවක් මගින් දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය ඇතුලත කොටස් වල පවා කම්පනයක් ඇතිකර, වහා ක්‍රියාමාර්ග ගත යුතු බවට වූ ඉල්ලීම් නැගෙනු ඇති වුවද, අද එය යන්තම් මිමිනීමකින් පමනක් පසු කර යයි.

ඇමරිකානු සිරකඳවුරු තුල කොන්දේසි දැවැන්ත ලෙස පිරිහෙලීමට තමන්ද දායකව ඇති හෙයින්, ඩිමොක්‍රටික් පක්ෂය, නිහඬව සිටී. ජනාධිපති බිල් ක්ලින්ටන් සිරගත පුද්ගලයන්ගේ ඓතිහාසික වැඩිවීමකට මාවත පෑදු නීති වලට අත්සන් තැබීය. “කෲර හා අසාමාන්‍ය” මෙන්ම ව්‍යවස්ථාවද උල්ලංඝනයකල බවට 2011 දී ශ්‍රේෂ්ඨාධිකරනය විසින් තීන්දුකල කැලිෆෝනියාවේ සිරකඳවුරු පද්ධතිය පාලනය කරන්නේ ඩිමොක්‍රටිකයන් විසිනි.

ඉහල මධ්‍යම පන්තිය එනම් ඩිමොක්‍රටික් පක්ෂය තුල හා ඒ වටා සිටිනා ආත්ම-ග්‍රස්තික (තම උවමනාවන් සපුරා ගැනීම පිලිබඳ යෙදීමෙන් පිටත ලෝකයක් නොමැති) ස්ථරයද [මේ පිලිබඳව] උදාසීනය. මාධ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල #මී-ටූ - (මටත් ලිංගික අතවර සිදුවිය යන්න ගම්‍ය කරන) ව්‍යාපාරය උත්කර්ෂයට නංවන මොවුන්ට, ඇමරිකානු සිරකඳවුරු තුල සිදුවන ලිංගික ප්‍රචන්ඩත්වය ගැන කීමට හෝ ඇමරිකාවට පලා එන සංක්‍රමනිකයන්ට එරෙහි ප්‍රචන්ඩත්වය පිලිබඳ කීමට දෙයක් නැත.

මාධ්‍ය වැඩසටහන් මේ වාර්තාව ආවරනය කලේ ඉතා යන්තමිනි, එයද ප්‍රධාන රාත්‍රී ප්‍රවෘත්ති වැඩසටහන් වලදී කිසිඳු සඳහනක් නොකරමිනි. අබුග්‍රයිබ්හි වධහිංසා සම්බන්ධ ඡායාරූප සහ සීඅයිඒ වධහිංසා සම්බන්ධ සෙනෙට් වාර්තාව ආදියට කලාක් මෙන්ම ඇලබාමා වල සිදු වෙමින් ඇති දේ පිලිබඳවද තොරතුරු පිටවීම යටගැසීමේ උත්සාහයක් තිබී ඇත. නිව්යෝක් ටයිම්ස් සහ අනෙකුත් මාධ්‍ය ගනනාවක්ම, මෙහි ඇති ප්‍රචාර සහ මරනයන් පෙන්වන ඡායාරූප බොහෝමයක් පල නොකිරීමට තීරනය කොට ඇත.

අවසානයේදී, මේ ඔවුන්ගේ රාජ්‍යයයි. ඇමරිකානු සිරකඳවුරු වල තත්ත්වය සහ ප්‍රචන්ඩත්වයේ සමස්ථ යාන්ත්‍රනය ඇමරිකානු “ප්‍රජාතන්ත්‍රවාදයේ” යථාර්තය පිලිබද වේදනාකාරී ප්‍රකාශනයකි. මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා වලට එරෙහිව ඇති සමාජ සහ දේශපාලන විරෝදය මර්දනය කිරීම සඳහා රාජ්‍ය යන්ත්‍රය පාවිච්චි වනු ඇත. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ මුහුන එයයි.

නීල්ස් නීමුත් විසිනි

Share this article: