පැරීසියේ නෝත්‍රඩාම් පල්ලියේ ගින්න

The burning of Notre-Dame cathedral in Paris

2019 අප්‍රේල් 17

සඳුදා ප්‍රන්සය තුල හා ජාත්‍යන්තර ව පුද්ගලයන් මිලියන ගනනාවක් කම්පනයට හා භීතියට පත් කෙරුනේ සියවස් ගනනාවක් පැරනි ඓතිහාසික ස්මාරකයක් ගිනි ගෙන දැවී යාමේ දර්ශනයෙනි. අඟහරුවාදා, නෝත්‍රඩාම් පල්ලිය සිසාරා විසිරුනු සුන්බුන් තවමත් දැවී යමින් තිබිය දී, පැහදිලි වූයේ සඳුදා ගින්න ඇති කෙරුනේ පල්ලියේ පුනස්ථාපන වැඩවල ගිනි ආරක්ෂාවේ බියකරු බිඳවැටීමකින් බව යි. මේ සඳහා වගකීම පවතින්නේ ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ ආන්ඩුව සමග, හා අවසාන වශයෙන් ධනේශ්වර පද්ධතිය සමග ය.

යුරෝපයේ ඉතාමත් ම පුලුල් ලෙස සංචාරකයින් පැමිනි, වික්ටර් හ්‍යුගෝගේ 1831 නෝත්‍රඩාම් පැරිස් නම් නවකතාව හා එහි චිත්‍රපට අනුවර්තන විසින් අමරනීය බවට පත් කෙරුනු, මෙම ස්මාරකය වැලක්විය හැකි ව තිබුනු මහාවිපත්තියකින් විනාස කෙරී ඇත. ගිනිදැල් වහල විනාස කර උස් කොත ඇද දැමීය, එය ඇද වැටී පල්ලියේ ශිලා ගර්භය මත කැඩී ගියේ පහල කලා නිර්මාන මත උනු වූ ඊයම් හා අළු විසුරුවමිනි. නැවත ඇති නො කල හැකි 13වැනි සියවසේ රංජිත වීදුරු ජනේල බිඳී විසිරී ඇත, ප්‍රධාන ඕගනය පලදු වූ අතර, පල්ලියේ අභ්‍යන්තරය අඳුරු වූ යෝධ සැකිල්ලකි.

නෝත්‍රඩාම් ගින්නෙහි දර්ශනයක්

ජාත්‍යන්තර ගෘහනිර්මාන විශේෂඥයෝ එවැනි ව්‍යාපෘතිවල මිල අධික, තාක්ෂනිකව අභියෝගාත්මක, ගිනි ආරක්ෂාවේ ශ්‍රම සූක්ෂම ස්වාභාවය අවධාරනය කරමින් සිටිති. කැපුම් පන්දම් හෝ විදුලි උපකරනවල උනුසුමෙන්, (ඇතම් විට බොහෝ දිග නල ඔස්සේ සම්ප්‍රේෂිත) වැඩ කෙරෙමින් පැවති තැන්වලට ඈත දැව හෝ කුඩුවල ගින්න ඇරඹෙන්න ඇත.

“පැරනි ගොඩනැගිලි පුනස්ථාපනය කරන විට, තාප-මූලාශ්‍ර ක්‍රියාකාරකම් සිදුවෙමින් තිබෙන්නේ නම්, ඔබට පැය 24ක ගිනි නිරීක්ෂකයක් තිබිය යුතුව ඇත, මන්ද එය හටගත් වහා ම හැකි ඉක්මනින් එහි යාමට හැකි අයෙකු ඔබට ලබා ගැනීමට සිටිය යුතු නිසා” යැයි සැන් ෆ්‍රැන්සිස්කෝව පාදක පර්කින්ස් ඇන්ඞ් විල් සමාගමේ ජෙරී ටයිනර් පැවසී ය.

විනාසකාරී ගිනි අපේක්ෂිත ලෙස ම පැන නගින්නේ ගිනි ආරක්ෂක කාර්යමන්ඩල පත් කිරීම මට්ටමේ වියදම් කප්පාදුව සමගින් යැයි දකුනු ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයේ එඞ්වඞ් ලුවිස් පැවසී ය: “මගේ අත්දැකිම් අනුව, එය ඇරඹෙන්නේ මානුෂික වරදක් සමගිනි, මෙය ඉදිරියට යන්නේ අප්‍රමානවත් සුපරීක්ෂන මට්ටම් හා ගිනි වැලක්වීමේ විධිවිධාන නො සලකා හැරීමෙනි...බොහෝ ඉදිකිරීම් රැකියාවල, සුපරීක්ෂකයින් හා කම්කරුවන් අතර අනුපාතය ප්‍රමානවත් නො වේ.”

ගින්න පිලිබඳ වාර්තා පෙන්වන්නේ නෝත්‍රාදාම්වල සිදු වුයේ මෙය බව යි. සුඳුදා, ඉදිකිරීම් කම්කරුවන් වැඩ බිමෙන් ඉවත් ව ගිය බොහෝ වෙලාවකට පසු, ප.ව.6.20ට පමන වහල පෙදෙසේ පලමු ගිනි අනතුරු ඇඟවීම් ශබ්ද වීමෙන් පසු, පල්ලියේ කාර්ය මන්ඩලය වහලේ 13වැනි හා 16වැනි සියවස්වල එකිනෙක හරහා යන දැව රඳවනයන්ගේ විශාල වංකගිරිය පරීක්ෂා කලහ. ඔවුහු ගින්න සොයා නො ගත්හ. ප.ව.6.45ට නව ගිනි අනතුරක හඬ නැගුනි. මේ අවස්ථාවේ, මිනිත්තු කීපයක් ඇතුලත, මුලුමනින් ම පැරනි, වියලි හා ගිනිගන්නා සුලු දැව පාලනය කල නො හැකි ව දැල්වෙමින් තිබුනි.

නෝත්‍රඩාම් පල්ලියේ අලුත්වැඩියාවන්ට මුදල් සැපයන්නේ සොච්චම් අරමුදලකිනි. වසර දෙකකට පෙර, පල්ලියේ කාර්ය මන්ඩලය යුරෝ මිලියන 100ක් බලාපොරොත්තු වූ අතර, ඔවුන්ට ජාත්‍යන්තර ආධාරකරුවන් හා සමාජ සත්කාරවලට ආයාචනා කිරීමට බල කෙරුනේ, පල්ලිය අයත්, ප්‍රන්ස රජය, කම්පා සහගත ලෙස වසරකට යුරෝ මිලියන 2 බැගින් පමනක් ලබා දීමට එකඟ වීමෙන් පසුය. නෝත්‍රඩාම්හි ගිනිගත් සැකිල්ලේ රූපරාමු සමග දැන් ලෝකය පුරා මිලියන ගනනාවක් පුද්ගලයන්ගේ විඤ්ඤානයට කාවැදී ඇත්තේ, මෙහි ප්‍රතිපලයක් ලෙස ගිනි ආරක්ෂක කාර්ය මන්ඩල පත්කිරීමේ මට්ට්ම ඛේදනීය ලෙස අප්‍රමානවත් ලෙස පැවති බව යි.

නෝත්‍රඩාම් ගිනිගැනීම ධනවාදය ලෝකය පුරා සෑම රටකම මුදා හැර ඇති විනාසකාරී ක්‍රියාදාමයේ බියකරු ප්‍රකාශනයකි. 1991 දී ස්ටැලින්වාදින් විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු කාල පරිච්ඡේදය, හා විශේෂයෙන් ම 2008 වෝල් වීදියේ කඩා වැටීමේ සිට, දැක ඇත්තේ යුරෝපයේ ඇඟ කිලිපොලන මට්ටමට නැංවුනු යලි සන්නද්ධ කිරීම සමග ඒකාබද්ධ කෙරුන කුරිරු කප්පාදු ය. යුරෝ මුදල් බොහෝ ට්‍රිලියන ගනනක යුරෝපීය බැංකු ඇපදීම්වල ප්‍රධානත්වය ගන්නා මැක්‍රොන්, 2023 වන විට හමුදාව සඳහා යුරෝ බිලියන 300ක් වියදම් කිරීමට, හා පොහොසතුන් සඳහා බිලියන ගනනක බදු කප්පාදු සැලැසුම් කරයි.

නෝත්‍රඩාම්හි උස් කොත බිඳීයාම

මෙහි ප්‍රතිඵලයක් ලෙස, සැබෑ ලෙස වැදගත් වැඩසටහනක් ම අප්‍රමානවත් ලෙස අරමුදල් සැපයෙන ඒවා වන අතර, සෑම අහුමුල්ලක් නෑර ම කප්පාදු ක්‍රියාත්මක කෙරේ. සංගත මාධ්‍ය හා බලධාරීන් විසින් සම්පූර්යෙන් ම ස්වභාවික යයි දකිනු ලබන, අපේක්ෂිත ප්‍රතිඵලය, වන්නේ වැඩ කරන ජනයාගේ ක්‍රමානුකූල දරිද්‍රතාව, සමාජ සේවාවන් කප්පාදුව, හා සංස්කෘතික ආයතනවලට අරමුදල් නො සැපයීම යි. කෙසේ නමුත්, මූල්‍ය කතිපයාධිකාරිය විසින් හඹා යනු ලබන ප්‍රතිපත්තිවල කුරිරු, ආත්මාර්ථකාමී හා පරපුටු ස්වභාවය විටෙක සිය ප්‍රකාශනය සොයා ගන්නේ මානව සංස්කෘතියේ ශ්‍රේෂ්ට ස්මාරක විනාස කිරීම තුල ය.

2003 එක්සත් ජනපදය නායකත්වය දුන් නීති විරෝධී ඉරාකයේ ආක්‍රමනය අතරතුර, ඇමරිකානු වාඩිලාගැනීමේ හමුදා ඉරාකයේ ජාතික කෞතුකාගාරය කොල්ලකෑමට උඩ ගෙඩි දෙමින් පසෙකින් සිටියේ, වසර 5000ක් ආපසු යන මානවකෘති 50,000ක් අහිමි වීමට හා තම සන්තකයේ ඇති දේ පිලිබඳ කෞතුකාගාරයේ නාමාවලිය විනාස කිරීමට මග පාදමිනි. එවක එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඩොනල්ඞ් රම්ස්ෆෙල්ඞ් කොල්ලකෑම අනුමත කලේ, මෙසේ පවසමිනි, “නිදහස් පුද්ගලයෝ වැරදි කිරීමට හා අපරාධ සිදු කිරීමට නිදහස් ය.”

අවසාන විග්‍රහයේ දී නෝත්‍රඩාම් ගිනිගැනීම සිරියාවේ යුද්ධයේ දී නේටෝවේ ඉස්ලාමීය ගැත්තර මිලීෂියාවන් විසින් පැල්මයිරාවේ පැරනි නගරය කොල්ලකෑම ඇතුලුව, එවැනි ලේවැකි කොල්ලකෑම්වලින් වෙන් කල නො හැක. එය ගලා එන්නේ එකම අත්‍යාවශ්‍ය අරමුනු සහිත එකම පාලක පන්තිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්තිවලිනි.

ප්‍රන්ස කම්කරුවන් විසින් “පොහොසතුන්ගේ ජනාධිපති” යැයි අවමන් කෙරෙන, මැක්‍රෝන් සෑම ප්‍රශ්නයක් ම යට කරන්නේ මූල්‍ය කතිපයාධිකාරියේ ස්වයං-පොහොසත්වීමේ ධාවනයටයි. පොහොසතුන් සඳහා ඔහුගේ බදු කප්පාදු බිලියනපති බර්නාඞ් ආර්නෝල්ට්ට පසු ගිය වසරේ පමනක් තම පෞද්ගලික ධනය යුරෝ බිලියන 22 ඉක්මවා යන ලෙස වැඩි කර ගැනීමට අවසර දුන්නේ ය.

ලියොන් ට්‍රොට්ස්කි හා ප්‍රන්ස කිවිවර ආන්ද්‍රේ බ්‍රෙටන් විසින් එක්ව කෙටුම්පත් කරන ලද “නිදහස් විප්ලවවාදී කලාවක් වෙතට” නම් 1938 ප්‍රකාශනය තුල, ඔවුහු මෙසේ සඳහන් කලහ: “අද තරම් මීට පෙර කිසි දා බැරෑරුම් ලෙස ශිෂ්ටාචාරයට තර්ජනය නො කෙරුනු බව අතිශයෝක්තියකින් තොර ව අපට පැවසිය හැක. කලානාශකයෝ ම්ලේච්ඡ වූ, එමෙන්ම තුලනාත්මක ව එතරම් ඵලරහිත, මෙවලම් ඇති ව, යුරෝපයේ එක් කොනක පෞරානික සංස්කෘතිය විනාශ කලහ. නමුත් අද අප දකින්නේ, තම ඓතිහාසික ඉරනම තුල එක්සත්, ලෝක ශිෂ්ටාචාරය, නූතන තාක්ෂනයේ සමස්ත අවිගබඩාව සමග සන්නද්ධ ප්‍රතිගාමී බලවේගයන්ගේ ප්‍රහාරයෙන් සැලෙමින් තිබෙන බව යි.”

පැරීසියේ පල්ලියේ ඉරනම තුල මෙම වාක්‍යයන් විනාශකාරී තහවුරු වීමක් පෙන්වා දෙයි. නෝත්‍රඩාමය 1163 වර්ෂයේ ඉදිකිරීමෙන් පසු, ශතවර්ෂ අටක් හරහා අනතුරු නො ලැබ ඉදිරියට ආවේ ය. එය ප්‍රන්ස විප්ලවය, 1871 පැරිස් කොමියුනය, පලමුවැනි ලෝක යුද්ධය හා නාසි වාඩිලා ගැනීමේ ඓතිහාසික ප්‍රචන්ඩ පෙරලි ඉක්මවා ගියේ ය. කෙසේ නමුත්, එයට 21වැනි සියවසේ පලමු දශක දෙක හා එමානුවල් මැක්‍රෝන්ගේ පාලනය ඉක්මවා යා නො හැකි විය.

අද, මූල්‍ය කතිපයාධිකාරියේ නියෝග මුහුන දෙමින් තිබෙන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැඩෙන දේශපාලනික විරුද්ධත්වය හා සටන්කාමී වැඩවර්ජන ක්‍රියාකාම්වලට යි. එක්සත් ජනපද ගුරුවරුන්ගේ හා සංධ්වනි ඔකෙස්ට්‍රා සංගීතඥයින්ගේ වැඩවර්ජන මෙන් ම මැක්සිකානු මැකිලඩෝරා කම්කරුවන්ගේ හදිසි වැඩවර්ජන, සහ ඉන්දියානු උපමහාද්වීපයේ වතු කම්කරුවන් හා සිවිල් සේවකයින්ගේ වැඩවර්ජන දිග හැරෙමින් පවතින්නේ, මැක්‍රෝන් හා ඇල්ජීරියානු මිලිටරි ඒකාධිපත්තිවයේ ඔහුගේ සහචරයන්ට එරෙහි අරගලයේ දී ප්‍රන්සයේ “කහ කබා” ව්‍යාපාරය හා ඇල්ජීරියාවේ කම්කරුවන් බලමුලු ගැනීමත් සමග ය.

ඊයේ, ප්‍රන්සයේ පොහොසත් ම බිලියනපතියන් දෙදෙනා වන, බර්නාඞ් ආර්නෝල්ට් හා ෆ්‍රැන්කොයිස් පිනෝල්ට් නෝත්‍රාදාමය යලි ඉදිකිරීමට සහාය දීමට පිලිවෙලින් යුරෝ මිලියන 200ක් හා යුරෝ මිලියන 100ක ආධාර නිවේදනය කලහ. තම ධනයේ කුඩා සොච්චමක් වන ඔවුන්ගේ ආධාර ලබා දුන්නේ ඔවුන්ගේ දැවැන්ත ධනය පිලිබඳ වැඩෙන මහජන කෝපය වෙන අතක හැරවීමට ය. ඔවුන් අවධානරය කරන්නේ මහජන ජීවිතය මත බිලියනපතියන්ගේ ආධිපත්‍යය විසින් ඇති කෙරුනු නාස්තිය හා අරාජකත්වය යි. ගින්නට පෙර නෝත්‍රඩාම් පුනස්ථාපනය කිරීමට ලබා දිය යුතු ව තිබුන මෙම මුදල්, වර්ෂ ගනනාවක් දීර්ග, යුරෝ බිලියන ගනනාවක් වනු ඇති පුනස්ථාපන ව්‍යාපෘතියට අරමුදල් සැපයීමට අප්‍රමානවත් වන බවට සැකයක් නැත.

නෝත්‍රඩාම් විනාසයෙන් බොහෝ දේශපාලන පාඩම් ගලා ඒ. නෝත්‍රඩාම්යෙන් යන්තම් මීටර් කීපයක් ඔබ්බේ ලූවර් කෞතුකාගාරය පිහිටා ඇත, එය මුලින් නිර්මානය කෙරුනේ වැඩවසම්වාදී කතිපයාධිකාරිය විසින් කොල්ලකෑම හා 16වැනි ලුවී රජතුමාගේ හිසා සිඳ දැමීම මධ්‍යයේ, 1793 ප්‍රන්ස විප්ලවය අතරතුර රාජකීය කලා එකතුව ජනසතු කිරීමෙනි. ප්‍රන්ස විප්ලවවාදීන් පැවසුවේ, ලූවර් “සුන්දරත්වය පිලිබඳ ව දැනුවත් වෙමින් මිනිසුන් තෙමේ ම ඉහලට ඔසවා ගන්නා අභය ස්ථානයක්” විය යුතු බව යි.

21වැනි සියවසේ මූල්‍ය කතිපයාධිකාරියට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ මතු වෙමින් තිබෙන ව්‍යාපාරය සඳහා වන ඉදිරිමාවත වන්නේ තම විප්ලවවාදී සම්ප්‍රදායන් හා අරගලය කතිපයාධිකාරිය අස්වාමික කිරීම හා සමාජ හා දේශපාලන ජීවිතය මත එහි ගලග්‍රහනය බිඳදැමීම දෙසට හැරවීම යි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: