ම්‍යුලර් වාර්තාව සහ රුසියාවට එරෙහි උද්ඝෝෂනය

The Mueller report and the campaign against Russia

2019 අප්‍රේල් 20

එජ මැතිවරන ව්‍යාපාරය තුල රුසියානු මැදිහත්වීම් සම්බන්ධ චෝදනා සහ ට්‍රම්ප් පරිපාලනය සමග කුමන්ත්‍රනයක් පැවතියේ යැයි ප්‍රකාශිත චෝදනාව පිලිබඳ විශේෂ උපදේශක රොබට් ම්‍යුලර් විසින් නිකුත් කරන ලද වාර්තාව ඇමරිකානු පාලක පන්තිය අතර දරුනු පාර්ශ්වීය යුද ගැටුම යලි අවුලුවා ඇත.

මේ ගැටුම කුමක් පිලිබඳවද යන්න, වසර දෙකකට පසු, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් සිකුරාදා සවස පල කල කතුවැකියක් පැහැදිලි ලෙස අනාවරනය කරයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය පුන පුනා අවධාරනය කොට ඇති පරිදි, ඩිමොක්‍රටික් පක්ෂය සහ මාධ්‍ය විසින් ඔවුන්ගේ බලහත්කාරී ඉල්ලීම් ඉදිරිපත් කෙරෙන, මිලිටරි-බුද්ධි යාන්ත්‍රනයේ ආධිපත්‍ය දරන පාර්ශ්වයන්, රුසියාව සමග ගැටුම තීව්‍රකරනය සම්බන්ධයෙන් වූ සිය මතයෙන් කිසිදු ආකාරයක පසුබැසීමක් පිලි නොගනු ඇත.

“රුසියානු ඇඟිලි ගැසීම සඳහා ජයග්‍රහනයක් යැයි පෙනී යන්නක්, එක්සත් ජනපදයට බරපතල අනතුරක් මතුකර සිටී” යන අනු මාතෘකාවද සහිතව “ම්‍යුලර් වාර්තාව සහ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය මුහුන දෙන අනතුර” යන සිරස්තලය යටතේ කර්තෘ මන්ඩල ප්‍රකාශය පල කෙරුනි.

එය මෙලෙස ආරම්භ කරයි, “විශේෂ උපදේශක රොබට් ම්‍යුලර්ගේ වාර්තාව, 2016 මැතිවරනය තුල රුසියානු ඇඟිලි ගැසීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ සහ ඔහුගේ දේශපාලන ව්‍යාපාරයේ භූමිකාව පිලිබඳ පාක්ෂික යුද හරඹ සඳහා සැලකිය යුතු තරම් වූ අවකාශයක් ඉතිරි කර තබයි. නමුත් එක නිගමනයක් ඒකාන්තයෙන් පැහැදිලිය: ‘රුසියානු ආන්ඩුව පුලුල් සහ ක්‍රමානුකූල ලෙස ජනාධිපතිවරනයට ඇඟිලි ගසා ඇත.’”

2016 ට්‍රම්ප්ගේ මැතිවරන ව්‍යාපාරය සහ රුසියානු ආන්ඩුව අතර දුස්සන්ධානයක් හෝ සෘජු සමායෝජනයක් පිලිබඳ ටයිම්ස් පුවත් පත ඇතුලුව මාධ්‍ය විසින් ප්‍රවර්ධනය කෙරුනු වගකට නැති ප්‍රකාශයන් බොහෝමයක් සනාථ කිරීමට ම්‍යුලර් වාර්තාව අසමත් වූබව මෙම ප්‍රකාශය වක්‍රාකාරව පිලිගනී. කෙසේ වුවද, ටයිම්ස් පුවත් පත වඩාත් සැලකිලිමත් වන්නේ, ඊට යටින් පවත්නා, එමෙන්ම ඊට වඩා අඩුවෙන් පදනම් විරහිත නොවන්නා වූ කියාපෑම් වන, රුසියාව “ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට” පහර දී ඇති බව සහ ඊට ආක්‍රමනශීලී ප්‍රතිචාරයක් අවශ්‍ය වන බවට වන කියෑපෑම් කෙරෙහිය.

“මැතිවරන ව්‍යාපාරය තුල රුසියානු මැදිහත්වීම විමර්ෂනය කිරීම ම්‍යුලර් ව පත් පත් කිරීම සඳහා කේන්ද්‍රීය කාරනය යි” ටයිම්ස්ලියයි, “රුසියානුවන් සමග එලිපිට සහයෝගී වීම පිලිබඳව ට්‍රම්ප් මැතිවරන ව්‍යාපාරයට චෝදනා කිරීමෙන් මෙහා ඔහු නතර වුන ද, ඇමරිකානු නීතිය තුල අර්ථයක් නොමැති පදයක් වන ‘සහයෝගී වීම’ ගැන වාර්තාව තුල කතා කිරීම සානුකම්පික ලෙස ඔහු විසින් ප්‍රතික්ෂේප කල ද, රුසියාව වරදකාරී වීම පිලිබඳව ඔහු නිසැක විය: “ප්‍රථමයෙන්ම, 2016 එක්සත්ජනපද ජනාධිපතිවරනයේ තුල ප්‍රධාන රුසියානු ඇඟිලි ගැසීමේ මෙහෙයුම් දෙක, එනම් සමාජ මාධ්‍ය මෙහෙයුම සහ කම්පියුටර් වලට කඩා වැදී දත්ත හොරකම් කර විසුරුවා හැරීමේ (hacking and dumping) මෙහෙයුම්, එක්සත් ජනපද අපරාධ නීතිය උල්ලංඝනය කල බව කාර්යාලය තීරනය කලේය.”

මූලික සටහන තුල, ටයිම්ස් පුවත්පත ඇමරිකානු දේශපාලනය තුල මෙම සිදු වූවායි කියනඇඟිලි ගැසීම බරපතල ලෙස ගැනීමට ට්‍රම්ප් අසමත් වූ බවට පැමිනිලි කරයි. “වග කිවයුතු වුවද නොමැති වුවද, ඇමරිකානු මැතිවරනයන්ට ඇඟිලි ගසනා විදේශ බලයක් සත්‍ය වශයෙන්ම ඇමරිකානු විදේශ පිලිවෙත සහ ජාතික ආරක්ෂාව විකෘති කිරීමට උත්සාහ කරමින් සිටින බවට ඔහුට අවබෝධ කර දියයුතුය” යනුවෙන් කතුවරුන් ලියති.

“විදේශ පිලිවෙත විකෘතිකිරීම..” යන්නෙන් අදහස් කරනුයේ සිරියාව තුල සීඅයිඒ පිටුබලය ලත් අධිරාජ්‍යවාදී මෙහෙයුම් සහ රුසියාවටමත් එරෙහි උද්ඝෝෂනයයි.

විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ ගැටුම්වලට අමතරව, දේශීය විරුද්ධ පාර්ශ්වය සාපරාධිකරනය සහ එක්සත් ජනපදය ඇතුලත සමාජ ගැටුම් සඳහා රුසියාවේ අන්තර්ජාල මෙහෙයුම් වගකිව යුතු බවට වූ අභූත චෝදනාව යටතේ ගූගල්, ෆෙස්බුක් සහ අනෙකුත් සමාජ මාධ්‍ය භාවිතා කරමින්, අන්තර්ජාලය වාරනය කිරීම ඇතුලුව භාෂනයේ නිදහසට පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල කිරීම සාධාරනීකරනය කිරීම රුසියානු විරෝධී උද්ඝෝෂනයේ ඉලක්කය බවට පත්ව ඇත.

ම්‍යුලර් වාර්තාව විසින්ද පිලිගන්නා බුද්ධි ආයතන වල සනාථ නොකරන ලද ප්‍රකාශයන් යලිත් වමාරමින්, “රුසියාව විසින් සමාජ මාධ්‍ය හරහා දියත් කල උද්ඝෝෂනය එක්සත් ජනපදය තුල භේද ඇති කිරීමේ අදහසින් කල බවට”ටයිම්ස් හෙලා දකියි. සැලකිය යුතු කරුන නම්, මෙම ප්‍රකාශය “ඇමරිකානු ඡන්ද දායකයන් අතර සමාජ අසමගිය වැපිරවීම” සඳහා වූ ක්‍රමානුකූල මෙහෙයුමකට රුසියාව සම්බන්ධ වී තිබූ බව එමගින් සනාථ කල බැව් බ්‍රහස්පතින්දා වාර්තාව පිට වූ පසු, ප්‍රකාශ කල ට්‍රම්ප්ගේ නීතිපති විලියම් බාර් විසින් පිලිගනු ලැබීමයි.

සමාජ අසමානතාවයේ පෙර නොවූ විරූ මට්ටම් මගින් ඉදිරියට තල්ලුවන එක්සත් ජනපදය තුල සමාජ නොසන්සුන්තාවයේ වර්ධනය වන රැල්ල ව්ලැඩිමීර් පුටින්ගේ දුෂ්ට මැදිහත් වීමේ ප්‍රතිපලයක් සේය! මෙය හුදෙක් සෝවියට් සංගමය වෙනුවට ධනවාදී රුසියාව ආදේශ කරමින් සිදු කරන හිස්ටීරියාත්මක මැකාර්තිවාදී රතු-දඩයම පුනරුත්ථානය කිරීමකි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයේ විශේෂයෙන්ම හානිකර ප්‍රකාශනයක් වනුයේ විකිලීක්ස් ඉලක්ක කිරීමට එජ පාලක ප්‍රභූවේ සියලු කොටස් අතර පවත්නා එකඟතාව යයි. ම්‍යුලර් වාර්තාව, විකි ලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් බි්‍රතාන්‍ය පොලීසිය විසින් ඩැහැ ගැනීමෙන් ස්වල්ප දින ගනනකින් නිකුත් වූ අතර, දින නියමයක් නොමැති රඳවා තබා ගැනීමට හෝ ඊට වඩා දරුනු තත්ත්වයන්ට මුහුනු දීමට ඔහුගේ උදර්පනය බලාපොරොත්තුවෙන් සිටින බව එජ ආන්ඩුව අනාවරනය කලේය.

ම්‍යුලර් වාර්තාව මගින් ප්‍රකාශිත නමුත් කිසිසේත් තහවුරු නොකල චෝදනාවන් ටයිම්ස් කතුවැකිය නැවත ප්‍රතිරාව කරයි. එනම් ක්ලින්ටන් මැතිවරන ව්‍යාපාරයේ සහ ඩිමොක්‍රටික් පක්ෂ ජාතික කොමිටියේ කොම්පියුටර් වලට කඩා වැදී (hacking), පලමුව පෙරටු කන්ඩායම් වන ඩීසීලීක්ස් සහ ගසිෆර් 2.0 මගින් සහ පසුව විකීලීක්ස් මගින් හානිදායක දෑ තොග ගනනින් පිටමංකිරීමට රුසියානු ආන්ඩුව සම්බන්ධ බවයි.

“ම්‍යුලර් වාර්තාව මගින් හෙලිකරන සැබෑ අනතුර” වනුයේ, ඔහු වෙනුවෙන් කැත කූටෝපායන් ක්‍රියාත්මක කිරීමට සතුරු බලවේගයකට දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉඩ දුන් ජනාධිපතිවරයෙක් පිලිබඳව නොවේ, ඔහුව ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික ආරක්ෂාවට හානි කිරීමට භාවිතා කොට ඇති බව දැකගැනීම ප්‍රතික්ෂේප කරන ජනාධිපතිවරයෙක් සම්බන්ධව යයි.” ටයිම්ස් යලි යලිත් කියයි.

තව එකතු කරමින්, “රුසියානු ඇඟිලි ගැසීම සඳහාවූ ජයග්‍රහනයක් බවට පෙනී යන්නක් එක්සත් ජනපදයට බරපතල අන්තරායක් මතුකරයි. මේ වන විටත් ඇමරිකානු ආයතන කිහිපයක් මැතිවරන වලට මැදිහත් වීම් ඉදිරියට යාම වැලැක්වීමට තාක්ෂනික කර්මාන්තය සමග එක්ව කටයුතු කරමින් සිටියි” . එනම්, ගූගල් සහ ෆෙස්බුක් දැනටමත් අන්තර්ජාල වාරනය සඳහා දුර දිග යන ක්‍රියාමාර්ග ස්ථාපනය කොට ඇත. “නමුත් ඇමරිකානු සයිබර් අවකාශය තුල කුනු අවුස්සන එකම සතුරු ආන්ඩුව ක්‍රෙම්ලිනය නොවේ. චීනය සහ උතුරු කොරියාව ඔවුන්ගේ සයිබර් අවි ගබඩාවන් වැඩිදියුනු කරමින් සිටින අතර සිය අරමුනු වෙනුවෙන් පාර්ශ්වික ගැටුම් හැසිරවීමට ඔවුන්ද පෙලඹෙනු හැක”. එනම් වැඩිදුර ක්‍රියාමාර්ග අවශ්‍යය.

මෙහිදී අප රුසියාවට එරෙහිව පමනක් නොව චීනයටද එරෙහිව යුද්ධය දිගේලි කිරීමට සහ සමාජ විරෝධය මර්දනය කිරීමට පාලක පන්තියේ සියලු කොටස් වල දෙබිඩි සහ එකිනෙක බැඳුනු ඉලක්ක ඒකාබද්ධ කොට ඇත.

ටයිම්ස් පුවත්පත ට්‍රම්ප් සහ රිපබ්ලිකානුවන්ට ඔලිව් අත්තක් දී අවසන් කරයි. “ට්‍රම්ප් මෙයට වගකිව යුතු බවට පක්ෂ දෙක එකඟ නොවනු ඇතැ”යි කතුවරුන් ලියයි, “නමුත් ඔවුන් දැනටමත් මැතිවරන ව්‍යාපාරය තුල රුසියාවේ ඇඟිලි ගැසීම් පිලිබඳව රුසියාවට පනවා ඇති සම්බාධක සමග එක්තරා ප්‍රමානයක පොදු භූමියක් සොයා ගෙන ඇත. දැන් ඔවුන්ට එක්සත් ජනපදයේ සහ එහි මිතුරන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය විදේශ රහස් මෙහෙයුම්වලට කොහෙත්ම ඉඩ නොදෙන බවත්, ඒ සඳහා උත්සාහ කරන ඕනෑම අයෙකුට ඒ වෙනුවෙන් දැවැන්ත මිලක් ගෙවීමට සිදුවන බවටත් රුසියාවට සහ අනෙක් සතුරු බලයන්ට ඒකාබද්ධව පැහැදිලි කිරීම මගින් ඇමරිකානු දේශපාලනය තුල වූ විවරය ආන්තික නොවන බව ප්‍රකාශ කරන අතරම විශේෂ උපදේශක විමර්ශනයට ගත වූ සැලකිය යුතු තරමක කාලය සහ වියදම සාධාරනීකරනය කල හැක.”

එලෙස, සුප්‍රසිද්ධ කියමන පරිදි අශ්වයාගේ කටින්ම එය අපට (අසන්නට) ලැබී ඇත. ට්‍රම්ප් පරිපාලනයට ඩිමොක්‍රටිකයන් සහ ඔවුන්ට සම්බන්ධිත මාධ්‍ය කොටස් වල විරෝධය පවතිනුයේ එහි දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී පිලිවෙත් ගැන නොව, එහි නීති විරෝධී සහ ව්‍යාවස්ථා විරෝධී න්‍යාය පත්‍රය ගැන නොව, නොඑසේ නම් එහි පාලනයේ ඒකාධිකාරී ක්‍රමවේදය පිලිබඳව නොව, ඒ වෙනුවට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රධාන භූ මූලෝපායික අභිලාෂයන් ලෙස සැලකෙන දේවල් වලට ඔහු වල කැපීදැයි යන්න පිලිබඳ උත්සුකය සම්බන්ධයෙනි.

පාලක පන්තිය පැත්තෙන් සලකා බැලූ කල - මෙහිදී අප ඩිමොක්‍රටිකයන් සහ ට්‍රම්ප් පාලනාධිකාරයයන පාර්ශව දෙක ගැනම කියා සිටින්නේ-“දැවැන්ත මිල” ගෙවීමට නියමිතව ඇත්තේ විදේශ වල ඇමරිකානු පාලක පන්තියේ විදේශ පිලිවෙතේ හතුරන් විසින් පමනක් නොව, සිය රටෙහිම සිටිනා කම්කරු පන්තියද විසින්ය.

ජෝසෆ් කිෂෝර් විසිනි

Share this article: