හිලරි ක්ලින්ටන්ගේ මැකාතිවාදී දෙසා බෑම

Hillary Clinton’s McCarthyite rant

2019 අප්‍රේල් 26

සීතල යුද දවස්වල, අන්ත-ප්‍රතිගාමීන්ගේ හා ප්‍රති-කොමියුනිස්ට්වාදීන්ගේ ආඛ්‍යානය භ්‍රමනය වූයේ, සෝවියට් සංගමයේ ඒජන්තයන්ගෙන් එක්සත් ජනපදය ඉහල ම මට්ටමින් පිරී ගොස් ඇතැයි යන කුමන්ත්‍රන න්‍යායයක් වටා ය.

1950 ගනන් මුල, ආන්ඩුවේ, විශ්ව විද්‍යාලවල, හොලිවුඩයේ හා මිලිටරියේ ධූරාවලිය තුල පවා ඉහල ම තානාන්තර රුසියානු ඔත්තුකරුවන් විසින් අරක් ගෙන ඇතැයි චෝදනා කරමින් සෝවියට්-විරෝධී උද්ඝෝෂනයට විස්කොන්සින් සෙනෙට් සභික ජෝසෆ් මැකාති විසින් නායකත්වය දුන්නේ ය. මැකාතිට අනුව, “මිනිස් ඉතිහාසය තුල ඕනෑම පූර්ව අකටයුත්තක් අඟුටු මිටි බවට පත්කරන තරම් කලු පැහැයෙන් යුත් අපකීර්තියකින් හා එතරම් අපරිමිත කුමන්ත්‍රනයක්” සෝවියට් සංගමය වරදෙහි පටලැවීමට පමනක් නො ව 1949 චීන විප්ලවය මගින් “චීනය අහිමි කිරීමට” ද වගකිව යුතු විය.

සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය ඇතුලු සමාජ හා දේශපාලන විරෝධයේ සියලු ප්‍රකාශවීම්වලට, මොස්කෝවෙන් නියෝග ලද “පිටස්තර කලහකාරීන්ගේ” ක්‍රියා ලෙස පහර දීමට හා නීති-විරෝධී කිරීමට යොදාගත් කඩතුරාව වූයේ “රතු උමතුව” යි. 1940 දී ඇමරිකාවේ ට්‍රෝජන් අශ්වයා නමැති කෘතිය තුල “එක්සත් ජනපදයේ ධවල හා නීග්‍රෝ පුරවැසියන් අතර වාර්ගික වෛරයක් නිර්මානය කිරීමට මොස්කෝව අසාමාන්‍ය අවස්ථාවක් උදාකරගෙන ඇති” යි ලියුවේ ටෙක්සාස් ඩිමොක්‍රටික කොංග්‍රස් සභිකයා වූත් දඩයක්කාරී කොංග්‍රස් ඇමරිකානු නො වන ක්‍රියා පිලිබඳ කමිටුවේ ආරම්භකයා වූත් මාටින් ඩයිස් ය.

1950 ගනන් අග මැකාතිගේ සමෘද්ධිමත් සමයෙන් පසුව, ජනාධිපති ඞ්වයිට් ඩී. අයිසන්හවර් “කොමියුනිස්ට්වාදී කුමන්ත්‍රනයේ කැපවුනු, සවිඥානික ඒජන්තයෙක්” වී යයි කුප්‍රකට ලෙස ප්‍රකාශ කල මැසචුසෙට්ස් ව්‍යාපාරික රොබට් වෙල්ෂ් විසින් 1958දී ආරම්භ කල ජෝන් බර්ච් සමාජය විසින් දේශපාලනික හුයපට අල්ලා ගන්නා ලදී.

1964 දී වෙල්ෂ්, ජෝන් ස්ටෝමර්ගේ ‘කිසිවෙක් එය රාජද්‍රෝහීත්වය යයි කීමට නිර්භීත නැහැ’ යන කෘතියෙහි බලපෑමට විශාල ලෙස ලක් වූ අසාර්ථක ජනාධිපතිවරන උද්ඝෝෂනයක් ගෙන ගිය අන්ත-දක්ෂිනාංශික රිපබ්ලිකන් අපේක්ෂක බැරී ගෝල්ඞ්වෝටර්ට සහයෝගය දුන්නේ ය. “අන්තරායට මුහුන පා සිටිද්දී ඇමරිකාව නිරායුද කරමින් පෘථිවියේ සෑම කොනක ම කොමියුනිස්ට් ආඥාදායකයන් ඉදිරියේ හිස නැමීමට ඇමරිකාව දිගට ම කොමියුනිස්ට් හතුරාට ආධාර දෙනවා ද?” යි විමසූ ස්ටෝමර් “තීරනය ඔබේ අතේ” යි කීවේ ය.

දේශපාලනයේ දී කිසිවක් නො මැරෙයි. “සියලු ඇමරිකානුවන්ට එරෙහි භයානක අපරාධයක් මුලර් විසින් ලේඛනගත කලේ ය. එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ මෙසේ ය” උද්ධෘතය සහිත ව, ස්වයං-ප්‍රකාශිත හිටපු “ගෝල්ඞ්වෝටර් කෙල්ල” වන හිලරි ක්ලින්ටන් විසින් අප්‍රේල් 24 වොෂින්ටන් පෝස්ට් පත්‍රයේ පලකල උන්මාදනීය හෑල්ලක් තුල සම්පින්ඩනය කෙරී ඇති පරිදි, ඩිමොක්‍රටික් පක්ෂය විසින් නායකත්වය දෙන උද්ඝෝෂනයක් තුල මැකාතිවාදයේ උරුමයට දැන් යලි පන දෙනු ලැබේ.

ක්ලින්ටන්ට අනුව, “අපේ මැතිවරනය දූෂිත විය, අපේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රහාරයට ලක් විය, අපේ ස්වෛරීත්වය හා ආරක්ෂාව උල්ලංඝනය කෙරුනි. විශේෂ නීති උපදේශක රොබට් එස්. මුලර්ගේ වාර්තාවේ නිශ්චිත නිගමනය මෙය යි.” මුලර් වාර්තාව උපුටා දක්වමින් ක්ලින්ටන් කියා සිටින පරිදි යලි වතාවක් වැරදිකරුවා වන්නේ, එක්සත් ජනපදයට “පූර්න හා ක්‍රමානුකූල” ප්‍රහාරයක් එල්ල කර ඇති රුසියාව යි.

ඩිමොක්‍රටික් පක්ෂයේ නිල පිලිවෙත වන ක්ලින්ටන්ගේ ආඛ්‍යානය යෝධ පචයකි. 2016 මැතිවරනයේ දී ක්ලින්ටන් ලත් පරාජයේ වගකීම මුලුමනින් ම රුසියානු ඒජන්තයන්ගේ හා ඩිමොක්‍රටික් පක්ෂ ඊ-මේල් පනිවුඩවලට අනවසරයෙන් ඇතුලු වූ පුද්ගලයාගේ පුද්ගලාරෝපනය වන “ගසිෆර් 2.0ගේ” මෙහෙයුම්වලට ආරෝපනය කරනු ලැබේ. තමන්ගේ උද්ඝෝෂනය, “අපේ රට දුර්වල කිරීමට උත්සාහ කරන” ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මෙහෙයවීම මත “රුසියානු කුමන්ත්‍රනයක ඉලක්කය” වී යයි ක්ලින්ටන් ලියයි.

මෙම නව “එතරම් විශාල කුමන්ත්‍රනය” සත්‍ය වසයෙන් ම පටලැවි තිබෙන්නේ කුමක ද? මුලර් වාර්තාවට අනුව රුසියාව සමග සම්බන්ධ වුනු සංවිධාන මුහුනුපොතේ වෙලඳ දැන්වීම්වලට ඩොලර් 100,000ක් වියදම් කලේ යයි චෝදිත ය. එය, මැතිවරනය මිලට ගැනීම සඳහා පක්ෂ දෙකෙහි බිලියනපති ආධාරකරුවන් විසින් වියදම් කරන ලද ඩොලර් බිලියන 5ක් විසින් ආධිපත්‍යය දරන ලද උද්ඝෝෂනයේ දී, මුහුනුපොතේ වෙලඳ දැන්වීම් සඳහා ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් මැතිවරන උද්ඝෝෂන මගින් වියදම් කරන ලද ඩොලර් මිලියන 81න් සියයට 0.12කි.

ඩිමොක්‍රටික් පක්ෂයේ ඊ-මේල් පනිවුඩ නිදහස් කිරීම පිලිබඳ ව සලකන කල, ඒවා විකිලීක්ස් වෙත ලබා දුන්නේ රුසියානු මෙහෙයුම්කරුවන් විසින් ය යන සනාථ නො කල කියාපෑම යමෙක් පිලිගත්ත ද එම ඊ-මේල් පනිවුඩ විසින් හෙලිදරවු කලේ ක්ලින්ටන්ගේ හා ඩිමොක්‍රටික් ජාතික කමිටුවේ (ඩීඑන්සී) මෙහෙයුම් පිලිබඳ සැබෑ කරුනු ය-එනම්, දැනගැනීමට ඡන්ද දායකයන්ට සෑම අයිතියක් ම තිබූ ඒවා ය. නිදහස් කල ලේඛන අතර, ඇයට ඩොලර් ලක්ෂ ගනනින් ගෙවීම් ලැබුනු ගෝල්ඞ්මන් සැක්ස් හා අනෙකුත් බැංකු වෙත ක්ලින්ටන් කල කතා තිබුනි. කාන්දු වුනු අනෙකුත් ඊ-මේල් පනිවුඩ, බර්නි සෑන්ඩර්ස්ට එරෙහි ව ප්‍රාථමික මැතිවරන කොල්ලකෑම සඳහා ඩීඑන්සීය දැරූ දූෂිත උත්සාහයන් හෙලිදරවු කලේ ය.

ක්ලින්ටන් 2016 මැතිවරනයෙන් පරාජය වූයේ, එය නියෝජනය කරන පන්ති අවශ්‍යතා සමග එකපෙලට සිටිමින් ට්‍රම්ප්ට එරෙහි උද්ඝෝෂනයේ දී කිසිදු සමාජ ප්‍රශ්නයක් ඉස්මතු කිරීම හෝ කම්කරු පන්තියට ආමන්ත්‍රනය නො කිරීමට, ඩිමොක්‍රටික් පක්ෂය හොඳින් ගනන් බලා තීන්දු කල නිසා ය. මිචිගන්, විස්කොන්සින් හා අනෙකුත් කම්කරු-පන්තික ප්‍රාන්තවල ඡන්ද ඇදවැටීම පිටුපස සිටියේ රුසියානු ඒජන්තයන් විසින් මුහුනුපොතේ පලකල වෙලඳ දැන්විම් බව මහජනයා විශ්වාස කරතැයි ක්ලින්ටන් හා සමාගම සැබෑ ලෙස ම අපේක්ෂා කරන්නේ ද?

බිලියනපති වාචාලයෙකු වන ට්‍රම්ප්ගේ ජයග්‍රහනය, සෑම උද්ඝෝෂන පොරොන්දුවක් ම බිඳ දැමූ හා “බලාපොරොත්තුව” හා “වෙනස” පිලිබඳ හිස් ප්‍රලාපයන් පච ලෙස හෙලිදරවු කල ඔබාමා පරිපාලනයේ අට වසරකට පසුව ඩිමොක්‍රටික් පක්ෂය කෙරෙහි පැවති පෘථුල අතෘප්තියෙහි ප්‍රතිඵලයක් විය. ඔබාමා ඔහුගේ වෑයම යොදවන ලද්දේ වෝල් වීදියට ඇප තබමින් (බංකොලොත්වීමෙන් ගැලවීමට මුදල් පොම්ප කිරීම) සංගත හා මූල්‍ය ප්‍රභූවේ ධනයට මුක්කුව දීමට යි.

ඩිමොක්‍රටික් පක්ෂය හා රිපබ්ලිකානුවන් අතර සන්ධානයක් සඳහා කැඳවුම් කිරීම කරා ක්ලින්ටන් ඇයගේ තීරු ලිපිය තුල ඉදිරියට යයි. දැන් පවතින තත්ත්වය කැඳවුම් කරන්නේ “පැහැදිලි-දෑස් සහිත දේශාභිමානයට මිස පරාවර්තනීය පාක්ෂිකත්වයට නො වේ” යි ඇය ලියයි. ට්‍රම්ප් පරිපාලනය ඇති ව හෝ නැති ව රුසියාවට එරෙහි තීව්‍ර උද්ඝෝෂනයක් සඳහා ඩිමොක්‍රටියන් සමග වැඩ කිරීමට ඇය රිපබ්ලිකානුවන් උනන්දු කරයි. ඇය මෙසේ ලියයි: “(මුලර් වාර්තාව විසින් සම්පාදනය කරනු ලබන) මාර්ග සිතියම යොමු කරන්නේ කොහාටදැයි (ක්‍රමිකව දෝෂාභියෝග වගන්ති ගොනු කිරීම හෝ නො කිරීම) දැකගැනීම පක්ෂ දෙකේ ම සාමාජිකයන් වෙත භාර වේ. කවර මාවතේ වුවත්, ජාතියේ අවශ්‍යතාවන්ට හොඳින් ම සේවය කරනු ඇත්තේ පක්ෂ හා දේශපාලන සලකා බැලීම් පසෙක තබා විචාරශීලී, සාධාරන හා නිර්භීත වීම විසිනි.”

රුසියාවට පමනක් නො ව චීනයට ද එරෙහි ප්‍රචන්ඩත්වයේදී “නිර්භීත” වන ද්වි-පාක්ෂික විදෙස් පිලිවෙතක් ක්ලින්ටන්ට අවශ්‍ය ය. “පරීක්ෂාවෙන් නො සිටිය හොත් 2020 දී යලිත් රුසියාව පමනක් නො ව, අනෙකුත් සතුරන් වන චීනය හෝ උතුරු කොරියාව පවා මැදිහත් වනු ඇත” යි ඇය අනතුරු අඟවයි. ට්‍රම්ප්ට එරෙහි ව “චෝදනා ඉදිරිපත් නො කල හොත්, සම්බාධක ආපසු හැරවීම, නැටෝව දුර්වල කිරීම හා යුරෝපා සංගමයට වලකැපීම ඇතුලු පුටින්ගේ න්‍යාය පත්‍රය ඉදිරියට දැමීමේ ජනාධිපතිවරයාගේ ප්‍රයත්නයන් ඔහු යලිත් දෙගුන කරනු ඇත.”

වෙනස් කල යුතු දෙය වෙනස් කරමින් එවැනි වචන රොබට් වෙල්ෂ් විසින් මත් ලියනු ලැබිය හැකි විය. ෆැසිස්ට්තාලයේ ජනාධිපතිවරයෙකුට මුහුන දී සිටිමින්, තම සමස්ත විරෝධය දක්ෂිනාංශික ආඛ්‍යානයක් වටා රාමුගත කිරීමට ඩිමොක්‍රටිකයන් සමත් ව ඇත. ඩිමොක්‍රටිකයන් තමන්ගේ මාවතේ ඉදිරියට ගොස් ට්‍රම්ප් ඉවත් කලේ නම්, අමතක නො කරන්න, අන්ත-දක්ෂිනාංශික උප ජනාධිපති මයික් පෙන්ස් විසින් ට්‍රම්ප් ව විස්ථාපනය කලේ නම්, ක්ෂනික විපාකය වනු ඇත්තේ න්‍යෂ්ටික ව සන්නද්ධ රුසියාව සමග යුද්ධය යන්න බොහෝ සෙයින් නිශ්චිත ය.

විදෙස් පිලිවෙත අරබයා වන ගැටුම සමග අත්‍යන්තයෙන් බැඳී ඇත්තේ, එක්සත් ජනපදය තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරය පුපුරා යාම යි. ඩයිස්ගේ වල්පල් යලි ගායනා කරමින්, සමාජ අතෘප්තිය ආරෝපනය කරනු ලබන්නේ, එක්සත් ජනපදය තුල “විසම්මුතිය වැපිරීමට” රුසියාව දරන දරුනු උත්සාහයන්ට ය.

අර්ථභාරී ලෙස, 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරවලින් පසුව “අනාගත ප්‍රහාරවලින් ආරක්ෂා වීමට උදවු වන පියවරයන් රෙකමදාරු කරමින් කොංග්‍රසය විසින් ස්වාධීන, ද්වි-පාක්ෂික කොමිසමක් ස්ථාපනය කිරීමේ” පාලක පන්තියේ ක්‍රියාවන් ක්ලින්ටන් විසින් මොඩලයක් ලෙස ඉදිරිපත් කරයි. “අපේ මැතිවරන ආරක්ෂා කරගැනීමට උදවු වනු පිනිස අපට එවැනි කොමිසමක් අවශ්‍ය” යි ඇය නිගමනය කරයි.

3,000ක් පමන ජනයා ඝාතනය කල ත්‍රස්තවාදී අපරාධයක් වන සැප්තැම්බර් 11 ප්‍රහාරවලට පසුව, දේශාභිමානී පනත, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව, උතුරු බලඇනිය, දේශීය ඔත්තු බැලීම, ගුවන්තනාමෝ බේ කඳවුර, ආන්ඩුවේ පිලිවෙතක් ලෙස වධ බන්ධන හා ඩ්‍රෝන් ඝාතන ආයතනගත කිරීම හා අනෙකුත් අපරාධ පැමිනියේ ය. මුලුමහත් ඇඳුම පුරා මෝස්තර ගන්වා ඇති බොරුවක් වන රුසියානු “ප්‍රහාරය” පිලිබඳ ඩිමොක්‍රටිකයන්ගේ උද්ඝෝෂනය, “ව්‍යාජ ප්‍රවෘත්ති” වැලැක්වීමේ කඩතුරාව යටතේ අන්තර්ජාලය වාරනය කිරීමට දුරදිග යන පියවර ගැනීම සමග අත්වැල් බැඳගෙන ඇත.

ඩිමොක්‍රටිකයන්ගේ යුද පෙලඹවීම හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරය, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ හෙලිදරවු කරමින් ලෝකයේ ජනතාවන්ට නො නස්නා ප්‍රතිපදානයක් කල විකිලීක්ස් හා එහි ආරම්භක ජූලියන් අසාන්ජ්ට චෝදනා නැගීම සමග එකට පැමිනේ. මෙහි දී අසාන්ජ් දැනට බ්‍රිතාන්‍යයේ සිරගත කොට සිටින අතර එක්සත් ජනපදයට බාර දෙනු ලැබීමේ ආසන්න තර්ජනයට මුහුන දෙයි. ඔහුට එරෙහි ව සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ධෛර්යය සම්පන්න ලෙස තොරතුරු හෙලිදරවු කල චෙල්සී මෑනිං හිර ගෙදර පසුවෙයි.

ක්ලින්ටන්ගේ “අපේ ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කිරීම එබඳු ය.

මේ සියල්ල තවදුරටත් ප්‍රදර්ශනය කරන්නේ ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂය අතර ගැටුමේ දී ප්‍රගතිශීලී හෝ ප්‍රජාතන්ත්‍රවාදී කන්ඩායමක් නැති බව යි. යුදවාදී ඩිමොක්‍රටික් පක්ෂය, ක්‍රියාත්මක කිරීමට අභිලාෂයක් නැති සමාජ ප්‍රතිසංස්කරන මගින් තුනී ඔපදැමීමක් හරහා යලිත් ආවරනය කිරීමට උත්සාහ දරන බර්නි සෑන්ඩර්ස් ඇතුලු එම පක්ෂයේ කිසිදු කන්ඩායමක් විසින් රුසියානු-විරෝධී ආඛ්‍යානයට අභියෝග කොට නැත.

ඩිමොක්‍රටිකයන් හා ට්‍රම්ප් පරිපාලනය අතර ගැටුම වනාහි පාලක පන්තියේ ප්‍රතිගාමී කන්ඩායම් දෙකක් අතර ගැටුමකි. සමාජ විරෝධය ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස ගාල් කිරීමට උත්සාහ දරන සියලු දේශපාලන සංවිධාන හා කන්ඩායම් විශාලතම අපරාධකාරී භූමිකාව ඉටුකරමින් සිටිති. ඇමරිකානු අධිරාජ්‍යවාදයට හා එහි යුද්ධවලට විරුද්ධ වනු ඇති කම්කරු පන්තියේ අව්‍යාජ සමාජවාදී ව්‍යාපාරයක වර්ධනය කෙරෙහි ඔවුන් භීතියට පත්වන්නේ ට්‍රම්ප් හා ඩිමොක්‍රටිකයන්ට වඩා අඩුවෙන් නො වේ.

ජෝසෆ් කිෂෝර්

Share this article: