ජනාධිපති සිරිසේන රජයේ සේවකයන්ට බුරා පනී

දිල්රුවන් විතානගේ විසිනි, 2019 අප්‍රේල් 03

පසුගිය බ්‍රහස්පතින්දා පැවති ලංකා පරිපාලන සේවයේ 36 වන වාර්ෂික සම්මේලනය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාජ්‍ය අංශයේ සේවකයන්ට එරෙහිව චෝදනා ගොන්නක් ඉදිරිපත් කලේය. නෙලුම් පොකුන රංගශාලාවේ පැවති සමුලුව අමතමින් රජයේ සේවකයන් “රජයට දැරිය නොහැකි වැටුප් සහ අනෙකුත් ප්‍රතිලාභ ඉල්ලා සිටින නමුත් රට සංවර්ධනය කිරීමට අවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව ඉටු කිරීමට අසමත් වී ඇතැයි” සිරිසේන ප්‍රකාශ කල බව ඬේලි එෆ්ටී පුවත්පත වාර්තා කලේය.

ඔහුගේ ආන්ඩුව ඇතුලුව පැවති සෑම ආන්ඩුවක් ම රජයේ සේවකයන්ගේ වැටුප් සහ අනෙකුත් ඉල්ලීම් උපරිමයෙන් ඉටු කිරීමට කටයුතු කර ඇති බව කී ඔහු ප්‍රවාහනය, බලශක්තිය, වරාය, ගුවන් සේවය, සෞඛ්‍ය සේවය ඇතුලු ක්ෂේත්‍ර වල ඇති “ඉතා බලගතු වෘත්තීය සමිති” සුලු ගැටලුවකට පවා වෘත්තීය සමිති ක්‍රියා මාර්ග ගැනීමට පෙලඹෙන බවට මැසිවිලි නැගූවේය.

සමීක්ෂන වාර්තා වලට අනුව රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව සියයට 30ක් පමන වන නිසා එය එය සියයට 50 දක්වා වැඩි කිරීමට දායක වීම පරිපාලන සේවකයන්ගේ වගකීම යැයි සිරිසේන කීවේය.

රජයේ සේවකයන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට තමාත් බලයේ සිටි සියලු ආන්ඩුත් ක්‍රියාකල බවට කෙරෙන සිරිසේනගේ ප්‍රකාශ සහමුලින්ම යථාර්ථය උඩියටිකුරු කර පෙරලීමකි. ගත වූ වසරවල රාජ්‍ය අංශයේ සේවකයන් දස දහස් ගනනින් වර්ජන ඇතුලු විවිධ විරෝධතාවල යෙදුනේ දශක ගනන් දිග් ඇද්දෙන ඉල්ලීම් ඉටුකර ගැනීමටය. 2018 වසර අනධ්‍යයන කම්කරුවන් දින 44ක් පුරා ගෙන ගිය අඛන්ඩ වර්ජනයද, ඇතුලුව දුම්රිය, තැපැල්, විදුලිබල මන්ඩලය ද ඇතුලු රාජ්‍ය අංශයේ වර්ජන රැල්ලක් පන නැග්ගේය. පුද්ගලික අංශය ගත් කල මූලික වැටුප රුපියල් 1000ක් ඉල්ලා දෙසැම්බර් මාසයේ වතු කම්කරුවෝ දින නවයක් වර්ජනය කලහ.

ආසන්නතම අරගලය වුයේ දෙලක්ෂයක් පමන ගුරුවරු පසුගිය මාර්තු 13 වන දින ගෙන ගිය දීප ව්‍යාප්ත වර්ජනයයි. සාමාන්‍ය ගුරුවරයෙකුගේ මූලික වැටුප රුපියල් 28,000ක් වන අතර සියලු දීමනා ඇතුලුව මුලු වැටුප රුපියල් 35,000 ක් හා වසර විස්සක පමන සේවා කාලයක් ඇති ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 45,000 ක් පමන වේ.

ආන්ඩුවේ සේවකයන්ගේ ඉල්ලීම් ඉටුකිරීම ගැන කයිවාරු ගසමින් සිරිසේන ආවරනය කරන්නේ රාජ්‍ය අංශය පුද්ගලිකරනය වේගවත් කෙරෙන අතරම සේවක කොන්දේසි කප්පාදු කිරීමට බලයේ සිටි ආන්ඩු හා වත්මන් ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙලයි. ටෙලිකොම් සහ විදුලි බල මන්ඩලය ඇතුලු රාජ්‍ය ව්‍යවසායන් ගනනාවක ස්ථිර සේවකයන් වෙනුවට මෑන් පවර් සේවකයන් අනුයුක්ත කරමින් පවතී. තවද 2016 වසරෙන් පසුව සේවයට බැඳුනු රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් අහිමි කිරීමට පිඹුරුපත් සැකසෙමින් පවතී. දෙසැම්බර් වතු කම්කරු වර්ජනයේ දී ඔහු සමිති නායකයන් සමග එක්ව වැටුප් ප්‍රශ්නය විසඳන බවට බොරු පොරොන්දුවක් දී එය නතර කර ගත්තේය.

මෙම සෑම අරගලයකදීම ද්‍රෝහී ක්‍රියා කලාපයක් ඉටු කල වෘත්තීය සමිති බොරු පොරොන්දු වලට යටත් කොට ඒවා පාවා දෙනු ලැබුවා මිස ආන්ඩුව ඉල්ලීම් කිසිවක් ඉටු කලේ නැත.

මෙම අරගල වලට එරෙහිව ආන්ඩුව පොලිස් මර්දනයෙන් පිලිතුරු දුන් නමුත් සිරිසේන මෙසේ දෙඩවීය: “මම ඔවුන්ගේ ප්‍රශ්න වලට ඇහුන්කන් දෙමින් ඒවා විසඳාලීමට හැකි උපරිමයෙන් උත්සාහ කලා.” බාධාවකින් තොරව ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලු වීමට පවා අවසර දෙන ලෙස ද කඳුලු ගෑස් ප්‍රහාර එල්ල නොකරන ලෙස ද පොලීසියට නියෝග දුන් බව ඔහු කිවේය.

සිරිසේනගේ මෙම ප්‍රකාශ අමු බේගල් බව ඔහු බලයට පත්වීමෙන් පසු ගතවූ වසර කිහිපයේ වාර්තාවෙන් පැහැදිලි ය. පෙබරවාරි 28 වන දින අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට වර්ජනයේ යෙදුනු ගුරුවරුන්ට පොලිසිය එල්ල කල ප්‍රහාරයෙන් කිහිප දෙනෙක් තුවාල ලැබීය. විදුලි බල මන්ඩලයේ හා ඛනිජ තෙල් සංස්ථාවේ 2017 වසරේ පැන නැගුනු වර්ජන මැඩලීමට ඔහුගේ ආන්ඩුව මිලිටරිය සහ විශේෂ කාර්ය බලකාය යෙදීය. ලැයිස්තුව දිග එකකි.

මහජනයා මුහුන දෙන ගැටලු විසඳීම වෙනුවට පොලිසිය මුදා හරිමින්, පොලිස්-මිලිටරි පාලනයක් කරා මාරු වීමට පියවර ශක්තිමත් කරන ආන්ඩුවේ 2019 අයවැයයෙන් සන්නද්ධ හමුදාවන්ට හා පොලීසියට රුපියල් බිලියන 393ක් වෙන් කල නමුත් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන් කලේ පිලිවෙලින් රුපියල් බිලියන 187ක් හා 105කි.

එසේ වුවද, සිරිසේනගේ මෙම ප්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන්නේ කම්කරු පන්තියේ රැඩිකලීකරනය කෙරෙහි ධනපති පාලක ප්‍රභූව තුල පැන නැගී ඇති භීතියයි. දැවැන්ත නය කන්දරාවක සිර වී සිටින ආන්ඩුව ජනවාරි මාසයේදී ඩොලර් බිලියනයක නයක් ගෙවීය. එමෙන්ම මෙම වසර සඳහා තවත් ඩොලර් මිලියන 5.9ක් අවශ්‍ය වේ. ආන්ඩුව ජාමුඅහි නියෝග අනුව ක්‍රියාත්මක වෙමින් රාජ්‍ය වියදම් කප්පාදු කිරීමටත්, වැඩ වේගවත් කිරීමටත්, රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීමටත් බැඳී සිටියි.

මෙම තත්වය තුල රාජ්‍ය සේවයේ දැවැන්ත කප්පාදුවක් සහ කම්කරුවන් දිනාගෙන ඇති සීමිත සහන ස්වල්පයත් අතු ගා දැමීම විනා අන් කිසිවක් ආන්ඩුවට දිය හැකි නොවේ. මාර්තු 6 දා ජනමාධ්‍ය ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී 2019 සඳහා යෝජිත අයවැයට ප්‍රසංශා කල සිරිසේන මෙසේ කීය: “රට දරුනු ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින නිසා සියලු ඉල්ලීම් ඉටුකිරීමේ හැකියාවක් නැහැ. දීමනා හා පහසුකම් ඉල්ලමින් විරෝධතා, වැඩ වර්ජන, පෙලපාලි පැවැත්වීම ආර්ථිකය තවදුර දුර්වල කිරීම පමනක් බව අප සියලු දෙනා අවබෝධ කරගත යුතු ය.”

2020 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනය සහ මහ මැතිවරනය සඳහා සිරිසේන, රාජපක්ෂ එජාපය ඇතුලු පාලක පන්තිය මහජනයාගේ විරෝධය ගසා කෑමට විවිධ මංමාවත් පීරමින් සිටියි. එහෙත් කවර ආන්ඩුවක් බලයට පත් වුවද එහි න්‍යාය පත්‍රය කුමක් වන්නේදැයි මතක් කරමින් සිරිසේන තම කතාව අවසන් කලේ මෙසේය: “කවුරු 2020දි ජනාධිපති වුනත්, කවර ආන්ඩුවක් බලයට පත් වුනත්, ඔවුන්ට මේ රට යන විදිහේ විප්ලවීය වෙනසක් කරන්න බැරි වුනොත් ශ්‍රී ලංකාව අභියෝග රැසකට මුහුන දෙනවා.”

සිරිසේන ඊලඟ ආන්ඩුව ඇති කල යුතු බවට යෝජනා කරන ඊනියා විප්ලවීය වෙනස සමාන වනු ඇත්තේ ප්‍රතිවිප්ලවයකට ය. කම්කරුවන් හා පීඩිත මහජනයා මත දැරිය නොහැකි බර පටවමින් ජාමුඅහි නියෝග අකුරටම ඉටු කිරීම සඳහා පොලිස් පාලනයක් ඇටවීමට තමන් අතර මොන උපායාත්මක වෙනස්කම් තිබුනත් පාලක පන්තියේ සෑම කොටසක්ම තමතමන්ගේ පැත්තෙන් සුදානම්වෙති.

සිරිසේනගේ මෙම ප්‍රකාශ සමස්ත කම්කරු පන්තියටම අනතුරු අඟවීමකි. මෙම පිලිවෙත් පරාජය කොට යහපත් ජීවන කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කර ගැනීමට කම්කරු පන්තිය සමාජවාදය සඳහා තමන්ගේම ස්වාධීන දේශපාලන සටනක් මගින් ප්‍රතිචාර දැක්විය යුතුය.

Share this article: