ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙලේ දී ජනාධිපති සිරිසේන මාධ්‍යවේදීන්ට අනතුරු හඟවයි

නවීන් දේවගේ , 2019 අප්‍රේල් 18

ජනාධිපති සිරිසේන පසු ගිය සතියේ බදාදා කොලඹ බන්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී පැවැත් වූ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කල ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙලේ දී වැඩෙන සමාජ ආතතින් මධ්‍යයේ ධනපති පන්තිය මාධ්‍ය නිදහසට එරෙහි ව සූදානම් කරමින් සිටින ප්‍රහාරය ගැන ඉඟි කලේ ය.

“පසුගිය අවුරුදු 4ක කාලය තුල මාධ්‍ය තුල වඩාත් ම නින්දා, අපහාස විඳින පුද්ගලයා මම. මීට පෙර ජනාධිපතිවරු යටතේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන මුහුන දුන් තත්ත්වය විස්තර කල යුතු නෑ” යයි අඳෝනාවක විලාසයෙන් කී ජනාධිපතිවරයා “ඊලඟට බිහි වන විකල්ප චරිතය ඔය විදියට ගහන්න දෙයි ද?“ යි ප්‍රශ්න කලේය.

“මම ජනාධිපති වෙලා ඉන්න කං ඒ අයට [තමන් විවේචනය කරන මාධ්‍යවේදින්ට] සැපෙන් සනීපෙන් වැජඹිල ඉන්න පුලුවන්... දීලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය වනස ගන්න එපා,” යැයි ඔහු අනතුරු හැඟවූයේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කෙරුනු මාධ්‍ය සම්මාන උලෙල වාර්ෂික ව පැවැත් වීම ආන්ඩුවේ අපේක්ෂාව බවද ඔහු කීවේය.

මාධ්‍ය මගින් එල්ල වන විවේචන තමන් ම පවසන ආකාරයට, සිරිසේන උපේක්ෂාවෙන් ඉවසා සිටියා නොවේ. ඔහු බලයට පැමිනියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි ව ගොඩ නැගුනු දැවැන්ත මහජන විරෝධයක් අවමංගත කරමින් ඔවුන් ගේ ප්‍රජාතන්ත්‍රීය අභිලාෂයන් ගසා කමිනි. මේ ව්‍යායාමයේදී මාධ්‍යවේදීන් ද මාධ්‍ය ආයතන සෑම එකක්ම නොවේ නම් බහුතරය ද සිරිසේනට සහයෝගය දුන්නේය.

එහෙත් ජනාධිපති සිරිසේන-අගමැති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ගැන ඉච්චා භංගයට වැඩිකල් ගියේ නැත. සමාජ හා ජිවන අයිතීන් කප්පාදු කිරීමේ වැඩපිලිවෙලට හැරීමත් සමග ආන්ඩුව කම්කරුවන්, දුගීන් හා තරුනයන් අතර අපකීර්තියට පත්වෙද්දී පරාජයෙන් මුලුවැදුනු රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂය මහජන විරෝධය ගසාකෑමේ ව්‍යාපාරය පටන් ගත්තේය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට පහරදීම විවෘතව ඇරඹුවේය.

සිරිසේනගේ වාර්තාව කෙසේද යන්න ගැන උදාහරන කිහිපයක් පමනක් සඳහන් කරන්නේ නම් පහත සඳහන් පරිදිය:

2017 වසරේ නොවැම්බරයේ දී, සිරිසේන විවේචනය කරමින් වාර්තා පල කිරීම නිසා ලංකා ඊ-නිවුස් අඩවියට ප්‍රවේශය අහුරා දමන ලෙස සියලුම අන්තර්ජාල සේවා සපයන සමාගම්වලට නියෝග කෙරුනි. රාජපක්ෂ සමය පුරාවට ම ද එයට ප්‍රවේශය තහනම් කර තිබුනි. පසු ගිය ජූනියේ දී, සිරිසේන එහි කර්තෘ ශ්‍රී ලංකාවට පිටුවහල් කරන මෙන් බි්‍රතාන්‍යයෙන් ඉල්ලා සිටියේ ය.

පසු ගිය වසරේ ජූනියේ දී, තමන් විවේචනය කරමින් නිෂ්පාදනය කල වැඩසටහනක් ඉලක්ක කර ගනිමින් ටීඑන්එල් විකාශනාගාරයට මුද්‍රා තැබීමට ඔහු කටයුතු කලේ ය. සිරිසේන බලයට එද්දී ප්‍රකාශයට පත්කල ආන්ඩුවේ ඊනියා දින සියයේ වැඩ පිලිවෙලින් තමන් ව ඈත් කර ගැනීමට සිරිසේන සිදු කල කතාවක් එලිදරවු කරමින් ටීඑන්එල් ඔහු ගේ පැරනි ප්‍රකාශ ඉදිරිපත් කිරීම ඊට හේතුව විය.

ආන්ඩුව කම්කරු පන්තියට එරෙහි ව, දක්ෂිනාංශික කන්ඩායම් පෙරට ගැනීමට දරන වෑයමක කොටසක් ලෙස සිදු කෙරුනු මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රකෝපකරනයේ දී, වහාම ෆෙස්බුක්, වට්ස්ඇප්, ට්විටර් සමාජ ජාල සේවා අවහිර කර දැමුනි; සමාජ ජාලවලට නීති පැනවීමට ඔහු මෙම අවස්ථාව වහා ම ඩැහැ ගත්තේය.

වෛරී ප්‍රකාශන සහ ව්‍යාජ පුවත්වලට වැට බැඳීමේ උද්ඝෝෂනයට සම්බන්ධ වූ ආන්ඩුව ෆෙස්බුක් පරිශීලකයන් ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂනය කරන වාරන කාර්යාලයක් කොලඹ පිහිටු වීමට සාකච්ඡා කීපයක් පැවැත් වී ය.

යුද්ධයෙන් පසුව ද උතුරු-නැගෙනහිර මිලිටරි වාඩිලා ගැනීම පවත්වාගෙන යන තත්වයේ දී යාපනයේ පලවන මාධ්‍යයන්ගේ ලේඛකයන් මිලිටරි පොලිස් ප්‍රහාරවලට ලක්වුයේ වරක් දෙවරක් නොවේ.

“මම ජනාධිපති වෙන්න ඉස්සර උදේට පත්තර කරවපු මහත්තුරුන්ට කෝල් කරලා, ශුද්ධ සිංහල භාෂාවෙන් කතා කරපු හැටි අහල පහල ඉඳ ගෙන අහං ඉඳල තියෙනවා.” යැයි සිරිසේන තම දෙසුමේ දී නරුම සෝපහාසයෙන් කීවේ ය. එසේ “කෝල් කලේ” කවුදැයි ඔහු කීවේ නැතත් ඉඟි කලේ රාජපක්ෂ ගැන ය.

“තමන් අහල පහලක සිටියා පමනක්” යැයි රාජපක්ෂ ආන්ඩුව මාධ්‍යවේදීන්ට එරෙහි ව කල අපරාධයන්ගෙන් දුරස්ත වීමට උත්සාහ කල ද එහි ප්‍රධාන පෙලේ පංගුකාරයෙකු වූ ඔහු ද එම සියලු ම අපරාධවලට වගකිව යුතු ය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ඇතුලු මාධ්‍යවේදීන් දුසිම් ගනනක් මර්දනයට ලක්කිරීම පිලිබඳව පරීක්ෂන පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දෙන බව සිරිසේන බලයට එනවිට දුන් එක් පොරොන්දුවකි. දැන් සිරිසේන ද වික්‍රමසිංහ ද ඒවා පිලිබඳව පරීක්ෂන පැවැත්වීම පවා දැනුවත්වම අවහිර කර ඇත.

කලා නිර්මාන කීපයකට එරෙහි ව කොලඹ පාලනය යටතේ එල්ලවූ ක්‍රමානුකූල ප්‍රහාරයේ අලුත්ම ගොදුර වී ඇත්තේ ශක්තික සත්කුමාර නම් කෙටිකතාකරුවා ය. ඔහු ආගමික වෛරය ප්‍රචාරය කිරීම පිලිබඳ බොරු චෝදනාවකට අල්ලා සිරගත කර ඇත.

මේ ඔහු මාධ්‍ය මැඩලීමට විවෘතව හා අවෘතව ගෙන ගිය වැඩසටහනේ වාර්තාවයි.

මෙම ඊනියා සම්මාන ප්‍රදානොත්සවය ද කඩතුරාවක් මිස අන් කිසිවක් නොවේ. අගය කරනු ලැබීමට ධනපති පන්තිය මාධ්‍යවේදින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක් ද යන්න ගැන රුදුරු නිදර්ශනයක් විකිලික්ස් ආරම්භක ජුලියන් අසාන්ජ් නීතිවිරෝධී ලෙස එක්සත් රාජධානියේ ආන්ඩුව විසින් පොලිස් අත්අඩංගුවට පත්කිරීමෙන් හා බොරුනඩු විමසා දඩයම් කිරීමට එක්සත් ජනපදයට ඔහු පිටුවාහල් කිරීම සඳහා අධිරාජ්‍යවාදී රටවල කුමන්ත්‍රනයෙන් එලිදරවු වෙයි.

සිරිසේන වහෙන්ඔරෝ භාෂාවෙන් මාධ්‍යවේදීන්ට පවසන්නේ “මාධ්‍ය නිදහස” රැක ගැනීමට නම් තමන් විවේචනය නොකර ඉන්නා ලෙස ය. ඊලඟට බලයට එන රුදුරු චරිතයක් ගැන ඔහු අනතුරු අඟවන්නේ තමන්මත් යලි ජනාධිපතිවීම සඳහා තරඟ කිරීමට වෑයම් කරන ගමන්ම ය.

මහජන අපකීර්තියට ලක්ව සිටින සිරිසේන ඒකාධිපති බලයක් තමා වටා සංකේන්ද්‍රනය කර ගැනීමේ වෑයමක යෙදී සිටි. සිරිසේන දිගින් දිගට ම යොමු වී සිටින්නේ බෞද්ධ භික්ෂු සංස්තාපිතයට ආයාචනා කිරීමටත්, මිලිටරිය යුද අපරාධවලින් ගලවා ගැනීමටත් ය. ඔහු මත්ද්‍රව්‍ය මැඩීමේ නමින් පොලිසිය හා මිලිටරිය වර්ගවාදී යුද්ධයෙන් දස වසරකට පසු ලොකුම මෙහෙයුමකට කැඳවා තිබේ. එහි ම අංගයක් වශයෙන් මේ වන විට නවීනතම සන්නිවේදන අන්තර්බාධක තාක්ෂනය මිලිටරි පොලිස් ඔත්තු සේවා වෙත ලබාදීමට ඇනවුම් කර ඇත. ජනාධිපතිගේ මේ ක්‍රියාවන්හි ඉලක්කය දක්ෂිනාංශික බලවේග තමන් වටා ගොනු කර ගැනීමයි.

ව්‍යාජ වම හා සිවිල් සංවිධාන විසින් රාජපක්ෂට අඩු නපුර ලෙස හුවා දැක්වුනු සිරිසේන දැන් තමන්ට වඩා වැඩි නපුරක් මවා පෑමේ උත්සාහයක යෙදී සිටී. මේ වෙස් මුහුනු පැලඳගෙන, ධනපති පාලක පන්තියේ අනෙක් කල්ලි මෙන්ම සිරිසේන ද, කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල වර්ධනය වන කොන්දේසි තුල, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩ ලා පොලිස් පාලනයක් වෙතට මාරුවීමට ගනන් බලයි.

Share this article: