“ත්‍රස්තවාදී” ලේබලය අලවමින් මුස්ලිම් සහ දෙමල ජනයා දිගින් දිගටම අත් අඩංගුවට ගැනෙයි

නවීන් දේවගේ විසිනි, 2019 අගෝස්තු 23

අප්‍රේල් 21 ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයෙන් සිවුමසක් ඉක්ම ගොස් ඇති නමුදු, ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස නම් කරමින්, මුස්ලිම් සහ දෙමල ජනයා අත් අඩංගුවට ගැනීම දෛනික පදනමකින් සිදු කෙරෙමින් පවතී. මෙම පොලිස් අත් අඩංගුවට ගැනීම් ධනේශ්වර මාධ්‍ය විසින් වාර්තා කෙරෙන්නේ ප්‍රකෝපකාරී ස්වභාවයකිනි.

ඊයේ, අගොස්තු 22 වන දා, ඩේලි මිරර් පුවත්පත තම මුල් පිටුවේ වාර්තා කර තිබුනේ, “ජාතික තවිහීත් ජමාත් සංවිධානයට සම්බන්ධිත ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් හි ක්‍රියාකාරී සාමාජිකයෙකු වන” රෆයිඩීන් මොහොමඩ් නමැත්තකු, “සහරාන් යටතේ නුවරඑලියේදී පුහුනුව ලැබුවේය යන චෝදනා මත”, ජාතික බුද්ධි සේවය විසින් අම්පාරේදී අත්අඩංගුවට ගනු ලැබූ බවයි. සහරාන් යනු, අප්‍රේල් ප්‍රහාරය මෙහෙයවූයේ යැයි කියන ජාතික තවිහීත් ජමාත් සංවිධානයේ නායකයා වන අතර, ප්‍රහාරයෙන් ඔහු ද මිය ගිය බව පොලීසිය තහවුරු කර ඇත.

පලාලි රෝහලේ අධිකරන වෛද්‍ය නිලධාරි සින්නයියා සිවරූබන්, “ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ” චෝදනා මත, යුද හමුදා නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව අගෝස්තු 20 වන දා ඩේලි නිව්ස් පුවත්පත වාර්තා කලේය.

අගෝස්තු 16 වැනි දා ලංකාදීප පුවත්පත වාර්තා කලේ, ජමාතේ මිල්ලතේ නම් සංවිධානයට සම්බන්ධිත, “සහරාන් යටතේ අවි පුහුනුව ලැබුවා යයි කියන” තවත් තිදෙනෙකු කල්මුනේ දී අත් අඩංගුවට ගනු ලැබූ බවය.

එදින ම එහි තවත් පුවතක් වාර්තා කෙරුනේ “සහරාන්ගේ බිරිඳගෙන් අධිකරනයට රහස් ප්‍රකාශයක්” යන හිසෙනි. උක්ත තැනැත්තියගේ ජීවිතයද අවදානමට ලක් කරමින් ඇගේ පදිංචි ලිපිනය ද වාර්තාවේ පල කර තිබුනි.

මෙම අත් අඩංගුවට ගැනීම් සහ ඒ පිලිබඳ වාර්තාවන්ට සමගාමීව වාර්ගික ප්‍රකෝපකරනයන් ද දිගින් දිගටම සිදු කෙරෙමින් පවතී.

කුප්‍රකට සිංහල වර්ගවාදියෙකු වන අතුරලියේ රතන භික්ෂුවගේ මූලිකත්වයෙන් අලුතින් පිහිටුවා ගත් “රට සුරකින බලවේගය” නම් ෆැසිස්ට් නඩවල එකතුවක්, අගෝස්තු 19 වන දා, මඩකලපුවේ දී උද්ඝෝෂනයක් පැවැත් වීය. “ඉස්ලාම් අන්තවාදයට එරෙහිවනු” සහ “හිස්බුල්ලාගේ ශරියා සරසවිය රජයට පවරා ගනු” ඔවුන්ගේ සටන් පාඨ අතර විය.

මෙම අත් අඩංගුවට ගැනීම් සහ ප්‍රකෝපකරනයන් හි මූලික අරමුනු දෙකකි: ඉන් පලමුවැන්න වනුයේ, “ත්‍රස්ත භීතිය” දිගටම පවත්වාගෙන යමින්, පොලීසිය සහ මිලිටරිය වඩවඩාත් බල ගන්වා, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව අඛන්ඩව පෙරට ඇදෙන කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල රුදුරු ලෙස තලා දැමීමයි.

දෙවැන්න වනුයේ, වාර්ගික රේඛා ඔස්සේ කම්කරු පංතිය බෙදා, ඔවුනගේ පංති ශක්තිය දුබල කිරීමයි.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරීමේ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියට හිටපු හමුදාපති මහේෂ් සේනානායක කැඳවූ අවස්ථාවේදී, කාරක සභික සරත් ෆොන්සේකා අසන ලද ප්‍රශ්න සහ සේනානායක දුන් පිලිතුරු මගින් මෙම මර්දනය දිගටම පවත්වාගෙනයාමේ උත්සුකය මනාව පැහැදිලි වෙයි.

ෆොන්සේකා මෙසේ ඇසීය: “...අපට එක බෝම්බයක් ගියාට පස්සෙ, ඒකට අදාල අය ඇල්ලුවාට, තීරනයකට එන්න බැහැ ත්‍රස්ත උවදුරු ඉවරයි කියලා. ඒක පිලිගන්නවා ද ඔබතුමා?” සේනානායක මෙසේ පිලිතුරු දුනි: “මේක ඉවරයි කියන එක කාටවත් කියන්න බැහැ. ඒක ප්‍රායෝගික නැහැ.” ඔහු මෙසේ ද පැවසීය: “තවමත් අපි හොයලා බලනවා, එල්ටීටීඊ සංවිධානයේ අයත් කරන්නේ මොනවද කියලා. ඒ අය එතෙර ගිහිල්ලා ඩයස්පෝරාව එක්ක වෙන්න පුලුවන් නැත්නම් අනෙක් කන්ඩායම් එක්ක වෙන්න පුලුවන්. ඒ නිසා ත්‍රස්තවාදය කියන එක දවසකින් දෙකකින් කාලවකවානුවකදී ඉවර කරන්න බැහැ. ඒ සඳහා රජයක් හැටියට හමුදාවක් හැටියට අපේ තියෙන සැලසුම් අනුව තමයි ඒක තව තවත් කන්ටේන් කරන්න පුලුවන් වෙන්නේ.”

වර්ගවාදී යුද්ධය ගෙන ගිය සමයේ ත්‍රස්තවාදය මර්දනය කිරීමේ නාමයෙන් දෙමල වාර්ගිකයන් ඉලක්ක කර ගෙන අත් අඩංගුවට ගැනීම්, අතුරුදහන් කිරීම්, දේපල පැහැර ගැනීම් සහ අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මිලිටරිය කුප්‍රකටය. යුද්ධය මධ්‍යයේ වර්ධනය කෙරුනු එම රුදුරු මර්දන යන්ත්‍රය අවසාන වශයෙන් යොදාගනු ලැබුවේ, පන්ති අරගලය තලා දමමින් කමිකරු-පීඩිත මහජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් පාගා දැමීමටයි.

යුද අපරාධ සම්බන්ධයෙන් බරපතල චෝදනා ලද ශවේන්ද්‍ර සිල්වා වැන්නෙකු නව යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීමත්, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් දහස් ගනනකට පෙරනොවූවිරූ අයුරින් උසස්වීම් ලබා දීමත් පිටුපසින් පවත්නේ මෙම මර්දන යන්ත්‍රය වඩාත් ශක්තිමත්කර ගැනීමේ පාලක පංති උත්සුකය යි. මෙම ක්‍රියාදාමයට, මහින්ද රාජපක්ෂගේ පොදුජන පෙරමුන සහ ජනතා විමුක්ති පෙරමුන ඇතුලු ධනපති සංස්ථාපිතයේ සියලු පක්ෂවල පූර්න සහයෝගය ලැබෙයි.

පොලිස් සහ මිලිටරි අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මහජනයා අතර වැඩෙමින් පවතින්නේ බලගතු විරෝධයකි. පලාලි රෝහලේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව රෝහල් සේවකයන් සහ ප්‍රාදේශීය මහජනතාව අතර වැඩුනු විරෝධය, ඔවුන් රෝහල ඉදිරිපිට පැවැත්වූ පිකට් උද්ඝෝෂනයෙන් ප්‍රකාශයට පත්විය.

පසු ගිය වසරේ මඩකලපුවේ දී, මියගිය එල්ටිටීඊ නායකයන් සැමරීමේ උත්සවයක් පැවැත්වීමට මූලිකත්වය ගත් දෙමල තරුන කන්ඩායමක් අත් අඩංගුවට ගනු ලැබුවේ, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ඝාතනයට පටලවමිනි. ගොඩ නැගුනු මහජන විරෝධය හමුවේ අවසානයේ දී ඔවුන් නිදහස් කිරීමට සිදු වුවද නොයෙක් වද හිංසාවන්ට යටත් කිරීමෙන් ඔවුන්ට සිදු වූ හානිය ඉමහත් ය.

අප්‍රේල් බෝම්බ ප්‍රහාර මාලාවට ඉක්බිත්තේ දහස් සංඛ්‍යාත මුස්ලිම් ජනතාව ඉවක් බවක් නැති ව අත් අඩංගුවට ගනු ලැබූවේ, ඔවුන් හුදෙක් මුස්ලිම් හෝ ඉස්ලාම් භක්තිකයන්වීම යන පදනම මත ය. අඩංගුවට ගත් අයගෙන් “බහුතරය” නිදොස් අය බව ජනාධිපති විසින් ම ප්‍රකාශ කෙරුනි.

බෝම්බ ප්‍රහාර මාලාව ගැන සවිස්තරාත්මක තොරතුරු ලැබී තිබියදී එය සිදුවන්නට ඉඩ හැරීමේ අපරාධයට වගකිවයුතු, ජනාධිපති සිරිසේන, අගමැති වික්‍රමසිංහ සහ විපක්ෂ නායක රාජපක්ෂ ඇතුලු ධනපති පාලක පංතියේ ප්‍රධාන නියෝජිතයන් නිදහසේ හැසිරෙමින් සිටියදී, මුස්ලිම් සහ දෙමල ජනවර්ගයන් ට එරෙහි මෙම අත් අඩංගුවට ගැනීම් සහ මහජන ආරක්ෂාව අතර කවර හෝ සම්බන්ධයක් නැත.

බෝම්බ ප්‍රහාරය සිදුවන්නට දැනුවත්වම ඉඩහැර, එය ගසා කමින්, පොලිස් රාජ්‍යයක් දෙසට වන රුදුරු මර්දන පියවර ගනු ලැබුවේ වැඩෙන පංති අරගල මැඩීමට බව වඩවඩත් තහවුරු වෙමින් පවතී.

හතරවැනි මාසයටත් දිගුකොට ඇති හදිසි නීතිය යටතේ, අත්‍යවශ්‍ය සේවා නියෝග පැන වීම මගින් වැඩ වර්ජන තහනම් කර ඇත. මහජන උද්ඝෝෂන තලා දැමීමට පොලිස් ප්‍රචන්ඩත්වය රුදුරු ම ආකාරයන් යොදවමින් සිටී. මුස්ලිම් සහ දෙමල ජනයා දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම මෙම මර්දනයේ අත්‍යන්ත කොටසකි.

Share this article: