ගවරවිල වත්තේ කම්කරුවන් අතර ආදායම් බෙදීමේ ක්‍රමයට එරෙහිව විරෝධය වර්ධනය වෙයි

එම්. දේවරාජා විසිනි , 2019 අගෝස්තු 26

ශ්‍රම සූරාකෑම තීව්‍රකරන ආදායම් බෙදීමේ ක්‍රමය බලහත්කාරයෙන් පැටවීමට එරෙහිව බරපතල විරෝධයක් මස්කෙලිය අප්කොට් හි ගවරවිල වත්තේ කම්කරුවන් අතර වර්ධනය වෙමින් තිබේ. ගවරවිල වත්ත හොරන වතු සමාගම විසින් පාලනය කරනු ලබයි. වත්තේ වපසරිය ආසන්න වශයෙන් හෙක්ටයාර් 300 ක් පමන වේ. පසුගිය වසරේ පලමුව එහි බර්ග්රෝ කොටසෙහි මෙම ක්‍රමය ක්‍රියාවට දැමූ වතු පාලකයන් මෙම වසරේ අප්‍රේල් මාසයේ අපර් ගාර්ඩන් සහ ගවරවිල කොටස් වල ද එය ක්‍රියාවට දමා ඇත. කම්කරුවන් ඊට විරුද්ධ වූ විට වතු පාලකයන් ඔවුන්ට තර්ජනය කර තිබේ.

මතුරට වතු සමාගමට අයත් වලපනේ මහ ඌව සහ කැලනි වැලි සමාගමට අයත් දික්ඔය බත්තල්ගල්ල, ටිලරි සහ ඈන් ෆීල්ඞ්, වටවල වතු සමාගමේ දික්ඔය, දුම්බර සහ හැටන් වතු සමාගමේ ඇබොට්ස්ලි යන වතු වල 2017 වසරේ දී ආදායම් බෙදීමේ ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. දුෂ්කර වැඩ කොන්දේසි දරාගත නොහැකිව ඇබොට්ස්ලි වත්තේ කම්කරුවෝ ඔවුන්ට ලැබුන ඉඩම් කොටස් ආපසු භාර දුන්හ.

ආදායම් බෙදීමේ ක්‍රමය තුලින් දෛනික වැටුප් ක්‍රමයත්, අර්ථ සාධක සහ සේවක භාරකාර අරමුදල ඇතුලු දැනට භුක්ති විඳින සුලු සමාජ සහන පවා කම්කරුවන්ට අහිමි කෙරෙමින් වතු සමාගම් වලට කඹුරන අඳ ගොවීන් බවට ඔවුන් පරිවර්තනය කෙරෙයි.

කම්කරුවන්ගේ විරෝධය නොතකා සමාගම් වලට එය ක්‍රියාවට දැමීමට වතු වෘත්තීය සමිති ඍජුව සහයෝගය දෙති. ලංකා කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලිව්සිී), ලංකා ජාතික වතු කම්කරු සංගමය (ලජාවකස) ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) කඳු රට ජනතා පෙරමුන (යූපීඑෆ්) සහ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොන්ග්‍රසය (ඩීඩබ්ලිව්සී) ඇතුලු වතු වෘත්තීය සමිති දෛනික වැටුප රුපියල් 1000 ක් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් ගෙන ගිය අරගලය පාවා දුන්හ. (ලින්ක්: වතු කම්කරු වැටුප් අරගලයෙන් කම්කරු පන්තිය උගත යුතු පාඩම්) ඉක්බිතිව සීඩබ්ලිව්සී සහ ලජාවකස, වතු සමාගම් සමග අත්සන් කල ගිවිසුමේ දී ආදායම් බෙදීමේ ක්‍රමය ක්‍රියාවට දැමීමේ වගන්තියක් ඊට ඇතුලත් කිරීම ට ද එකඟ වුහ.

සමාගම් සහ ආන්ඩුව සමග එක්ව තම අයිතීන් කප්පාදු කිරීමට සහ දුෂ්කර සේවා කොන්දේසි පැටවීම සඳහා වෘත්තීය සමිති ඉටුකරන මෙම ද්‍රෝහී ක්‍රියා කලාපය දැඩි ලෙස හෙලා දුටු .කම්කරුවෝ තමන් මුහුන දෙන දුෂ්කර සේවා හා සමාජ කොන්දේසි පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලහ.

ගවරවිල වත්තේ 49 වියැති, කේ. අධිස්තානී මෙසේ සඳහන් කලාය: “අපේ වැඩ දින ගනන අඩු කරලා තේ පඳුරු දුන්නා. මගේ කොටසේ පඳුරු 500 ක් තියෙනවා. ඒකට ලැයිමේ ඉඳල කිලෝ මීටර් තුනක් දුරයි. වත්තේ වැඩ ඉවරවුනාට පස්සේ ඒකේ වැඩකරලා ලැයිමට එනකොට හවස 6.00 - 6.30 වෙනවා. ඒ නිසා දරුවන් බලා ගැනීම සහ ගෙදර වැඩපල කරගන්න එක හරිම දුෂ්කරයි. දරුවන්ගේ අධ්‍යාපනයටත් ලොකු හානියක් වෙනවා.”

කලින් කිලෝ 16 ක් වූ දිනකට නෙලන තේ දලු ප්‍රමානය 18 දක්වා ඉහල දමා ඇති බවත් දලු කිරන හැම අවස්ථාවකම බෑගයේ බරට කිලෝ 3 ක් අඩු කරන බවත් ඇය සඳහන් කලාය.

එක් දරු මවක් වන කේ. අම්බිහාවතී කියා සිටියේ ඇගේ සැමියා පිලිකා රෝගයෙන් මිය ගිය බව සහ දරුවාත් බලාගෙන තමන්ට ලැබී ඇති ඉඩම් කොටසේ වැඩ කිරීම ඉතා දුෂ්කර බව යි.

ඇය මෙසේ ද කීවාය: “මගේ කොටසේ තේ පඳුරු 510 ක් තියෙනවා. වල් පැලෑටි ඉවත් කිරීම, පොහොර යෙදීම සහ දලු කැඩීම ඇතුලු සියලුම දේවල් මම තනියම කරන්න ඕනා. මගේ සැමියාගේ තාත්තා උදව් කරනවා. නමුත් දැන් වයස අවුරුදු 70 ක් නිසා එයාට ලොකු වැඩක් කරන්න බැහැ. වත්තේ වැඩ කරන දින ගනන අඩු කරපු නිසා මේ මාසේ 19 (අගෝස්තු) වෙන කොට වැඩ කරලා තියෙන්නේ දවස් 8 යි. අවුරුදු 150 ක් ම අපේ අය ජීවත් වෙන්නේ කිසිම පහසුකමක් නැති මේ ලයින් කාමර වල. වත්තෙන් ඒවා අලුත්වැඩියා කරන්නේ නැහැ. වතුර නැහැ. වැසිකිලි පහසුකම් නැහැ.”

ආදායම් බෙදීමේ ක්‍රමය පසුගිය වසරේ බර්ග්රෝ කොටසේ ක්‍රියාවට දැමු නමුත් තම කොටසේ එය ක්‍රියාවට දැමීමට කම්කරුවන් විරුද්ධ වූ බව ගවරවිල කොටසේ කම්කරු කාන්තාවක් වන ඒ. සෙල්වරාදම් පැවසුවාය.

“එම ක්‍රමයට එකඟ වෙන්න කියල පාලකයන් අපට බල කලා. ඇතැම් විට ඔවුන් අපට තර්ජනය කලා. ඔවුන් ඉල්ලන්නේ හොඳම දලු. එහෙම නැති තේ දලු කිලෝ දහස් ගනන් ගඟට විසි කලා. දිනකට තේ දලු කිලෝ 18 ක් කඩන්න ඕන. කිලෝ 13 ට අඩුවෙන් කැඩුවොත් දවස් භාගයයි ලකුනු කරන්නේ. ඒ නිසා හැම දිනකම කම්කරුවන් 10 දෙනෙකුට විතර ලැබෙන්නේ දින භාගයක වැටුපක්. ලඟදී අත්සන් කල සාමූහික ගිවිසුමෙන් පස්සේ කම්කරුවන්ට පීඩනය වැඩි වෙලා. වෘත්තීය සමිති අපිව ආරක්ෂා කරන්නේ නැති නිසා අපේ වත්තේ කම්කරුවන්ටත් මේ ක්‍රමය පිලිගන්න බල කෙරුනා. අපේ කොටසේ කම්කරුවෙකුට තේ පඳුරු 700 ක් දුන්නා” යැයි ඇය පැවසුවාය.

වත්තේ සෞඛ්‍ය පහසුකම් කප්පාදු කර ඇති ආකාරය ඇය මෙසේ විස්තර කලාය. “අපේ වත්තේ ඩිස්පැන්සරියේ දැන් වෛද්‍ය වරයෙක් නැහැ. උපස්ථාකයෙක් පමනයි ඉන්නේ. ඔහු තමයි බෙහෙත් දෙන්නේ. තිබුන ගිලන් රථය වත්තේ පාලකයන් විකුනුවා. ඇඳන් පහක් සහිත මාතෘ වාටුවක් තිබුන. දැන් ඒක වහලා. නියම නායකත්වයක් නැති නිසා කම්කරුවන් බෙදිල.”

සමාජවාදී සමානතා පක්ෂය (සසප) යෝජනා කරන ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට එකඟ බවත් ඒ සඳහා සාකච්චාවක් සංවිධානය කිරීමට කටයුතු කරන බවත් ඇය පැවසුවාය.

සසප මග පෙන්වීම යටතේ අබොට්ස්ලි වත්තේ කම්කරුවන් වෘත්තීය සමිතිවල පාවා දීමට එරෙහිව කම්කරු ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගූහ. ඔව්හු වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයේ දී වෘත්තීය සමිති වලින් ස්වාධීනව පන්ති ක්‍රියාවන් සංවිධානය කිරීමට සටන් කල අතර ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව තහවුරු කර ගැනීමට සහ කම්කරු පන්තියේ මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකගැනීම සඳහා සටන් කිරීමේ උත්සුකතාවයක් පෙන්නුම් කර ඇත.

ගවරවිල වත්තේ විශ්‍රාමික කම්කරුවෙකු වූ ආශීර්වාදම් මෙසේ පැවසීය: “පුතාට වත්තෙන් දීපු කොටසේ තේ පඳුරු වටේ තියෙන තනකොල සුද්ධ කරලා මේ දැනුයි ආවේ. ඒකෙ තනකොල හුඟක් වැවිලා හරිම අමාරුයි සුද්ධ කරන්න. පුතාට තනියම කරන්න බැරි නිසා මම එයාට උදව් වෙනවා. මම කවදාවත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. වත්තේ වැඩ කරන එක තමයි දිගට ම කලේ. මගේ අත්දැකීමට අනුව මේ ආදායම් බෙදීමේ ක්‍රමය හරිම දුෂ්කරයි. වතු පාලකයෝ ලාබ වැඩිකර ගන්න පවුලේ හැම කෙනෙක් ම වැඩට යොදා ගන්නවා. ලමයි පවා.”

Share this article: