ශ්‍රී ලංකාවේ විපක්ෂය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගනී

Sri Lankan opposition party picks Gotabhaya Rajapakse as presidential Candidate

කේ.රත්නායක විසිනි, 2019 අගෝස්තු 19

ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ), හිටපු ආරක්ෂක ලේකම්වරයා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ දෙසැම්බර් මස පැවැත්වෙන ජනාධිපතිවරනයේ සිය අපේක්ෂකයා ලෙස තෝරාගෙන ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් (ශ්‍රීලනිප) කැඩී ගිය කන්ඩායමක් විසින් දෙවසරකට වැඩි කලකට පෙර ශ්‍රීලපොපෙ පිහිටුවා ගන්නා ලදී.

හිටපු හමුදා කර්නල්වරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ තෝරාගැනීම අතිශයින් අර්ථභාරී ය. ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු, බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් අදියරවල දී යුද අපරාධ සිදුකිරීම්වලත්, කම්කරුවන් හා දුගීන් ලේවැකි මර්දනය කිරීමේත් ඍජු ව පටලැවී තිබුනි. මෙය පැහැදිලි ලෙස පෙන්නුම් කරන්නේ, ශ්‍රීලපොපෙ හා සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ පාලක පන්තිය පොලිස්-රාජ්‍ය පාලන ක්‍රමවලට වේගයෙන් තල්ලු වෙමින් සිටින බව යි.

අගෝස්තු 11දා පැවති ශ්‍රීලපොපෙ ජාතික සම්මේලනයේ දී නිල වසයෙන් එහි නායකත්වයට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ සහෝදරයාගේ අපේක්ෂකත්වය නිවේදනය කලේ ය.

සම්මේලනය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මෙසේ කීවේ ය: “මගේ ප්‍රධාන ප්‍රමුඛතාව වන්නේ, අන්තවාදී ත්‍රස්තවාදීන්ට හිස එසවීමට ඉඩ නො දී රට තුල ආරක්ෂාව තහවුරු කිරීම යි.”

තම සහෝදරයා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හඳුන්වා දෙමින් මහින්ද රාජපක්ෂ මෙසේ කීවේ ය: “ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රට යලි ගොඩනැගීම සහතික කරන නායකයෙක්. ඒ සඳහා අපට විනය හා නීතිය අවශ්‍ය යි. විනයක් නොමැති ව, රටක් සංවර්ධනය කරන්න බැහැ.”

“ජාතික ආරක්ෂාව” රැකගැනීම හා “විනය හා නීතිය” ස්ථාපිත කිරීම පිලිබඳ ප්‍රකාශ, පොලිස්-රාජ්‍ය පාලනයක් සූදානම් කරන නායකයන්ගේ පූච්චානම් වන අතර, ඒවා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හා ජාත්‍යන්තර ව අන්ත-දක්ෂිනාංශික නායකයන්ගේ භාෂාව හා ක්‍රියාවන් ප්‍රතිරාවය කරයි.

මෑත මැතිවරනයේ දී රැලි කරගැනීමේ පාඨය ලෙස “ජාතික ආරක්ෂාව” යොදාගත් මෝදි, දැන් එය, කාෂ්මීරය මිලිටරිමය ලෙස අගුලුලෑම හා ඉන්දීය මහජනයාට එරෙහි පීඩක පියවරයන් ගැනීම සාධාරනීකරනය කිරීමට යොදාගනිමින් සිටී.

අප්‍රේල් 21 පාස්කු ඉරිදා දින, ඉස්ලාමීය අන්තවාදී ජාතික තවුහීත් ජමාත් සංවිධානය විසින් පුද්ගලයන් 300ක් පමන ඝාතනය කරමින් හා 500කට තුවාල සිදුකරමින් එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාර, තම නීතිය හා සාමය පිලිබඳ උද්ඝෝෂනය ඉදිරියට දැමීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හා ශ්‍රීලපොපෙ විසින් ක්‍රමානුකුල ව ගසාකමින් සිටී. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට සහ සිරිසේන, වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලු දේශපාලන නායකයන්ට එලඹෙන ප්‍රහාර පිලිබඳ ව ඉන්දීය ඔත්තු සේවය විසින් දැනුම් දුන් බවට සාක්ෂි ඉස්මතු වී ඇත.

මුස්ලිම්වරුන්ට එරෙහි වත්, වැඩකරන ජනයා හා දුගීන් බියවැද්දීමටත්, හදිසි නීතිය පනවා සන්නද්ධ හමුදා දිගේලි කිරීමට, විශේෂයෙන් ම ශ්‍රීලපොපෙ ඇතුලු ශ්‍රී ලංකාවේ සියලු පාර්ලිමේන්තු පක්ෂ, සිරිසේනට ක්ෂනික ව සහයෝගය දුනි. කම්කරු පන්තිය බෙදා දුර්වල කිරීමේ උත්සාහයක යෙදෙමින් මුස්ලිම්-විරෝධී මනෝගතියක් ඇවිලවීමේ දී ශ්‍රීලපොපෙ එයට නායකත්වය දී ඇත.

වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) පිටුබලය සහිත ව ජනාධිපති සිරිසේන 2015 දී බලයට ආවේ, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තන්ත්‍රය කෙරෙහි පැවති මහජන විරුද්ධත්වය මත පදනම් වෙමිනි. ධනේශ්වර දෙමල හා මුස්ලිම් පක්ෂත්, ජනතා විමුක්ති පෙරමුනත්, වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම කන්ඩායමුත්, සිරිසේනගේ ඊනියා “යහපාලන” උද්ඝෝෂනය කෙරෙහි මිථ්‍යාවන් දල්වා විරෝධය සමහන් කොට පීලිපැන්නවීමට ක්‍රියා කල හ.

එහෙත් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නියෝග ක්‍රියාවට දැමීම ආරම්භ කල විට, කම්කරුවන්, තරුනයන් හා දුගීන්ගේ විරෝධය ක්ෂනික ව යලි ඉස්මතු විනි.

2018 පෙබරවාරියේ පැවති පලාත් පාලන මැතිවරනයේ දී එජාපය හා ශ්‍රීලනිපය අන්ත පරාජයකට මුහුන දුන් විට, වික්‍රමසිංහ පාලනයට දුන් සහයෝගය ඉවත් කරගත් සිරිසේන, ඔහුගේ ප්‍රතිමල්ලවයා වන මහින්ද රාජපක්ෂ සමග පෙලගැසුනි. පසුගිය ඔක්තෝබරයේ වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කල සිරිසේන, එම තනතුරට රාජපක්ෂ පත්කලේ ය.

මහින්ද රාජපක්ෂ චීන-හිතවාදී යයි සලකමින්, කවර අයුරකින් හෝ ඔහු පෙරලා බලයට පැමිනීමට වොෂින්ටනය විරුද්ධ වූ විට, සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රනය ආපසු කැරකුනි.

ශ්‍රී ලංකාවේ ශේෂ්ඨාධිකරනය, සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා-විරෝධී බවට නිගමනය කලේ ය.

එජාපය හා ශ්‍රීලනිපය පලල් ලෙස අපකීර්තියට පත්ව ඇති කොන්දේසි යටතේ, පාලක ප්‍රභූවේ කොටස් ශ්‍රීලපොපෙට හා එහි ප්‍රතිගාමී “ජාතික ආරක්ෂාව” රැකීම හා “ශක්තිමත් ආන්ඩුවක්” ගෙන ඒමේ උද්ඝෝෂනය දෙසට හැරී ඇත.

“අන්තවාදී ත්‍රස්තවාදීන්” නතර කිරීම පිලිබඳ ගෝඨාභය රාජපක්ෂගේ පොරොන්දු, කම්කරු පන්තිය හා දුගීන්ගේ මහජන ක්‍රියාකාරීත්වය ද දේශපාලන විරුද්ධවාදීන් ද මත කඩාපැනීම සඳහා වන කේතය යි.

වසර කිහිපයක් එක්සත් ජනපදයේ ගත කල ගෝඨාභය රාජපක්ෂ, 2005 පසු භාගයේ පෙරලා ශ්‍රී ලංකාවට පැමිනියේ ඔහුගේ සහෝදරයා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව යි. 2006 ජූලි මාසයේ කොලඹ ආන්ඩුව බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද්ධය යලි ඇරඹීමට ආසන්න අවස්ථාවේ ඔහු ආරක්ෂ ලේකම් ධූරයට පත්කරනු ලැබිනි. කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මර්දනය කිරීමට ද යොදාගත් 30-අවුරුද්දකට ආසන්න කාලයක් පැවති යුද්ධය, 2009 දී එල්ටීටීඊයේ පරාජයෙන් අවසන් විය.

එක්සත් ජාතීන්ගේ තක්සේරු කිරීම්වලට අනුව, රාජපක්ෂවරුන් යටතේ යුද්ධයේ අවසන් මාසවල දී දෙමල සිවිල් වැසියන් 40,000 ක් මිලිටරිය විසින් මරා දමා ඇත. උතුරේ හා නැගෙනහිරේ මෙම යුද අපරාධ හා මර්දන පියවරයන්ට අමතර ව, විශේෂයෙන් ම කම්කරු පන්තිය ඇතුලු රාජපක්ෂ ආන්ඩුවේ විරුද්ධවාදීන්ට එරෙහි ව මිලිටරිය, පැරාමිලිටරි කන්ඩායම් හා මැරයන් දිගේලි කරනු ලැබිනි.

2011 ජුනි මාසයේ, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් තම විශ්‍රාම අරමුදල ආරක්ෂා කරගැනීමට ක්‍රියාවට බට විට, රාජ්‍ය හමුදා විසින් එක් කම්කරුවෙකු මරා තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු කලේ ය. 2012 දී පොලිස් කොමාන්ඩෝ භටයෝ විරෝධතාවක යෙදුනු ධීවරයන්ට වෙඩි තබා එක්අයෙකු මරා දැමූ හ. 2013 දී වැලිවේරියේ ජලය දූෂනය වීමට එරෙහි ව විරෝධතාවේ යෙදුනවුන්ට වෙඩිතැබූ මිලිටරිය, තරුනයන් තිදෙනෙකු මරා දැමූ හ.

2009 ජනවාරියේ දී සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මරාදැමීමට සම්බන්ධ බවටත්, අනෙකුත් ප්‍රමුඛ පෙලේ ජනමාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහර දීම සිදුකල මිලිටරිය විසින් රහසිගත ව පවත්වාගෙන යන ඝාතක කල්ලි සමග සබඳතා තිබෙන බවටත් ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල වී ඇත.

නගරය ඇතුලත පැල්පත්වල ජීවත් වූ දුගී පවුල් ලක්ෂ ගනනක් බලහත්කාරයෙන් ඉවත් කල කොලඹ “අලංකාර කිරීමේ” කාර්යය ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය සහෝදරයාට භාර දුන්නේ ය.

පසුගිය වසර දෙක පුරා, ශ්‍රීලපොපෙ හා එහි ස්වෝත්තමවාදී සගයෝ, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන් රැලි කරගැනීමටත් මිලිටරිය තුල එහි සහයෝගය විස්තාරනය කරගැනීමටත් ආක්‍රමනශීලී උද්ඝෝෂනයක් දියත් කොට ඇත.

අර්ථභාරී ලෙස අගෝස්තු 11දා, දකුනු හා මධ්‍යම ආසියාව පිලිබඳ එක්සත් ජනපද වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් හා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, මහින්ද රාජපක්ෂ ව ඔහුගේ නිවසේ දී මුනගැසුනි. ඔවුන්ගේ සාකච්ඡා පිලිබඳ කිසිවක් හෙලිදරවු වී නැතත්, මෙම හමුව සංඥා කරන්නේ රාජපක්ෂ නායකත්වය දෙන ආන්ඩුවක් සමග ගනුදෙනු කිරීමට වොෂින්ටනයට පවතින සූදානම යි.

සිරිසේන හා වික්‍රමසිංහ යටතේ, ශ්‍රී ලංකාවේ විදෙස් පිලිවෙත වොෂින්ටනය සමග යලි පෙලගස්වා ඇති අතර, නව හමුදා තත්ත්ව ගිවිසුමක් දිවයින එක්සත් ජනපදයේ ඉන්දු-පැසිෆික් බලකාය සඳහා “මිලිටරි සැපයුම් මධ්‍යස්ථානයක්” බවට පරිවර්තනය කරනු ඇත.

ප්‍රමුඛ පෙලේ ඉන්දීය විශ්ලේෂකයෙක් වන එම්. කේ. භද්‍රකුමාර් මෑතක දී ඒෂියා ටයිම්ස් හි මෙසේ අදහස් දැක්වීය: “වොෂින්ටනය රාජපක්ෂගේ පක්ෂය සමග ෆවුස්ටියානු ගනුදෙනුවක් (පරිවර්තක: බලය සඳහා ඕනෑම දෙයක් කැපකරමින් කරන ගනුදෙනුවක්) සඳහා එලැඹීමට මනාප වනු ඇත්තේ...එම ගනුදෙනුව අවසන් මිලිටරි එකඟතාවයක් සඳහා හරහට නො හිටින තාක් දුරට ය.”

2015 දී ව්‍යාජ-වම හා වෘත්තීය සමිති, රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි පැවති මහජන විරෝධය සිරිසේනට දෙන දේශපාලන සහයෝගය කරා අපසරනය කිරීමට ක්‍රියා කල හ. පසුගිය වසර හතර පුරා, කම්කරු පන්තියේ කවර හෝ ස්වාධීන ව්‍යාපාරයකට විරුද්ධ වී ඇති එම සංවිධානයන් ම, ආන්ඩුවට නිෂ්ඵල ආයාචනා කිරීම සඳහා කම්කරුවන් අපසරනය කල හ. මෙය, ශ්‍රීලපොපෙ හා අනෙකුත් අන්ත-දක්ෂිනාංශික අංශවලට ඔවුන්ගේ සහයෝගය තර කරගැනීමට ඉඩ ලබා දී ඇත.

සිංහල-බෞද්ධ බලවේගවල හා මිලිටරියේ සහයෝගය දිනාගත හැකි ජනාධිපති අපේක්ෂකයෙකු තෝරාගැනීම අරබයා වූ අභ්‍යන්තර බෙදීම් වලින් එජාපය අරක්ගෙන ඇත. දෙමල ජාතික සන්ධානය ඇතුලු දෙමල ධනේශ්වර පක්ෂ, ගෝඨාභය රාජපක්ෂ තෝරාගැනීම හෙලාදැක ඇතත්, වර්තමාන එක්සත් ජනපද-හිතවාදී ආන්ඩුවට සහයෝගය දීම මගින් එම සංවිධාන වත්මන් තත්ත්වයට දේශපාලනික ව වගකිව යුතු වේ.

කම්කරු පන්තිය පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමකින් ම බිඳී, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදීමට තමන්ගේ ම ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු ය. සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන ක්‍රියාමාර්ගය අධ්‍යයනය කරන ලෙසත්, එය හා බැඳී මෙම ඉදිරිදර්ශනය සඳහා සටන ඉදිරියට ගෙන යන ලෙසත් අපි කම්කරුවන්, තරුනයන් හා ප්‍රගතිශීලී බුද්ධිමතුන්ගෙන් ඉල්ලමු.

Share this article: