ජී 7 සමුලුවේදී ප්‍රධාන බලවතුන් අතර බෙදීම් පුලුල් වේ

Divisions between major powers widen at G7 summit

නික් බීම්ස් විසිනි, 2019 අගෝස්තු 26

අසූ වසරකට පෙර දෙවන ලෝක යුද්ධය පුපුරා යාමට තුඩු දුන් ආකාරයේ ගැටුම් මාලාවකට මැදි වෙමින් ප්‍රධාන අධිරාජ්‍යයවාදී බලවතුන්, සති අන්තයේ ප්‍රංශයේ පැවත්වූ ජී 7 රැස්වීම, පශ්චාත් යුද ධනේශ්වර පර්යායේ බිඳවැටීමෙහි තවත් අවධියක් සලකුනු කරයි.

1930 ගනන්වල මහා අවපාතයෙන් පසු ගෝලීය ධනවාදී ආර්ථිකයේ බරපතලම පසුබෑම හමුවේ, ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතාව හා සම්බන්ධීකරනය වර්ධනය කිරීමේ යාන්ත්‍රනයක් ලෙස, ජී 7, 1975 දී පිහිටුවන ලදී.

ඊටත් වඩා බරපතල තත්වයක් මධ්‍යයේ අද, ගැඹුරුවන වෙලඳ යුද්ධය, වර්ධනය වන පසුබෑමක ලක්ෂන‍, ජාත්‍යන්තර මුල්‍ය ක්‍රමයේ අස්ථාවරත්වය පිලිබඳ වැඩෙන කනස්සල්ල හමුවේ, එම ප්‍රශ්න පිලිබඳ සාකච්ඡාවන්ම ගැටුමේ යොමුව බවට පත් වී ඇත.

මෙම රැස්වීම ආරම්භ වීමට පවා පෙරාතුව, මෙම වසරේ සත්කාරකයා ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විසින් සකස් කරන ලද න්‍යාය පත්‍රය ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන්ගේ විවේචන වලට භාජනය විය. ඔවුන් පැවසුවේ දේශගුනික විපර්යාස, “ජී 7 පලුදු” කිරීමේ අටියෙන් අප්‍රිකානු වර්ධනයන් පිලිබඳව කථාකිරීම මෙන්ම එක්සත් ජනපදය හුදෙකලා කර මැක්‍රෝන්ගේ සහයෝගිතා මැතිවරන පදනමට ආයාචනා කිරීම වැනි "අදාල නොවන ප්‍රශ්න” පිලිබඳව එය අවධානය යොමුකර ඇති බවයි.

වෝල් ස්ට්‍රීට් ජර්නලයේ පල වූ ලිපියක් තුල, ධවල මන්දිර ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ ලැරී කුඩ්ලෝ පැවසුවේ, ආර්ථිකය හා වෙලඳාම පිලිබඳ විධිමත් කොටසක් අවසාන මොහොතේ එයට ඇතුලත් කර ඇත්තේ එක්සත් ජනපදයේ ඉල්ලීම මත පමනක් බවයි. මැක්‍රොන් විසින් නිර්මානය කරන ලද න්‍යාය පත්‍රය, “දේශපාලනිකව නිවැරදි මනස්ගාත” සැකසීම සඳහා යොදා තිබුන බවය.

ආතතීන්ගේ මට්ටම එබඳු විය. සමුලුවට පෙරාතුව මැක්‍රොන් ප්‍රකාශ කලේ, සාකච්ඡාව සාරාංශ ගත කරන විධිමත් ප්‍රකාශයක් නිකුත් කිරීමේ පුරුද්ද අත්හැර දැමුවේ, කිසිවෙකුත් ඒවා ගැන සැලකිලිමත් නොවන හෙයින් හා ඒවා අධ්‍යයනය කරනු ලැබුවේ මතභේද ඉස්මතු කිරීම සඳහා පමනක් හෙයින් බවයි.

සමුලුවට පිටත්ව යෑමට සූදානම් වෙමින් සිටියදී, තම පරිපාලනය චීනයට එරෙහි තීරුබදු වැඩි කරන බවත් “මහා ඇමරිකානු සමාගම් චීනයට විකල්පයක් සෙවීම වහාම ආරම්භ කරන ලෙසට නියෝග කර ඇති බවත්” නිවේදනය කරමින් ට්‍රම්ප් එම ආතතීන් උත්සන්න කලේය .

ජනාධිපතිවරයා බොහෝ දුරට පමන ඉක්මවා ගිය බවට උදාහරනයක් ලෙස ඇමරිකානු මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතයේ කොටස්, එම “ නියෝගය” අවඥාවෙන් බැහැර කරන ලදී. මක්නිසා ද යත්, යුද්ධයක කොන්දේසි යටතේ පමනක් ක්‍රියාත්මක කල හැකි එවැනි නියෝගයක්, බලගැන්වීමට ඔහුට බලයක් නොමැති නිසා බව පැවසුනි. ට්‍රම්ප් ප්‍රතිචාර දැක්වූයේ තමා එවැනි බලයක් දරන බව පවසමිනි.

" චීනය හා ජනාධිපති බලතල වැනි දේ වලට සම්බන්ධ නීතිය කුමක් ද යන්න පිලිබඳ නිනව්වක් නැති සියලු ව්‍යාජ මාධ්‍ය වාර්තාකරුවෝ, 1977 අයිඊඊපීඒ [IEEPA] යන ජාත්‍යන්තර ආර්ථික බලතල පනත හාරා ඇවිස්සීමට උත්සාහ කරති. ප්‍රශ්න දැන් ඉවරයි” යනුවෙන් ඔහු ට්වීටර් සටහන්වල සඳහන් කලේය.

“ඉරිදා ෆොක්ස් නිවුස්” වෙත අදහස් දක්වමින් භාන්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චින් කියා සිටියේ, හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කලහොත් අයිඊඊපීඒ යටතේ, එක්සත් ජනපද සමාගම්වලට චීනයෙන් ඉවත් වන ලෙස බල කිරීමට ට්‍රම්ප්ට බලය ලැබෙන බවයි. සීඑන්එන් හි “රාජ්‍ය තත්ව” වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාවකදී කුඩ්ලෝ මෙම අදහසට සහය දුන් නමුත් ඔහු කියා සිටියේ, ඔහු එසේ කල යුතු “න්‍යායපත්‍රය තුල මේ දැන් එවැනි කිසිවක් නොමැති” බවයි.

කෙසේ වෙතත්, " න්‍යෂ්ටික විකල්පය" ලෙස පැහැදිලි කර තිබෙන, IEEPA යටතේ විස්තර කර ඇති පියවර, දැනටමත් සැලකිල්ලට ලක්ව ඇත. සංක්‍රමනිකයන් සහ සරනාගතයින් එක්සත් ජනපදයට ගලා ඒම නතර කිරීමට පියවර නොගතහොත් මෙක්සිකෝවට එරෙහිව තීරුබදු පැනවීමට කටයුතු කරන බවට ට්‍රම්ප් පරිපාලනය මැයි මාසයේදී ප්‍රකාශ කල විට, එම තර්ජනය මතු විය.

ඉරිදා උදෑසන, චීනය මත තීරුබදු පැනවීම පිලිබඳව “දෙවන සිතුවිලි” ඇති බවට ට්‍රම්ප් කල ප්‍රකාශයෙන්, පසුගිය සතියේ තත්වය උග්‍ර අතට හැරීම ගැන ඔහු කනගාටු වන බවක් අදහස් විය. ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක විසින් ප්‍රශ්නයකට ජනාධිපති දුන් පිලිතුර “බෙහෙවින් වැරදියට අර්ථකතනය කර” ඇතැයි පැවසීමත් සමඟ එය ඉක්මනින්ම අභාවයට පත් විය.

“ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය එය නොවීය. මක්නිසා ද යත්, ඔහු කනගාටු වුනේ තීරුබදු ඉහල නැංවීම ගැන නොවන නිසා” යැයි ප්‍රකාශකයා පැවසීය. ඔහු කනගාටු වුනේ ඇති තරම් තීරු බදු ඉහල නොදැමීම ගැනය.

එක්සත් ජනපද වෙලඳ යුද්ධ ව්‍යායාමයේ එකම ඉලක්කය චීනය නොවේ. ප්‍රංශය එක්සත් ජනපද තාක්ෂනය සමාගම් මත යෝජිත බදු පැනවීම් ඉදිරියට යනවා නම් එක්සත් ජනපදය ප්‍රංශ වයින් මත බදු පනවන බවට ට්‍රම්ප් අනතුරු අඟවා ඇත. “ඔවුන් පෙර නොදැකපු ආකාරයේ”, ජී 7 සාකච්ඡාවලට සහභාගිවී සිටින, යුරෝපීය කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් පැවසුවේ, ට්‍රම්ප් සිය තර්ජනය ක්‍රියාත්මක කලහොත් යුරෝපා සංගමය “එලෙසම” ප්‍රතිචාර දක්වනු ඇති බවයි .

න්‍යාය පත්‍රයට ඇතුලත් නොවූවත්, එක්සත් ජනපද කෘෂිකාර්මික අපනයන සඳහා සහන ලබා දීමට යුරෝපා සංගමය එකඟ නොවන්නේ නම්, “ ජාතික ආරක්ෂාව” මුල්කරගෙන යුරෝපීය වාහන අපනයන සඳහා තීරුබදු පැනවීමට එක්සත් ජනපදය දිගින් දිගටම තර්ජනය කරයි. එම තර්ජනයටම මුහුනපා සිටින ජපානය සමඟ පාර්ශවීය වෙලෙඳ ගිවිසුමක්, රැස්වීම අවසන් භාගයේ නිවේදනය කිරීමෙන් පසුව එක්සත් ජනපදය, යුරෝපා සංගමය මත පීඩනය උත්සන්න කිරීමට පියවර ගන්නවා ඇත. එවිට මෙම ප්‍රශ්නය ඉතා ඉක්මනින් කරලියට පැමිනෙනු ඇත.

ගැටුම් එක්සත් ජනපදය සහ ජී 7 හි අනෙකුත් සාමාජිකයන් අතර පමනක් නොවේ. බ්‍රෙක්සිට් කොන්දේසි සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමඟ ගැටුම තීව්‍ර වන තත්වය හමුවේ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, එක්සත් රාජධානිය එක්සත් ජනපදය සමඟ සන්ධාන ගත කිරීමට උත්සාහ කරයි . වෙන්වීමේ ප්‍රතිපලයක් ලෙස ගෙවිය යුතු යැයි සැලකෙන පවුම් බිලියන 39 න් සැලකිය යුතු කොටසක් බ්‍රිතාන්‍යය විසින් නොගෙවන බවට ජොන්සන් තර්ජනය කර තිබේ. ඒ ඇමසන් වනාන්තරයේ පැතිර යන ගිනිගැනීම් වලට එරෙහිව කටයුතු කිරීම බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සනාරෝ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති නිසාය. මේ ප්‍රශ්නය පිලිබඳව බොල්සනාරෝ බොරු කියන බවට මැක්‍රොන් චෝදනා නඟයි.

යුරෝපා සංගමය තුල බෙදීම් ද ඇතිව තිබේ. යුරෝපා සංගමය හා බ්‍රසීලය, ආර්ජන්ටිනාව, උරුගුවේ සහ පැරගුවේ යන මෝකසර් රටවල් අතර ඇතිකර ගැනීමට යන වෙලෙඳ ගිවිසුමට අත්සන් තැබීම මැක්‍රොන් විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මේවා එලිමහනට පැමිනියේය.

එහෙත් ප්‍රංශ පියවර ජර්මනියේ විරෝධයට හේතුවී තිබේ. මක්නිසා ද යත්, යුරෝ පාර්ලිමේන්තුව විසින් තවමත් අනුමත කර නොමැති ගිවිසුමෙන්, එහි මෝටර් රථ සමාගම්වලට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවිනි. ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් කියා සිටියේ, වෙලඳ ගනුදෙනුව අවසන් නොකිරීම, දැන් බ්‍රසීලයේ සිදුවෙමින් පවතින දේ පිලිබඳව “සුදුසු පිලිතුර නොවේ” යනුවෙනි.

සමුලුව ආරම්භ වීමට ආසන්නව තිබියදී ජාත්‍යන්තර සබඳතාවල තත්වය සමීක්ෂනය කරමින් ටස්ක් පැවසුවේ, “නිදහස් ලෝකයේ සහ එහි නායකයින්ගේ එකමුතුකම හා සහයෝගීතාව පිලිබඳව එය දුෂ්කර පරීක්ෂනයක් වනු ඇති” බවයි.

“පසුගිය වසරවල පෙන්නුම් කර ඇත්තේ, ලෝකයට අපගේ සහයෝගය වැඩි වශයෙන් අවශ්‍ය වන විට පොදු භාෂාව සොයා ගැනීම අප සැමට වඩ වඩාත් දුෂ්කර වී ඇති බවයි. අපගේ දේශපාලන ප්‍රජාව යථා තත්ත්වයට පත් කිරීමේ අවසාන පරීක්ෂනය මෙය විය හැකිය.”

සමුලුවේ සියලු තොරතුරු පෙන්වා දෙන්නේ “ පරීක්ෂනය” අසාර්ථක වී ඇති බවයි. ට්‍රම්ප් විසින් ප්‍රධාන භූමිකාව ඉටු කරනු ලබන අතර, ඔහු, සියල්ලන්ටම එරෙහිව එකිනෙකා අතර ගැටුම් පුපුරා යෑමට සහ 1930 ගනන්වල දී සිදු වූ පරිදි මහා බලවතුන්ගේ ප්‍රතිවාදී කඳවුරු පිහිටුවීමට ඉන්ධන සපයන ජාත්‍යන්තර බලවේගයේ වඩාත් ම උමතු පුද්ගලාරෝපනය පමනි .

පසුගිය බදාදා මාධ්‍යවේදීන් සමඟ පැය දෙකහමාරක් තිස්සේ පැවති සාකච්ඡාවකදී මැක්‍රොන්, සමුලුව පැවැත්වීමට යන අර්බුදයේ ගැඹුරු වාතාවරනය පෙන්වා දුන්නේය . “ අපගේ ජාත්‍යන්තර පර්යායෙහි පූර්න ඓතිහාසික කාල පරිච්ඡේදයකට අප පිවිස සිටිනවා. සමකාලීන ධනවාදයේ අර්බුදය වන “නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ගැඹුරු අර්බුදයක්” සහ “ අසමානතාවයේ අර්බුදයක් ” පවතී.

එහෙත් ප්‍රංශ ජනාධිපතිවරයාට කිසිදු විසඳුමක් ඉදිරිපත් කල නොහැකි විය. ඒ වෙනුවට ඔහු අවධාරනය කලේ යුරෝපයේ හා ප්‍රංශයේ බලය තහවුරු කිරීමේ අවශ්‍යතාව යි. ගෝලීය පර්යාය මාරු වෙමින් ඇත. ඇමරිකාව හා චීනය අතර ද්වි ද්‍රැවාන්තගත වීමක අවදානමකට ලෝකය මුහුනදෙයි. එහිදී අනෙක් රටවල් “පරමාධිපත්‍යය අහිමිවීමට” මුහුනපා සිටී. එසේම එක් හෝ තවත් රටක “වාහකයෙක්” බවට පත්වෙමින් සිටියි. “එවැන්නක් යුරෝපය හෝ ප්‍රන්සය සම්බන්ධයෙන් සිදුවනවාට මම කැමති නැත” ඔහු පැවසීය.

ඔහුගේ ප්‍රකාශ සහ සමුලුවේ සිදුවීම් වලින් පෙන්නුම් කෙරෙන්නේ, මීට වසර අසූවකට පෙර පුපුරා ගිය මට්ටමට වඩා වැඩි පරිමානයේ තවත් ගැටුමක් පුපුරා යාමට, ගෝලීය ආතතීන් හා එදිරිවාදිකම් කොතරම් දුරට හා වේගයෙන් ගමන් කර ඇත්ද යන්නයි .

Share this article: