මහනුවර සසප රැස්වීම ගොඩනැගීමේ උද්ඝෝෂනයට හන්තාන වත්තේ කම්කරුවන්ගෙන් උනන්දු සහගත ප්‍රතිචාරයක්

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 අගෝස්තු 22

“පාලක පංතියේ ගැඹුරුවන අර්බුදය හා වැඩකරන ජනතාව සඳහා ඉදිරි මග” යන මාතෘකාව යටතේ, සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින්, අගෝස්තු මස 22 වන දින, මහනුවර “ජනමැදුර” ශාලාවේ රැස්වීමක් පැවැත්වීමට නියමිත ය. එම රැස්වීම ගොඩනැගීම සඳහා ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස පසුගිය 18 වන දා සසප සාමාජිකයෝ හන්තාන වත්තේ උද්ඝෝෂනයක නිරත වූහ.

මහනුවර නගරයේ සිට කිලෝ මීටර හතරක පමන දුරින් පිහිටි හන්තාන වත්ත, රාජ්‍ය ආයතනයක් වන ජනතා වතු සංවර්ධන මන්ඩලයට අයත් වෙයි. කොටස් හතකින් සමන්විත මෙම සුවිසල් තේ වත්ත අනුප්‍රාප්තික ආන්ඩු විසින් සිතාමතාම විනාශ වී යාමට ඉඩහැරීමේ ප්‍රතිඵලයක් ලෙස, දශක දෙකක් තුල, එහි සේවයේ නියුතු කම්කරු සංඛ්‍යාව, 2000 සිට 350 ක් දක්වා අඩුවී ඇත.

හන්තාන වත්තට අයත් තේ කම්හල් දෙකම වසා දමා ඉන් එකක්, සංචාරකයන් සඳහා වන තේ කෞතුකාගාරයක් බවට පත් කොට ඇත. මේ හේතුවෙන් සියගනනක් කම්කරුවන්ට රැකියා අහිමිවී ඇති අතර, වත්තේ බොහෝ කොටස් නඩත්තු නොකිරීම හේතුවෙන් ඒවා වල්බිහි වී තේ වගාව ඇනහිට පවතී.

වත්තේ සමහර කොටස් සංචාරක හෝටල් සහ වෙනත් පුද්ගලික ව්‍යාපෘති සඳහා ලබා දී ඇත. කම්කරුවන් ලයින් කාමර වලින් ඉවත් කොට, එම ඉඩමි ද පුද්ගලික ආයෝජකයන්ට ලබාදීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙයි.

සසප, හන්තාන වත්තේ කම්කරුවන් සමග වසර ගනනාවක් පුරා දේශපාලනික සම්බන්ධතාවන් පවත්වාගෙන ගොස් ඇති අතර, ඔවුහු සසප උද්ඝෝෂකයෝ ඉතා උනුසුම්ව පිලිගත්හ. හැටන් හි ඇබොස්ට්ලී වත්තේ කමිකරු ක්‍රියාකාරී කමිටුව හා සසප එක්ව, පසුගිය මාර්තු මාසයේ හැටන් නගරයේ පැවැත්වූ වතු කම්කරුවන්ගේ සමුලුවටද හන්තාන වත්තේ කම්කරුවන් සහභාගී වූ අතර, එක් කම්කරුවෙක් එම සමුළුව ඇමතුවේය.

සසප සාමාජිකයන් සමග සාකච්ඡා කරන හන්තාන වත්තේ කම්කරුවන්

අනුප්‍රාප්තික ආන්ඩු විසින් ලබාදෙන බවට පොරොන්දු වූ ඉඩම් ප්‍රමානයන් වෙනුවට, වත්තේ ඈත දුෂ්කර කොටස් වලින් සොචිචම් ඉඩමි කැබලි ලබා දීමට වත්මන් ආන්ඩුව දරන ප්‍රයත්නයට එරෙහිව පසුගිය දින වලදී ද විරෝධතාවයක නියැලුන බව කම්කරුවෝ සසප උද්ඝෝෂකයන්ට පැවසූහ.

සෙල්වම් නැමැති කම්කරුවෙකු කියා සිටියේ “මුලදී වතු පාලකයින් හා රජය එක් පවුලකට අක්කරයක ඉඩමක් ලබාදෙන බවට පොරොන්දු වුවත් පසුව එය පර්චස් හතකට අඩු කල” බවය. “වත්තේ ඈත කෙලවරකින් මේ ඉඩම් දීල තියෙන්නෙ. පාසලට කෝවිලට ඒමට විශාල දුරක් පයින් යන්න වෙනව” යැයි ඔහු පැවසීය.

ඈතින් ඉඩමි ලබාදීමේ හේතුව ලෙස වතු පාලකයින් පවසා ඇත්තේ වත්තේ මහා මාර්ගය ආසන්න ඉඩම් නාය යෑමේ අවදානමක් ඇති බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය (එන්බීආර්ඕ) ඒවායේ නිවාස සෑදීමට අවසර නොදෙන බවයි.

නමුත් කම්කරුවන් පැවසුවේ, මහාමාර්ගයට ආසන්න ඉඩම් අක්කර ගනනාවක් කිරිඇල්ල ඇතුළු ඇමතිවරු කිහිප දෙනෙකු දැනටමත් ලබාගෙන ඇති බවත් ඒවා විදේශීය සමාගම්වලට හෝටල් දැමීමට විකිනීමට යන බවත් ය. “අපිට ගෙවල් හදන්න එන්බීආර්ඕ තත්ව සහතිකය දෙන්නෙ නැත්නම් හෝටල් වලට දෙන්නෙ කොහොමද?” යැයි කම්කරුවෝ ප්‍රශ්න කලහ.

“දැනටමත් තේ ෆැක්ටරිය වහලා තියෙන්නෙ. මේ වත්ත තව අවුරුදු කීයක් තියෙයිද කියලා දන්නෙ නෑ. අපි අපේ දවසක පඩිය දීල තියෙනවා, ශ්‍රමදාන කරලා තියෙනවා වත්ත බේරගන්න, අපි කලකිරිලා ඉන්නේ” යැයි සෙල්වම් තවදුරටත් පැවසුවේ ය.

තමා ඇතුලු පිරිසක් රුපියල් 7000 ක් පමන වැය කරමින්, ගිය මාසයේ දී ජනාධිපති හමුවීමට කොලඹට ගොස් මේ ගැටළු විසඳා දෙනලෙස ඉල්ලා ලිපියක් භාර දුන් නමුත් අද වනතුරු කිසිම පිලිතුරක් නොමැති බව සෙල්වම් කියා සිටියේ ය. “අපේ මුදල් සහ කාලය අපතේ ගිය එක විතරයි උනේ”යැයි ඔහු පැවසුවේය.

සෙල්වම් සමග සාකච්ඡාව වර්ධනය වෙද්දී තවත් කම්කරුවන් කීප දෙනෙක්ම එයට ඉතා උනන්දුවෙන් එකතු වූහ.

රජය මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයේ සියලු බර කමිකරු-පීඩිත මහජනතාවගේ කරමත පැටවීම, වත්මන් ආන්ඩුවේ මෙන්ම අනාගතයේ බලයට පත්වන ආන්ඩුවේ පිලිවෙත වන බවත්, ජනවසම වැනි රාජ්‍ය ආයතන පුද්ගලික අංශයට පැවරීම එම පිලිවෙතෙහි කොටසක් බවත් සසප සාමාජිකයෝ ඔවුනට පැහැදිලි කලහ.

පසුගිය කාලය පුරා විවිධ ක්ෂේත්‍රයන්හි කම්කරුවන්, ශිෂ්‍යයන් සහ අවශේෂ පීඩිතයන් ගෙනගිය අරගලයන් කෙරෙහි ආන්ඩුවේ ප්‍රතිචාර උදාහරනයන් ලෙස ගෙන එමින්, හුදු විරෝධතා සහ පාලකයන්ට කරන කන්නලව් මගින් එම පිලිවෙත් ආපසු හැරවිය නොහැකි බව උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.

තම ප්‍රශ්න සඳහා විසඳුම කුමක්දැයි සෙල්වම් ඇතුලු අනෙකුත් කම්කරුවෝ විමසූහ. හැටන් හි පැවැත්වූ වතු කමිකරු සමුලුව පිලිබඳව ලෝක සමාජවාදී වෙබි අඩවියේ (ලෝසවෙඅ) පල වූ ලිපි උපුටා දක්වමින්, සසප එම සමුලුවේදී ඉදිරිපත්කල ජාත්‍යන්තර සමාජවාදී විසඳුම උද්ඝෝෂකයෝ සාකච්ඡා කලහ.

විශාල වතු, කම්හල් හා බැංකු කම්කරු පන්තියේ අයිතියට හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට යටත් කල යුතුය. ගෝලීය ආර්ථිකය ධනපතියන්ගේ ලාභ පිපාසාව සංහිඳවීමට නොව සමජයේ බහුතරයකගේ අවශ්‍යතා ඉටුකරන ආකාරයෙන් යලි සංවිධානය කල යුතු වෙයි. මෙවන් සමාජවාදී ක්‍රියාමාර්ගයක් ප්‍රානවත් කිරීමට නම් ජාත්‍යන්තර පරිමාන සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරු ගොවි ආන්ඩුවක් බලයට පත් කල යුතු බව උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.

එවන් අරගලයකට වෘත්තීය සමිති මුලුමනින්ම එරෙහිව සිටින බැවින්, සමිති වලින් ස්වාධීන වූ කමිකරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව ද උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ.

දේවසදායම් නම් කම්කරුවා සාකචිඡාවට එකතු වෙමින් කියා සිටියේ “අපේ වත්තේ පමනක් නොව අනෙක් වතු වලද එසේ කල යුතු” බවයි.

දේවසදායම්

ඔවුන්ගේ අරගල මැඩීමට වතු පරිපාලනය හා ආන්ඩුව කටයුතු කරන ආකාරය දේවසදායම් පැහැදිලි කලේය: “වත්තේ තුනේ කනුව ලග මාස කිහිපයකට පෙර කම්කරුවන් කල උද්ඝෝෂනයකදී වතු අධිකාරීවරයා පොලීසිය කැඳෙව්වා. එහිදී 9 දෙනෙක් රිමාන්ඩ් කලා. පස්සෙ පොලීසිය කම්කරුවො බිය ගන්නල මින් ඉදිරියට මෙවන් විරෝධතාවයන් සිදු නොකරන බවට පොරොන්දු කරවාගෙන තමයි ඔවුන් නිදහස් කලේ.”

වතු පරිපාලනය විසින් මියගිය සහ විශ්‍රාම යැවූ කම්කරුවන්ගේ අර්ථ සාධක අරමුදල් ලබා නොදුන් බවත් දේවසදායම් කීවේය.

ඔවුන් මුහුන දී ඇති තත්වය ලෝක කම්කරු ප්‍රජාවට දැනගැනීම සඳහා ලෝසවෙඅ ට වාර්තා කරන ලෙසත් එම ලිපි ඔවුන්ට ලැබෙන්නට සලස්වන ලෙසත් ඔහු ඉල්ලා සිටියේ ය.

අනතුරුව දේවසදායම් මෙසේ විමසීය: “විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විරෝධතා කල අවස්ථාවේ ඒ අයට පාලකයො පහර එල්ල කරා. අපටත් එසේ කරයි. එසේ වුවහොත් ඔබේ පක්ෂය අප වෙනුවෙන් ක්‍රියා කරන්නේ කෙසේද?

එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ යුද අපරාධ සහ කුමන්ත්‍රන ලොවට හෙලිකිරීම හේතුවෙන් දඩයමට ලක්ව සිටින ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සසප ඇතුලු හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර ශාඛාවන් ලෝසවෙඅ හරහා ගෙනයන උද්ඝෝෂනය පිලිබඳව සසප සාමාජිකයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කලහ.

බෞද්ධ අන්තවාදී නඩයක් විසින් කරන ලද ව්‍යාජ පැමිනිල්ලක් මත අත්අඩංගුවට ගෙන මාස හතරක කාලයක් බන්ධනාගාරයේ රඳවාගෙන සිටි ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කර ගැනීම සඳහා සසප ගෙනගිය සහ ගෙනයමින් පවතින අරගලය පිලිබඳව ද මෙහිදී පැහැදිලි කෙරුනි.

ජාත්‍යන්තරව වර්ධනය වන පංති අරගල මාලාව දෙසට සාකච්ඡාව වර්ධනය වූ අතර, හොංකොං හි කම්කරුවන්ගේ විරෝධතා රූපවාහිනියෙන් දුටු බව දේවසදායම් පැවසීය.

ජාත්‍යන්තර සමාජවාදය මත පාදක වූ ක්‍රියාකාරී කමිටුවක අවශ්‍යතාව පිලිගත් හන්තාන වත්තේ කමිකරුවෝ සසපයෙන් ඊට අවශ්‍ය දේශපාලනික න්‍යායික දැනුම ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. එම ක්‍රියාකාරී කමිටුව හරහා තම ඉඩම් ප්‍රශ්නයට විසඳුමි ලබා ගැනීමට සටන් වදින බවත් ඔවුහු පැවසූහ.

සසප විසින් 22 දින පවත්වන රැස්වීමට සහභාගී වන බවටත්, ඒ සඳහා ප්‍රචාරක කටයුතු ගෙන යන බවටත්, කම්කරුවෝ ශපථ වූහ.

Share this article: