කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව

2019 අගෝස්තු 5

බෞද්ධ අන්තවාදී කන්ඩායම්වල ව්‍යාජ පැමිනිලි මත ලේඛක ශක්තික සත්කුමාර සිරගත කිරීම සහ තවත් ලේඛකයින් ගනනාවකට අපරාධ චෝදනා මෙහෙයවීම ලංකාව තුල ප්‍රකාශන අයිතියට එරෙහිව එල්ල කෙරී ඇති බලගතු ප්‍රහාරයකි.

මෙය පරාජය කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අත්‍යවශ්‍යභාවය අවධාරනය කරමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) පසුගිය ජුනි 24වන දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා කැඳවුමක් කලේය.

“ලේඛක ශක්තික සත්කුමාර සහ කලාවේ නිදහස ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගනු” යන මැයෙන් කරනු ලැබූ එම කැඳවුමට සහයෝගය පලකරමින් කලාකරුවන්, කම්කරුවන්, තරුනයන් සහ බුද්ධිමතුන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා කැපවන බොහෝ දෙනෙක් ලෝසවෙඅ වෙත ප්‍රකාශ නිකුත් කරමින් සිටිති. එසේ ම ඔවුහු ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැංවීම සඳහා සසප සමග සාකච්ඡාවන්ට එලැඹ සිටිති.

2019 අගෝස්තු 9වන දින සවස 3.00 ට කොලඹ ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ දී එම ක්‍රියාකාරී කමිටුව පිහිටුවීම සඳහා ප්‍රසිද්ධ රැස්වීමක් කැඳවා සිටින සසප හා සමාජ සමාන;ාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) එයට සහභාගී වන ලෙස කලාකරුවන්ගෙන්, කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ ප්‍රගතිශීලි බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

අපි මෙම ක්‍රියාකාරී කමිටුව පිහිටුවීමේදී ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලය විසින් 2019 ජුනි 20වන දින පල කල “ජූලියන් අසාන්ජ් ඇමරිකාවට පිටමං කිරීම වලක්වන ලෝක පරිමාන උද්ඝෝෂන ව්‍යාපාරයක් සඳහා” ප්‍රකාශය මත පදනම් ව සිටිමු.

එම ප්‍රකාශයට අනුව “ලෝක ධනේශ්වර ක්‍රමයේ මූලික ශාපයන් වන සූරාකෑමට, ආඥාදායකත්වයට හා යුද්ධයට එරෙහි සටනේ ද භාෂනයේ නිදහස හා සත්‍යය ආරක්ෂා කිරීමේ අරගලයේ ද 21වන සියවසේ තීරනාත්මක යුද පිටිය වන්නේ ජූලියන් අසාන්ජ් පිලිබඳ ප්‍රශ්නයයි.” ලේඛක සත්කුමාරගේත් කලාවේ හා ප්‍රකාශනයේත් නිදහස ආරක්ෂා කරගැනීම පිලිබඳ ප්‍රශ්නය ජුලියන් අසාන්ජ් ගේ නිදහස ආරක්ෂා කරගැනීමේ අරගලය සමග අත්‍යන්තයෙන් බැඳී පවතී.

එම ප්‍රකාශනය තුල මෙවැනි ක්‍රියාකාරී කමිටුවල ස්වභාවය සම්බන්ධයෙන් අවධාරනය කලේ මෙසේ ය: “ප්‍රජාතන්ත්‍ර අයිතීන් සුරැකීමට මූලධර්මාත්මකව කැපවීමේ පදනම මත අපි, මෙම ඓතිහාසික සටන තුල සියලු ප්‍රගතිශීලී, සමාජවාදී හා වාමාංශික පුද්ගලයින්ගේ හා සංවිධානවල සහක්‍රියාකාරිත්වය සාදරයෙන් පිලිගන්නා අතර, එවන් සහභාගිත්වයක් ද බලාපොරොත්තු වෙමු. මෙම කමිටුවට සම්බන්ධවන අය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන දේශපාලන දෘෂ්ටියේ හා වැඩපිලිවෙලේ සියලු අංග සමග එකඟ වීමක් අපට අවශ්‍ය නොවන අතර අපි එවැන්නක් බලාපොරොත්තු ද නොවෙමු. අනිවාර්යයෙන්ම දේශපාලන දකුන ඉවත් කර, මෙම තීරනාත්මක ආරක්ෂක උද්ඝෝෂනයට සම්බන්ධවන අය අතර, පුලූල් පරාසයක විවිධ ආස්ථානයන් තිබිය හැකිය. මෙම කමිටුවට සම්බන්ධ වන අයගෙන් අප ඉල්ලා සිටින්නේ, ප්‍රජාතන්ත්‍ර අයිතීන්ගේ ආරක්ෂාවට කොන්දේසි විරහිතව කැපවන ලෙස හා ජූලියන් අසාන්ජ්ගේ හා චෙල්සි මැනිංගේ නිදහස රඳා ඇත්තේ පුලුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැඟීම මතය යන්න පිලිගන්නා ලෙසය.”

ලේඛක සත්කුමාරගේත් කලාවේ හා ප්‍රකාශනයේත් නිදහස ආරක්ෂා කරගැනීම උදෙසා ගෙන යන අරගලය ජයගත හැකි එකම ප්‍රවේශය වන්නේ මෙවැනි ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානාත්මක රාමුවක් මත ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමයි.

එය ගොඩනැගීම සඳහා කැඳවා ඇති රැස්වීමට සහභාගි වන ලෙස කලාකරුවන්ගෙන්, කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් හා ප්‍රගතිශීලි බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

ශක්තික සත්කුමාර නිදහස් කරනු!

සත්කුමාර සහ අන් කලාකරුවන්ට එරෙහි නඩු කටයුතු අහෝසි කරනු!

කලාවේ නිදහස ආරක්ෂා කරනු!

අයිසිසීපීආර් පනත අහෝසි කරනු!

හදිසි නීතිය අහෝසි කරනු!

දිනය-2019 අගෝස්තු 9

වේලාව- ප.ව. 3.00

ස්ථානය- ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රය, කොටා පාර, කොලඹ 08.

සමාජවාදී සමානතා පක්ෂය / සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

Share this article: