සීඩබ්ලිව්සී ය වතු කම්කරුවන් මුලා කිරීමේ නව පෙරමුනක් ගොඩ නගයි

එම්. දේවරාජා විසිනි, 2019 අගෝස්තු 6

ප්‍රධාන වතු වෘත්තීය සමිතියක් වන ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය (ඩීපීසී) සහ ජාතික සටන්කරුවන්ගේ පක්ෂය (එන්එෆ්සී) සමග එකාබද්ධව මෑත දී නව දේශපාලන පෙරමුනක් ගොඩනැගීය.

සීඩබ්ලිව්සී ය කලින් පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ පාර්ශවකරුවෙක් වූ අතර එහි නායක ආරුමුගම් තොන්ඩමන් කැබිනට් ඇමතියෙකු විය. ඩීපීසී ය ප්‍රජාතන්ත්රවාදී ජනතා පෙරමුනෙන් බිඳුනු කුඩා වෘත්තීය සමිතියකි. එහි නායක ප්‍රභා ගනේෂන් ද රාජපක්ෂ තන්ත්‍රයේ නියෝජ්‍ය ඇමැතියෙකි.

එන්එෆ්සී ය පිහිටුවාගෙන ඇත්තේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් කන්ඩායමක් විසිනි. එය එක්සත් ජනපද ගැති කොලඹ ආන්ඩුවේ ප්‍රධාන මුක්කුවක් වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) සමග එක්ව පසුගිය පලාත් පාලන මැතිවරනය තරඟ කලේ ය. එන්එෆ්සී නායකයෝ මෑත දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) නායක මහින්ද රාජපක්ෂ හමුවුහ.

වතු කම්කරුවන්ගේ චන්ද ගසාකෑම පිනිස මැතිවරන කාල පරිච්චේද වල දී සන්ධාන ගොඩනගන මෙම වතු වෘත්තීය සමිති බලයේ සිටින ආන්ඩුවලට සහයෝගය දෙන අතර ඒවායෙහි නිලධරය ඉමහත් වරප්‍රසාද භුක්ති විඳිති. ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුන (ඩීපීඑෆ්) සහ කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) 2015 දී දෙමල ප්‍රගතිශීලී පෙරමුන (ටීපීඑෆ්) පිහිටු වී ය. එය සිරිසේන- වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට සහයෝගය දුන්නේ ය.

මෙම වෘත්තීය සමිති වල නායකයන් වන පී. දිගම්බරම්, මනෝ ගනේෂන් සහ වී. රාධක්‍රිශ්නා වර්තමාන ආන්ඩුවේ ඇමතිකම් දරති.

සීඩබ්ලිව්සී ය තවමත් නිවේදනය කර නැතත් සියලුම ඇඟවීම් මගින් ඉඟි කෙරෙන්නේ එලඹෙන මැතිවරනවල දී එය ශ්‍රීලංපොපෙ ට සහයෝගය දෙන බවය. සීඩබ්ලිව්සී ය නායකත්වය දෙන නව පෙරමුන යෝජනා 30 ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. “නුවර එලිය දිස්ත්‍රික්කයේ විශ්ව විද්‍යාලයක් පිහිටුවීම, ඌව පලාතට තවත් ගුරු පුහුනු කොලීජියක්, හැටන් ප්‍රදේශයට විවෘත විශ්වවිද්‍යාලයේ ශාඛාවක්, උසස් පෙල සඳහා වානිජ සහ විද්‍යා අංශවල පහසුකම් සහිතව වතු දිස්ත්‍රික්ක 14 තුල ප්‍රමානවත් තරම් පාසල් පිහිටුවීම සහ ඉන්දියානු සම්භවයක් සහිත ජනයාගේ රැකියා පහසුකම් වැඩි දියුනු කිරීම සඳහා සෑම 10 වසරකට වරක් විශේෂ වැඩ පිලිවෙලවල් ක්‍රියාවට දැමීම” එම යෝජනාවලට ඇතුලත් වෙයි.

සීඩබ්ලිව්සී ය නායකත්වය දෙන මෙම නව පෙරමුනේ අරමුන ඔවුන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීම යයි කිසිදු හිතන මතන වතු කම්කරුවෙකු විශ්වාස නොකරනු ඇත.

රුපියල් 1000 ක දෛනික මූලික වැටුපක් සඳහා කම්කරුවන්ගේ දීර්ඝ අරගලය සීඩබ්ලිව්සී නායක තොන්ඩමන් ඇතුලු සෙසු සියලු වතු වෘත්තීය සමිති නායකයන් විසින් නරුම ලෙස පාවා දෙනු ලැබුවේ යන්තම් මාස හයකට පෙරාතුව ය. ඔවුහු කම්කරුවන්ගේ ඉල්ලීමට ප්‍රතිවිරුද්ධව කලින් පැවති දීමනා කප්පාදු කරමින් සංගම් විසින් නියම කල රුපියල් 700 ක දෛනික වැටුපට එකඟ වූහ. ඒ අනුව යතාවශයෙන් වැටුප් වැඩි වූයේ රුපියල් විස්සකිනි. මෙය සීඩබ්ලිව්සී ය සහ සෙසු සමිති විසින් අතීතයේ කරන ලද කරන ලද පාවාදීම් වල දිගු ලැයිස්තුවක නවතම පාවාදීමය.

වතු කම්කරුවන් බරපතල ලෙස විරුද්ධ වූ ආදායම් බෙදීමේ ක්‍රමය ක්‍රියාවට දැමීමට වතු සමාගම්වලට සහයෝගය දෙන බවට ද සාමූහික ගිවිසුමේ දී වෘත්තීය සමිති එකඟ වුහ. මෙම ව්‍යාපෘතිය කම්කරුවන් සූරාකෑම තීව්‍ර කිරීමේ ක්‍රමයකි. එය ක්‍රියාවට දැමු විට සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල වැනි අවම සමාජ සහන ඇතුලු කම්කරුවන්ගේ අයිතීන් අහෝසි කෙරෙයි.

කම්කරුවන්ගේ ජීවන කොන්දේසි වැඩි දියුනු කිරීමේ ඉල්ලීම යෝජනා මාලාවෙන් අතුරුදහන් වී ඇත. එය පුදුමයකට කරුනක් නොවෙයි. සමාගම් පාඩු ලබන නිසා තව දුරටත් වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නැති බව සීඩබ්ලිව්සී ඇතුලු සෙසු වෘත්තීය සමිති ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

මෙම ඉල්ලීම් ඉදිරිපත් කිරීම මගින් නව පෙරමුන කම්කරුවන්ගේ කොන්දේසි වැඩි දියුනු කිරීමට උත්සාහ කරන බවක් මවා පායි. දසක ගනනාවක පාවාදීම් මගීන් අපකීර්තියට පත් වී ඇති එය කම්කරුවන්ගේ අනුකුලත්වය දිනා ගැනීමේ මන්මුලාසහගත ප්‍රයත්නයක යෙදෙයි. අතීතයේ දී එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියෝග කරන ලද කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමේදී හා දෙමල සුලුතර ජනයාට එරෙහි උතුරු-නැගෙනහිර වාර්ගික යුද්ධයේ දී ආන්ඩුවලට සහයෝගය දුන්නේ ය.

අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු, මෑත මාසවල දී සීඩබ්ලිව්සී ය එහි සෙසු පාර්ශවකරුවන් සමග එක්ව හදිසි නීති බලාත්මක කිරීමට සහ මර්දනකාරී මෙහෙයුම් සඳහා හමුදාව යෙදවීමට සහයෝගය දුන්නේ ය.

වතු කම්කරුවන්ට අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැඩි දියුනු කිරීම අතිශයින් ම අවශ්‍ය ය. තරුනයන් ට රැකියා සහ වඩා හොඳ වැටුප් සහ සියලුම කම්කරු පවුල් වලට නව නිවාස උවමනාය.

එහෙත්, දසක ගනනාවක නොතකා හැරීම හා දෙවන ගනයේ පුරවැසියන් ලෙස සැලකීමේ තත්වය තුල ගෝලීය ධනවාදී අර්බුදයේ බලපෑම සමග වතු කම්කරුවෝ අද යතා අන්තරායන් ට මුහුන දෙති.

ලෝක වෙලඳපොල තුල නිර්දය තරඟයක යෙදී සිටින වතු සමාගම් සීමා සහිත සමාජ කොන්දේසි පවා විනාශ කරමින් සූරාකෑම තීව්‍ර කිරීමට උත්සාහ කරති. මෑත වැටුප් අරගලයේ දී පෙන්නුම් කල පරිදි බලයට පත්වන ආන්ඩු මෙම පිලිවෙතට සහයෝගය දෙයි.

ලාභය සඳහා පොරබදන වතු සමාගම් යටතේ කම්කරුවන්ට තම කොන්දේසි දැඩි දියුනු කර ගත නොහැකිය.

ආදායම් බෙදීමේ ව්‍යාපෘතිය යටතේ ඔවුන් යෝජනා කර ඇත්තේ නිශ්චිත තේ පඳුරු සංඛ්‍යාවක් සහිත ඉඩම් කැබැල්ලක් ලබාදීම මගින් කම්කරුවන් ශ්‍රම වහලුන් බවට පරිවර්තනය කිරීමේ ක්‍රමයකි. සමාගමට තේ දලු සපයමින් ජීවිකාව පවත්වා ගැනීම පිනිස කම්කරුවාට ඔහුගේ මුලු පවුලම සමග කැඹිරිය යුතු ය. කම්කරුවාගේ පවුල ශ්‍රම වහලුන් බවට පරිවර්තනය කිරීම තුලින් නිෂ්පාදන පලදායිත්වය වැඩිකර ගැනීමටත් එමගින් ලාබ ඉහල දමා ගැනීමටත් සමාගම් මාන බලයි.

මෙම තත්වය තුල ”වතු සමාජය කුඩා වතු හිමියන් බවට පරිවතනය කල යුතු” බවට සීඩබ්ලිව්සී ය කරන යෝජනාව අර්ථභාරීය. මෙම වැඩ පිලිවෙල යටතේ කම්කරුවන්ට ඔප්පුවක් දෙන බවත් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාවට දමන බවත් යෝජනාව සඳහන් කරයි. නිවාස ව්‍යාපෘතියකින් සහ ඉඩම් හිමිකමකින් සරසා ඇතත් මෙම යෝජනාව ප්රතිගාමී එකකි. එය බද්ධවන්නේ කම්කරුවන්ට කැඹිරීම සඳහා ඉඩම් කැබැල්ලක් යෝජනා කරන ආදායම් බෙදීමේ ක්‍රමය සමග ය.

ශ්‍රී ලංකාවේ අක්කරයක, දෙකක තේ හෝ රබර් වගා කරන සුළු ගොවීන් සිටින බව රහසක් නොවෙයි. දැවැන්ත ලාභ පොදිගසා ගන්නා සමාගම්වලට අයත් විශාල කර්මාන්ත ශාලාවට තේ දළු සපයමින් ආදායමක් උපයා ගැනීම පිනිස වගා කිරීම, නඩත්තු කිරීම සහ අස්වැන්න නෙලීම සඳහා මෙම සුලු ගොවීහු කොඳු කඩාගෙන වැඩ කරති. මෙම කම්හල් බොහොමයක හිමිකාරිත්වය දරන්නේ වතු කම්කරුවන් සේවයේ යොදවනු ලබන සමාගම් ය.

විශාල වතු කැබෙලි කරමින්, කම්කරුවන් සුලු ගොවීන් හෝ ශ්‍රම වහලුන් බවට පරිවර්තනය කිරීම සමාගම් වලට මිස කම්කරුවන්ට ”විසඳුමක්” නොවේ. මෙම මර්දනකාරී පියවර මගින් සිදුවන්නේ තම අයිතීන් සඳහා සටන් කරන පන්තියක් ලෙස කම්කරුවන් සතු ශක්තිය දුබල කිරීම හෝ විනාස කිරීම පමනි.

කම්කරුවන්ගේ ප්‍රශ්නවලට ආමන්ත්‍රය කල හැකි වන්නේ සුලුතරයකගේ ලාබය සඳහා නොව බහුතරයේ පලප්‍රයෝජනය පිනිස විශාල වතු කම්කරු පාලනය යටතේ ජනසතු කිරීමෙන් හා නිෂ්පාදනය තාර්කිකව සංවිධානය කිරීම මගින් පමනි. මෙය ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ පෘථුල අරගලයක කොටසකි.

ලෝකය පුරා ඔවුන්ගේ පාර්ශවකරුවන් මෙන් ම, අර්බුදග්‍රස්ත ශ්‍රීලංකාවේ පාලක පන්තිය උත්සාහ කරන්නේ අර්බුදයේ බර කම්කරුවන්ගේ හා දුගීන්ගේ කොඳු මතට කඩා පාත් කිරීමට ය. එය ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ වර්ධනය වන සටන් ව්‍යාපාරය කෙරෙහි භීතියෙන් ඇලලී ඇත. මෙම අරගලවල කොටසක් ලෙස දෙසැම්බර් මාසයේ දින නවයක වර්ජනය ඇතුලු ලක්ෂයක් වතු කම්කරුවන්ගේ සටන් ක්‍රියාවන් පාලක පන්තිය තුල කම්පනයක් ඇති කලේ ය. සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ විසින් නායකත්වය දෙන පාලක පන්තියේ කන්ඩායම් ඔවුන්ගේ අර්බුදයේ මුලු බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා ආන්ඩු බලය අල්ලා ගැනීමට සහ පන්ති අරගල තලා දැමිය හැකි පොලිස් රාජ්‍යයක් තහවුරු කිරීමේ සියලු ප්‍රතිගාමී උත්සාහයන් හි නිරතව සිටිති.

සෙසු වෘත්තීය සමිති මෙන් ම, සීඩබ්ලිව්සී ය ඇත්ත වශයෙන් ම, සූදානම් කරමින් සිටින්නේ එවන් ආඥාදායක පාලනයක් ශ්‍රී ලංකාව තුල බලයට ගෙන ඒමට ය. කම්කරුවන් ඔවුන්ගේ මවා පෑම් ප්රතික්ෂේප කරමින් ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස සංවිධානය විය යුතු ය. වතු අරගලය තුල දී ඇබොට්ස්ලී වත්තේ කම්කරුවන් කල පරිදි ඔවුහු වෘත්තීය සමිති වලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතුය. එය සමාජවාදී පිලිවෙත් වලට සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට කම්කරුවන්ට හැකියාව ලබා දෙනු ඇත.

Share this article: