ජෙරමි කෝබින් හා බලයට පැමිනි බෝරිස් ජොන්සන්

Jeremy Corbyn and the coming to power of Boris Johnson

2019 ජූලි 30

බෝරිස් ජොන්සන් කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය ගෙන අගමැති වීම පිලිබඳව කම්කරුවන් අතර පවතින පොදු ප්‍රතිචාරයක් වන්නේ “එය සිදු වූයේ කෙසේද?” යන්න යි.

රැකියා, වැටුප් හා සේවා කොන්දේසි කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති කිරීමට නියමිත, යුරෝපා සංගමයෙන් “ගනුදෙනුවක් රහිත” ඉවත් වීමක් සඳහා කැපවුනු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වඩාත් ම දක්ෂිනාංශික ආන්ඩුවට ජොන්සන් නායකත්වය දෙයි. “පහල පර්යායන්” කෙරෙහි තමාට ඇති අවඥාව සැඟවිය නොහැකි පැරනි එටෝනියානුවකු (බ්‍රිතාන්‍යයේ ප්‍රභූ එටෝනියන් පාසැලේ පැරනි සාමාජිකයෙකු) වන ඔහු, මිලියන ගනන් කම්කරුවන්ගේ විසින් හෙලා දැකීමට බඳුන් වේ. එහෙත් දැන් ඉහල ම දේශපාලන ධූරය භාරගෙන ඇති ඔහු, යම්කිසි සාර්ථකත්වයක් සහිත ව, ඔක්තෝබර් 31 වන දින යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ලැබෙන ජනවරමක් සහිත හදිසි මැතිවරනයක් ගැන කල්පනා කරමින් සිටින බව වාර්තා වන්නේ, ඉන්පසු මහා ව්‍යාපාර හා ධනවතුන් සඳහා ඔහුගේ බදු කප්පාදු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ය.

අගමැති බෝරිස් ජොන්සන් ඩව්නිං වීදියට පැමිනේ [ස්තුතිය: ෆ්ලිකර් - අංක 10 ඩවුනිං වීදිය]

ජොන්සන් සහ තැචර්වාදී දෘෂ්ටිවාදීන්ගෙන් සමන්විත ඔහුගේ කැබිනට් මන්ඩලයේ නැගීම පිලිබඳ දේශපාලන වගකීම ජෙරමි කෝබින්ගේ දොරකඩ තැබිය යුතු ය. මහා ව්‍යාපාරිකයින්ට සහ එහි දේශපාලන ආරක්ෂකයින්ට එරෙහිව අරගලයක් දියත් කිරීමට කම්කරුවන් දරන සියලු උත්සාහයන් ඔහු විසින් මැඩපැවැත්වීමට ස්තූති වන්නට, ජොන්සන් රජයක් සඳහා දේශපාලන වින්නඹු මාතාව ලෙස කටයුතු කර ඇත්තේ ඔහු ය.

ලේබර් පක්ෂයේ නායකයා ලෙස කෝබින් ගත කල වසර හතර, බ්‍රිතාන්‍ය හා ජාත්‍යන්තර කම්කරු පන්තියට මූලෝපායික අත්දැකීමකි. පාලක පන්තිය වෙනුවෙන් පන්ති අරගලය මත පොලිස්කාර කමේ යෙදෙන ලේබර් හා වෘත්තීය සමිති නිලධරයට කිසිදු දේශපාලන අභියෝගයක් අභිමුඛ වීම වැලැක්වීම සඳහා “වමේ” යැයි කියාගන්නවුන්ගේ තීරනාත්මක කාර්යභාරය එම වසර හතර විසින් සනාථ කරයි.

ඔහුගේ බ්ලෙයාර්වාදී විරුද්ධවාදීන් තිදෙනාටත්, ඔවුන්ගේ “කප්පාදු-හිතවාදී” හා අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ පිලිවෙතටත් එරෙහි දේශපාලන අවර ගැස්මක් ගෙන දෙමින්, සියයට 59.5ක පලමු මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් 2015 සැප්තැම්බර් මාසයේ දී ඔහු පක්ෂයේ නායකයා ලෙස තේරී පත් විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 172 දෙනෙකුගේ ඡන්ද සහිත ව 2016 ජුනි මාසයේ දී විශ්වාසභංග යෝජනාවක් හරහා ඔහු ව නෙරපා හැරීමට බ්ලෙයාර්වාදීන් පියවර ගත් විට, එය ගැස්සී ගියේ ය. කෝබින් සියයට 61.8 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර එය 2015 ට වඩා 62,000 කින් වැඩි ය. ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයින් ඔහු සමග එක් වූ අතර, එම නිසා 2017 වන විට ලේබර් සාමාජිකයින් සංඛ්‍යාව මිලියන භාගයකට වඩා අධික වූයේ, එය යුරෝපයේ විශාලතම පක්ෂය බවට පත්කරමිනි.

යුරෝපා සංගමය සමඟ වාසිදායක බ්‍රෙක්සිට් ගනුදෙනුවක් තහවුරු කරගැනීමට පොරොන්දු වීමෙන්, තමන්ට සහයෝගය ලබා ගැනීමට හැකි වනු ඇතැයි ගනන් බලමින්, 2017 දී අගමැතිනි තෙරේසා මේ හදිසි මහ මැතිවරනයක් කැඳවී ය. ඒ වෙනුවට ලේබර් ඡන්ද ප්‍රමානය සියයට 40 ක් දක්වා ඉහල ගියේ, 1947 දී ක්ලෙමන්ට් ඇට්ලීට පසුව ලැබූ ලොකුම අගය වාර්තා කරමින් සියයට දහයක ඉහල යාමක් ලබාගනිමිනි. ටෝරීන්, ඩෙමොක්‍රටික යූනියන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගේ සහාය මත යැපෙන සුලුතර ආන්ඩුවක් දක්වා ලඝු කරනු ලැබී ය.

බ්ලෙයාර්වාදී දක්ෂිනාංශයට එරෙහි ව අරගලයක් දියත් කොට, ටෝරීන්ට එරෙහි අරගලය ගෙනයාමට මීට වඩා හිතකර තත්ත්වයක් කිසිදු ලේබර් පක්ෂ නායකයෙකුට තිබිය නො හැකි ය. කෝබින්, කප්පාදු-විරෝධී හා යුද-විරෝධී වාමාංශික රැල්ලක් මත ලැග සිටි අතර, එම රැල්ලට ඔහු ව පහසුවෙන් ම බලයට පත්කල හැකි ව තිබුනි. එහෙත් කෝබින්ගේ කේන්ද්‍රීය ඉලක්කය වූයේ, බ්ලෙයාර්වාදීන් නෙරපා හැරීමේ සියලු උත්සාහයන් වැලැක්වීම වූයේ, සිරියාවේ යුද්ධය පිලිබඳ නිදහස් ඡන්දයකට ඉඩ දීම, නැටෝ සාමාජිකත්වය හා ට්‍රයිඩන්ට් න්‍යෂ්ටික මිසයිල පද්ධතිය පිලිගැනීම සහ ලේබර් පක්ෂය විසින් පාලනය කරන පලාත් පාලන ආයතන ටෝරීන් විසින් නියම කරන ලද කප්පාදූන් කීකරු ව පැනවිය යුතු යැයි අවධාරනය කිරීම ඇතුලු බ්ලෙයාර්වාදීන්ගේ ක්‍රියාමාර්ගය අනුක්‍රමයෙන් ඔහු විසින් අනුගමනය කරද්දී ය.

ඔහුගේ ජනප්‍රියත්වයේ උච්චතම අවස්ථාවේ දී, කෝබින් බ්ලෙයාර්වාදීන්ට එරෙහි සකල විරුද්ධත්වයන් නවතා දැමීමට පියවර ගත්තේ ය. 2018 දී ඔහු බ්ලෙයාර්වාදී මන්ත්‍රීවරුන් දැරූ ආසනවලට මන්ත්‍රීවරුන් අනිවාර්යයෙන් යලි තෝරාගැනීම සඳහා වන ඉල්ලීම්වලට විරුද්ධ වීමට වෘත්තීය සමිති නිලධරය සමඟ එක් වූ අතර, ඡායා චාන්සලර් ජෝන් මැක්ඩොනෙල් ලන්ඩන් නාගරිකයේ සහාය දිනා ගැනීම සඳහා “සන්ධ්‍යා භෝජන” මෙහෙයුමක් දියත් කලේ ය.

බ්‍රෙක්සිට් අරබයා වූ ටෝරි අර්බුදය මේ වසරේ අප්‍රේල් මාසයේ මේගේ බිඳවැටීමට තර්ජනය කල විට, කෝබින් ඇගේ රජය බේරා ගැනීමට පියවර ගත්තේ ය. මහ මැතිවරනයක් සඳහා වූ ඉල්ලීම් අතහැර දැමූ ඔහු, “ජාතික අවශ්‍යතා” ආරක්ෂා කිරීමේ නාමයෙන් මේ සමඟ සාකච්ඡා ආරම්භ කලේ ය. මේට අවසාන ප්‍රහාරය එල්ල කිරීමේ අවස්ථාව එමගින් ඇගේ ම පක්ෂයේ දැඩිමතධාරී බ්‍රෙක්සිට් කන්ඩායමට අතහැර දැමුනු අතර, අවසානයේ ජොන්සන් 2016 සිට ඡන්දයෙන් තේරී පත් නො වූ දෙවන ටෝරි අගමැති බවට පත්විය.

බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් තවමත් ගැඹුරින් බෙදී ඇති ජොන්සන් නායකත්වය දෙන ආන්ඩුවේ බහුතරය යන්තම් තුනක් පමනි. එහෙත් කෝබින්, තමන්ගේ ම පක්ෂයේ දේශපාලන තීන්දු ගැනීම, යුදෙව්-විරෝධය පිලිබඳ ව්‍යාජ කියාපෑම් මත පදනම් ව වාම-ලේබර් සාමාජිකයන් කාර්යබහුල ව දඩයම් කරමින් සිටින හා කෝබින් ඉවත් කිරීමට ක්‍රියාකාරී ව කුමන්ත්‍රනය කරමින් සිටින බ්ලෙයාර්වාදීන්ට භාර දී තිබේ. ලේබර් මන්ත්‍රීවරුන් රූපට් මර්ඩොක්ගේ සන් වෙත “පුද්ගලිකව” පවසා ඇත්තේ, “ජොන්සන් මහතා අංක 10 වෙත ගෙනයාම නිශ්චිත ව ම පාහේ ලේබර් නායකයා වෙනස් කිරීමට කරන කුමන්ත්‍රන උත්සාහයන් ‘වේගවත්’ කරනු ඇති බව යි. එක් අයෙක් මෙසේ පැවසීය: ‘බොරිස් සිටීම අපට යහපතක් වනු ඇත්තේ එය සිදුවිය යුතු දේ වේගවත් කරන බැවිනි.’ ”

ලේබර් පක්ෂය යුරෝපා සංගමය තුල රැඳී සිටීමට කැපවිය යුතු බව බ්ලෙයාර්වාදීහු අවධාරනය කරති. ඔවුන්ගේ ඉදිරිදර්ශනය වන්නේ, ලිබරල් ඩිමොක්‍රටිකයින්, ස්කොට්ලන්ත ජාතික පක්ෂය සහ වේල්සයේ පක්ෂය වන ප්ලයිඞ් සිම්රූ සමඟ ජාතික සමගි ආන්ඩුවකි. මෙය, 2016 ජනමත විචාරන ඡන්ද විමසීම “වෙස්ට්මිනිස්ටර් ප්‍රභූව” විසින් පාවාදීමට එරෙහි සතුරුකම මත කේන්ද්‍ර කර ගත් ජාතිකවාදී උද්ඝෝෂනයක් දියත් කරමින්, ටෝරිවරුන්ට නයිජල් ෆරාජ්ගේ බ්‍රෙක්සිට් පක්ෂය සමඟ සන්ධානගතව සරත් සෘතුවේ හදිසි මැතිවරනයකින් ජයග්‍රහනය ලැබීමේ හැකියාව ලබා දේ.

බොහෝ ලේබර් ආධාරකරුවන් රැඳී සිටීමට ඡන්දය දුන්න ද, වැඩි වසයෙන් බ්‍රෙක්සිට් පක්ෂය විසින් ඉලක්ක කරනු ලබන එහි උතුරු කම්කරු පන්තික හදවතෙහි සියයට 26 ත් 34 ත් අතර සංඛ්‍යාවක් පිටවීමට ඡන්දය දුන් හ. කෝබින් විසින් ජනනය කරන ලද ව්‍යාකූලත්වයේ හා මංමුලාවේ සංයෝජනය මැයි 26 යුරෝපීය මැතිවරනයේ දී ඇඟවුම් කෙරුනේ, ලේබර් පක්ෂයේ රැඳී සිටිය යුතු යයි කියන ඡන්ද ප්‍රදේශවල සහයෝගය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්ටත්, බ්‍රෙක්සිට් ආධාරක ප්‍රදේශවල දී ෆැරේජ්ගේ සංක්‍රමන-භීතික පක්ෂයටත් ලබා දෙමින් ලේබර් ඡන්ද ප්‍රමානය සියයට 15 දක්වා බරපතල ලෙස පහත හෙලමිනි.

කැරොලයින් ෆ්ලින්ට් ප්‍රකාශ කල පරිදි, පාර්ලිමේන්තුමය පිටවීමේ ඡන්ද විමසීමක දී, බ්‍රෙක්සිට් සඳහා සහාය දක්වන ලේබර් මන්ත්‍රීවරුන් 40 කට වැඩි පිරිසක් ජොන්සන්ගේ රජයට සහාය දුන හොත් ඔහුට මැතිවරනයක් කැඳවීමෙන් වැලකී සිටීම ද කල හැකි ය. කෝබින්ගේ නායකත්වය යටතේ බහිෂ්කරනය කරනු ලැබෙන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය මුහුන දෙන විශාලතම පාලන අර්බුදයට කම්කරු පන්තිය තමන්ගේ ම අවශ්‍යතාවන් සහිත ව මැදිහත් වීම යි.

භූමිකාවෙහි සුවිශේෂී කිසිවක් නොමැත. යුරෝපා සංගමයේ පිටුබලය ලබන කප්පාදුවට එරෙහිව සටන් කිරීමට පොරොන්දු වෙමින් 2015 ජනවාරියේ බලයට පැමින, එහි දක්ෂිනාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී පූර්වගාමීන්ටත් වඩා ගැඹුරු කප්පාදු පැනවූ ග්‍රීසියේ සිරිසා හි දේශපාලන අඩිපාර ඔහු විසින් අනුගමනය කරයි. එක්සත් රාජධානියේ කෝබින් වේවා, එක්සත් ජනපදයේ බර්නි සැන්ඩර්ස් වේවා, සෑම තැනකම නිල “වාමාංශය” ක්‍රියා කරන්නේ පන්ති අරගලය මැඩපැවැත්වීමට සහ දේශපාලන ජයග්‍රහනය දකුනට භාර දීමට වන අතර, එම තතු යටතේ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බ්‍රිතාන්‍ය දේශපාලන සර්වසාම්‍යය දැන් 10 ඩව්නිං වීදිය අරක්ගෙන සිටී.

සෑම දෙයක්ම රඳා පවතින්නේ කම්කරු පන්තිය අවශ්‍ය දේශපාලන නිගමන උකහා ගැනීම මත ය.

අධිරාජ්‍යවාදී පාලනයේ පක්ෂයක් වන ලේබර් පක්ෂය, සාමාන්‍ය සාමාජිකයන් විසින් බලපෑම් යොදා කප්පාදුවලට, මිලිටරිවාදයට හා යුද්ධයට විරුද්ධ උපකරනයක් බවට පරිවර්තනය කල නො හැකි ය. කෝබින් වැනි “වම්මු” ධනපති පන්තියේ පක්ෂපාතී ආරක්ෂකයෝ ය. තම පාලනයෙන් පිටපැනිය හැකි කම්කරු පන්තියේ ව්‍යාපාරයක් බලමුලු ගැන්වීමේ අවදානම ගන්නවාට වඩා ඔවුන් (කෝබින් වැන්නන්) තමන්ගේ ම ආධාරකරුවන් නෙරපා හැරීම සංවිධානය කරනු ඇත.

කෝබින් විසින් ඉදිරියට දමන ප්‍රතිසංස්කරනවාදී බොරු බෙහෙතට හෝ බ්‍රෙක්සිට් සඳහා හෝ යුරෝපා සංගමයේ රැඳී සිටීමට සහයෝගය දැක්වීමෙන් කම්කරු පන්තිය මුහුන දෙන දැවෙන සමාජ අර්බුදයට පිලිතුරු දිය නො හැක. බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් පාලක කවයන් අතර ගැටුම වනාහි, සමස්ත ලෝකයම මිලිටරි ගැටුමකට ඇද දැමීමට තර්ජනය කරන තීව්‍ර වන වෙලඳ යුද්ධයක දී ගත යුත්තේ එක්සත් ජනපදයේ පැත්ත ද නැතහොත් ජර්මනිය හා ප්‍රන්සයේ පැත්ත ද යන්න අරබයා වූ එකකි. මෙයට මිල ගෙවනු ඇත්තේ, ගෝලීය තරඟකාරිත්වයේ නාමයෙන් සිදු කරන වේගවත් කප්පාදුවකින් හා අන්ත දක්ෂිනාංශයේ වර්ධනය යන ඒවායෙනි.

සමාජවාදය සඳහා වන බ්‍රිතාන්‍ය, යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් පමනක් ඉදිරි මාවතක් සපයයි. පන්ති අරගලය යටපත් කර තිබුනු දශක ගනනාවකට පසු, අපකීර්තියට පත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හා වෘත්තීය සමිතිවලට එරෙහි ව, එක් රටකට පසු තවත් රටක වැඩ වර්ජන මාලාවක් ලෙස පුපුරා ගිය දේශපාලන කැරැල්ලක් තුල ආරම්භක ප්‍රකාශනය ලෝකය විසින් දැක ගනිමින් ඇත. වාම විකල්පයක් නියෝජනය කරන බවට කෝබින් කරන කියාපෑම හෙලිදරව් කිරීමෙන්, සමාජවාදී සමානතා පක්ෂයේ නායකත්වය යටතේ බි්‍රතාන්‍යයේ කම්කරුවන්ට නැගී එන මෙම ව්‍යාපාරය තුල තම ස්ථානය අත් කරගත හැකි ය.

ක්‍රිස් මාස්ඩන්

Share this article: