නවකවද චෝදනා යටතේ අත්අඩංගුවටගත් රුහුනු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට ඇපලබාදීම ප්‍රතික්ෂේප කෙරේ

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 අගෝස්තු 21

“නවකවදය” දීමේ චෝදනා මත අගෝස්තු 07 දා මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් රුහුනු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දහනම දෙනා, අගෝස්තු 18 වන දා, මාතර මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරුනි. සිසුන්ට ඇපලබාදීම ප්‍රතික්ෂේප කල මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ රැඳවුම් භාරය අගෝස්තු 26 වන දා දක්වා දීර්ඝ කලේය. මෙලෙස රඳවා ඇති සිසුන් අතර ශිෂ්‍ය සංගමයේ සභාපති සහ භාන්ඩාගාරික ඇතුලු තවත් ශිෂ්‍ය ක්‍රියාකාරීහු ද සිටිති.

තමා නවකවදයට ලක් වූ බවට පලමු වසර ශිෂ්‍යයෙකු කල පැමිනිල්ලක් මත අත්අඩංගුවට ගැනීම සිදුකල බව පොලීසිය පවසයි. මේ අනුව, “නවකවද විරෝධී පනත” යටතේ එම සිසුන්ට එරෙහිව නඩු පැවරීමට පොලීසිය උත්සාහ ගන්නා අතර වරදකරුවන් වුවහොත් වසර 10 ත් 20 ත් අතර සිරදඩුවම්වලට ඔවුන් යටත් කල හැකි ය.

ශිෂ්‍යයන් ආරක්ෂා කිරීමට ගත් පියවරක් ලෙස මවා පාමින් සිදු කෙරුනු මෙම අත්අඩංගුවට ගැනීම, අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට, සුභසාධන කප්පාදුවට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට ආන්ඩුවෙන් එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහි අඛන්ඩ ශිෂ්‍ය විරෝධතා මැඩීමට ආන්ඩුව ගෙනයන මර්දනය නව ඉහලකට වර්ධනය කිරීමකි.

එමෙන්ම එය, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව නොනැවතී ඉදිරියට ඇදෙමින් පවත්නා කමිකරු-පීඩිත මහජනතාවගේ අරගල මැඩීම සඳහා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ගෙනයන රුදුරු මර්දනයේ අත්‍යන්ත කොටසකි.

තම දේශපාලනයට සිසුන් නතුකර ගැනීම සඳහා, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ සහ එයට නායකත්වය දෙන ව්‍යාජ-වාම පක්ෂය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) මෙහෙයවීමෙන් විශ්ව විද්‍යාල තුල ඉදිරියට ගෙනයමින් පවත්නා නවක වදය නමැති ප්‍රතිගාමී සහ තිරස්චීන ක්‍රියාදාමයට කවර හෝ සහනයක් නොදෙන අතරේ, එය දඩමීමා කර ගනිමින් පාලක පංතිය ගෙනයන සිසු මර්දනයට එරෙහිව කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් නැගී සිටිය යුතුය.

පලමු වසර ශිෂ්‍යයාගේ පැමිනිල්ල ඉදිරියට පැමිනියේ සහ සිසුන් අත්අඩංගුවට ගැනුනේ, ශිෂ්‍ය විරෝධතා මැඩීම සඳහා පරිපාලනය සහ ආන්ඩුව ගෙනයන පලල් පරිමාන මෙහෙයුමක් මධ්‍යයේ ය.

විශේෂයෙන්ම අප්‍රේල් 21 දා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, “ආරක්ෂාව“ සඳහා යයි පවසමින් ආන්ඩුව සෑම විශ්වවිද්‍යාලයක් තුලම හමුදා සේනාංක රඳවමින් සහ සීසීටීවී කැමරා ස්ථාපනය කරමින් ශිෂ්‍යයන්ගේ සියලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට වැට බැඳීමට පියවර ගනිමින් සිටී. රුහුනු විශ්වවිද්‍යාලය තුල මෙම මර්දන වැඩපිලිවෙල දරුනුම ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.

මැයි මස අග පෞද්ගලික විශ්වවිද්‍යාලයකට එරෙහිව රුහුනු විශ්වවිද්‍යාලයේ පැවති ශිෂ්‍ය විරෝධතාවයක් සඳහා, අවිශිබමයේ නියෝජිතයන් දෙදෙනෙකු සම්බන්ධ කර ගැනීම යන අභූත චෝදනා මත ශිෂ්‍ය සංගමයේ ලේකම් හා සභාපතිගේ ශිෂ්‍යභාවය අහෝසි කලේ ය. තම විරෝධතාවයට, අවිශිබම නියෝජිතයන් සහභාගිකර ගැනීමට ශිෂ්‍ය සංගමයට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතියට විශ්වවිද්‍යාල පරිපාලනය එරෙහි වූයේ, පිටස්තරයන් කැඳවා ගැනීම විශ්වවිද්‍යාලයේ “ආරක්ෂක වැඩපිලිවෙල“ උල්ලංඝනය කිරීමක් බව පවසමිනි.

ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහි දඩයම දියත් කිරීමෙන් පසු විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේන, ශිෂ්‍ය සංගමය සිසුන් නවකවදයට ලක් කරන්නේ එල්ටීටීඊ ආකාරයෙන් බව මාධ්‍යයට පවසමින්, ශිෂ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කිරීම සඳහා නවක වද චෝදනා යොදා ගැනීමේ සූදානම ප්‍රකාශයට පත් කලේය.

අමරසේන විසින් ශිෂ්‍ය සංගමය සහ එය මෙහෙයවන පෙසප හෙලා දුටුවේ නවක වදයට මුවා වී වුව ද, ආන්ඩුවේ සහ අමරසේන ඇතුලු විශ්වවිද්‍යාල පරිපාලනයේ සැබෑ අරමුන වනුයේ, ශිෂ්‍යයන්ට දේශපාලනිකව සංවිධානය වීමේත්, අනෙකුත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් සමග මෙන්ම අධ්‍යන සහ අනධ්‍යන සේවකයන් සමග ඒකාබද්ධව තම අයිතීන් වෙනුවෙන් සටන් වැදීමේත්, මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතියට එරෙහිව වැට බැඳීමයි.

ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට එරෙහිව, ජූලි මාසයේ අග දී, ශිෂ්‍ය සංගමය සංවිධානය කර තිබු විරෝධතා පාගමනක් කඩාකප්පල් කිරීම සඳහා සරසවියේ ප්‍රධාන ගේට්ටු වසා දැමීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කලේ ය. පාගමන ගමන් කිරීමට නියමිතව තිබූ, විශ්ව විද්‍යාලයේ සිට මාතර ප්‍රධාන බස් නැවතුම්පල දක්වා මාර්ගයේ පොලිසියට අමතරව 250 ට අධික හමුදා නිලධාරීන් ස්ථානගත කර තිබුනි.

ප්‍රධාන ගේට්ටුව විවෘත කර ගැනීමට ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ සමග ගැටුනු අවස්ථාවේ දී පොලීසිය සහ හමුදා භටයන් සීරුවෙන් තබා සිටියේ ශිෂ්‍යයන්ගේ පලල් විරුද්ධත්වයක් පැන නැගුනහොත් එය මැඩීමේ අටියෙනි. එදින සරසවිය ඉදිරිපිට පැවති උද්ඝෝෂනයකින් පසු ශිෂ්‍යයෝ පරිපාලන ගොඩනැගිල්ල වාඩිලා ගත්හ.

විරෝධතා උත්සන්න වන තත්වය මධ්‍යයේ දී ජූලි 09 දා රුහුනු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය වසා දැමීය. ශිෂ්‍යයන් දහනමදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ විශ්වවිද්‍යාලය යලි විවෘත කිරීමෙන් පසුව ය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මොහාන් ද සිල්වා, “විශ්වවිද්‍යාලවල නවකවදය නෙමේ තියෙන්නේ. මහා භයානක ප්‍රචන්ඩ ක්‍රියා සහ ලිංගික අපචාර” යයි පවසමින්, “නවකවදය” ශිෂ්‍යයන් හා විශ්වවිද්‍යාල පද්ධතිය මුහුන දෙන ප්‍රධානම ප්‍රශ්නය ලෙසට හුවා දක්වා තිබේ. නවකවදය නවතා දැමීමට නවකවද විරෝධී පනතේ අනපනත් ක්‍රියාවේ යොදවන්නැයි ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට සහ පොලිස් අධිකාරීවරුන්ට දැනුම් දී තිබේ.

පූර්වයෙන් අප පවසා ඇති පරිදි, ශිෂ්‍යයන්ට එරෙහි ප්‍රහාරය හුදෙකලා ප්‍රහාරයක් නොව සමස්ත කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයේ කොටසකි. තෙවන මාසයටත් හදිසි නීතිය පාර්ලිමේන්තුව තුල සම්මත කිරීමෙන් පසු පසුගිය ජූලි 27 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දුම්රිය හා ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා නියෝග යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කලේ ය. මෙම නියෝගවල එල්ලය එම අංශවල වර්ජන හා විරෝධතා තහනම් කිරීමයි. එසේම එය සෑම අංශයකම කම්කරු පන්තියට නිකුත් කර ඇති බරපතල අනතුරු ඇගවීමකි.

ආන්ඩුව සහ පරිපාලනය විසින් සිසු මර්දනය තීව්‍ර කරනු ලබන්නේ, පාලක පංතිය මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදයේ බර කමිකරු-පීඩිත මහජනතාව මත පැටවීමේ කොටසක් ලෙස, අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ඉදිරියේදී සිදුකෙරීමට සූදානම් වන දැවැන්ත කප්පාදු වලට එරෙහිව පැන නැගීමට නියමිත අරගලයන් තලා දැමීමටයි.

දශක ගනනාවක කප්පාදුවල ප්‍රතිඵලය වී ඇත්තේ රජයේ විශ්වවිද්‍යාල තුල අවම පහසුකම් හෝ නොමැති වීමයි. රුහුනු විශ්වවිද්‍යාලයම ගතහොත්, දැනට වසර 06 ට පෙර ආරම්භ කල සම සෞඛ්‍ය විද්‍යා පීඨය සඳහා මෙතෙක් පීඨ සංකීර්නයක් ඉදි කොට නැත. දැනට වෛද්‍ය පීඨයේ දේශන ශාලා යොදා ගනිමින් අධ්‍යයන කටයුතුවල නිරත වී සිටින එම සිසුහු අඛන්ඩ විරෝධතාවල නියැලී සිටිති. ශිෂ්‍යයන්ගේ දැවෙන ගැටලු යටගසමින් ශිෂ්‍යයන් මත ආන්ඩුවේ ප්‍රහාර එල්ල කරන උපකුලපති අමරසේන සම සෞඛ්‍ය පීඨයේ හිටපු පීඨාධිපති ය. වසර පහකට වරක් පැවැත්වෙන අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙල මෙම වසරේ දී පැවැත්වෙන්නේ රුහුනු විශ්වවිද්‍යාලය තුලයි. ඒ නිමිත්තෙන් පහසුකම්වල කිසිදු සංවර්ධනයක් සිදු කර නොමැති බවට සිසුහු චෝදනා කරති.

පසුගිය මාසයේ අග දී විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් මුන ගැසුනු අගමැති රනිල් වික්‍රමසිංහ විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් “බහු දේශපාලන පක්ෂ ක්‍රමයකට” පරිවර්තනය කල හැකි අන්දමට විශ්වවිද්‍යාල පනතේ වගන්ති වෙනස් කරන්නැයි ප්‍රකාශ කල බව මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වෙයි.

මෙය ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අරමුනෙන් ඉදිරිපත් කල යෝජනාවක් නොවේ. “බහු පක්ෂ ක්‍රමයක්” හඳුන්වා දීමේ අර්ථය වන්නේ, එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) වැනි ප්‍රධාන ධනපති පක්ෂ ශිෂ්‍ය සංගම් තුලට රිංගවා, ශිෂ්‍ය අරගල වලට එරෙහි හොරිකඩකමි කිරීමේ සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ ජාලයක් නිර්මානය කර ගැනීමයි.

කෙසේ නමුත්, සිසුන් රාජ්‍ය මර්දනයට ගොදුරු කිරීම සම්බන්ධයෙන් අවිශිබමය දේශපාලනිකව වගකිව යුතු ය. අවිශිබමට දේශපාලනික නායකත්වය දෙන පෙසප, බලයේ සිටින ආන්ඩුවලට බලපෑම් දමා අධ්‍යාපන අයිතිය තහවුරුකර ගත හැකි ය යන බංකොලොත් වැඩපිලිවෙලක් මත ශිෂ්‍යයන් මෙහෙයවන ව්‍යාජ-වාම සංවිධානයකි. ශිෂ්‍යයන් අතර තම ග්‍රහනය පවත්වා ගැනීම සඳහා සමාජයේ විවිධ පන්ති ස්ථරයන්ගෙන් පැමිනෙන ශිෂ්‍යයන් “එකට ගොනු කිරීමට” යයි පවසමින් අවිශිබමය නවක සිසුන් “නවකවදයට” ලක් කරයි.

පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඩේලි මිරර් පත්‍රයට පසුගිය දා සටකපට ආකාරයට ප්‍රකාශ කලේ, 1997 ජවිපෙ “නවකවදය” නැවතා දැමීමට සාමූහික තීන්දුවකට එලඹී නමුත් වසර 22 ට පසුත් එය ඉටු කර ගැනීමට තමන් අසමර්ථ වී ඇති බවයි. මෙය “අසමර්ථ” වීමක් නොව අවිශිබම විසින් සිතාමතාම පවත්වාගෙන යාමකි. අවිශිබම දේශපාලනිකව මෙහෙයවන පෙසපෙ හි නායකයෙකු වන ජයගොඩගේ මෙම ප්‍රකාශය මුලුමනින්ම කුහකය.

අවිශිබමයේ “නවකවදය”, දේශපාලන විරුද්ධ මත දැරීම සඳහා සිසුන්ට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතිය අහුරා දමනවා පමනක් නොව ශිෂ්‍යයන් මත රාජ්‍ය මර්දනය දියත් කිරීමට කොන්දේසි සකසා දෙයි.

Share this article: