ලේඛක ශක්තික සත්කුමාර ඇප මත නිදහස් කෙරේ

විමුක්ති විදර්ශන විසිනි, 2019 අගෝස්තු 09

ශ්‍රී ලංකා පොලීසිය විසින් නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගන්නා ලද ලේඛක ශක්තික සත්කුමාරට, අගෝස්තු 05 දින කුරුනෑගල මහාධිකරනය ඇප ලබා දුන්නේය. මාස හතරකටත් අධික කාලයක්, එනම් දින 124 ක්, රක්ෂිත බන්ධනාගාරයේ රඳවාගෙන සිටි සත්කුමාරට ට ඇප නියම කෙරුනේ, ඔහුගේ බිරිඳ යනූෂා ලක්මාලි විසින් ගොනු කර තිබූ ඇප අයදුම්පත් නඩුව විමසීම සඳහා කැඳවීමෙන් පසුවය.

සත්කුමාර සසප සාමාජික නිහාල් ගීකියනගේ සමග

රුපියල් ලක්ෂයක මුදල් ඇප, රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් සහ සෑම මසකම දෙවන හා සිව්වන ඉරුදින පොල්ගහවෙල පොලීසියට වාර්තා කල යුතුවීම යන බරපතල ඇප කොන්දේසි ඔහුට පනවනු ලැබිනි. කුරුනෑගල මහාධිකරන විනිසුරුවරිය නිකුත්කල ඇප නියෝගය පොල්ගහවෙල

මහේස්ත්‍රාත් උසාවිය වෙත යැවීම කල්පමා කිරීම හේතුවෙන් සත්කුමාර බන්ධනාගාරයෙන් නිදහස් වූයේ ඇප නියෝගය ලැබී තවත් දින තුනක් බන්ධනාගාරයේ රැඳී සිටීමෙන් පසු අගෝස්තු 08 වන දා ය. පොල්ගහවෙල මහේස්ත්‍රාත් උසාවි නඩුව නැවත දෙසැම්බර් 10 දින කැඳවීමට නියමිතය.

නඩුවේ වග උත්තරකාර පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති වෙනුවෙන් පෙනීසිටින රජයේ නීතිඥවරයා අධිකරනයට දන්වා සිටියේ, ලේඛකයා මාස හතරකට වැඩි කාලයක් බන්ධනාගාරගත කර තැබීමත්, පොලිස් විමර්ශන අවසන් වීමත් යන කාරනා උඩ තවදුරටත් ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවයි.

මීට පෙර ජුනි 26 වන දින, එම නීතිඥවරයාම අධිකරනයට දන්වා සිටියේ, විමර්ශන අවසන් නොවීම සහ ඇප ලබාදුනහොත් “බෞද්ධ ජනයා අතර කැලඹීම් ඇතිවී මහජන සාමය කඩ විය හැකිවීම” යන කරුනු මත ඇප ලබාදීමට විරුද්ධ වන බවයි.

සත්කුමාර තම පවුලේ ඥාතීන්, මිතුරන් සහ සසප සාමාජිකයින් සමග

ඇප කොන්දේසි මත නිදහස ලැබූ සත්කුමාර, තමා පිලිගැනීම සඳහා අධිකරන භූමියේ රැඳී සිටි භාර්යාව, මව ඇතුලු පවුලේ කීප දෙනෙකු, කලාලැදි හිතවතුන් දෙදෙනෙකු සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයන් වෙත පැමිනියේ ජයග්‍රාහී සහ උද්‍යෝගීමත් ලීලාවෙනි. සසප සාමාජිකයන් වැලැඳ ගනිමින් තම සන්තුෂ්ටිය පලකල සත්කුමාර, තමා නිදහස්කර ගැනීම සඳහා සසප සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ගෙනගිය මූලධර්මාත්මක අරගලය අගයමින් මෙසේ පැවසීය: “මට එරෙහි දඩයමට විරුද්ධව මා අරක්ෂා කිරීම සඳහා ඔබේ පක්ෂය ආරම්භයේ සිට ගෙන යමින් පවත්නා දෘඪතර අරගලය සම්බන්ධයෙන් මගේ හෘදයාංගම ස්තුතිය පලමුව පුද කරනවා. මේ දුෂ්කර අවස්ථාවේ ඔබ ගෙනයන සටනෙන් මාත් මගේ භාර්යාව ඇතුලු පවුලේ සැමත් දිරිගන්වනු ලැබුවා.”

එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ දඩයමට ලක්ව සිටින විකිලීක්ස් ප්‍රාරම්භක ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා ලෝසවෙඅ කේන්ද්‍රකර ගනිමින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි සසප ශාඛාවන් ගෙනයන ජාත්‍යන්තර උද්ඝෝෂනයෙන් ඔහු ඉමහත් ආස්වාදයක් සහ ශක්තියක් ලැබූ බව සඳහන් කල සත්කුමාර, අසාන්ජ් ගේ නිර්භීතභාවය සහ මානවහිතවාදීභාවය ප්‍රකට කරමින් තමා ලියූ කවිපෙලක් සසප සාමාජිකයන්ට පිලිගැන්වීය. ඔහු එහි දෙමල පරිවර්තනයක් ද කර තිබුනි.

සත්කුමාර සිරගතව සිටියදී ලෝසවෙඅ ට ප්‍රකාශයක් කරමින් මෙසේ කියා සිටියේ ය: “අසාන්ජ් සහ මා දඟගෙයි ලා ඇත්තේ එකම පද්ධතිය විසින් බව මම අවබෝධ කරගනිමි. මෙම ප්‍රහාර ධනේශ්වර පාලනයේ අර්බුදයෙහි ප්‍රතිඵලයකි. අපගේ අයිතීන් ආරක්ෂා කරගැනීමට පවතින එක ම පිලිතුර සමාජවාදය සඳහා සටන් කිරීම වන අතර, පවත්නා පද්ධතියෙහි ප්‍රතිසංස්කරනවලින් මෙම ගැටලු විසඳීමට නො හැකිබව ඉතා පැහැදිලිය.”

සත්කුමාර පිලිගැනීමට එහි පැමින සිටි කලා රසිකයෙකු සසප ගෙනයන අරගලය අගය කරමින් මෙසේ පැවසීය: “ඇත්තටම මේ සිද්ධියට පෙර මම හිටියෙ ජවිපෙ සාමාජිකයෙකු හැටියට. සත්කුමාරට එරෙහි දඩයම ආරම්භ වෙන කොටම මම ජවිපෙ ට අවධාරනය කලා ඔහු ආරක්ෂා කිරීම සඳහා සටනක් අවශ්‍ය බව. ඔවුන් ඒක දිගින් දිගටම මග හැරියා. ඔවුනගේ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී දේශපාලනය නිසා බෞද්ධ සංස්ථාපිතය එක්ක හැපෙන්න ඔවුන් සූදානම් නැතිබව මට තේරෙනව. වර්ගවාදී සහ ජාතිකවාදී නොවන ඔබවැනි ජාත්‍යන්තරවාදී කම්කරු පංතික සංවිධානයකට පමනයි මෙලෙස සටන් කල හැක්කේ. දැන් මම හැමදෙනාටම කියන්නෙ සසප මගේ පක්ෂය කියල.”

සත්කුමාරගේ මව වන එමි.ඩී.රෝහිනී විශ්‍රාමික පාසැල් ගුරුවරියකි. බෞද්ධ සංස්ථාපිතය කලාව කෙරෙහි දක්වන සතුරුභාවය කෙතරම් ද යත් මෙම සිද්ධියෙන් පසක් කරගත් බව ඇය පැවසුවාය.

ආන්ඩුව හා එහි මර්දක හස්තයක් වන පොලීසියද නියෝජනය කරන නීතිපති විසින් ලේඛකයාට ඇප ලබාදීම සම්බන්ධව ගත් හැරීම, කවර ලෙසකින් හෝ ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පිලිබද යම් සාධනීය තැකීමක් නිසා සිදු වුවක් නොවේ. ඇප දීමට විරුද්ධ වීමේ තීරනය මෙලෙස හකුලා ගත්තේ සත්කුමාරගේ නිදහස වෙනුවෙන් සමාජවාදි සමානතා පක්ෂය (සසප) හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ප්‍රමුඛව දේශීය හා ජාත්‍යන්තර සංවිධාන ගනනාවක් සිදුකල අනවරත හා පුලුල් උද්ඝෝෂනය හමුවේ ලේඛකයාගේ දීර්ඝ හා නීති-විරෝධී රඳවා තබා ගැනීමට එරෙහිව වර්ධනය වන බලගතු මහජන විරෝධය මධ්‍යයේ ය.

ඇපලබාදීම පිටුපසින් පවතිනුයේ, පාස්කු ඉරිදා ප්‍රහාරය ගසාකමින් පනවන ලද හදිසි නීතිය දීර්ඝ කරමින් සහ අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත්කරමින් ආන්ඩුව ගෙනයන රුදුරු මර්දනය හමුවේ, වෘත්තීය සමිතිවල බාධාවන් නොතකා, වෙිගයෙන් වැඩෙන කම්කරු හා ශිෂ්‍ය අරගල සමග, සත්කුමාර වෙනුවෙන් වැඩෙන මහජන සහානුමතිය ඒකාග්‍රවීමෙන් ඇතිවියහැකි තත්වය පිලිබඳ පාලක පංතියේ උත්සුකය යි.

ලේඛකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ⁣පොලීසිය අපොහොසත්වී ඇති නමුත් නීතිපති විසින් ඔහුට එරෙහිව මහාධිකරනයේ අධිචෝදනා ගොනුකල හැකි වීමේ අවදානම තවම පහව ගොස් නැත. පොලීසිය චෝදනා කර ඇත්තේ ලේඛකයා දන්ඩ නීති සංග්‍රහයේ 291බී වගන්තිය හා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (අයිසීසීපීආර්) පනතේ 3(1)වන වගන්තිය යටතේ වන වැරැදි කර ඇති බවයි.

ලේඛකයාට ඇපදීම දිගින් දිගටම ප්‍රතික්ෂේප ක⁣ලේ අයිසීසීපීආර් පනත යටතේ චෝදනාවක් ඇතිවිට ඇප ලබා දිය හැකිකේ මහාධිකරනයකට පමනක් වන බව දක්වමිනි. සත්කුමාරගේ මුහුනුපොත් ගිනුමේ පලකල “අර්ධ” නමැති කෙටි කතාව මගින්, බුද්ධාගමට නිග්‍රහ කරන බවට, බුදුන්ගේ ගිහි ජීවිතය විකෘත කරන බවට හා භික්ෂූන්ට අවමන් කරන බවටත් භික්ෂුවක් විසින් ව්‍යාජ ලෙස පැමිනිලි කලේ ය. කතාව තුල බෞද්ධ භික්ෂූන් අතර පවතින සමලිංගිකත්වය පිලිබඳ වක්‍ර සැඳහුමක් අන්තර්ගතය.

කලා කෘතියට අමතරව නිර්මාපකයාටද එරෙහිව අධිකරනය අවභාවිතා කරමින් කලාව හා ප්‍රකාශනයේ නිදහස මර්දනය කිරීමට ලංකාවෙි පාලක පන්තිය සත්කුමාරගෙන් ආරම්භ කොට ඇත. කලාකරුවන්ටද, ප්‍රකාශනයේ නිදහසටද, මාධ්‍යවේදීන්ටද එරෙහිව ලංකාව තුල එල්ල කෙරෙමින් පවත්නා මෙම ප්‍රහාරය වනාහි, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව මෙම කලාපය පුරා සහ ජාත්‍යන්තර පරිමානව එල්ල කෙරෙමින් පවත්නා පුලුල් ප්‍රහාරයක කොටසකි.

“ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් ලොවපුරා සිදුකල යුද අපරාධ සහ තන්ත්‍ර මාරු කුමන්ත්‍රන හෙලිදරව් කිරීම හේතුවෙන් විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් පෝරකයේ එල්ලීමට ඇමරිකානු, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියානු අධිරාජ්‍යවාදීන් දරන රුදුරු ප්‍රයත්නය, භාෂනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන මෙම ජාත්‍යන්තර ප්‍රහාරයේ ඉහලම තුඩ” බව ”ලේඛක ශක්තික සත්කුමාර සහ කලාවේ නිදහස ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!” යන ශීර්ෂය යටතේ ජුනි 24 වන දා ලෝසවෙඅ හරහා සසප කල කැඳවීමෙහි සඳහන් විය.

සසප හා එහි තරුන සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ එක්ව, කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව පිහිටුවීම සඳහා අගෝස්තු 09 සිකුරාදා සවස 3 ට කොලඹ එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ ප්‍රසිද්ධ රැස්වීමක් කැඳවා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම සඳහා සියලු ප්‍රගතිශීලී, සමාජවාදී හා වාමාංශික පුද්ගලයන්ගේ සහ සංවිධානයන්ගේ ක්‍රියාකාරීත්වය හා සහභාගීත්වය අපි අපේක්ෂා කරන අතර අද (09) දින එම රැස්වීමට සහභාගීවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: