සිරගත කර සිටින ශ්‍රී ලංකාවේ ලේඛක ශක්තික සත්කුමාර ජූලියන් අසාන්ජ් ආරක්ෂා කරමින් ප්‍රකාශයක් නිකුත් කරයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 අගෝස්තු 5

රිමාන්ඞ් සිරභාරයේ සිටින සම්මානලාභී ශ්‍රී ලාංකික ලේඛක ශක්තික සත්කුමාර, සිකුරාදා ලෝසවෙඅ වාර්තාකරුවන්ට කතාකරමින් ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිංට නිදහස ඉල්ලමින් ගෙන යන උද්ඝෝෂනයට සහයෝගය පලකලේ ය. බෞද්ධ අන්තවාදී කන්ඩායම්වල ව්‍යාජ චෝදනා මත පොල්ගහවෙල පොලීසිය විසින් අප්රේල් 1 දා අත්අඩංගුවට ගත් සත්කුමාරගේ රැඳවුම් භාරය දැන් පස්වන මාසයට එලැඹ ඇත.

භික්ෂූන් අතර පවත්නා සමලිංගිකත්වය පිලිබඳ ව වක්‍රාකාරයෙන් සඳහන් කරන ඔහුගේ එක් කෙටි කතාවකින් බුද්ධාගමට අපහාස කිරීම ගැන මෙම කන්ඩායම් ඔහුට චෝදනා කර ඇත. එය කලාවේ හා භාෂනයේ නිදහස මත එල්ල කරන ප්‍රහාරයකි. සමාජවාදී සමානතා පක්ෂය ඔහුගේ නිදහස සඳහාත් ප්‍රජාතන්ත්ර අයිතීන් මත එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිවත් උද්ඝෝෂනය කරයි. සත්කුමාරගේ ප්‍රකාශය අපි පහත පලකරමු.

***

ඉරාකයේ හා අනෙකුත් තැන්වල එක්සත් ජනපදයේ යුද අපරාධ හෙලිදරවු කල විකිලීක්ස් වෙබ් අඩවියේ ආරම්භකයා ලෙස මම ජූලියන් අසාන්ජ් ව දනිමි. නිර්භීත ජනමාධ්‍යවේදියෙක් වන ඔහුගේ හෙලිදරවු කිරීම් නිසා, එක්සත් ජනපදය ඔහු ඉල්ලා සිටින අතර එක්සත් රාජධානිය ඔහු ව උදර්පනය කිරීමට සූදානම් වේ. මෙය නිදහස් ප්‍රකාශනයට හා ජනමාධ්‍යවේදයට ඉමහත් තර්ජනයක් වන අතර, ඔබ විසින් විස්තර කල පරිදි මෙය බොහෝ රටවල සිදුවෙමින් පවතින බව මම පිලිගනිමි. අසාන්ජ් සහ මා දඟගෙයි ලා ඇත්තේ එකම පද්ධතිය විසින් බව මම අවබෝධ කරගනිමි. මෙම ප්‍රහාර ධනේශ්වර පාලනයේ අර්බුදයෙහි ප්‍රතිඵලයකි.

අපගේ අයිතීන් ආරක්ෂා කරගැනීමට පවතින එක ම පිලිතුර සමාජවාදය සඳහා සටන් කිරීම වන අතර, පවත්නා පද්ධතියෙහි ප්‍රතිසංස්කරනවලින් මෙම ගැටලු විසඳීමට නො හැක. සියලු ජනයා අසාන්ජ් ආරක්ෂා කිරීමට තමන්ගේ හඬ නගා ඔහු වහා ම නිදහස් කරන ලෙස ඉල්ලා සිටිය යුතු ය. ඔහු වහා ම නිදහස් කරගැනීමටත්, ඔහුට එරෙහි සියලු චෝදනා ඉවත් කරගන්නා ලෙසටත් අනවමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගෙන යන උද්ඝෝෂනයට මම සහයෝගය දෙමි. මගේ නිදහස සඳහා සමාජවාදී සමානතා පක්ෂය කරන සටනට ද මම මගේ ආචාරය පුදමි.

Share this article: