එක්සත් ජනපද-චීන වෙලඳ ගැටුම් උත්සන්න වෙද්දී වෝල් වීදිය කඩා වැටේ

Wall Street falls as US-China trade conflict intensifies

නික් බීම්ස් විසිනි, 2019 අගෝස්තු 24

චීනයට එරෙහි වෙලඳ යුද්ධය තව දුරටත් උත්සන්න වන බව අඟවමින් ජනාධිපති ට්‍රම්ප් කලහකාරී ට්වීටර් පනිවිඩ රැසක් නිකුත් කිරීමෙන් පසුව ඊයේ, වසර තුල වෝල් වීදියේ තෙවැනි විශාලතම වැටීම සිදුවිය. එක්සත් ජනපද තීරුබදු පැනවීමට එකට එක කිරීමක් ලෙස ඩොලර් බිලියන 75 ක් වටිනා ඇමරිකානු භාන්ඩ පරාසයක් සඳහා තීරුබදු පැනවීමට බීජිනය ගත් තීරනයෙන් පසුව මෙම කඩාපැනීම සිදුවිය.

වෙලඳපොලවල් වසා දැමීමෙන් පසුව ට්‍රම්ප් තවත් ඉහල නංවන ලද තීරුබදු පියවර මාලාවක් ප්‍රකාශයට පත් කලේය. ඒ අනුව ඩොලර් බිලියන 250 ක් වටිනා චීන භාන්ඩ සඳහා වන සියයට 25 ක බද්ද ඔක්තෝබර් 1 වනදා සිට සියයට 30 දක්වා ඉහල යනු ඇත. ලබන මස මුල සිට බලාත්මක වීමට නියමිත තවත් ඩොලර් බිලියන 300 ක් වටිනා භාන්ඩ සඳහා වන බද්ද කලින් ප්‍රකාශයට පත් කල පරිදි සියයට 10 නොව දැන් සියයට 15 ක් ලෙස නියම කෙරේ.

මීට පෙර චීනය විසින් එක්සත් ජනපදයට එරෙහිව එකට එක කිරීමේ ක්‍රියාමාර්ග ගන්නා බවට කල නිවේදනයට මූල්‍ය වෙලඳපොලවල ප්‍රතිචාරය සාපේක්ෂව නිහඬ එකක් වූයේ එවැන්නක් අපේක්ෂා කර තිබුන බැවිනි. එහෙත්, පැය කිහිපයකට පසුව තීරු බදු පැනවීම් නිවේදනය කිරීමට පෙරාතුව නිකුත් කරන ලද ට්‍රම්ප්ගේ ට්වීටර් සටහන් වලින් පසුව වෙලඳපොල තියුනු ලෙස පහත වැටීමට පටන් ගත්තේ, ඒවායින් ගැටුම තීව්‍ර වන බව ඇඟවුම් කෙරුනු බැවිනි. ඒ සමඟම එය සංයුක්ත ස්වරූපයක් ගත්තේය.

ට්‍රම්ප්, මෙතෙක් නිකුත් කරතිබෙන ඔහුගේ වඩාත්ම කලහකාරී ට්වීටර් සටහන් මඟින් චීනය පමනක් නොව් ඇමරිකානු සමාගම් හා ෆෙඩරල් මහ බැංකුව ද ඉලක්ක කර ඇත. ඔහු මහබැංකු අධිපති ජෙරොමි පවෙල් “සතුරෙකු” ලෙස හැඳින්වීය.

“අපට චීනය අවශ්‍ය නොවන අතර, ඔවුන් නොමැතිව තත්වය අවංකවම වඩා හොඳ වනු ඇත,” ට්‍රම්ප් සටහන් කලේය. "අපගේ ශ්‍රේෂ්ඨ ඇමරිකානු සමාගම් සිය කර්මාන්ත ආපසු රටට ගෙන ඒම ද ඇතුලු චීනයට විකල්ප සෙවීම වහාම ආරම්භ කිරීම අවශ්‍යය."

ඒ වහාම කොටස් අගය පසුබෑමට පටන් ගත්තේය. එස් ඇන්ඩ් පී 500 සියයට 2.59 කින් ද ඩව් ජොන්ස් ඒකක 600 කින් හෙවත් සියයට 2.37 කින් ද නැස්ඩැක් සියයට 3 කින් ද පහත වැටුනි. වෙලඳපල පහත වැටීමට බලපෑ තවත් සාධකයක් වූයේ, එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුව විසින් පොලී අනුපාත අඩු කිරීමට හෝ එහි මූල්‍ය ප්‍රතිපත්තියේ වෙනත් සැලකිය යුතු වෙනස්කම් කිරීමට අදහස් කරන බවට කිසිදු ඇඟවීමක් නොදැක් වීමයි.

වයොමිං ජැක්සන් හෝල්හි මහ බැංකුකරුවන්ගේ රැස්වීම අමතමින් ඔහු කල පුලුල් කථාවේදී ෆෙඩරල් සභාපති ජෙරොම් පවෙල් මෑත මාසවලදී ඔහු භාවිතා කල පිලිවෙතම අනුගමනය කලේය: “ප්‍රසාරනය පවත්වා ගැනීම සඳහා අපි සුදුසු පරිදි ක්‍රියා කරන්නෙමු.”

වෙලඳාම පිලිබඳ අවිනිශ්චිතතාව “ගෝලීය මන්දගාමිත්වය සහ එක්සත් ජනපදයේ දුබල නිෂ්පාදන හා ප්‍රාග්ධන වියදම් සඳහා වේදිකාව සකසයි” යැයි පවෙල් පැවසීය. එහෙත් ඔහු මූල්‍ය ප්‍රතිපත්තිය හා වෙලඳාම සම්බන්ධ කිරීම ප්‍රතික්ෂේප කරන බවක් පෙනෙන්නට තිබුනි. වෙලඳ ප්‍රතිපත්තිය සැකසීම කොන්ග්‍රසයේ සහ පරිපාලනයේ වගකීමක් වන අතර මූල්‍ය ප්‍රතිපත්තිය “පාරිභෝගික වියදම්, ව්‍යාපාර ආයෝජන සහ මහජන විශ්වාසය සඳහා සහාය වන ප්‍රබල මෙවලමක් වන අතර එයට ජාත්‍යන්තර වෙලඳාම සඳහා නිරවුල් රීති පොතක් සැපයිය නොහැකි” බව ඔහු පැවසීය.

මහ බැංකුවට ට්‍රම්ප්ගෙන් එල්ලවූ තවත් ප්‍රහාරයක් සඳහා පවෙල්ගේ කතාව බලපෑවේය. “සුපුරුදු පරිදි මහ බැංකුව කිසිවක් කලේ නැත! දැන් මගේ එකම ප්‍රශ්නය, අපගේ ප්‍රධාන සතුරා ජේ පවෙල් ද සභාපති ෂී ද යන්නයි. ” චීන ජනාධිපති ෂී ජින් පිං ඔහු අදහස් කලේය.

ට්‍රම්ප්ගේ ට්විටර් සටහන් වලට ප්‍රතිචාර වශයෙන් කොටස් අගය පහත වැටීමත් සමඟම, ආරක්ෂාව සඳහා එක්සත් ජනපද භාන්ඩාගාර බැඳුම්කර වෙත මුදල් මාරු වීමට පටන් ගත්තේය. වසර දෙකක භාන්ඩාගාර බැඳුම්කර ප්‍රතිලාභ පදනම් ඒකක 10 කින් පහල ගොස් සියයට 1.51 ක් වූ අතර වසර 10 ක භාන්ඩාගාර බැඳුම්කර ප්‍රතිලාභ ඊට වඩා මඳක් පහත වැටුනි. සාමාන්‍ය තත්වයක් පවතිද්දී දිගු කාලීන බැඳුම්කර නය ප්‍රතිලාභ කෙටිකාලීන බැඳුම්කර නය ප්‍රතිලාභ වලට වඩා ඉහල මට්ටමක පැවතිය යුතුය. සාමාන්‍ය තත්වයක් පවතිද්දී ප්‍රතිලාභ වක්‍රය “ප්‍රතිලෝම” වී ඇත්තේ මේ මාසයේ සිව්වන අවස්ථාවටයි. එවැනි ප්‍රතිලෝම තත්වයක් අවපාතයේ දර්ශකයක් ලෙස පුලුල් ලෙස සැලකේ.

චීනයෙන් ඉවත් වන ලෙස එක්සත් ජනපද සමාගම්වලට ට්‍රම්ප් දුන් “නියෝගය” ව්‍යාපාරික සංවිධානවල විවේචනයන්ට තුඩු දුන්නේය.

එක්සත් ජනපද වානිජ මන්ඩලයේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ ප්‍රධානී මයිරන් බ්‍රිලියන්ට් වෝල් ස්ට්‍රීට් ජර්නලයට පැවසුවේ, “සමාගම්වලට කුමක් කල යුතු දැයි පැවසීමට ජනාධිපතිවරයාට බලයක් නැත. "ඔහුට මග පෙන්වීම ලබා දිය හැකිය, ඔහුට තමාගේම සිතුවිලි ඉදිරිපත් කල හැකිය. නමුත් එක්සත් ජනපද සමාගම් චීනය සමඟ ආයෝජනය කිරීම හා ව්‍යාපාර කටයුතු දිගටම කරගෙන යනු ඇත. මක්නිසා ද යත්, එය මඟ නොහැරිය හැකි වෙලඳපොලක් නිසාය.”

ජාතික සිල්ලර වෙලඳ සම්මේලනයේ රජයේ සම්බන්ධතා පිලිබඳ ජේෂ්ඨ උප සභාපති ඩේවිඩ් ෆ්‍රෙන්ච් පැවසුවේ “ලෝකයේ පාරිභෝගිකයින්ගෙන් සියයට 95 ක් අපේ දේශ සීමාවෙන් පිටත ජීවත් වන අතර ඇමරිකානු සිල්ලර වෙලෙන්දන් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයෙන් ඉවත්වීම යථාර්ථවාදී නොවන” බවයි. ඔහුගේ ප්‍රතිපත්ති ආර්ථික වශයෙන් අතාර්කික, පලදායී හා යථාර්ථවාදී නොවන බවට කුමන හෙලා දැකීම් තිබුන ද ට්‍රම්ප් ඒවා උත්සන්න කිරීමට සූදානම් වෙමින් සිටී.

චීනයට එරෙහි ඔහුගේ නවතම පියවර ගනු ලැබුවේ සති අන්තයේ ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත ජී 7 සමුලු රැස්වීම ආසන්නයේ ය. රැස්වීම්වල සත්කාරකත්වය දරන ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්, අවසාන ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බව පැවසීය. මක්නිසා ද යත්, ආතතීන් උග්‍රවන තතු හමුවේ වෙනස්කම් සෙවීම සඳහා පමනක් ඒවා ඉවහල් වන බැවින්‍ය.

එක්සත් ජනපදයේ ඉල්ලීම පරිදි අවසාන මොහොතේ එකතු කරන ලද, ගෝලීය ආර්ථිකය පිලිබඳ ඉරිදා උදෑසන පැවැත්වෙන වැඩමුලුවේදී, ජී 7 හි විශාල ගැටුම් තිබේ නම් ඒවා පුපුරා යා හැකිය. අධිතාක්ෂනික සමාගම් සඳහා බදු පැනවීමට ගත් ප්‍රන්ස තීරනය සම්බන්ධයෙන් ට්‍රම්ප් දැනටමත් මැක්‍රොන් ආන්ඩුව සමඟ ගැටී ඇත. ප්‍රංශ වයින් සඳහා පලිගැනීමේ තීරුබදු පැනවීමට ට්‍රම්ප් තර්ජනය කර ඇත.

ආතතීන්ගේ තවත් ප්‍රභවයක් වන්නේ එක්සත් ජනපදය හා යුරෝපා සංගමය අතර යෝජිත වෙලඳ ගනුදෙනුවයි. බ්‍රසල්ස්හි දැඩි විරෝධය හමුවේ සාකච්ඡාවන්ට කෘෂිකර්මාන්තය ද ඇතුලත් විය යුතු යැයි ඇමරිකානු පාර්ශ්වය අවධාරනය කර තිබේ. සහන නොලැබෙන්නේ නම් යුරෝපා සංගමය විසින් නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථ සහ වාහන නිෂ්පාදන සඳහා සියයට 25 ක් දක්වා තීරුබදු පැනවීමට වොෂිංටනය කර ඇති තර්ජනය යටතේ සාකච්ඡා පවත්වනු ලැබේ.

බ්‍රහස්පතින්දා පැවති රැලියක් අමතමින් ට්‍රම්ප් මෙසේ පැවසීය: “යුරෝපීය සංගමය චීනයට වඩා නරක ය, එය කුඩා ය. එය අපට දරුනු ලෙස සලකයි: බාධක, තීරුබදු, බදු පනවයි. ”

සමුලුවට පෙර වාර්තාකරුවන්ට අදහස් දක්වමින් මැක්‍රොන් මෙසේ පැවසීය: “අපි ලෝක පිලිවෙල සම්බන්ධ ඓතිහාසික අභියෝගයකට මුහුන දී සිටිමු.” එහෙත් එක්සත් ජනපදය හා චීනය අතර පමනක් නොව බටහිර සහචරයින් අතර ද ගැටුම් හා ප්‍රතිවිරෝධතා ගැඹුරු වෙමින් ඇත.

ෆිනෑන්ෂල් ටයිම්ස් හි තීරු රචක එඩ්වඩ් ලූස් සඳහන් කල පරිදි, ජී 7 රැස්වීම එහි ඉතිහාසයේ වඩාත්ම “විකාර” එකක් වන බව පෙනී යයි. “සමුලු මගින් ගෝලීය ගැටලු කලමනාකරනය කිරීම පහසු කරනු ඇත. G7 සහ එවන් වෙනත් ආකාරයේ සමුලුවල , විශේෂයෙන් G20, ප්‍රතිපලය එහි විරුද්ධ තැනට පත්කර තිබේ.”

Share this article: