මහින්ද රාජපක්ෂ තමන්ට බලය ලැබුනොත් ඇමරිකාව සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන බවට ඉඟි කරයි

දිල්රුවන් විතානගේ විසිනි, 2019 අගෝස්තු 8

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) නායක මහින්ද රාජපක්ෂ මෑත කාලයේ කර ඇති ප්‍රකාශ හා ක්‍රියාවන් මගින් එක්සත් ජනපදය සමඟ සහයෝගීව කටයුතු කිරීමට සූදානම් බවට සංඥා නිකුත් කොට ඇත.

රාජපක්ෂ තමන්ගේ අත්ගෙඩි ලෙස ක්‍රියා කරන විමල් වීරවංශ, දිනේෂ් ගුනවර්ධන, උදය ගම්මන්පිල ප්‍රමුඛ සිංහල ස්වෝත්තමවාදීන් ඉදිරි ජනාධිපතිවරනය ඉලක්ක කරගෙන මහජනයා අතර පවතින අධිරාජ්‍ය විරෝධී හැගීම් ගසාකෑමට ප්‍රසිද්ධ වේදිකා වලත්, පාර්ලිමේන්තුවේදීත් ඇමරිකානු විරෝධී හඬතැලීම් වලට මුදා හැර ඇත. එහෙත් රාජපක්ෂ එල්ටීටීඊයට එරෙහිව ගෙනගිය වර්ගවාදී යුද්ධයේදී ඇමරිකාව සහ ඉන්දියාව ඇතුලු‍ රටවල් වලින් ලැබුනු සහාය ගැන පුනපුනා කියයි.

රාජපක්ෂ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් මහත් සතුටින් පිලිගනියි. 2015 ජනාධිපතිවරනයේදී තමන් ඉවත් කිරීමට තිරයෙන් පිටුපස සිට වොෂින්ටනය ක්‍රියාකල බව දන්නා ඔහු පැරනි ප්‍රශ්න අමතක කරන ලෙස ඉල්ලා සිටියි.

අගෝස්තු 4 වෙනිදා ලංකාදීප පුවත් පත සමග පැවති සම්මුඛ සාකච්චාවක දී රාජපක්ෂ මෙලෙස සඳහන් කර තිබුනි:

“යුද්ධයේදී ඇමරිකාවෙන් ලැබිච්ච සහයෝගය අති විශාලයි. ඉන්දියාවෙන් වගේම පකිස්තානයෙන් ලැබුනු සහය අති විශාලයි. චීනයෙන් මොන තරම් සහයෝගයක් ලැබුනද? ඒ නිසා මේ හැම රටකම සහයෝගය අපිට අවශ්‍ය වෙනවා”

එමෙන් ම, 2015 ජනාධිපතිවරනයේදී වොෂින්ටනය සහ නවදිල්ලිය රාජපක්ෂට එරෙහිව සිදුකල ”‍කුමන්ත්‍රනය”‍ පිලිබඳ විමසූ විට “ඒ ඉතිහාසය අමතක කරලා තියෙන්නේ. ඒ ඒ රටවල් කරපු දේවල් අමතක කරලා හැම රටක් එක්කම වැඩ කරන්න සූදානම්” යයි ඔහු පැවසීය.

වොෂින්ටනය 2015දී රාජපක්ෂ බලයෙන් ඉවත් කිරීමට ක්‍රියා කලේ ඔහුගේ ආන්ඩුව බෙයිජිනය සමඟ ගොඩනගා ගෙන තිබූ සමීප සබඳතා බිඳ, චීනය ආර්ථිකමය සහ මිලිටරිමය වශයෙන් වටලමින් ඇරඹු “ආසියාවට හැරීමේ” එක්සත් ජනපද වැඩපිලිවෙලේ කොටසක් ලෙස ලංකාව තම මූලෝපායාත්මක සැලැසුම් වලට සම්බන්ධ කර ගැනීමටයි.

පසුගිය අවුරුදු හතරේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කම්කරු-පීඩිත මහජනතාවගේ සමාජ හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් මත දැවැන්ත ප්‍රහාර එල්ල කරන ගමන්ම එක්සත් ජනපද යුද සැලැසුම් සමඟ ඒකාබද්ධ වෙමින් රටවල් දෙක අතර මිලිටරි සබඳතාවන් පෙරනුවූ මට්ටමකට වර්ධනය කලේ ය.

ජනාධිපතිවරනය ආසන්න වෙද්දී සිරිසේන-වික්‍රමසිංහ පාලනයට එරෙහිව මහජන විරෝධය උග්‍ර වී ඇති තතු යටතේ, ඉදිරියේදී බලයට පත්වන කවර හෝ ආන්ඩුවක් සමඟ යුද සැලැසුම් අඛන්ඩව ඉදිරියට ගෙනයාමට එක්සත් ජනපදය ගනන් බලයි. එමෙන් ම සිරිසේන, වික්‍රමසිංහ හා රාජපක්ෂ ප්‍රමුඛ ධනේශ්වර දේශපාලන සංස්තාපිතයේ හැම කොටසක්ම එක්සත් ජනපදය ඇතුලු‍ අධිරාජ්‍යවාදී බලයන් සමග සම්බන්ධතා වැඩි වර්ධනය කර ගැනීමට පවතින සූදානම පෙන්නුම් කර ඇත.

ජූලි මස 23 වෙනි දා ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් රාජපක්ෂ හමුවීමට ගියේය. එම හමුව පිලිබඳව සවිස්තර වාර්තාවක් කිසිදු පාර්ශවයකින් නිකුත් නොවීය. එහෙත් එදින රාජපක්ෂ නිකුත් කල ට්විටර් පනිවුඩයක මෙසේ සඳහන් විය: “පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුනදෙන අභියෝග සහ දැනටමත් රටවල් දෙක අතර ගොඩනගා ගෙන ඇති සබඳතා වර්තමාන දේශපාලන තත්වය තුල වැඩි දියුනු කරගත හැක්කේ කෙසේද යන්න පිලිබඳව අපි සාකච්ඡා කලෙමු. ”‍

රාජපක්ෂ නොකීවාට ඔවුන් තව බොහෝ දේවල් කතා කරගන්ට ඇතුවා නිසැක ය.

ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති (2006-2009) රොබට් බ්ලේක් මැයි මාසයේ ලංකාවට කල සංචාරයේ දී රාජපක්ෂ ඔහු සමඟ හමුවක් ඉල්ලා සිටියේය. බ්ලේක් නොපැකිල හමුව ලබාදුන් අතර ඔහු රාජපක්ෂගේ දේශපාලන එල්ලයන් පිලිබඳව එහිදී දීර්ඝ ලෙස විමසා ඇත. බ්ලේක් ලංකාවේ ඇමරිකානු තානාපතිනියට රාජපක්ෂ හමුවීමේ වැදගත්කම කියාදුන් බව එක වාර්තාවක සඳහන් විය. ටෙප්ලිට්ස් මැයි මාසයේ දීම ඔහු හමුවීම ඇරඹුවේය.

ලංකාව සමග ඇතිකරගෙන තිබෙන සිය මිලිටරි සබඳතා තවත් ගැඹුරු කර ගැනීමට වොෂින්ටනය අධිෂ්ටාන කරගෙන සිටී.

අගෝස්තු 3 වෙනිදා ශ්‍රී ලංකා ලංකා වානිජ මන්ඩලයේ 3 වන වාර්ෂික සම්මේලනයේ දී ලංකාවේ ධනපති ව්‍යාපාරික ප්‍රභුව අමතමින් ටෙප්ලිට්ස් අවධාරනය කලේ අතීතයේ ඇමරිකාව ශ්‍රී ලංකාවට “ආධාර සපයන්නෙකු”ලෙස කටයුතු කර ඇති නමුත් දැන් “දෙරට අතර ආර්ථික සහයෝගීතාව වඩ වඩාත් වර්ධනය විය යුතු” බවයි.

“21 වන සියවසේ කාර්තුවක් අවසාන වීමට ආසන්න මේ මොහොතේ මා හිතන්නේ අපගේ සබඳතා වෙනස් මාවතක් ගත යුතු බවයි. ආධාර ප්‍රදානය කරන්නෙකු සහ ලබන්නෙකු අතර සබඳතාවයෙන් ගෙන් ඔබ්බට ගොස් එක හා සමාන හවුල් කරුවන් බවට පත් විය යුතුයි”‍ ය කීවාය.

මෙය රැවටිලිකාර වර්නනාවකි. ඇමරිකානු අධිරාජ්‍යවාදින් ලංකාවේ ධනපති පන්තිය දෙස බලන්නේ තමන්ට මෙහෙකම් කලයුතු දීනයන් ලෙස මිස සමානයන් ලෙස නම් නොවේ.

ඇමරිකානු රජයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්සීසී) නැමැති වැඩපිලිවෙල යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය සහ යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම කෘෂිකාර්මික ඉඩම් සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 480ක ආධාරයක් අනුමත වී ඇති බව ද ඇය මතක් කලාය.

එම්සීසී යටතේ ලබා දීමට නියමිතව තිබූ මුදල් පසුගිය ඔක්තෝබර් මාසයේ සිරිසේන විසින් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කෙරුනු පසු අත්හිට වූයේ ඔහු එම ධුරයට යලි පත්කරන ලෙස බලකිරීමක් ලෙස ය. රාජපක්ෂ යලි බලයට ඒමට වොෂින්ටනය අකමැතිවුයේ ඔහු බෙයිජින හිතවතකු ලෙස සලකන නිසා ය.

රාජපක්ෂ එම දිනවලම සඳහන් කලේ ඔහු ගැන බටහිර රටවලට ඇති වැරදි අදහස් දුරු කිරීමට ඇමරිකානු තානාපති ඇතුලු‍ බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීම සඳහා නියෝජිතයින් පිරිසක් යැවු බවයි. අධිරාජ්‍ය-විරෝධි වෙස් මුහුනක් දමාගෙන සිටින දිනේෂ් ගුනවර්ධන ප්‍රමුඛ කන්ඩායමක් එම පිරිසට ඇතුලත් වූ බව වාර්තා විය.

බ්ලේක් මැයි මාසයේ කොලඹදී කල දේශනයක දී එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර මිලිටරි සබඳතාවයන්ගේ වර්ධනය ගැන ප්‍රසංශා කලේය. “මා තානාපති ලෙස සිටි කාලයෙන් පසුව මේ වන විට අපගේ මිලිටරි අතර සම්බන්ධතා දැවැන්ත ලෙස වැඩී තිබීම ගැන සතුටු වන” බව ඔහු සඳහන් කලේ ය.

සොල්දාදුවන් පුහුනු කරමින් හා ඒකාබද්ධ මිලිටරි අභ්‍යාස පවත්වමින්, පසුගිය වසර හතර පුරා එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් බලකාය (ඉන්දුපැකොම්) ශ්‍රී ලංකාව සමග මිලිටරි සබඳතා බොහෝ සෙයින් ශක්තිමත් කරගෙන ඇත. ලංකාවේ මුහුදු ආරක්ෂක කටයුතු සඳහා ඩොලර් මිලියන 39ක් ඇමරිකාව ලබාදීමට තීන්දු කර ඇති බවද බ්ලේක් පැවසීය.

කොලඹ සමඟ මිලිටරි සහයෝගීතාව පුලු‍ල් කිරීමට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ක්ෂනිකව ඩැහැ ගත් එක්සත් ජනපදය, ලංකාව තුලට ඇමරිකානු සන්නද්ධ හමුදාවන්ට නිර්බාධිත ප්‍රවේශ වීමට, සංචාරය හා මෙහෙයුම් කිරීමට ඉඩ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග වන හමුදා තත්ත්ව ගිවිසුම (සෝෆා) සංශෝධනය කිරීමට උත්සාහ දරමින් සිටිති.

එමෙන්ම විමර්ශනවලට සහයෝගය දීමේ කඩතුරාව යටතේ, මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (එෆ්බීඅයි) නිලධාරීන් හා එක්සත් ජනපදයේ ඉන්දු-පැසිෆික් බලඇනියේ මිලිටරි ඔත්තු සේවා විශේෂඥයන් වොෂින්ටනය විසින් වහාම එවනු ලැබී ය.

බලයට පත්වන කවර හෝ පාලක කල්ලියක් සිය මූලෝපායාත්මක අවශ්‍යතාවයන් ට නතුව කටයුතු කිරීමට පොලඹවා ගැනීමේ කොටසක් ලෙස ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් රාජපක්ෂ ද හමුවේ. මෙම සාකච්චාවන් සිදුවන්නේ චීනය සහ එක්සත් ජනපදය අතර භූ-දේශපාලන ආතතිය ගැඹුරුවන කොන්දේසි යටතේ ය. වොෂින්ටනය සහ බෙයිජිනය අතර තීව්‍ර වන වෙලඳ හා මුල්‍ය යුද්ධය මිලිටරි ගැටුමක් කරා වේගයෙන් වර්ධනය වෙමින් ඇත.

වොෂින්ටනයේ පිහිටි දක්ෂිනාංශික චින්තන පර්ෂදයක් වන හෙරිටේජ් පදනම (Heritage Foundation) මෙම වසරේ මාර්තු මාසයේ ”‍ශ්‍රී ලංකාව: නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් මුලෝපාය සම්බන්ධයෙන් උරගලක්”‍ (Sri Lanka : A Test Case for the Free and Open Indo-Pacific Strategy) නමින් නිකුත් කල වාර්තාව අවසානයේ ශ්‍රී ලංකාව සමඟ මූලෝපායික සබඳතා වල වැදගත්කම ගැන අවධාරනය කර ඇත.

“2015 සිට ගොඩනගා ගත් ද්විපාර්ශවීය සබඳතා ඉදිරි මාස කිහිපය තුල වඩාත් ශක්තිමත් කර ගැනීමට වොෂින්ටනය ක්රියා කල යුතු අතර දේශපාලන අර්බුදය කලමනාකරනය කර ගැනීමට උපකාර කල යුතුය”‍ යි එහි සඳහන් වේ.

ඊලඟ මැතිවරනයකදී රාජපක්ෂගේ පක්ෂය බලයට ඒමට ඉඩ ඇති බව ගනන් බලන හෙරිටේජ් විශ්ලේෂකයා, ඔහු සමග ක්‍රියා කිරීම අපහසු වුවත් මහජනයාගේ තේරීමට ”‍කිසියම් සීමාවක් දක්වා”‍ ගරුකලයුතු බව කියා ඇත. ”‍එහෙත්, ඉතා වැදගත් වන්නේ එක්සත් ජනපදය කොලඹ බලයට පත්වන අනාගත ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් ප්‍රමිතීන් මාලාවක් මත පිහිටුවීමට ක්‍රියා කිරීමයි.”‍

ඇමරිකානු අධිරාජ්‍යවාදී පාලකයින්ට ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ගැන මොනම තැකීමක් වත් නැතිබව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ගැන දක්වන මෙම ව්‍යාජ උත්සුකය රාජපක්ෂගේ වේවා වෙන කවරකුගේ වේවා ”‍කොලඹ බලයට පත්වන අනාගත ආන්ඩුව”‍ ඇමරිකාවට නතුවිය යුතුබවට නිකුත් කරන ලද අනතුරු ඇඟවීමකි.

Share this article: