ආන්ඩුවේ “බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය” කම්කරු පන්තිය හා පීඩිත ජනයාට එරෙහි සහායක බලකායක්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 දෙසැම්බර් 24

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, “බහු කාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක්” (බකාසාකාබ) පිහිටුවීමට තීන්දු කර ඇත. එයට බඳවාගනු ලබන්නේ අඩු ආදායම්ලාභි පවුල්වල රැකියා විරහිත හා නුපුහුනු තරුනයන් ය. ආරම්භක අධියර සඳහා ලබන වසරේ ජනවාරි මාසයේ දී එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින් 300 සිට 350 දක්වා 100,000 බඳවා ගැනීමට නියමිතය. පුහුනුවකින් පසු රාජ්‍ය සහ අනුබද්ධ ආයතන යටතේ මේසන්, වඩු වැඩ, කෘෂිකර්ම, ධීවර, වන වගාව සඳහා ඔවුන් යොදවනු ලබන අතර බකාසාකාබ පාලනය කරනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යංශය සහ ත්‍රිවිධ හමුදාව විසිනි. ඔවුන්ට රුපියල් 35,000 ක මාසික වැටුපක් ගෙවන බව ද සඳහන් වේ. “සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙන් ශක්තිමත් නව බලකායක්” ලෙස බකාසාකාබ ගොඩ නැගිය යුතු බව ජනාධිපති රාජපක්ෂ දෙසැම්බර් 16 වෙනිදා මාධ්‍ය ආයතන ප්‍රධානින් පැවති සාකච්චාවක දී සඳහන් කර ඇත.

බකාසාකාබ ස්ථාපිත කිරීම සඳහා දෙසැම්බර් 19 දා ජනාධිපති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්චාවට ආන්ඩුවේ මැති ඇමතින්ට හා සිවිල් නිලධාරීන් සමග ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න, හා ත්‍රිවිධ හමුදා ප්‍රධානින් සහභාගී වීම සහ ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂනය සහ මෙහෙයවීම යටතේ එය පවත්වාගෙන යාමට තීන්දු කර තිබීම ම එය හුදු සිවිල් සංවිධානයක් නොවන බවට පැහැදිලි ඇඟවුමකි. එහි ප්‍රකාශිත අරමුන කවරක් වුව ද ආන්ඩුව විසින් මෙම නව බලකාය යොදා ගනු ලබනු ඇත්තේ එක් අතකින් විරැකියාවෙන් සහ දරිද්‍රතාවයෙන් පෙලෙන ගම්බද දුගී තරුනයන් රුදුරු ශ්‍රම සූරාකෑමකට යටත් යටත් කිරීමට සහ මහජනතාවට, විශේෂයෙන් ම, කම්කරු පන්තියට එරෙහි ආන්ඩුවේ සහායක බලකායක් ලෙසය.

1965-70 එජාප ආන්ඩුව විසින් පිහිටුවන ලද ගොවි හමුදාව යෝජිත බකාසාකාබ හා සමාන තවත් පුර්වාදර්ශයකි. හමුදාව යටතේ කඳවුරු ගත කොට හමුදා පුහුනුවක් සහිතව පවත්වාගෙන ගිය එය වැව් අමුනු පිලිසකර කිරීම හා කෘෂිකාර්මික කටයුතු වලට යෙද වූ අතර ආන්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ද යොදා ගනු ලැබීය.

අද තත්වය ඊට වඩා හාත් පසින් ම වෙනස්ය. ධනපති පාලක පන්තිය මුහුන සිටින්නේ පෙර නොවූවිරු ආර්ථික හා දේශපාලන අර්බුදයකටය. ගෝලීයව පුපුරා යන දැවැන්ත පන්ති සටන් වල කොටසක් ලෙස ලංකාවේ කම්කරුවන්, තරුනයන් සහ පීඩිත ජන කන්ඩායම් වල අරගල ඉස්මත්තට පැමින ඇත. නව සම සමාජ (නසසප) එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) බඳු ව්‍යාජ වාම පක්ෂ සහ වෘත්තීය සමිති විසින් ඒවා පසු පසට තල්ලු කොට ගබ්සා කිරීමට උත්සාහ කරන නමුදු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් වලට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ප්‍රහාරයන්ට විරුද්ධව ඒවා වඩා පෘතුල සමාජ අරගල ලෙස වර්ධනය වීමේ වෛෂයික කොන්දේසි තුලින් ගමන් කරමින් ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනවා තිබෙන මුල්‍ය විනය පවත්වාගෙන යාමේ නියෝග යටතේ රාජ්‍ය වියදම් කප්පාදුව, අයවැය පරතරය අඩු කිරීම මෙන් ම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහකරනය සහ පුද්ගලීකරනයේ සැලසුම් වේගවත් කිරීමට රාජපක්ෂ ආන්ඩුවට බල කෙරී ඇත.

සමාජ අරගලයන් වර්ධනය වීමේ මෙම තතු, අනෙක් සෑම රටකම මෙන් ම ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තිය භීතියටත් සන්ත්‍රාසයටත් පත්කොට තිබේ. රාජපක්ෂ ආන්ඩුව සන්නද්ධ හමුදාවන් සහ බුද්ධි අංශ තවත් ශක්තිමත් කරමින් හා රාජ්‍ය පාලනය මිලිටරිකරනය කරමින් “රට සුරක්ෂිත” කරන ආඥාදායක පාලනයකට මාරුවීමේ වැඩ කටයුතු තීව්‍ර කරමින් සිටින්නේ එම කොන්දේසි තුලය.

ආන්ඩුව මෙම ප්‍රතිගාමී සැලසුම් පෙරට ගෙන යන්නේ මුස්ලිම් සහ දෙමල ජන කන්ඩායම් වලට එරෙහි වාර්ගික උත්මාදයක් අවුස්සමිනි. රාජපක්ෂ ආන්ඩුවේ ආඥාදායක සැලසුම් වලට වහ වැටී සිටින සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ප්‍රතිගාමී බලවේග ඒවාට සහයෝගය දෙන්නේ දෙකොනින් කෙල පෙරාගෙන ය. ආන්ඩුවේ සහයෝගයට පන්සල්වල මූලිකත්වය ඇතිව ගම්මට්ටමින් “මහජන බුද්ධි අංශයක්” නිර්මානය කරන බව වර්ගවාදී භික්ෂුවක් වන ඇල්ලේ ගුනවංශ 20 වෙනිදා හෙතෙම බැහැදැකීමට ගිය ගෝඨාභය රාජපක්ෂට පවසා ඇත. මෙවන් සංවිධාන නිශ්චිතව ම, කම්කරු පන්තියට විරුද්ධව ධනේශ්වර රාජ්‍යයේ මුගුරු ලෙස සංවිධානය කෙරෙන ෆැසිස්ට් බලවේගයෝය.

යෝජිත බකාසාකාබ ද එවන් සංවිධානයක් සඳහා පදනම දමන ප්‍රතිගාමී ව්‍යාපෘතියකි. කම්කරු පන්තිය රාජපක්ෂ ආන්ඩුවේ මෙම සැලසුම් බරපතල අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. ධනපති පාලක පන්තියේ ආඥාදායක සැලසුම් පරාජය කිරීම තම අයිතීන් සදහා අරගලය සමග ඍජුව බැදී ඇත. මෙම අභියෝගයට කම්කරු පන්තිය මුහුන දිය යුත්තේ වැඩපොලවල්වල හා තම නිවහන් ප්‍රදේශ තුල කම්කරුවන් තරුනයන් හා පීඩිත ජන කන්ඩායම් රැලි කර ගත් ක්‍රියාකාරී කමිටු හා ආරක්ෂක කමිටු ගොඩ නගා ගනිමින් රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවකින් විස්ථාපනය කිරීම ඉලක්ක කොට ගත් සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පාදක වූ තමන්ගේ ම ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් සඳහා කරන සටනක් තුලිනි. රැකියා විරහිත දුගී තරුනයන් ආන්ඩුවේ ප්‍රතිගාමී ව්‍යාපෘතිවලට නතු වීම වලකාගත හැක්කේ, එලෙස කම්කරු පන්තියේ නායකත්වය යටතේ ඔවුන් ධනපති ආන්ඩුවට එරෙහි සමාජවාදී ඉදිරිදර්ශනය මත බලමුලු ගැන්වීමෙන් පමනි.

එමෙන් ම, ගම්බද දුගී තරුනයන් ධනපති පාලක පන්තියේ මෙම ප්‍රතිගාමී සැලසුම්වල ගොදුරු බවට පත් නොවිය යුතුය. ඔවුන් අත් විඳින විරැකියාව හා දරිද්‍රතාවය ධනපති ක්‍රමය විසින් ඔවුන් මත පටවා ඇති ව්‍යසනයක කොටසකි. ඔවුන්ට විරැකියාවෙන් සහ දරිද්‍රතාවයෙන් මිදී යහපත් සමාජ කොන්දේසි සහිත සුසන්ගත ජීවිතයක් බුක්තිඳිය හැක්කේ කම්කරු පන්තියේ නායකත්වය යටතේ ගොඩ නැගෙන සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් තුල සංවිධානය වෙමින් ධනපති පන්ති පාලනය පෙරලා දැමීමෙන් පමනි. එම ඉදිර්දර්ශනය සඳහා සටන් වදින සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නැගීමට එක්වන්න.

Share this article: