ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පිලිබඳව වැඩෙන කනස්සල්ල

Growing concerns over stability of the international monetary system

නික් බීම්ස් විසිනි, 2019 නොවැම්බර් 27

එක්සත් ජනපද මහ බැංකුව සහ ලෝකයේ අනෙකුත් ප්‍රධාන මහ බැංකු විසින් දැනට අනුගමනය කරනු ලබන මූල්‍ය ප්‍රතිපත්ති, යම් අවස්ථාවක දී නිකුත් කරන ලද “ෆියට්” (රාජ්‍ය) මුදල් පිලිබඳ විශ්වාසයේ අර්බුදයකට තුඩු දිය හැකිය යන්න අවම වශයෙන් සමහර මූල්‍ය කවයන් තුල වැඩි වැඩියෙන් කනස්සල්ලට හේතුවී ඇත. එය වටිනාකම රැස්කර තබන රත්රන් වෙත හැරීමට තුඩු දිය හැකිය.

ෆිනෑන්ෂල් ටයිම්ස් හි සංස්කාරක වීමට නියමිත රානා ෆොරූහර් විසින් සඳුදා ප්‍රකාශයට පත් කරන ලද ලිපියක “රත්රන් වඩ වඩාත් ආකර්ෂනීය පෙනුමක් ලබයි” යන මාතෘකාව යටතේ මෙම භීතිය ප්‍රකාශයට පත් කර ඇත.

“රත්රන් දෝෂ සෑම විටම මා තුල මානසික ව්‍යාධියක් ඇතිකර තිබේ. ඩිජිටල් යුගයක භෞතික තොග රැස් කිරීම සඳහා අහස කඩා වැටෙන බව ඔබ විශ්වාස කල යුතුයි. එබැවින් සමහර ආයෝජකයින් සහ මහ බැංකුකරුවන් රත්තරන් ගැන කතා කිරීම කනස්සල්ලට කරුනකි. ”

මූල්‍ය පද්ධතියේ විශ්වාසනීයත්වය පිලිබඳ අර්බුදයක් මතුවුවහොත් රත්‍රන්වල කාර්යභාරය පෙන්වා දෙන නෙදර්ලන්ත මහ බැංකුව විසින් මෑතකදී පල කරන ලද ලිපියක් ෆොරූහාර් උපුටා දැක්වීය. “පද්ධතිය බිඳවැටුනහොත් එය නැවත ගොඩනඟා ගැනීම සඳහා පදනමක් ලෙස, රත්රන් තොගයට සේවය කල හැකිය” යනුවෙන් එම ලිපියේ සඳහන් විය. “රත්රන් මඟින් මහ බැංකුවේ ශේෂ පත්‍රය කෙරෙහි විශ්වාසය වැඩි කරන අතර එය ආරක්ෂාව පිලිබඳ හැඟීමක් ද ඇති කරයි.”

මූල්‍ය පද්ධතියේ ඇතිවිය හැකි අර්බුදයක් පිලිබඳ උත්සුකයන් පසුගිය දශකය තුල මූල්‍ය ප්‍රතිපත්තියේ අත්දැකීම් තුලින් ඉස්මතු වේ. ප්‍රධාන මහ බැංකු විසින් පෙර නොවූ විරූ ලෙස, ඩොලර් ට්‍රිලියන ගනනක් ගෝලීය මූල්‍ය පද්ධතියට පොම්ප කිරීම ගෝලීය ආර්ථික වර්ධනයේ සැබෑ ප්‍රකෘතියක් ගෙන ඒමට අසමත් වී තිබේ.

2008 මූල්‍ය කඩාවැටීමට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු මහ බැංකුව සමඟ අනෙකුත් ප්‍රධාන මහ බැංකු, ඩොලර් බිලියන සිය ගනනක් ඇප වශයෙන් බැංකුවලට ලබා දී පොලී අනුපාත ඓතිහාසික අවමයට කපා හැරියේය. මෙම ප්‍රතිපත්ති අසාර්ථක වූ විට, ඔවුහු ඊනියා “ප්‍රමානාත්මක ලිහිල් කිරීම” එනම්, මූල්‍ය වත්කම් මිලදී ගැනීම මත පදනම් වූ සාම්ප්‍රදායික නොවන මූල්‍ය ප්‍රතිපත්තියකට හැරුනෝය.

ඇමරිකානු මහ බැංකුව විසින් එවැනි වත්කම් සතුකර ගැනීම මූල්‍ය බිඳවැටීමට පෙර ඩොලර් බිලියන 800 සිට දැන් ඩොලර් ට්‍රිලියන 4 දක්වා පුලුල් වී ඇත. යුරෝපා මහ බැංකුව අනුගමනය කල මෙම වැඩපිලිවෙල හේතුවෙන් එහි වටිනාකම ඩොලර් ට්‍රිලියන 2.6 දක්වා ඉහල නංවා ඇත. ඉතිහාසයේ මීට පෙර මෙවැනි දෙයක් දැක නැත.

මෙම ක්‍රියාමාර්ගවල ප්‍රධාන ප්‍රතිපලය, කොටස් හා බැඳුම්කර වැනි මූල්‍ය වත්කම්වල මිල ඉහල යාම, සංගතවල සහ ගෝලීය මූල්‍ය ප්‍රභූන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන ගනනින් ඉහල නැංවීම සහ වැටුප් එකතැන පල්වීමත් සමඟ ලොව පුරා සමාජ අසමානතාවයේ වර්ධනය වේගවත් කිරීමයි. “මුදල් නැත” යන පදනම මත සමාජ වියදම් කපා හැරේ.

මෙම පියවරයන් යුක්තිසහගත කරන ලද්දේ, මූල්‍ය පද්ධතියේ පූර්න බිඳවැටීමක් වැලැක්වීම සඳහා ඒවා අවශ්‍ය වූ බවත්, අවසානයේදී ඒවා සැබෑ ආර්ථිකයේ වර්ධනය කරා නැවත පැමිනීමට හේතු වන බවත්, එමඟින් “සාමාන්‍ය” මූල්‍යය ප්‍රතිපත්ති කරා ආපසු යා හැකි බවටත් තර්ක කරමිනි.

2017 දී සහ 2018 මුල් භාගයේදී ගෝලීය වර්ධන අනුපාත ඉහල යාමට පටන් ගැනීමත්, මූල්‍ය අර්බුදයට ක්ෂනික ඉක්බිත්තේ පැවති තත්වයට පසු ඉහලම මට්ටම් කරා ලඟා වීමත් නිසා මෙය එසේ විය හැකි බව පෙනෙන්නට තිබුනි. ඒ අනුව, ෆෙඩරල් මහ බැංකුව විසින් පොලී අනුපාත නැංවීමට පටන් ගත් අතර, 2018 දී එය සියයට 0.25 බැගින් සිව් වතාවක් ඉහල නංවා තිබේ. එසේ මහ බැංකුව මූල්‍ය වත්කම් රඳවා ගැනීම අඩුකිරී මට පටන් ගත්තේය. යුරෝපීය මහ බැංකුව (යූමබැ) ද එය අනුගමනය කල අතර වත්කම් මිල දී ගැනීම ද නවතා දැමූ නමුත් එහි මූලික පොලී අනුපාතය සෘන මට්ටමක තබා ගත්තේය.

කෙසේ වෙතත්, ජපාන මහ බැංකුව මෙම පියවර අනුගමනය නොකල අතර එහි මූලික පොලී අනුපාතය බිංදුවක තබා ගනිමින් රජයේ බැඳුම්කර සහ වෙනත් මූල්‍ය වත්කම් මිලදී ගැනීම අඛන්ඬව පවත්වා ගෙන ගියේය. එය දැන් රජයේ නයවලින් සියයට 46 ක් දරා සිටියි. ආන්ඩුවේ බැඳුම්කර සඳහා ජපාන වෙලඳපොලේදී, රාජ්‍යයේ එක් අතක් ලෙස ආන්ඩුව නය අලෙවිකරු වන අතර තවත් හස්තයක් වන ජපාන මහ බැංකුව ගැනුම්කරු වේ. දැන් මුලු ලෝකයම “ජපානකරන” මාවතේ ගමන් කරනු ඇතැයි යන බියක් පවතී.

ෆෙඩරල් මහ බැංකුව සහයුරෝපීය මහ බැංකුව විසින් “සාමාන්‍යකරනයට” යාම ඉතා කෙටි කාලීන විය. පසුගිය වසර අවසානයේදී, එක්සත් ජනපද ව්‍යාපාර වස්තු වෙලඳපොලවල සීග්‍ර පහත වැටීම නිසා මහ බැංකුව ආපසු හැරුනේය. මෙම වසරේ මුල් භාගයේ දී එය, අනුපාත ඉහල නොදැමීමේ පිලිවෙතක් පවත්වා ගෙන ගියේය. ෆෙඩරල් සභාපති ජෙරොම් පවෙල් විසින් “ස්වයංක්‍රීය නියමුවෙකු” ලෙස එක් අවස්ථාවක විස්තර කරන ලද ප්‍රතිපත්තියක් වන මහ බැංකුවේ වත්කම් අඩු කිරීම - සැබවින්ම සිදුවීමට පෙර පවා අවසන් කල යුතු බව ද එය ඇඟවුම් කලේය.

ජුලි මාසයේ සිට පොලී අනුපාත සියයට 0.25 බැගින් කප්පාදු කිරීමෙන් අනතුරුව, මූල්‍ය වෙලඳපොලවලට ඊනියා “ඉදිරි මග පෙන්වීම” පිලිබඳ ෆෙඩරල් මහ බැංකුවේ ප්‍රතිපත්තිය යටතේ, අනාගතය සඳහා අපේක්ෂිත පොලී ඉහල දැමීමේ පිලිවෙතින් බැහැර විය. කොටස් වෙලඳපොල දර්ශක නව වාර්තාගත මට්ටම් කරා තල්ලු කරමින් වෝල් වීදිය එය නිසි ලෙස සැමරීය .

එම පිලිවෙත අනුගමනය කරමින් යුමබැ, වත්කම් මිලදී ගැනීමේ වැඩසටහන නැවත ආරම්භ කර එහි මූලික පොලී අනුපාතය තවදුරටත් සෘනාත්මක තැනකට තල්ලු කරයි.

පොලී අනුපාත කප්පාදුව සහ ප්‍රමානාත්මක ලිහිල් කිරීම යන දෙකටම, ගෝලීය ආර්ථිකයේ සැබෑ ව්‍යාප්තියක් ඇති කිරීමට නොහැකි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත්තේ ලෝක ආර්ථිකය එක සමාන ගෝලීය මන්දගාමිත්වයක පවතින බවත් එය ප්‍රධාන ආර්ථිකයන්හි ආයෝජන පහත වැටීම සහ වෙලඳාමේ හැකිලීම මගින් සංලක්ෂිත වන බවත්, මූල්‍ය ප්‍රතිපත්තියේ මීලඟ අදියර පිලිබඳව දැන් ප්‍රශ්න මතුව තිබෙන බවත්ය.

ලොව විශාලතම ආයතනයක් වන බ්‍රිජ්වෝටර් හෙජ් අරමුදලේ ප්‍රධානී රේ ඩාලියෝ පසුගිය මාසයේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (අයිඅයිඑෆ්) විසින් කැඳවන ලද සම්මන්ත්‍රනයකට කරන ලද ප්‍රකාශ ෆොරූහාර් සිය ලිපියේ සඳහන් කර තිබේ. ඩාලියෝ පැවසුවේ තම බිල්පත් අඛන්ඩව ගෙවීම සඳහා එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුවට එහි ශේෂ පත්‍රය ඉහල නංවා පොලී අනුපාත අඩු හෝ සෘන මට්ටමේ තබා ගැනීමට සිදුව ඇති බවයි. මෙය එක්සත් ජනපද නය අයිති කර ගැනීමට කිසිවෙකු අකමැති තත්වයකට තුඩු දිය හැකි අතර ආයෝජකයින් වටිනාකම් රැස්කර තැබීම පිනිස වෙනත් වත්කම් සොයනු ඇත.

“ප්‍රශ්නය වන්නේ, වෙන කුමක් ද? ඔහු විමසීය. "අප සිතන පරිදි අප සිටින පරිසරය එයයි. තවද වෙනත් කෙනෙකුගේ වගකීමක් නොවන ඔබට තිබිය හැකි එකම වත්කම රත්රන් යැයි කියමනක් ඇත."

මූල්‍ය විශ්ලේෂක ලූක් ග්‍රෝමන් විසින් මෑතකදී දක්වන ලද ප්‍රවෘත්තියක් ද ෆොරූහාර් ගෙනහැර දැක්වීය. සමහර කවයන් “රත්රන් දෝෂයක්” ලෙස සලකන අතර, එක්සත් ජනපදයේ වාර්ෂික “හිමිකම්” -වෛද්‍ය සේවා, වෛද්‍ය ප්‍රතිකාර සහ සමාජ ආරක්ෂන සඳහා ගෙවීම් ද ආරක්ෂක වියදම් සඳහා පොලී ගෙවීම් ද ඇතුලු- දැන් එක්සත් ජනපද ෆෙඩරල් බදු ආදායම්වලින් සියයට 112 ක් වේ. මෙය මාස 15 කට පෙර පැවති සියයට 103 හෝ අවුරුදු දෙකකට පෙර තිබූ සියයට 95 මට්ටම් වලට වඩා දැන් ඉහල ගොස් තිබේ. මෙම වැඩිවීම්, ට්‍රම්ප්ගේ සංගත සහ ධනවතුන් සඳහා වන බදු කප්පාදුවල ප්‍රතිපලය වී තිබේ.

එක්සත් ජනපදය “බදු ආදායම් සඳහා වත්කම් මිල උද්ධමනය මත මුලුමනින්ම රඳා පවතින” බවත්, රජයට බිල් ගෙවිය හැකි එකම ක්‍රමය වත්කම් මිල එක එල්ලේ ඉහල යාම හෝ මහ බැංකුව “වත්කම් මිල ඉහල නැංවීම පිනිස ප්‍රමානවත් මුදල් මුද්‍රනය කිරීම” බවත් ග්‍රෝමන් ලිවීය.

ෆොරූහාර් විසින් වාර්තා නොකරන ලද නමුත් අයිඅයිඑෆ් සමුලුවට අදහස් දක්වමින් ඩාලියෝ, මුදල් යනු කුමක්ද යන්න රජය විසින් තීරනය කරනු ලබන ෆියට් මුදල් පද්ධතියේ අනාගතය පිලිබඳව ප්‍රශ්න මතු කළේය.

“අප දැන් සිටින්නේ නව ලෝකයක”, එය “පිස්සු”, “අමුතු” හෝ “වෙනත් යථාර්ථයක්” ලෙස පෙනේ. දැනටමත් සිදුවෙමින් පවතින දෙයට අනුව රජයේ ගෙවීම් මෙන්ම විශ්‍රාම වැටුප් අරමුදල් ගෙවීම සඳහා ජපානයේ මෙන්, මහ බැංකුවලට වැඩි වැඩියෙන් නය මුදල් උපයා ගැනීමට සිදුවනු ඇත.

"මම හිතන්නේ අපි මුදල් යනු කුමක්ද, සංචිත මුදල් යනු කුමක්ද, එම ෆියට් මුදල් ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නෙහි අවසාන අදියරවල හෝ අවසානයේ සිටින බව" යයි ඔහු පැවසීය.

සෘනාත්මක පොලී අනුපාතයන්ගෙන් යුත් ලෝකයක් සහ බැංකු විසින් කඳු ගැසෙන නය, මුදල් බවට හරවන මෙම නව මූල්‍ය ලෝකය වර්ධනය වන්නේ කෙසේදැයි හරියටම පුරෝකථනය කල නොහැකිය. එහෙත් විනාශකාරී ආර්ථික ප්‍රතිවිපාක සහිතව කඩා වැටීම පිලිබඳ බලාපොරොත්තුව වෙන කවරදාටත් වඩා විශාල වෙමින් පවතිද්දී ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමයේ අත්තිවාරම මත යෙදෙන පීඩනය දැඩි වෙමින් ඇති බව පැහැදිලිය.

ෆියට් මුදල් පිලිබඳ විශ්වාසය ඛාදනය වෙද්දී, එවැනි අර්බුදයක් වටිනාකම රැස්කර තබන එකම පදනම ලෙස රත්‍රන් වෙත නැවත හැරීමට හේතු වනු ඇතැයි යන අපේක්ෂාව, ධනවාදී ආර්ථිකයේ ප්‍රතිවිරෝධතා සහ අර්බුද පිලිබඳ විශ්ලේෂනය කිරීමේදී මාක්ස් විසින් විස්තාරනය කරන ලද මූලික කරුනු මතු කරයි.

මාක්ස් විසින් මුදල් පිලිබඳ වෙලඳ භාන්ඩ න්‍යායක් ලෙස හඳුන්වන දෙය ඉදිරියට ගෙන ගියේය: අවසානයේදී වටිනාකමට වෙනත් වෙලඳ භාන්ඩයක ද්‍රව්‍යමය ප්‍රකාශන ස්වරූපයක් තිබිය යුතු අතර ඓතිහාසික හේතූන් මත ඒ රත්‍රන් විය. නය සහ වෙනත් යාන්ත්‍රනයන් වර්ධනය කිරීම තුලින් ධනවාදය, මෙම ලෝහ බාධකය ජය ගැනීමට උත්සාහ කල නමුත් “නැවත නැවතත් මෙම බාධකය එහි පිටකොන්ද කඩන" බව මාක්ස් පවසයි.

1971 අගෝස්තු මාසයේදී ජනාධිපති නික්සන් විසින් එක්සත් ජනපද ඩොලර් හා රත්රන් අතර අනුපාතය ඉවත් කිරීමෙන් පසුව, මාක්ස්ගේ විශ්ලේෂනය අවලංගු යැයි මාක්ස්වාදීන් යැයි කියා ගත් සමහරු ද ඇතුලු බොහෝ ආර්ථික විද්‍යාඥයින් කියා සිටියේය. අන්තර්ජාතික මූල්‍ය පද්ධතියේ පදනම ලෙස ක්‍රියා කරන ෆියට් මුදල, එනම් එක්සත් ජනපද ඩොලරය, තවදුරටත් රත්‍රන්වල පිටුබලය නොලබමින් ගෝලීය ආර්ථිකයේ ව්‍යාප්තිය ඇතිකරන තතු හමුවේ ඔහුගේ විශ්ලේෂනය ඓතිහාසිකව ප්‍රතික්ෂේප වෙී ඇති බව ප්‍රකාශ විය.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය ගැඹුරු වීම සහ ෆියට් මුදල් පද්ධතියේ ස්ථායිතාව පිලිබඳ වැඩෙන සැක සාංකා යටතේ, මාක්ස් කල තවත් ප්‍රකාශයක් ද සිහිපත් කල යුතුය. දේශපාලන ආර්ථිකයේ මූලික නියාම ක්‍රමානුකූලව හෝ සුමට ලෙස ප්‍රකාශ නොවන නමුත්, අපගේ ඇස්පනාපිට නිවසක් කඩාවැටෙන විට ගුරුත්වාකර්ෂන නියාමය මෙන් එය තෙමේම ප්‍රකාශයට පත් වන බව ඔහු සඳහන් කලේය. ෆිනෑන්ෂල් ටයිම්ස් කතුවරයා සහ වෙනත් අය විසින් ඉදිරිපත් කරන ලද කරුනු වලින් පැහැදිලි වන පරිදි, ජාත්‍යන්තර මූල්‍ය නිවාසය සෙලවෙන්නට පටන් ගෙන තිබේ.

Share this article: