ලේබර් ඡන්ද කඩා වැටීමෙන් පසු ජොන්සන් එක්සත් රාජධානියේ මැතිවරනයෙන් බහුතරයක් දිනා ගනී

Johnson wins majority in UK election after collapse of Labour vote

ක්‍රිස් මාස්ඩන් විසිනි, 2019 දෙසැම්බර් 13

1935න් පසුව ලේබර් පක්ෂයට ලැබුනු නරකම මැතිවරන ප්‍රතිපල හේතු කරගෙන කොන්සර්වේටිව් පක්ෂයේ අගමැති බොරිස් ජොන්සන්, 1987 දී මාග්‍රට් තැචර්ගේ ජයග්‍රහනයෙන් පසු විශාලතම පාර්ලිමේන්තු බහුතරය ලබාගෙන ඇත. ලේබර් පක්ෂයට ආසන 203ක්, ස්කොට්ලන්ත ජාතික පක්ෂයට 48ක්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට 12ක්, ප්ලේඩ් සිම්රූ සංවිධානයට 4ක් සහ හරිත පක්ෂයට 1කි. මීට සාපේක්ෂව ටෝරි පක්ෂයට දැන් ආසන 80 ක බහුතරයක් සහිතව ආසන 365 ක් හිමිව ඇත.

ටෝරි ඡන්දය ඉහල ගියේ සියයට 1 කින් පමනක් වන නමුත් 2017 මහ මැතිවරනයේදී තිබුනාට වඩා ලේබර් ඡන්ද ප්‍රතිශතය සියයට 8 කින් පහත වැටුනි.

ජොන්සන්ගේ ජයග්‍රහනය පශ්චාත් යුද්ධ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වඩාත්ම දක්ෂිනාංශික ආන්ඩුව ශක්තිමත් කරන අතර කම්කරු පන්තියට විනාශකාරී ප්‍රතිවිපාක ගෙන එයි.

“බ්‍රෙක්සිට් සිදු කරවා ගැනීමට” සහ “තැචර් විප්ලවය” සම්පූර්න කිරීමට ඔහු කඩිනමින් පොරොන්දු වී ඇත. ජනවාරි 31 වන දින බ්‍රෙක්සිට් සඳහා මාවත සකසන, ආපසු ගැනීමේ ගිවිසුම් පනත් කෙටුම්පත දෙසැම්බර් 20 වන සිකුරාදා එහි දෙවන කියවීම පාර්ලිමේන්තුවේදී පවත්වනු ඇත.

බ්‍රිතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන් (AP Photo/Matt Dunham)

රුසියාව සහ චීනය ඉලක්ක කර ගන්නා ට්‍රම්ප් පාලනයේ යුද්ධය හා ට්‍රම්ප් ආන්ඩුව සමඟ වෙන කවරදාටත් වඩා ගැඹුරු මිලිටරි සන්ධානයක් ඇති කර ගැනීම හා බ්‍රෙක්සිට් බැඳී තිබේ. බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යවාදී අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා වන මෙම සැලසුම් සඳහා රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි වලට එරෙහිව වඩ වඩාත් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කල යුතුය.

තැපැල් සේවකයින්ගේ සැලසුම් සහගත වැඩ වර්ජනයකට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරනය දෙවරක් තීන්දු නිකුත් කලේ, සවුත් වෙස්ටර්න් දුම්රිය සමාගමට එරෙහිව කම්කරුවන් ගත් වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර වශයෙන් පොදු ප්‍රවාහන සේවයට එරෙහි සියලු වැඩ වර්ජන තහනම් කරන බවට ජොන්සන් කල තර්ජනයෙන් පසුවය. ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍ය ඉවත්වීමේ තීරනය මගින් සිවිල් නොසන්සුන්තාවයක් ඇති වුවහොත් නිත්‍ය සහ සංචිත භටයන් 50,000 ක් සහ කැරලි මර්දන පොලිසිය 10,000 ක් යෙදවීම යෙලෝහැමර් මෙහෙයුමට ඇතුලත් විය. ආන්ඩුව විසින් සැලසුම් කර ඇති වැඩකරන ජනතාවට එරෙහි පෙරමුනු ප්‍රහාරයේ ප්‍රතිපලයක් ලෙස ඇති වන සිවිල් නොසන්සුන්තාවයට ප්‍රතිචාරයක් ලෙස එය යොදාගැනීමට සැලසුම් කර තිබූ බව දැන් අනාවරනය වීඇත.

කැරලි මර්දන පොලිසිය වර්ජකයන්ට සහ කහ බැනියම් විරෝධතාකරුවන්ට අමානුෂික ලෙස පහර දෙන දර්ශන දැන් ප්‍රංශයේ දිග හැරෙමින් තිබේ. එය ඉදිරියේදී මෙහි සිදුවීමට නියමිත දේ පිලිබඳ නිමිත්තකි. මැතිවරන ව්‍යාපාරයේ දුෂ්ඨ හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය ද එසේමය.

ආර්ථික විනාශයක් පිලිබඳ අනතුරු ඇඟවීම් කේන්ද්‍ර කර ගනිමින් කෝබින්ට එරෙහිව පවුම් මිලියන ගනනක බොරුවක් බීබීසී ඇතුලු මාධ්‍ය විසින් ප්‍රචාරය කර ඇති අතර, ඔහු ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් යුදෙව් විරෝධියෙකු බවත් ඒවායේ සඳහන් කෙරේ. එය ත්‍රිවිධ හමුදාවේ ප්‍රමුඛ නියෝජිතයින්, ආරක්ෂක සේවා සහ කැන්ටබරිහි ප්‍රධානි රබ්බි සහ අගරදගුරු ද විවෘතව ඇතුලත් කර ගත් ව්‍යාපාරයකි.

මෙම ක්‍රියාවලියේදී පාර්ලිමේන්තු දේශපාලනයේ සමස්ත ව්‍යුහය කුනු වී ඇති බව හෙලි වී තිබේ. “ප්‍රජාතන්ත්‍රවාදය” 1930 ගනන්වල දී මෙන් නරුම හා සාපරාධී වංචාවක් ලෙස ද එලෙසම හෙලි වී තිබේ.

මැතිවරන ව්‍යාපාරයේ දිගහැරීම හා ප්‍රතිපල, මිලියන සංඛ්‍යාත කම්කරුවන් තැතිගන්වනු ඇත. විශේෂයෙන් ජොන්සන් වැනි පුලුල් ලෙස හෙලා දකින ලද පුද්ගලයකුට එරෙහිව විකල්පයක් සැපයීමට කෝබින් වෙත යොමුවූ අය, සියල්ලටත් වඩා එවැනි පරාජයක් සඳහා හේතුව තේරුම් ගත යුතුය.

තම ඉස්ලින්ටන් මැතිවරන කොට්ඨාශයේ අඩු බහුතරයක් ලබා ගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින් කෝබින් පැවසුවේ, “බ්‍රෙක්සිට් මේ රටේ ධ්‍රැවීකරනය වූ හා බෙදුනු විවාදයක් වූ අතර එය සාමාන්‍ය දේශපාලන විවාදයන් බොහෝමයක් අභිබවා ගොස් තිබුනි. එය රට පුරා ලේබර් පක්ෂයට ලැබුනු ප්‍රතිපලයට දායක වී තිබේ. එය ලේබර් පක්ෂයේ ජනප්‍රිය ප්‍රතිපත්ති අභිබවා ගියේය.

ඊට අමතරව “දේශපාලඥයන්ගේ පවුල්වල අයට සහ ආදරනීයයන්ට එරෙහිව සිදුවූ ප්‍රහාර” “නින්දිත හා අවංකවම පිලිකුල් සහගතය.”

ප්‍රකාශ දෙකෙහිම සත්‍යතාවයක් ඇත.

ලේබර් පක්ෂය කම්කරු පංති මර්මස්ථානවල ලත් පරාජය සඳහා බ්‍රෙක්සිට් විශාල කාර්යභාරයක් ඉටු කල අතර ඡන්දදායකයින්ගෙන් බොහොමයක් පිටවීම සඳහා ඡන්දය දුන්හ. ටෝරීන් පිටවීමට පක්ෂ ප්‍රදේශවල සියයට 4 ත් 6 ත් අතර ප්‍රමානයකින් ඡන්ද වැඩිකරගත් අතර රැඳී සිටීමට පක්ෂ ආසනවල සියයට 3 කින් ඡන්ද වැඩිකර ගත්තේය. ඊට වෙනස්ව ලේබර් ඡන්දය, ඊසානදිග හා යෝක්ෂයර්හි සියයට 12 සිට 13 දක්වා පහත වැටුනු අතර ලන්ඩනයේ සහ දකුනු එංගලන්තයේ සියයට 6 සිට 7 දක්වා පහත වැටුනි. මීට පෙර කිසි දිනෙක ටෝරි මන්ත්‍රීවරයකු තෝරා පත් කර නොගත් ඇෂ්ෆීල්ඩ්, බිෂොප් ඕක්ලන්ඩ් සහ වර්කින්ටන්හි ලේබර් පක්ෂයට ආසන අහිමි විය.

ටෝරීන් බොල්සෝවර් ආසනය දිනාගත් විට, 1970 සිට එම පාර්ලිමේන්තු ආසනය දැරූ ඩෙනිස් ස්කින්නර්ගේ ලේබර් මන්ත්‍රී අසුන අහිමි විය.

වේල්සයේදී ටෝරීන් විසින් වේල් ඔෆ් ක්ලවිඩ්, රෙක්ස්හැම්, ක්ලවිඩ් සවුත්, ඩෙලින් සහ ලේබර් පක්ෂයට හිමිව තිබුන යෙනිස් මොන් ආසනය ද දිනා ගත්තේය.

ස්කොට්ලන්තයේ දී ලේබර් පක්ෂට එහි ආසන හතෙන් හයක්ම අහිමි වූ අතර බ්ලෙයාර් ලේබර් ආන්ඩුවේ පාවාදීම් නිසා පිහිටුවාගන්නා ලද ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ නැගීම තියුනු විය.

ටෝරි ආසනවලට තරඟ නොකල නමුත් ලේබර් පක්ෂයට එරෙහිව සැලකිය යුතු ජවයකින් ජයග්‍රහනය කල බ්‍රෙක්සිට් පක්ෂය සමඟ ටෝරීන්ට, හිටපු ලේබර් බලකොටුවල ජයග්‍රහනය කිරීමේ හැකියාව ඇති කලේ කෝර්බින් විසින්ම ය. ජොන්සන්ගේ ජයග්‍රහනය සඳහා දේශපාලන වගකීම පැවරෙන්නේ, ඔහු වෙත හා ලේබර් පක්ෂයේ වාමාංශික මුහුනුවරක් ඔහුගේ නායකත්වය යටතේ ඇති වන බව කියා සිටි සමාජවාදී පක්ෂය සහ සමාජවාදී කම්කරු පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායම් වෙතය.

බ්‍රෙක්සිට් පිලිබඳව ගත්කල කෝබින්, 2016 ජනමත විචාරනයේ සිට ලන්ඩන් නගරයේ යුරෝපා සංගම් හිතවාදී න්‍යාය පත්‍රයට සම්පූර්නයෙන්ම අනුගත විය. එය යුරෝපා සංගමය සමඟ ගිවිසුමක් නැවත සාකච්ඡා කිරීමේ ප්‍රතිපත්තියක් සමඟින් අවසන් වූ අතර දෙවන ජනමත විචාරනයකින් පසුව ඔහු මධ්‍යස්ථව සිටීමට ගත් තීරනය කිසිවෙකු ඒත්තු නොගැන්වූ අතර, ටෝරීන්ට එරෙහිව කම්කරු පන්තිය එක්සත් කිරීම කල නොහැකි විය. ඔහු බ්ලෙයාර්වාදී විවේචකයින්ට පිලින දී ඇත්තේ, ඊලඟ මැතිවරනයේදී තමන් ලේබර් පක්ෂයේ නායකත්වය නොගන්නා නමුත්, “ප්‍රතිබිම්බයේ ක්‍රියාවලියට” නායකත්වය දෙන අතර “අප අනාගතයට පිවිසෙන්නෙමු” යයි සහතික වෙමිනි.

එහෙත් මෙය බ්ලෙයාර්වාදීන් සහ මහා ව්‍යාපාරිකයින් වෙත එක දිගට සිදුවූ දේශපාලන අනුගතවීම් මාලාවක එකක් පමනි . එයින් අදහස් වුනේ, සුලු ප්‍රතිසංස්කරන කිහිපයක් ඇති කරන බවට ඔහුගේ හඬගෑම තුලින්, ඒය ටෝරීන්ට අව්‍යාජ විකල්පයක් වනු ඇතැයි ඒත්තු ගැන්විය හැකි වුනේ සුලු පිරිසකට පමනක් බවයි. නොඑසේ නම්, බ්ලෙයාර්වාදීන් පලවා හැරීම ප්‍රතික්ෂේප කිරීමේ තතු හමුවේ, කප්පාදුව, මිලිටරිවාදය සහ යුද්ධයට විරුද්ධ වීම සඳහා 2015 සිට කෝර්බින් දෙස බලා සිටි කම්කරුවන් වෙනුවෙන් ඔහු සටන් කරනු ඇතැයි ඒත්තු ගැන්විය හැකි නොවීය.

තවදුරටත් පසුබැසීම් අපේක්ෂා කල යුතුය. කෝර්බින් ගැති කන්ඩායමේ මොමෙන්ටම් හි ජාතික සම්බන්ධීකාරක ලෝරා පාකර් ප්‍රකාශ කලේ, “පැරනි මාධ්‍යමික ප්‍රතිපත්ති වෙත ආපසු යාමට කිසිසේත්ම රුචියක් නැත. අපි ලේබර් පක්ෂය සමාජවාදී ලෙස තබා ගන්නෙමු.” එහෙත් කෝබින් වෙනුවට පත්කර ගත යුත්තේ කවුරුන්ද යන්න පිලිබඳ තීරනය “නව වසර තෙක්” ගත යුතු නැතැයි කියමින් මොමෙන්ටම් හි නිර්මාතෘ ජෝන් ලැන්ස්මන් එයට ලබා දුන්නේ අර්ධ සහායක් පමනි.

බ්ලෙයාර්වාදීන් ඔවුන්ගේ පැත්තෙන් දැනටමත් යුද්ධය ප්‍රකාශ කර ඇත. ඡායා බ්‍රෙක්සිට් ලේකම් කෙයර් ස්ටාර්මර් පැවසුවේ, “දැන් සිටම නැවත ගොඩනැඟීමේ යුතුකමක් අපට තිබේ.” තවත් බ්ලෙයාර්වාදී ලේබර් නවකයෙකු වන ඇන්ඩෘ ඇඩෝනිස් ට්වීටර් සටහනක් යොදමින් පැවසුවේ, “ලේබර් පක්ෂ නව නායකත්වයේ අවශ්‍යතාවය තක්සේරු කිරීමට අවශ්‍ය ‘පිලිඹිඹුවේ කාල පරිච්ඡේදයට’ ගතවනු ඇත්තේ විනාඩි දහයක් විතර ය.” යනුවෙනි.

පරාවර්තනයේ සැබෑ කාල පරිච්ඡේදය වන්නේ, කම්කරු පන්තිය ලේබර් පක්ෂය කෙරෙහි දක්වන ආකල්පය මූලික වශයෙන් නැවත තක්සේරු කිරීමේ අවධියයි.

මැතිවරන ප්‍රතිපලය කෝබින්ගේ දේශපාලන බියගුලුකමේ ප්‍රතිපලය පමනක් නොවේ. වඩාත් මූලික අර්ථයෙන් ගත් කල එය, ලේබර් පක්ෂයේ සහ එහි වාටියේ සිටින “වම” යැයි කියාගන්නා අය, පන්ති අරගලය මැඩපැවැත්වීම සඳහා වෘත්තීය සමිති නිලධරය සමඟ කටයුතු කරන අතරම, සමාජවාදයේ පන්ති පාදක දේශපාලනය සමච්චලයට හා අවමානයට ලක් කරමින්, දශක ගනනාවක් තිස්සේ ගෙනගිය මධ්‍යම පන්තික අනන්‍යතා දේශපාලනයේ නොවැලැක්විය හැකි නිෂ්පාදනයකි. ලේබර් දක්ෂිනාංශයට සැබෑ විකල්පයක් නියෝජනය කිරීමට කෝබින්ට කිසි විටෙකත් නොහැකි වූයේ ද, ඒ වෙනුවට කම්කරුවන් හා තරුනයින් පක්ෂයට සහ මහා ව්‍යාපාරිකයන්ගේ දේශපාලන මෙවලමක් වන වෘත්තීය සමිති වලට යටත් කිරීමට කටයුතු කලේ ද එබැවිනි.

ටෝරි ආන්ඩුවට එරෙහිව අවශ්‍ය අරගලය දියත් කිරීම සඳහා කම්කරු පන්තිය, දැන් ලේබර් පක්ෂය මුහුනදී සිටින දේශපාලන බිඳවැටීම පිලිබඳ වඩාත් මූලික නිගමනවලට එලඹිය යුතුය.

ලේබර් පක්ෂය නව්‍යකරනයට කෝබින්ගේ නායකත්වය හේතු වනු ඇතැයි යන සියලු ප්‍රකාශ සමාජවාදී සමානතා පක්ෂය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබින. රැකියා, වැටුප් හා සමාජ සහන ආරක්ෂා කල හැකි, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකිය හැකි සහ මිලිටරිවාදයට හා යුද්ධයට තල්ලුවීම නතර කල හැකි ජාතික ප්‍රතිසංස්කරනවාදී, පාර්ලිමේන්තු මාවතක් නොමැති බව සිදුවීම් මඟින් දැන් සනාථ කර තිබේ.

කම්කරුවන් බෙදීමට හා සමස්ත කම්කරු පන්තියම බ්‍රෙක්සිට් ආරවුලේ එක් හෝ වෙනත් ප්‍රතිගාමී ධනවාදී කන්ඩායමක් පසුපස දැක්කීමට ගත් සියලු උත්සාහයන්ට සසප විරුද්ධ විය. නිර්මානය කරන ලද බෙදීම්වල දේශපාලන අන්තරායන් ගැන අනතුරු ඇඟවූ අතර යුරෝපයේ එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංඟමයක් සඳහා මහාද්වීපය පුරා කම්කරුවන්ගේ එක්සත් අරගලයක් වෙනුවෙන් අපි සටන් වැදුනෙමු.

මූල්‍ය කතිපයාධිකාරයේ ආන්ඩු විසින් පනවන ලද කප්පාදු වලට එරෙහිව ලොව පුරා කම්කරුවන් අරගලයකට තල්ලු වෙමින් සිටින තතු හමුවේ මෙම සසප අනතුරු ඇඟවීම් සනාථ වී තිබේ. කෝබින් විසින් ගසාකනු ලැබූ හා යටපත් කරන ලද වාමාංශික හැඟීම් දැන් බ්‍රිතාන්‍ය, යුරෝපීය හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී එක්සත් ව්‍යාපාරයක් සඳහා වන සවිඥානික අරගලයක් වෙත යොමු කල යුතුය. ඒ සසප ගොඩනැඟීම තුලිනි.

Share this article: