වතු කාර්ය මන්ඩල සේවකයන් 1500 ක් වැටුප් වර්ජනයක

එම්.දේවරාජා විසිනි, 2019 දෙසැම්බර් 2

වතු කාර්ය මන්ඩල සේවක වර්ජනය

මස්කෙලිය, කෑගල්ල සහ නමුනුකුල වතු සමාගම් මගින් පාලනය කෙරෙන වතුවල වතු කාර්ය මන්ඩල සේවකයෝ සියයට 25 ක මූලික වැටුප් වැඩිවීමක් ඉල්ලා නොවැම්බර් 26 වෙනිදා සිට වර්ජනයක නිරතව සිටිති. මෙම වතුවල කාර්යාල සේවකයන්, ක්ෂේත්‍ර නිලධාරීන්, වතු ඩිස්පෙන්සරි වල වෛද්‍යවරුන්, හෙද සේවකයන්, ලොරි රියදුරන්, කාර්මික සහ සුලු සේවකයන් 1500 ට ආසන්න පිරිසක් වර්ජනයට සම්බන්ධ වී ඇත.

මාසික මූලික වැටුප සියයට 25 කින් වැඩිකිරීමේ එකඟතාවය මත වතු සමාගම් 22 ක් සහ ජනතා විමුක්ති පෙරමුන (ජේවීපී) විසින් පාලනය කරනු ලබන ලංකා වතු කාර්යමන්ඩල සංගමය (ලවකාසේස) අතර ඔක්තෝබර් 1 වෙනිදා වැටුප් සාමුහික ගිවිසුමක් අත්සන් කර ඇත.

සෙසු සමාගම්, ගිවිසුමට අනුව අදාල මූලික වැටුප් වැඩිවීම ලබා දී ඇතත් ඉහත සඳහන් වතු සමාගම් තුන එය මූලික වැටුපට එකතු කිරීම ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට අදාල වැටුප් වැඩිවීම දීමනාවක් ලෙස ගෙවීමට කටයුතු කර ඇත. ඒ අනුව සේවක අර්ථසාධක, සේවක භාරකාර සහ වෛද්‍ය අරමුදලට එම වැඩිවීම එකතු නොවේ. නොවැම්බර් 26 වෙනිදා සේවකයන් වර්ජනයට එලඹුනේ වතු සමාගම්වල මෙම අත්තනෝමතික තීරනයට විරුද්ධව ය. වර්ජනය නොවැම්බර් 28 දක්වා කල් දැමීමට වෘත්තීය සමිති උත්සාහ කර ඇතත් සේවකයන් එය ප්‍රතික්ෂේප කර ඇත.

වර්ජනයේ නිරත මස්කෙලිය බෘන්ස්වික් වත්තේ කම්කරුවෝ 300 ක් පමන වත්තේ සිට කිලෝමීටර් තුනක් දුර මස්කෙලිය නගරය දක්වා පෙලපාලියකින් පැමින එහිදී රැස්වීමක් පැවැත්වූහ. පෙලපාලිය නගරයට ඇතුලුවීම චැලක්වීමට පොලීසිය උත්සාහ කල නමුත් එය අසාර්ථක විය.

”‍වතු සමාගම් තුනක් වැටුප් ගිවිසුම කඩකර රටේ නීතිය උල්ලංඝනය කරලා. සමාගම් සමග අද පැවැත්වුන සාකච්චා අසාර්ථකයි. ජයග්‍රහනය දක්වා අරගලය අපි ඉදිරියට ගෙන යනවා. සඳුදා සිට අනෙක් වතුවල කාර්යමන්ඩල සේවකයිනුත් අරගලයට එකතු වන”‍ බව ලවකාසේස සභාපති චතුර සමරසිංහ එහි දී පැවසීය.

ලවකාසේස සභාපතිගේ මෙම ගර්ජනාව හුදෙක් පම්පෝරියක් පමනි. ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික වතු කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) කඳුරට ජනතතා පෙරමුණ (යූපීඑෆ්) ඇතුලු සෙසු වතු සමිති මෙන් ම ජවිපෙ ට සම්බන්ධ වතු සමිති ද මෙම වසර මුල පුපුරා ගිය 200,000 ක් වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය පාවා දුන්හ. නමින් සහ සංවිධාන ලෙස මෙම සමිති වෙන්ව පැවතිය ද ඔවුන් ක්‍රියාත්මක වන්නේ කම්කරුවන්ට විරුද්ධව, වතු සමාගම්වල සහ ධනපති ආන්ඩුවේ උපකරන ලෙසය.

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව බලයට පත් වී දින දහයක් ඇතුලත පැනනැගුන මෙම වර්ජනය ජීවනතත්වයන්ට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහිව ධනපති පාලක පන්තියෙන් සහ හාම්පුතුන්ගෙන් එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව පුපුරායාමට නියමිත පන්ති අරගලවල නව අවධියක් සනිටුහන් කරයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය හැර අනෙකුත් කිසිදු මාධ්‍යයක් වර්ජනය වාර්තා කිරීමට නොපැමිනි බව කම්කරුවෝ කීහ. වර්ජනය ආවරනය නොකරන ලෙස ඔවුන්ගේ ප්‍රධාන කාර්යාල වලින් නියෝග කල බව ප්‍රාදේශීය වාර්තාකරුවන් කම්කරුවන්ට පවසා ඇත. එය නිශ්චිතව ම වර්ජනය සෙසු වතු කම්කරුවන් අතරට පැතිරයාම වැලැක්වීම සඳහා වතු සමාගම් සහ ධනපති ජනමාධ්‍ය අතර ඇතිකර ගත් එකඟතාවයක් විය හැකිය. වතු කාර්යමන්ඩල සේවකයන් මෙතරම් සංඛ්‍යාවක් ස්වවෙච්චාවෙන් අරගලයකට සම්බන්ධ වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවත් එසේ වූයේ ඔවුන් මුහුන දී සිටින බරපතල ආර්ථික ප්‍රශ්න නිසා බවත් ඔව්හු කීහ.

බෘන්ස්වික් වත්තේ කාර්යමන්ඩල සේවකයෙකු මෙසේ පැවසීය. “ගිවිසුමේ දී එකඟ වූ විදිහට වැටුප් වැඩිවීම නොදීම අසාධාරනයි. එය දීමනාවක් විදිහට වැටුපට එකතු වුනාම ඊපීඑෆ්, ඊටීඑෆ් වගේ කිසිම අරමුදලකට එය සම්බන්ධ නැහැ. ආදායම් බෙදීමේ ක්‍රමය ක්‍රියාවට දමා ඇති වතු වල කාර්ය මන්ඩල සේවකයින් ඇතුලු සියලු‍ම කම්කරුවන් බරපතල ප්‍රශ්නවලට මුහුන දෙනවා. කලින් මම වැඩ කලේ ගවරවිල වත්තේ. ආදායම් බෙදීමේ ක්‍රමය ක්‍රියාවට දැම්මට පස්සේ ඇතිවුන ප්‍රශ්න නිසයි මම මේ වත්තේ වැඩට ආවේ. වතුවල වැඩකරන කම්කරුවන් සහ කාර්යමන්ඩල කම්කරුවන් ඒකාබද්ධවෙලා සටන් කල යුතුයි. වෘත්තීය සමිති වලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩ නගාගෙන එබඳු ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට සටන් කල යුතුයි කියල ඔබ කරන යෝජනාවට මා එකඟයි”‍

කම්කරුවන් මත තේ කර්මාන්තයේ අර්බුදය පටවමින් ලාබ මිරිකා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ආදායම් බෙදීමේ ක්‍රමය ක්‍රියාවට දැමීම තව දුරටත් කල් පමා නොකල යුතු බව වතු සමාගම් සහ වැවිලිකරුවන්ගේ සංගමය යලි යලිත් අවධාරනය කරති.

“‍ඔවුන්ට ඉහල වැටුපක් උපයාගැනීමේ හැකියාව ලබාදෙන නිෂ්පාදන පලදායිතාවය වැඩි කිරීම වෙනුවට කම්කරුවන් වැටුප් සඳහා පාලනාධිකාරය මත යැපෙන ප්‍රායෝගික නොවන යල් පිනූ ක්‍රමයත් සමග වතු කර්මාන්තයට ඉදිරියට යාමට නොහැකිය.... නිෂ්පාදන පලදායිත්වය පහල මට්ටමක පවතින, පුද්ගල ආදායම උපරිම කිරීමේ අඩු ශක්‍යතාවයක් සමග බද්ධ වූ දෛනික වැටුප් ක්‍රමය මත පාදක වූ පාලනාධිකාරය මත යැපෙන, අයිතිවාසිකම් පිලිබඳ හැඟීමක් සහිත, සුබසාධනයට නැඹුරු වූ වැවිලි ක්‍රමය වහාම වෙනස් කල යුතු”‍ බව වැවිලිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති සහ හේලීස් වතු කලමනාකරන අධ්‍යක්ෂ රොශාන් රාජදුරෙයි දෙසැම්බර් 01 වෙනිදා සන්ඬේ ඕබ්සවර් පත්‍රයට පවසා ඇත.

වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ වතු සමාගම් සහ ආන්ඩුව සමග කරබදු වී මෙම සැලසුම් කම්කරුවන් මත පැටවීමට ය. වතු කම්කරුවන්ට තම අයිතීන් දිනාගත හැක්කේ වෘත්තීය සමිති වලින් ස්වාධීනව ගොඩනගා ගනුලබන කම්කරු ක්‍රියාකාරී කමිටු හරහා කාර්යමන්ඩල සහ සෙසු වතු කම්කරුවන් ඒකාබද්ධ අරගලයකට බලමුලු‍ ගැන්වීමේ සහ ධනේශ්වර ලාබ පද්ධතිය අහෝසි කිරීම සඳහා සටන් කිරීම තුලින් පමනි.

Share this article: