වලපනේ මලපට්ටාව ගමේ නායයාමෙන් ඇතිවූ ව්‍යසනයට පාලකයන් වගකිව යුතුයි

ගාමිනී කරුනාතිලක සහ අයි. ඒ. ලොකුබන්ඩා විසිනි, 2019 දෙසැම්බර් 9

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පසුගිය නොවැම්බර් 30 වැනිදා වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මලපට්ටාව ගමේ සිදුවූ නායයාමෙන් හතර දෙනෙකුගෙන් යුත් ගොවි පවුලක් පනපිටින් පස් කන්දකට යටවී වැලලී ගියේය. මෙම ඛේදවාචකය රටේ පාලක ප්‍රභුව මහජන ජීවිත නොතකා ක්‍රියාකරන සැටි හෙලිකල තවත් සිද්ධියකි.

නායයාමට ලක්වූ ගම අසල ගල්තලාව කැඩී මහා මාර්ගය අවහිර කරමින් වැටී ඇති සැටි.

ආපදා කලමනාකරන ඒකකය විසින් මාස කිහිපයකට පෙර මෙම ස්ථානය නායයාමට ලක්විය හැකි ප්‍රදේශයක් ලෙස නම් කර ඇත. මහනුවර නගරයේ සිට කිලෝමීටර් හැටක් පමන දුරින් රිකිල්ලගස්කඩ වලපනේ ප්‍රධාන මාර්ගයේ මුංවත්ත ප්‍රදේශයේ මලපට්ටාව ගම පිහිටා ඇත. වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ අභය භූමි කලාපයට මායිම්ව එම පෙදෙස පිහිටි අතර ගොවිතැන ප්‍රධාන ජීවනෝපය කරගත් වැසියන්ගේ ජීවිත සෑම අතින්ම දුෂ්කර ය.

නායයාමෙන් මිය ගොස් ඇත්තේ ජී.ජී. රන්බන්ඩා 51, ඔහුගේ බිරිඳ කේ. ජී. බිසෝ මැනිකේ, 48, ඔවුන්ගේ පුතා වන කලන පැතුම් අවුරුදු, 15 සහ ඥාති දියනියක වූ ඩී.ජී. දිනේෂා කරුනාරත්න 17, යන සිව් දෙනාය.

ව්‍යසනය වාර්තා කිරීම සඳහා එම ගම්මානයට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් වෙත අදහස් දක්වමින් පදියපැලැල්ල ලදුපිට බන්ඩාර මෙසේ ප්‍රකාශ කලේය: “මේ ප්‍රදේශයට කුඩා වැස්සක් වැටුනත් පස්කඳු කඩාගෙන වැටෙන එක සාමාන්‍ය දෙයක්, ආපදා කලමනාකරන මධ්‍යස්ථානය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියලා තියෙනවා මේ ප්‍රදේශයෙන් ඉවත් වෙන්න කියලා, කොහොමද මිනිස්සු ඉවත් වෙන්නේ? කොහෙද යන්නෙ? මේවා පිස්සු කතා. දේශපාලකයොත් එකයි නිලධාරීත් එකයි, සෑම කරදරයක්ම එන්නෙ අහිංසක දුප්පත් මිනිසුන්ට. මීට පෙරත් මේ ලඟ මහල් නිවසක් බලා ඉඳිද්දි දරු පවුලක් එක්ක යටවෙලා ගියා, ඔබලා දකින්න ඇති ඒ දවස්වල මාධ්‍යයෙන්. මේ දේශපාලකයො පොරඅල්ලන්නෙ බලය බෙදාගන්න, අපිට ආදරේට නෙවෙයි.

මිනිස් ජීවිත හා දේපල විනාශයේ වගකීම මේ පාලකයින් ඔවුන් භාර ගත යුතු බව ගම්වැසියෝ දැඩි ලෙස ප්‍රකාශ කර සිටිති. මෙම ප්‍රදේශයෙන් දිවෙන රිකිල්ලගස්කඩ වලපනේ මහා මාර්ගය පසුගිය කාලයේ ප්‍රතිසංස්කරනය ඇරඹි බව පවසන ගම්වාසීන් විසින් එයට ඔවුන් එකඟ වූයේ එහි අබලන් කම හේතුවෙන් බව ප්‍රකාශ කලෝ ය. එහෙත් පාරට අවශ්‍ය ගල් සැපයීම පවත්වාගෙන ගිය ගල්කොරියෙන් නිරතුරුවම වෙඩි දැමීම සිදුවූ බවත් එහි දැඩි කම්පනය හේතුවෙන් ප්‍රදේශයේ ගල්මත පැවති පස් තට්ටුව දුර්වල වූ බවත් ඔවුන්ගේ අදහසයි.

චන්දන සමරකෝන් (දකුනේ) අප වාර්තාකරුවන්ට කතා කරයි

සිද්ධිය වන අවස්ථාවේ එතනට ගිය පලමු පුද්ගලයා එස්.එම්. චන්දන ය. ඔහු මෙසේ කීවේය: “‍මේ සිද්ධිය ගැන හරිම කනගාටුයි. ඔය හඬ ඇසුනේ තිස් වෙනිදා රාත්‍රී 7.10 ට පමන. මං පාරට ගොඩ වෙලා බැලු‍වා මා වාසය කලේ මේ සිද්ධිය වූ ස්ථානයට ටිකක් පහතින්. මහා මාර්ගය පුරා මඩ වතුර ගලා එනවා දැක්කා. මං දැනගත්තා නායයාමක් කියලා මොකද ඒ තරම් අපට නායයාම හුරුයි. ටිකක් උඩට ගිහින් බලනකොට පාරට උඩින් තිබූ ගස්කොලන් ගල් ගෙඩි සහිත පස් කන්දක් අඩි සියයක් පමන ප්‍රමානයක් කඩාගෙන ඇවිත් පාර ඇතුලු‍ ප්‍රදේශයම වැලලිලා ගිහින්. මීදුමට හරියට පෙනෙන්නෙ නෑ, ඒ ස්ථානයේ පාරට පහතින් තමා රංබන්ඩා මාමාගේ ගේ තිබුනෙ. මම පහත පාරකින් එතැනට ගියා ගේ තිබුනු තැනක්වත් නෑ ඔය විනාඩි දෙක තුනට වෙන්න ඕන ඔක්කොම වුනා, ඒ ගෙදර තිබුනුභූමිය නාය ගිහින් මම කෑගැහුවා, රම්බන්ඩ මාමා කියලා.”‍

ඉන් පසුව ඔවුන් ග්‍රාම නිලධාරිට හා පොලිසියට දන්වා ඇත. පසුව ඔවුන් පැමිනියත්, ගමේ තරුනයන් විස්සක් විසිපහක් මහ රෑ මියගිය අයගේ සිරුරු සොයා බැලු‍වෝ ය. රාත්‍රියේ ඔවුන්ට හමුවූයේ සිරුරු දෙකක් පමනකි. හමුදා භටයින් ඉතිරි ඒවා ගොඩ ගත් බව චන්දන පැවසීය. “‍මේ ප්‍රදේශයේ සිදු වූ මෙවැනි පලමු සිද්ධිය මේක නොවෙයි, කුඩා වැස්සකටත් පස් කඳු කඩාගෙන එනවා. මෙහාට වහිනකොට අනිවාර්යයෙන්ම නාය යනවා,”‍ ඔහු තවදුරටත් සඳහන් කලේය.

“‍මේ ප්‍රදේශයෙන් අපිට පිටවෙන්න කිව්වා. කොහොමද යන්නේ අපිට යන්න තැන් දීලා තියනවද? මේ පාලකයෝ කාගෙන්වත් අපිට වැඩක් නෑ. මේ විනාශයටත් දේශපාලනය සම්බන්ධයි,”‍ ඔහු කලකිරීමෙන් සඳහන් කලේය.

ප්‍රදේශයේ පස බුරුල්වී තිබෙන නිසා දිනකට වෙඩි තිහක් පමනක් දැමීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියම කලත්, ගල් සපයන්නන් එම නියමයන් නොපිලිගෙන ඉවක්බවක් නැතිව වෙඩි දැමු බව ඔහු කීවේය. ගල්කොරියේ වැඩ මෙන්ම ප්‍රදේශයේ වනාන්තර ගිනි තැබීමෙන් සිදුකල පරිසර විනාශය ද නායයාමට හේතුවන්නට ඇතැයි ඔහු අදහස් කරයි.

වසරකට පමන පෙර ගල්කොරියේ වෙඩි දැමීම අහිතකර ක්‍රියාවක් බැවින් එය නතර කිරීමට ප්‍රාදේශීය සභාවෙන් නියෝගයක් කර තිබුනි. එහෙත් එය නොතැකූ ඉහල දේශපාලනඥයින් ගේ අනුග්‍රහයෙන් ආපදාවක් නොවන බවට සහතිකයක් ගෙන ගල් සැපයුම් කරුවන් යලි කටයුතු අරඹා ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කලහ. ගල් ප්‍රවාහනයට බලපත්‍ර ගෙන තිබුනේ සී.බී. රත්නායක ඇමතිගේ බිරිඳගේ සොහොයුරා වන පැරකුම් සමරකෝන් බවට ප්‍රදේශවාසිහු චෝදනා කරති.

අනතුරු තත්ත්වය දැනගෙනත් කටයුතුකල මොවුන්, අවට පවුල් 18 ටම ගල්කොරිය සක්‍රිය කරන විට නිවෙස් වලින් ඈත්ව සිටින ලෙස දන්වා රුපියල් ලක්ෂය බැගින් ඔවුන්ට ලබා දී ඇත. එය ඔවුන්ගේ අහිංසක ජීවිත ලංසුවට තියා කටයුතු කිරීමකි. එක් පවුලකට රුපියල් ලක්ෂ 40 බැගින් ඉවත් කරන පවුල් වලට ලබාදුන් බව පසුගියදා සිරස නාලිකාව පලකල පුවත අසත්‍යයක් බවත් එවැනි මුදලක් තමන්ට ලබා නොදුන් බවත් ගම්වාසීන් ප්‍රකාශ කලහ.

තිදෙනකුගේ අවසන් කටයුතු සිදුකල පසුගිය දෙවැනිදා සී.බී. රත්නායක, නවීන් දිසානායක සහ ජේවීපී නියෝජිතයෙකු ද සහභාගි වී ඇත. ඒ අවස්ථාවේදී ඇමැතියන්ගේ පෙනී සිටීම ගැන උරනවූ ජනයා උද්ඝෝෂනයක් සිදුකලහ. “‍කිසිම දේකට පැත්තට වත් නොඑන දේශපාලකයෝ මිනිසුන් ට මර උගුල් හදා අවසානයේ ලැජ්ජා නැතුව රෙදිත් ඇඳං එනවනේ”‍ යැයි එක් ගම් වැසියෙක් කෝපයෙන් කීවේය.

ඉහත ඛේදවාචකය ධනේශ්වර මාධ්‍ය මඟින් විස්තර කලේ ශෝකාලාපයන්ගෙන් පිරීගිය කතා පුවතක් ලෙසය. කිසිදු අයුරකින් එහි සැබෑ තතු හෙලිකිරීමක් සිදු නොකිරිනි. ඊනියා යහපාලනය ගෙන ඒමටත් අලු‍තින් පත්ව ඇති අධිපතිවාදී ආන්ඩුව ගෙන ඒමට දර දිය ඇද්ද ධනේශ්වර මාධ්‍යයන්ගෙන් ඊට වඩා යමක් අපේක්ෂා කිරීමට ද නොහැක.

මෙරට පමනක් නොව ලෝක පරිමානව ධනේශ්වර පාලක නඩ හැසිරෙනුයේ ඒ ආකාරයටමයි. ඔවුන් සුරක්ෂිත පෙදෙස්වල සුඛ විහරන ලබන විට පීඩිත මහජනතාව මර උගුල්වල හෙලීම මෙම ධනේශ්වර ක්‍රමයේ ස්වභාවයයි.

ධනපති පන්තියේ නොතැකීම නිසා විපතට පත් වන මිනිසුන් හට ව්‍යාජ ලෙස ආදරය කරුනාව අප්‍රමාන ලෙස දැක්වීම පාලක පන්තියේ මෝස්තරයක් වී ඇත. ඒ අනුව ආපදාවලට ලක් වූවන් සුරක්ෂිත තැන්වලට ගෙනයාම ආහාර ආදියෙන් සංග්‍රහ කිරීමට උනන්දු වන බව පෙන්වයි. එසේ ආහාරපාන ආදිය ලබා දෙන්නේද පීඩිත ජන කොටස්වලින් සූරා ගත් මුදලින් වීම උත්ප්‍රාසය දනවන කාරනයකි.

Share this article: