“අපි පනිවිඩයක් යවනවා: නිවාඩු ගිවිසුමක් නැහැ”

ප්‍රන්ස ජනාධිපති මැක්‍රොන්ට එරෙහිව පන්ති අරගලය වේගවත් කරන ලෙස වර්ජකයෝ ඉල්ලා සිටිති

Strikers call to step up class struggle against French President Macron

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2019 දෙසැම්බර් 27

මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට විරෝධය පල කිරීම සඳහා රාජ්‍ය හා ප්‍රන්ස පොදු ප්‍රවාහන අංශයේ පවතින වැඩ වර්ජනය, බොහෝ කටයුතු අඩාල කරමින් අද සිව්වන සතියට එලඹ තිබේ. ප්‍රාදේශීය මට්ටමෙන් ඔබ්බට සියලු‍ ක්‍රියාමාර්ග අත්හිටුවමින් වෘත්තීය සමිති නිලධරයන් විසින් “නත්තල් විරාමයක්” පැනවීමට උත්සාහ කලද, වර්ජකයන් විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව පෙලපාලි හා විරෝධතා දිගටම පවත්වති. ඔවුන් තම වෘත්තීය ක්‍රියාමාර්ගයට පුලු‍ල් මහජන සහයෝගයක් තිබෙන බව දැන සිටියි.

ඊයේ වර්ජන කමිටු රැස්වීම් වලදී, දුම්රිය හා පොදු ගමනාගමන කම්කරුවන් වර්ජනය දිගටම පවත්වාගෙන යාමට ඡන්දය දුන් අතර, වැඩ වර්ජකයෝ පැරිසියේ ලෝසවෙඅ මාධ්‍යවේදීන් සමඟ කතා කලහ. කම්කරුවන් මත මෙවැනි සමාජමය වශයෙන් ප්‍රතිගාමී කප්පාදු පැනවීමට ඇති හැකියාව නිශ්චිතවම පරාජය කිරීම සඳහා මැක්‍රොන්ට එරෙහිව පියවර ගත යුතු බව ඔවුහු කියා සිටියහ. ඒ අතරම ඔවුන් සියලු‍ දෙනා, කම්කරුවන්ගේ පිටුපසින්, රජය සමඟ සාකච්ඡා කරමින් සිටින වෘත්තීය සමිති නිලධරයන් කෙරෙහි වැඩෙන අවිශ්වාසය පල කලහ.

පැරිස් පොදු ගමනාගමන ජාලයේ (RATP) යන්ත්‍රෝපකරන ශිල්පියෙකු වන රෆායල් මෙසේ පැවසීය: “මෙය අපි සාමාජික විරෝධතා ලෙස හඳුන්වමු. ඔව්, ඔබ මෙහි සමහර වෘත්තීය සමිති ස්ටිකර් දකිනු ඇත. නමුත් අපෙන් හතරෙන් තුනකට එය වෘත්තීය සමිති සාමාජිකත්වය පිලිබඳ ප්‍රශ්නයෙන් ඔබ්බට ගොස් ඇත, ඇත්ත වශයෙන්ම කතා කරන්නේ කම්කරුවන් ය. අද වන විට සාමාජකයින් පෙලපාලි කැඳවනු ලබයි. අපි ආන්ඩුවට සහ වෘත්තීය සමිති ප්‍රධානීන්ට පණිවිඩයක් යවනවා: නිවාඩු ගිවිසුමක් නැහැ. ”

රෆාල් අවධාරනය කලේ, “මැක්‍රොන්, අප නොව ඔබ ඉවත්වන්න”

කම්කරුවන් රාජ්‍යයට පමනක් නොව වෘත්තීය සමිති නිලධරයේ උපාමාරු වලට එරෙහිව ද අරගලයක යෙදී සිටින බව රෆාල් අවධාරනය කලේය. “අද අපි විරෝධය දක්වන්නේ මෙම කප්පාදුව අපට අවශ්‍ය නැති නිසා ය. නියත වශයෙන්ම වෘත්තීය සමිති නායකයින් මෙම වැඩ වර්ජන කැඳවූවා නොවේ. ඒවා හටගත්තේ අපගේම මුලපිරීම මත ය. කම්කරු-පුරවැසියන් ලෙස අපි එය තනිවම කලෙමු. එබැවින් අපි වෘත්තීය සමිති නිලධරයන්ට සහ ආන්ඩුවට පනිවිඩයක් යවමු: නැත, මෙම පැකේජය සම්මත නොවනු ඇත. අපි එය ඉවසන්නේ නැහැ, අපි ඔබව ඉවසන්නේ ද නැහැ. ”

එවැනි හැඟීම් අවධාරනය කරන්නේ, කම්කරුවන්ට වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේ මූලික අවශ්‍යතාව පැනැඟී තිබෙන බවයි. ප්‍රන්සයේ කම්කරුවන් රජය සමඟ සහ ලොව පුරා ප්‍රධාන බැංකු හා මූල්‍ය වංශාධිපතියන් සමඟ දේශපාලන අරගලයකට අවතීර්න වීමත් සමඟ, මෙම අරගල එක්සත් කිරීමට හා මැක්‍රොන් සමඟ සමීපව බැඳී ඇති, ජාතික වශයෙන් පදනම් වූ නිලධරයන්ගෙන් ස්වාධීනව සංවිධානය වීමට කම්කරුවන්ට ඇති හැකියාව අතිශයින් වැදගත් ය.

රැෆායල් අවධාරනය කලේ, ඔවුන් වැඩ වර්ජනය කල විට RATP කම්කරුවන්, කම්කරු සහ ප්‍රන්ස ජනගහනයෙන් බහුතරයකගේ අවශ්‍යතා නියෝජනය කරන බව තේරුම් ගත් බවයි. සුපිරි ධනවතුන්ගෙන් ඉතා සුලු පිරිසකට හැර කිසිවෙකුටත්, ප්‍රතිසංස්කරන වලින් ප්‍රතිලාභ නොලැබෙනු ඇත. “ඔබ සියල්ල සලකා බැලු‍වහොත් -අවිනිශ්චිත වටිනාකමකින් යුත් ලකුනු මගින් විශ්‍රාම වැටුප් ක්‍රමයකට මාරුවීම, විශ්‍රාමික ආයෝජන ගිනුම් දිරිගැන්වීම සහ විශ්‍රාම ගන්නා වයස වැඩි කිරීම - එය ප්‍රන්ස පුරවැසියාට, සේවකයාට හොඳ නැත. ”

සියල්ලටත් වඩා වර්ජකයන්, සමාජයේ විශාල වෛෂයික ගැටුම් එලිමහනට ගෙනෙන පන්ති අරගලයේ ජාත්‍යන්තර පුනර්ජනනයකට තමන් සම්බන්ධවී සිටින බව ගැන වඩ වඩාත් දැනුවත් වෙමින් සිටියි. 1991 දී සෝවියට් සංඟමය තුල ස්ටැලින්වාදීන් ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් පසුව හා යුරෝපය පුරා කප්පාදු ප්‍රතිපත්ති පැනවූ දශක ගනනාවකට පසුව, කම්කරු පන්තිය සිය පලමු ප්‍රධාන ජාත්‍යන්තර ප්‍රතිප්‍රහාර දියත් කරමින් සිටී.

“ඇත්ත වශයෙන්ම අපි, අපේ ජනතාව, අපේ වැටුප්, මුලු ලෝකය තුලම අපේ තත්වයන් ආරක්ෂා කරනවා,” රෆායල් පැවසීය. “නිදහස් වෙලඳපොල ප්‍රතිපත්තිය ඊයේ ආරම්භ වූවක් නොවේ . එය වසර 20, 30 ක් පැවතුනි. ඔව්, දැනට, ධනවතුන් ජයගෙන ඇත. නමුත් අපටත් ජය ගත හැකිය... අපි අපේ නලලේ දහඩිය ඇතිව සෑම උදෑසනකම නැගිටින්නෙමු, අපි සියල්ලෝම වැඩට යන්නෙමු. අපි අවංක මිනිස්සු, අපි ආර්ථිකය පවත්වාගෙන යනවා, අපි අපේ බදු ගෙවනවා, අපි දේවල් මිලදී ගන්නවා, ඒ සියල්ල. ”

ඇමරිකාවේ සහ පෝලන්තයේ මෝටර් රථ කම්කරුවන්ගේ හා ගුරුවරුන්ගේ වැඩ වර්ජන සහ ඇල්ජීරියාව, ඉරාකය, බොලිවියාව සහ චිලී යන රටවල ආ ඥාදායකත්වයන්ට එරෙහි මහජන විරෝධතා සමඟ ජාත්‍යන්තර වශයෙන් ඇතිවෙමින් තිබෙන මෙම පුනර්ජීවනය ගැන විමසූ විට රාෆායල් අවධාරනය කලේ මෙම පුලුල් ජාත්‍යන්තර අරගලය පිලිබඳ දැනුවත්භාවය ප්‍රන්සයේ කම්කරුවන්ට පන්නරය සපයන බවයි.

ඔහු පැවසුවේ, “අපි නිෂ්පාදනය කරනවා, නිෂ්පාදනය කරනවා, වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරන විටත් අපට ලැබෙන්නේ අඩුවෙන්. ටික කලකට පසුව, එය තවදුරටත් කල නොහැකිය. එබැවින් මම මුලු ලෝකයේම කම්කරුවන්ට සහාය දෙමි. පසු ගිය වසර පුරා ‘කහ බැනියම්‘ ව්‍යාපාරයත් සමඟ සිදු වූ දෙය මුලු ලෝකයටම බලපා ඇති බව මම දැනටමත් දනිමි. අපි කරන වැඩ වර්ජන දකුනු ඇමරිකාවට වාර්තා වන බව මම දනිමි, දකුනු ඇමරිකානු දුම්රිය සේවකයින්ගෙන් අපට සහාය දෙන සහ අත් නොහරින ලෙස අපට පවසන බොහෝ වීඩියෝ ලබා ගත හැකිව තිබේ. ඔබ මාර්ගය පෙන්වන නිසා, අපට අවශ්‍ය නැත අත්හැරීමට.”‍

කම්කරුවන් සහ මැක්‍රොන් ආන්ඩුව අතර පන්ති ගැටුම වේගයෙන් මතුවෙමින් තිබේ. පෙබරවාරි මාසයේ දී තමන් යෝජනා කර ඇති විශ්‍රාම වැටුප් කප්පාදුව පාර්ලිමේන්තුව හරහා සිදුකරන බව ඔහු ප්‍රකාශ කර තිබේ. මෙම අරගලයේදී කම්කරුවන්ට ඇති එකම ශක්‍ය උපායමාර්ගය වන්නේ, කම්කරු පන්තිය විසින් නිර්මානය කරන ලද කමිටු වෙත රාජ්‍ය බලය පැවරීමේ සටනත්, ලොව පුරා කම්කරුවන්ගේ සහයෝගීතාවයට ආයාචනා කරමින් මැක්‍රොන් පලවා හැරීමට අරගල කිරීමත් ය. ප්‍රන්සයේ සහ ලොව පුරා, පන්ති අරගලයේ ගතිකය කම්කරුවන් මූල්‍ය වංශාධිපතිත්වය සමඟ විප්ලවීය ගැටුමකට ඇද දමයි.

හිටපු ආයෝජන බැංකුකරුවෙකු වූ මැක්‍රොන්ගේ සහ පාලක කවයන්හි පන්ති උඩඟු‍ව පිලිබඳව කම්කරුවන් අතර වැඩෙන කෝපය රෆායල් අවධාරනය කලේය.

ඔහු පැවසුවේ, “කම්කරුවන් සහ ප්‍රන්ස පුරවැසියන් ගැන ඔවුන්ට ගෞරවයක් නැත, ඔවුන් පොදුවේ කථා කරන දෙයින් කාලයක් තිස්සේ අපි එය දැක ඇත්තෙමු. ඔවුන් අපව හඳුන්වන්නේ දත් නැති මිනිසුන්, විනයගරුක නැති ම්ලේච්ඡයන් ලෙසයි. මැක්‍රොන් පැවසුවේ නූගත් හා බේබද්දන් බොහෝ දෙනෙකු සිටින බවයි. මෙය පන්ති අහංකාරයයි. ජෙරල්ඞ් ඩර්මනින් (මැක්‍රොන්ගේ පක්ෂයේ සාමාජිකයෙක්) ට සවන් දෙන්න, ඔහු ජනතාවට සමීප වන ලෙස ඔහුට උපදෙස් දෙයි, බියර් පානය කරන සහ අතින් ආහාර ගන්නා අය දැකබලා ගන්න. අපට දැන් මේවා ඇතිවෙලාය. ”

ඡායාරූප ශිල්පියෙකු සහ “කහ බැනියම්” විරෝධතාකරුවෙකු ද වන පැස්කල් වෘත්තීය සමිති නිලධරයන් ඇතුලු ප්‍රන්ස පාලක කවයන්ගේ පන්ති අහංකාරය අවධාරනය කලේය. “නැහැ, ඔවුන් අපට උදව් කලේ නැහැ. වෘත්තීය සමිති නිලධරයන් දැන් වැඩ වර්ජනයට සහය දැක්වීම සඳහා ‘කහ බැනියම්’ විරෝධතාකරුවන් කැඳවයි හෝ නොකැඳවයි. ඇත්ත වශයෙන්ම වෘත්තීය සමිතිවලට අප ගැන කිසිවක් ඇසීමට අවශ්‍ය නැත. ඔවුන්ගේ පැත්තෙන් පන්ති ප්‍රතික්ෂේප කිරීමක් තිබේ. ඇත්ත වශයෙන්ම ඔවුන්ට අනුව, ‘කහ බැනියම්කරුවන්‘ සමඟ කතා නොකරන තරම් ඔවුන් පහත් ය, අප ප්‍රචන්ඩකාරී බවත්, අප නව ෆැසිස්ට්වාදීන් බවත්, ඔවුන් දිගින් දිගටම කියා සිටියි.”‍

වෘත්තීය සමිති නායකයින්, රජය සහ හාම්පුතුන්ගේ සංවිධාන අතර ඇති “සංවාදය” පිලිබඳ පැස්කල් සිය ගැඹුරු අවිශ්වාසය අවධාරනය කලේය: “එය බල ක්‍රීඩාවක්, බලය ලබා ගැනීමට උත්සාහ කරන පුද්ගලයින්. ඔවුන් සියල්ලන්ම එකිනෙකා සමඟ ගිවිසුම් ගසා ගැනීමට පොරකයි. අවසානයේදී ඒවායේ පල ප්‍රයෝජන භුක්ති විඳියි. තීරන ගැනීමේදී පුරවැසියන් හා කම්කරුවන් සහභාගී විය යුතුය. ”

රෆායල් පැහැදිලි කලේ, “මම කම්කරුවෙක්, මම දහසය හැවිරිදි වියේ සිට වැඩ කරන්න පටන් ගත්තා. මම අවුරුදු 66, 68, 70 වන තෙක් දිගටම වැඩ කිරීමට අදහස් නොකරමි. එය නුසුදුසු ය. මට හොඳ විශ්‍රාම වැටුපක් අවශ්‍ය වන අතර එය භුක්ති විඳීමට කාලය ද තිබිය යුතුය. අප සිටින්නේ අප නිපදවන සියලු‍ ධනය පැහැර ගන්නා කිහිප දෙනෙකු වෙනුවෙන් නිමක් නැතිව වැඩ කිරීමට නොවේ. ”

Share this article: