යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු නීති වෘත්තියේ යෙදීම තහනම් කිරීමට මිලිටරිය මැදිහත්වෙයි

සමන් ගුනදාස විසිනි, 2019 දෙසැම්බර් 19

යාපනය විශ්ව විද්‍යාලයේ නීති අංශයේ ප්‍රධානියා හා මානව හිමිකම් නීතිඥයෙකු ලෙස ක්‍රියාකල කුමාරවඩිවෙල් ගුරුපරන් නීති වෘත්තියේ යෙදීමෙන් ඉවත් කිරීම සදහා හමුදාවේ මැදිහත්වීම මත එම විශ්ව විද්‍යාලයේ පාලන කවුන්සිලය, නග්න ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරක් ගෙන තිබේ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත හමුදාවේ ප්‍රධානින් පැමිනිලි කිරීමෙන් පසු එහි ආයතන නීති සංග්‍රහය තුල ආචාර්යවරුන්ට පවතින අයිතියක් පවා උල්ලංඝනය කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ කවුන්සිලය පුද්ගලික නීති වෘත්තියෙන් ඉවත් වන ලෙස ගුරුපරන්ට පසුගිය මස මුලදී දන්වා තිබේ.

මෙම සිදුවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ උතුරේ සහ නැගෙනහිර සිවිල් කටයුතුවලදී මිලිටරියේ හස්තය ඉහලින් ම ක්‍රියාත්මක වන ආකාරයයි.

විශේෂයෙන්, යාපනය නගරයට ආසන්න නාවට්කුලියේ සිදුවූ අතුරුදහන් වීම් පිලිබඳ හබයාස් කෝපුස් නඩුවේ වින්දිතයින් වෙනුවෙන් ගුරුපරන් පෙනී සිටීමෙන් පසුව හමුදාව විසින් ඔහුට එරෙහි දඩයම උසිගන්වා තිබේ. මෙම නඩුව පදනම් වී ඇත්තේ යුද්ධය අතර තුර 1996 දී දෙමල තරුනයින් දුසිම් දෙකකට වැඩි පිරිසක් නාවට්කුලිහිදී අතුරුදහන් වීමේ සිද්ධිය සමඟ ය. එවකට එම කඳවුර භාරව සිටි යුද හමුදා මූලස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන මෙම අතුරුදහන් වීම් පිලිබඳව සෘජුවම වගකිව යුතු බවට ඇඟවුම් කෙරී තිබේ.

මෙම නඩුවේ පෙත්සම්කරුවන්, කැප්පෙටිවලාන වෙනුවෙන් රජයේ නීතිපතිවරයා පෙනී සිටීම පිලිබඳව විරෝධය පල කල නමුත් යාපනය මහාධිකරනය එම විරෝධය ප්‍රතික්ෂේප කලේය. පෙත්සම්කරුගේ නීතිඥ සහ දෙමල සිවිල් සමාජ සංසදයේ ප්‍රකාශක ලෙස ගුරුපරන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ බලහත්කාරී අතුරුදහන් කිරීම් වලට සම්බන්ධ වීම පිලිබඳ බලගතු ලෙස තොරතුරු ඇති නිලධාරියෙකු වෙනුවෙන් තමන් පෙනී සිටීම සුදුසු යැයි නීතිපතිවරයා විසින් සලකනු ලැබීම “‍අතිශයින්ම කනගාටුවට”‍ කරුනක් බවයි.

පසුගිය අගෝස්තු 1 වන දින, මෙම නඩුව චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරනයේ දී විභාගයට ගත් විට, හමුදා භටයන් වියහැකි සිවිල් ඇඳුමින් සැරසී සිටි සිංහල කතා කරන පුද්ගලයින් දෙමල නීතිඥයින්ගේ ඡායාරූප ලබාගෙන ඇති බව වාර්තා විය.

ඉන් දින කිහිපයකට පසු, ත්‍රස්ත විමර්ශන අංශයේ (ටීඅයිඩී) නිලධාරීන් තිදෙනෙක්, ක්‍රියාමාර්ගික පර්යේෂන සඳහා වන අඩයාලම් මධ්‍යස්ථානය (ඒසීපීආර්) නමැති ගුරුපරන්ගේ රාජ්‍ය නොවන සංවිධානයේ යාපනයේ කාර්යාලයට ගිය බව ද වාර්තා වේ.

පසුව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු සහ නීති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන ගුරුපරන් පෞද්ගලික නීතිඥයෙකු ලෙස ක්‍රියා කිරීම පිලිබඳව ප්‍රශ්න කරමින් හමුදාව විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලිපියක් යවා ඇත. ගුරුපරන් පෞද්ගලික නීතිඥයකු ලෙස ක්‍රියාකිරීම වලක්වාලිය යුතු බවට වන තීරනයක් ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් යාපනය විශ්ව විද්‍යාලයට දැනුම් දෙනු ලැබ ඇත්තේ ඉන් පසුවයි. නොවැම්බර් 9 වන දින යාපනයේ විශ්ව විද්‍යාලය විසින් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝගය අනුගමනය කරන ලෙස ගුරුපරන්ට උපදෙස් දී ඇත.

ගුරුපරන්ගේ පුද්ගලික නීති වෘත්තිමය කටයුතු වලට එරෙහිව ප්‍රතිපාදන කොමිෂන් සභාව ගත් තීරනය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කරන ආචාර්යවරුන් කන්ඩායමක් “විශ්වවිද්‍යාල ආයතන නීති සංග්‍රහය ආචාර්යවරුන්හට විශ්ව විද්‍යාලීය අධ්‍යයන කටයුතු වලට හා අනෙකුත් වගකීම් වලට බාධා නොවන ලෙස නීති වෘත්තියේ යෙදීමට අවසර දී තිබෙන බව”‍ සඳහන් කරයි.

ගුරුපරන්ට එල්ල කල ප්‍රහාරය “යුක්ති සහගත කිරීම” සඳහා, ඔහු පෞද්ගලික නීතිඥයෙකු ලෙස ක්‍රියා කිරීම වලක්වාලීමට ගත් තීරනයට පසුව, ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මෑතකදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට නීතිඥයන් ලෙස පුද්ගලිකව නීති ක්ෂේත්‍රයේ සේවය කිරීම තහනම් කරනු ලැබ ඇත.

එහෙත්, “අපගේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ ගෘහ නිර්මාන ශිල්පය වැනි විෂයයන් උගන්වන ශාස්ත්‍රාලිකයින් හට විශ්ව විද්‍යාලයට බාහිර වූ ආයතන වල ඔවුන්ගේ විෂය ක්ෂේත්‍ර හා ක්ෂේත්‍රවලට අදාල කාර්යයන්හි නිරත වීමට සහ රාජ්‍ය, සමාජ සංවිධාන සහ වෘත්තීය ආයතන සඳහා උපදේශන කටයුතු කිරීමට අවසර ලබා දී ඇත,” යනුවෙන් එම ප්‍රකාශය තව දුරටත් පවසයි.

උතුරේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධයෙන් මිලිටරිය මෙතරම් කුරිරු ලෙස සැලකූ පලමු අවස්ථාව මෙය නොවේ. මිට පෙර, “ජාතික ආරක්ෂාව” නොතකා ක්‍රියා කිරීම ගැන හමුදා බුද්ධි අංශ ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කල චෝදනාව මත යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති රත්නම් විග්නේශ්වරන් 2019 මුලදී සේවයෙන් පහ කරන ලදී. ඔහුට විරුද්ධව ඉදිරිපත් කෙරුනු පැමිනිල්ල වූයේ, 2009 දී හමුදාව විසින් ඝාතනය කරන ලද දෙමල සිවිල් වැසියන් සිහිපත් කිරීම සඳහා යාපනයේ විශ්ව විද්‍යාල භූමියේ මෙන්ම මුල්ලිවයික්කාල් හි අනුස්මරන සංකේතයන් ඉදි කිරීම හා විශ්ව විද්‍යාලය තුල පොන්ගු තමිල් අනුස්මරනය කිරීම ඇතුලු‍ “එල්ටීටීඊ හිතවාදී ශිෂ්‍ය ක්‍රියාකාරකම්” වලදී ඒවා වැලැක්වීමට ක්‍රියා නොකිරීමයි.

2009 යුද්ධය අවසන් වීමෙන් පසු ද, අනුප්‍රාප්තික ආන්ඩු උතුරු හා නැගෙනහිර පලාත්වල දෙමල ජනතාව මැඩීම සඳහා හමුදා වාඩිලාගැනීම දිගටම පවත්වා ගෙන යයි. මිලිටරිය සිවිල් පරිපාලනයට සෘජුවම සම්බන්ධ නොවන බව පෙන්වීමට මෙම ආන්ඩු උත්සාහ කලද, ඉහත කී සිදුවීම්වලින් පෙනී යන්නේ එය බොරුවක් බවයි. මේ පලාත් දෙකේ තත්‍ය වසයෙන් පවතිනේ මිලිටරිය මැදිහත් වී කෙරෙන පාලනයකි.

“යාපනය විශ්ව විද්‍යාලයේ කටයුතුවලට හමුදාවේ ඇඟිලි ගැසීම එහි සිසුන්, ආචාර්යවරුන් සහ උතුරේ ක්‍රියාකාරී කන්ඩායම් විසින් නැවත නැවතත් මහජන අවධානයට යොමු කර ඇති බව,” විශ්ව විද්‍යාල ගුරුවරුන්ගේ ප්‍රකාශයේ සඳහන් ය.

යුද සමයේදී දෙමල තරුනයින් ඝාතනය කිරීම හෝ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ආන්ඩුවේ හමුදාවන්ට චෝදනා එල්ල වූ අවස්ථා ගනනාවක් තිබේ. යුද්ධය අවසන් වී වසර දහයකට පසුව පවා මෙම නඩු උසාවිවල, ප්‍රධාන වශයෙන් උතුරු කලාපයේ, දිග් ගැස්සෙමින් තිබේ.

දෙමල සිරකරුවන් දශක ගනනාවක් තිස්සේ චෝදනා පවා ඉදිරිපත් නොකර රඳවා තබා ගැනීම සඳහා අනුප්‍රාප්තික ආන්ඩු කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කරමින් සිටින අතර “‍සාක්ෂිකරුවන් නොමැතිකම”‍ සහ උතුරු නැගෙනහිර පැවති යුද කාලීන පරිසරය හා සම්බන්ධ වෙනත් කාරනා දඩමීමා කර ගනිමින් හමුදා නිලධාරීන්ට එරෙහි නඩු ප්‍රමාද කරමින් පවතී.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ පසුගිය ආන්ඩුව දුන් නොයෙකුත් බොරු පොරොන්දු අතර යුද්ධය තුල දී දෙමල ජනයාට සිදුවූ විනාශයන් ගැන විභාග කරන බවට පොරොන්දුවක් ද විය. ආන්ඩුව ඒවා කුනු කුඩයට දමා වගකිවයුතු මිලිටරියේ නිලධාරින් බේරා ගැනීමට ක්‍රියා කලේය. ඇස් බැන්ඳුමක් ලෙස, ඇතැම් නිලධාරීන්ට චෝදනා ගොනු කෙරුනේ ඒවායින් බේරීමට ඉඩ ලැබෙන පරිදි ය.

දැන්, අලු‍ත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ සිදුවෙමින් පවතින්නේ මිලිටරියේ සාමාජිකයන් මොනම අපරාධයක් වත් නොකල “‍රන විරුවන්”‍ නිසා චෝදනාවක් කිරීම පවා අපරාධයක් ලෙස සැලකීමයි.

Share this article: