ලොව පුරා මාධ්‍යවේදීන් සිය ගනනක් අසාන්ජ් නිදහස් කරන ලෙස ඉල්ලා ලිපියක් අත්සන් කරති

Hundreds of journalists around the world sign open letter demanding freedom for Assange

ඔස්කාර් ග්‍රෙන්ෆෙල් විසිනි, 2019 දෙසැම්බර් 9

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස හා යුද අපරාධ හෙලිදරව් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගෙන යන නීතිමය ව්‍යායාමය වහාම අවසන් කරන ලෙස ඉල්ලා ලොව සෑම අස්සක් මුල්ලක් නෑරම සිය ගනනක් ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් ඔවුන්ගේ නම් සහිතව විවෘතව ලිපියක් යවා තිබේ.”

මේ දක්වා අත්සන් කර ඇති 422 දෙනා අතර විකිලීක්ස් හි ප්‍රධාන කර්තෘ ක්‍රිස්ටින් හ්රෆ්න්සන්, ලෝක ප්‍රකට ගවේශනාත්මක මාධ්‍යවේදියෙකු වන ජෝන් පිල්ගර් සහ වියට්නාම් යුද්ධයේ සමස්ත සාපරාධීභාවයට අදාල පෙන්ටගන් ලිපි පිලිබඳ රහස් හෙලි කල ඩැනියෙල් එල්ස්බර්ග් ද ඇතුලත් ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙනුවෙන් එහි ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඬේවිඞ් නෝර්ත් සහ අනෙකුත් ප්‍රමුඛ ලෝසවෙඅ වාර්තාකරුවන් ද මෙම ලිපියට අත්සන් තබා ඇත.

ප්‍රබල ඉල්ලීම, බ්‍රිතාන්‍යය විසින් අසාන්ජ් උපරිම ආරක්ෂිත බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ සිරගත කිරීමේ කුරිරු හා නීති විරෝධී ස්වභාවයට සාක්ෂි දරයි. ඔත්තු බැලීමේ පනතේ චෝදනා 17 ක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීමට සහ ඔහු ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දරන උත්සාහය ප්‍රතිපත්තිගරුක මාධ්‍යවේදීන් විසින් සලකනු ලබන්නේ, මාධ්‍ය නිදහසට එරෙහි ප්‍රමුඛ ප්‍රහාරයක් ලෙසය. ඒවා සිය අයිතීන්ට දරුනු තර්ජනයක් ලෙස සලකන බව ද එයින් පැහැදිලි වේ.

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ලන්ඩනයේ ඉක්වදෝරියානු තානාපති කාර්යාලයේ සඳලුතලයේ සිට සහයෝගය දුන් අයවෙත ආචාර කරයි (AP Photo/Frank Augstein, File)

ප්‍රවීන වෛද්‍යවරුන් 65 කට වැඩි පිරිසක් විසින් පසු ගිය මාසයේ බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් වෙත, අසාන්ජ්ට ප්‍රමානවත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හෙලා දැක, ඔහු සිරගෙදරදී මිය යා හැකි බවට අනතුරු අඟවන විවෘත ලිපියක් නිකුත් කිරීමෙන් අනතුරුව ජනමාධ්‍යවේදීන් සිය ස්ථාවරය මෙසේ පැහැදිලි කර ඇත. එය අන්තර්ජාතික නීතිඥයින් පිරිසකගේ ප්‍රකාශයක් සමග සමපාත වන අතර එය, එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් අසාන්ජ්ට හිංසා පීඩා කිරීමේ නීති විරෝධී බව ලේඛනගත කර ඔහු වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.

අසාන්ජ්ට එරෙහි වසර නවයක ව්‍යායාමයට නායකත්වය දුන් ආන්ඩු, බුද්ධි අංශ සහ සංගත මාධ්‍ය කවයන්ගෙන් පිටත ලෝක මහජන මතය, විකිලීක්ස් නිර්මාතෘවරයාට සහ ඔහුට පීඩා කරන්නන්ට සතුරු බව මෙම මුල පිරීම්වලින් හෙලි වේ.

මාධ්‍යවේදීන්ගේ ලිපියේ මෙසේ සඳහන් වේ. “මෙම නඩුව කතා කිරීමේ නිදහස පිලිබඳ මූලධර්මයේ හදවතේ රැඳී තිබේ. රහසිගත ලියකියවිලි ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ආන්ඩුවට, අසාන්ජ් මහතාට එරෙහිව නඩු පැවරිය හැකි නම් එය, ආන්ඩු වලට ඕනෑම තැනකදී මාධ්‍යවේදීන්ට එරෙහිව නඩු පැවරීමට හැකියාව ලැබෙන, ලොව පුරා මාධ්‍ය නිදහස පිලිබඳ භයානක පූර්වාදර්ශයකි.”

එම ලිපිය කෙලිම මෙසේ ප්‍රකාශ කරයි: “ප්‍රජාතන්ත්‍රවාදය තුල, මාධ්‍යවේදීන්ට සිරගෙට නොයා යුද අපරාධ සහ වධහිංසා සහ අපයෝජන සිද්ධීන් හෙලි කල හැකිය. එය ප්‍රජාතන්ත්‍රවාදය තුල මාධ්‍යයේ කාර්යභාරයයි.”

2012 දී ඉක්වදෝර තානාපති කාර්යාලය වටලනු ලැබ බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් අසාන්ජ් නීතිවිරෝධී ලෙස රඳවා තබා ගත් බවට, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කන්ඩායම යලි යලිත් කල සොයාගැනීම් තුල විමසුමට බදුන් කර ඇත.

වධහිංසා පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු නිල්ස් මෙල්සර්ගේගේ නිගමනය මෙම ලිපියෙන් උපුටා දක්වා ඇති අතර, අසාන්ජ්ගේ නෛතික හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පාගා දමා ඇති බවත්, ඔහු පෙර නොවූ විරූ “ප්‍රසිද්ධ මඩගැසීමේ” ව්‍යාපාරයකට ගොදුරුවී ඇති බවත් එය “මානසික වධහිංසා” පැමිනවීමට සමාන බවත් එය සඳහන් කරයි.

ජනමාධ්‍යවේදීන් මෙසේ ලියයි: “අසාන්ජ් මහතා ගොදුරු කර ඇති මානව හිමිකම් උල්ලංඝනය කර වධයට භාජනය කිරීම් සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍ය, ඉක්වදෝර සහ ස්වීඩන් ආන්ඩු වගකිව යුතුය.”

මේ වසර මුලදී ලියූ මෙල්සර්ගේ ප්‍රබල ප්‍රකාශයක් ඔවුන් උපුටා දක්වයි: “අවසානයේදී, මා ප්‍රචාරයෙන් අන්ධ වී සිටි බවත්, ඔහු හෙලිදරව් කල අපරාධවලින් අවධානය වෙනතකට හැරවීම සඳහා අසාන්ජ්ට ක්‍රමානුකූලව අපහාස කර මඩ ගසා ඇති බවත් මට වැටහුනි.” එක්සත් ජාතීන්ගේ නිලධාරියා පෙන්වා දුන්නේ, බුද්ධි අංශ විසින් සම්පාදනය කරන ලද, අසාන්ජ් රාක්ෂයෙක් ලෙස පෙන්වීමට සහ ඔහුට එරෙහිව ගොතන ලද මඩ ගැසීම් පුනරුච්ඡාරනය කිරීමට ව්‍යාපාරික මාධ්‍ය විසින් ඉටුකරන ලද කාර්යභාරයයි.

මාධ්‍ය කරුවන් මෙසේ පැවසීම සැලකිය යුතු කරුනකි: “පුවත්පත් කලාව, විනිවිදභාවය සහ ලොව පුරා ආන්ඩුවල වගවීම මහජනතාවගේ දැනගැනීමට සැලසීමේදී, අසාන්ජ් කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇත.” විකිලීක්ස් වාර්තාකරනය සඳහා ඔහුට ලැබී ඇති සම්මාන දුසිම් කිහිපයක් ඔවුන් විමසුමට ලක් කරයි. මෙය අසාන්ජ් “මාධ්‍යවේදියෙකු නොවන” බව පවසමින් ට්‍රම්ප් පරිපාලනය සමඟ පෙලගැසී ඇති ව්‍යාපාරික හෙංචයියන්ගේ ප්‍රකාශ පිලිබඳ ප්‍රබල ප්‍රතික්ෂේපනයකි.

රජයේ සාපරාධීත්වය හෙලිදරව් කිරීම නිසා පීඩා විඳින අය වෙනුවෙන් සිය කැපවීම ද මෙම ලිපියට ඇතුලත්වේ. “අසාන්ජ් මහතා අපයෝජන හා අපරාධ පිලිබඳ වාර්තා කිරීම ඓතිහාසික වැදගත්කමක් දරයි. තොරතුරු හෙලිදරව් කලවුන් වන එඞ්වඞ් ස්නෝඩන්, චෙල්සි මැනිං සහ රියලිටි ජයග්‍රාහකයා දැන් පිටුවහලේ හෝ සිරගතව සිටිති.”

19 වන සියවස ආරම්භයේදී, ගොතන ලද ඔත්තු බැලීමේ චෝදනාවලට ලක්වූ යුදෙව් හමුදා නිලධාරියෙකු වන ඇල්ෆ්‍රඞ් ඩ්‍රෆෙස් වෙනුවෙන් ප්‍රන්ස නවකතාකරුවෙකු වන එමිල් සොලා විසින් කරන ලද සටන ගැන මාධ්‍යවේදීන් සඳහන් කරයි. 1898 දී සෝලා සිය සුප්‍රසිද්ධ “ජේ ඇකියුස්!” විවෘත ලිපිය ලියා ඩ්‍රෆෙස්ගේ වධ බන්ධනයට වගකිව යුතු අය නම් කලේය.

මාධ්‍යවේදීන්ගේ ලිපියේ මෙසේ සඳහන් වේ. “සෝලාගේ ස්ථාවරය ඉතිහාස පොත්වලට ඇතුලු වී තිබේ. අදටත් අපගේ යුතුකම වන්නේ, යුක්තියේ ගබ්සා කිරීම්වලට එරෙහිව සටන් කිරීම සහ බලවත් අය වගවීමට ලක් කිරීමයි. ආන්ඩු විසින් ජූලියන් අසාන්ජ් ගොදුරු කර ගැනීමත්, වසර සියයකටත් වඩා පැරනි එක්සත් ජනපද ඔත්තු බැලීමේ පනත යටතේ චෝදනා 17 කට මුහුන දීමත් හමුවේ, මෙම රාජකාරිය අද වඩාත් අවශ්‍ය කෙරේ.”

සංසන්දනය මුලු‍මනින්ම ගැලපෙන්නේය. ඩ්‍රෆෙස්ගේ සිද්ධියේදී මෙන්, අසාන්ජ්ට හිංසා පීඩා කිරීම සමාජයේ වඩාත්ම ප්‍රතිගාමී බලවේග විසින් මෙහෙයවනු ලබන අතර, එය සමස්ත ජනගහනයේ මූලික අයිතිවාසිකම් අහෝසි කිරීම සඳහා පූර්වාදර්ශයක් ලෙස භාවිතා කරයි. ඩ්‍රෆෙස්ගේ ආරක්ෂාව සඳහාවූ ව්‍යාපාරයේදී මෙන් ම, කම්කරු පන්තිය බලමුලු‍ ගන්වා ගැනීමත්, මාධ්‍යවේදීන් ඇතුලු සිවිල් නිදහස සඳහා ප්‍රතිපත්තිගරුක ආධාරකරුවන්ගේ සහයෝගයටත් වඩා අඩු කිසිවක්, අසාන්ජ්ගේ කොන්දේසි විරහිත නිදහස සුරක්ෂිත කර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාර පසුබස්වනු නැත.

ලිපියේ අවසාන කොටස සම්පූර්නයෙන් උපුටා දක්වීම අවශ්‍යය. එහි මෙසේ සඳහන් වේ: “මානව හිමිකම්, තොරතුරු දැන ගැනීමේ නිදහස සහ මහජනතාවගේ දැන ගැනීමේ අයිතිය විශ්වාස කරන මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදීන්ගේ සංවිධාන වශයෙන්, ජූලියන් අසාන්ජ් වහාම නිදහස් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

“‍යුද අපරාධ හෙලි කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගෙන යන නීතිමය ව්‍යායාමය නතර කරන ලෙස ඉල්ලන මෙන් අපි අපේ ආන්ඩු වලින්, සියලු‍ ජාතික හා ජාත්‍යන්තර ආයතනවලින් සහ සෙසු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිමු.

මෙම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිලිබඳව නිවැරදිව ජනතාව දැනුවත් කරන ලෙස අපි සෙසු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිමු.”‍

දකුනු අප්‍රිකාව, කෙන්යාව, නැමීබියාව, උගන්ඩාව, ඊස්රායලය, ලෙබනනය, චිලී, ශ්‍රී ලංකාව යුක්රේනය, රුසියාව, චීනය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, අයිස්ලන්තය, ස්වීඩනය, ඉතාලිය, ප්‍රන්සය, තුර්කිය, ක්‍රොඒෂියාව, බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය සහ තවත් බොහෝ රටවල මාධ්‍යවේදීන් මෙම ලිපියට අත්සන් තැබීම, ගෝලීය වශයෙන් විකිලීක්ස් කෙරෙහි ඇති ඉමහත් ගෞරවය සහ අසාන්ජ්ට පමුනුවා ඇති හිංසනයේ ජාත්‍යන්තර ඇඟවුම් පිලිගැනීම පිලිබඳ සංඥාවක් වන්නේය.

ඒ අතර ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක ගනනාවක අත්දැකීම් ඇති පුද්ගලයින් ද ප්‍රධාන මාධ්‍ය සංවිධානවල වත්මන් සේවකයින් ද වේ. මෙයට ඕස්ට්‍රේලියාවේ වෝක්ලි පදනමේ සභාපති කෙරී ඕ බ්‍රයන් සහ විමර්ශන වාර්තාකරුවන් වන ඇන්ඩෘ ෆෝලර් සහ ක්වෙන්ටින් ඩෙම්ප්ස්ටර් ද ඇතුලත් වේ.

ජර්මනියේ ප්‍රමුඛ පෙලේ ප්‍රවෘත්ති සංවිධාන බොහොමයක ප්‍රමුඛ පුද්ගලයින් මෙම වැඩසටහනට සහභාගී වේ. මෙයට ඩර් ස්පීගල් හි කර්තෘ බෙකර් ස්වේන් සහ සුඩොයිෂ් සයිතුං හි විමර්ශන ප්‍රධානී බැස්ටියන් ඔබර්මේයර් ඇතුලත් වේ.

කොන්සෝර්ටියම් ප්‍රවෘත්ති කර්තෘ ජෝ ලෝරියා ඇතුලු ප්‍රගතිශීලී හා යුද විරෝධී මාධ්‍යවල ප්‍රමුඛ පුද්ගලයින් සහ මාධ්‍යවේදීන් වන ක්‍රිස් හෙජස්, මාක් කර්ටිස්, එලිසබෙත් වොස්, නොසෝමි හයාස් සහ තවත් බොහෝ අය ලිපියට අත්සන් තබා ඇත.

සාමාජිකයින් 600,000 ක් නියෝජනය කරමින් රටවල් 140 ක අනුබද්ධ සංවිධාන 187 ක් සමඟ කටයුතු කරන ගෝලීය සංගමයක් වන ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඇන්තනි බෙලන්ගර් ද මෙයට සහභාගී වේ..

අසාන්ජ් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන සියලු‍ දෙනා මාධ්‍යවේදීන්ගේ ස්ථාවරය හැකිතාක් පුලුල් ලෙස ප්‍රවර්ධනය කල යුතුය. මෙම ලිපිය සමාජ මාධ්‍යවල සංසරනය කල යුතු අතර, සියලු‍ම මාධ්‍ය සේවකයින් වෙත යවා විශ්ව විද්‍යාල මන්ඩපවල සහ කම්කරු පන්තියේ ප්‍රදේශවල බෙදා හැරිය යුතුය.

ඔහුට පීඩා කිරීමට ඇති සතුරුකම දේශපාලන ජීවිතයේ මතුපිටට පුපුරා යාමත් සමඟ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත කම්කරුවන්, සිසුන්, තරුනයින් සහ බුද්ධිමතුන් අතර මෙම ලිපිය අසාන්ජ්ට මහජන සහයෝගය ලබා දෙන තවත් ප්‍රකාශනයක් වනු ඇත.

පිලිගැනීම පිලිබඳ මෙම වර්ධනය අවධාරනය කරන්නේ, සිය ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජීය ආරක්ෂාව සඳහා වන ප්‍රහාරයකින් මෙය වෙන් කල නොහැකි බව වටහාගන්නා ලෝකයේ බලවත්ම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල හැකිතාක් පුලුල් ලෙස එය ඔසවා තැබීමෙන් ඔහුගේ ආරක්ෂාව සඳහා උද්ඝෝෂනය තීව්‍ර කිරීමේ අවශ්‍යතාවයි.

Share this article: