ආන්ඩුව මාධ්‍යවේදීන්ට හා දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව මර්දනය ආරම්භ කරයි

ප්‍රදීප් රාමනායක විසිනි, 2019 දෙසැම්බර් 20

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් යන්තම් මාසයක් වෙද්දී ආන්ඩුව මාධ්‍යවේදීන් හා දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමේ වැඩ අරඹා ඇත. ඒ යටතේ රාජ්‍ය මර්දන උපකරන වන පොලීසිය, බුද්ධි අංශ මෙන්ම ආන්ඩුවේ අනුග්‍රහය ලබන මැර කල්ලි විසින්, මාධ්‍යවේදීන් සහ ආන්ඩුවට විරුද්ධ මත දරන්නන් අත් අඩංගුවට ගැනීම්, පහරදී තර්ජනය කිරීම් සහ ප්‍රශ්න කිරීම් පිලිබඳ සිද්ධි ගනනාවක් මේ වන විට වාර්තා වී තිබේ.

එම සිද්ධීන්ගෙන් කිහිපයක් මෙසේය:

■ අපහාසාත්මක තොරතුරු පලකිරීම යන චෝදනාව යටතේ නොවැම්බර් 26 වැනි දා,නිව්ස්හබ්වෙබ් අඩවියේ කාර්යාලය පොලිස් භටයන් කන්ඩායමක් විසින් සෝදිසියට ලක් කෙරී ඇත. නිව්ස්හබ් වාර්තා කරන ආකාරයට පොලීසිය එම සෝදිසියේදී කාර්යාලයේ කාර්ය මන්ඩලය ගැන සවිස්තරාත්මකව තොරතුරු ලයිස්තු ගත කරගෙන ඇති අතර ගෝඨාභය රාජපක්ෂට එරෙහි තොරතුරු ඇත්දැයි එහි සෑම පරිගනකයක් ම පරීක්ෂා කර ඇත.

වෙබ් අඩවිය තවදුරටත් පවසන්නේ පොලිස් භටයින් සෑම පරිගනකයකම “ගෝටා” යන වචනය යොදමින් ඒ යටතේ ඇති සියලු‍ තොරතුරු පරීක්ෂා කල බැවින් ජනාධිපතිවරයාට එරෙහි අපහාසාත්මක කරුනු එම පරිගනකවල ඇත්දැයි පරීක්ෂා කරන්නට ඇතැයි විශ්වාසකල හැකි බවයි. එවැනි ක්‍රියාවල තමන් යෙදී නැතැයි වෙබ් අඩවියේ ප්‍රකාශකයන් කියා සිටී.

■ පසුගිය එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ රජයේ මුදල් අමාත්‍ය ධුරය දැරූ මංගල සමරවීරගේ පෞද්ගලික කාර්ය මන්ඩලයේ මාධ්‍ය සම්බන්ධීකාරක සේවිකාවක සහ “වොයිස්ටියුබ්” නම් යූටියුබ් නාලිකාවේ සංස්කාරිකාවක වශයෙන් කටයුතු කල තුෂාරා විතාරනගේ නොවැම්බර් 28 වැනි දින රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රශ්න කරනු ලැබුනි. වොයිස්ටියුබ් චැනලයත්, විතාරනගේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කල ද ලීඩර් වෙබ් අඩවියත් පසුගිය ජනාධිපතිවරනයේදී රාජපක්ෂගේ විරුද්ධවාදියාවූ සජිත් ප්‍රේමදාසගේ මැතිවරන උද්ඝෝෂනයට සහය පලකලේය.

■ දෙසැම්බර් 6 වනදා අලු‍ත්ගම ප්‍රදේශයේ ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වූ තුසිත කුමාර ද සිල්වාට සහ ඔහුගේ බිරිඳට මැරකල්ලියක් විසින් පහරදීම නිසා ඔවුන් රෝහල් ගත කෙරින. මැරයන් ඔහුට පහර දී ඇත්තේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් පිලිබඳ තොරතුරු හෙලිදරව් කිරීම හේතුවෙනි.

■ දෙසැම්බර් 8 වනදා යාපනය ප්‍රදේශයේ දේශපාලන විශ්ලේශකයෙකු සහ නීතීඥයෙකු වන එස්.ඒ ජෝතිලිංගම්ගේ නිවසට කඩාවැදුනු මැර කල්ලියක් ඔහුගේ ලිපි ලේඛන ඇතුලු‍ බඩුබාහිරාදිය රැගෙන ගොස් ඇත. ජෝතිලිංගම් දෙමල මහජනතාවගේ ගැටලු‍ සහ අයිතීන් පිලිබඳ දේශපාලන විචාරයන් සම්පාදනය කල මුල්පෙල ක්‍රියාකාරිකයෙකි.

■ ලේක්හවුස් ආයතනෙයේ නව මාධ්‍ය අංශයේ ප්‍රධනියා ලෙස සේවය කරමින් සිටි මධුක තක්සල ප්‍රනාන්දුට දෙසැම්බර් 10 වනදා මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන පොදුජන පෙරමුනේ ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති චන්දන බන්ඩාර ඇතුලු‍ කන්ඩායමක් විසින් පහරදී තර්ජනය කර ඇත. පහර දීමට ප්‍රථම “මූට කතා කරන්න ඕනෙ කටින් නෙවෙයි අතින්” කියමින් බන්ඩාර ඔහුට තර්ජනය කර තිබේ. සමිතියේ සභාපති පසුව නිකුත් කල මාධ්‍ය නිවේදනයක, ප්‍රනාන්දු යනු ජනාධිපතිට සහ අගමැතිට විරුද්ධ “මඩ වීඩියෝ පට” ප්‍රචාරය කරන්නෙකැයි බොරු චෝදනාවක් කර තිබුනි.

■ උතුරේ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම වෙනුවෙන් පෙනී සිටින සිවිල් ක්‍රියාකාරිකයෙකු වන පුන්නාලෙයි ප්‍රදේශයේ කෝමහන් මුරුගයියා දිගින් දිගටම රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රශ්න කිරීම් වලට ලක්වන වන බව ඔහු දෙසැම්බර් 10 වනදා ටැමිල්නෙට් වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබුනි.

■ දෙසැම්බර් 11 වනදා කඩවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් ජලයට ඉන්ධන මුදාහැරීම නිසා සිදුවන අපවිත්‍රවීමක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කන්ඩායමකට මැර කල්ලියක් ප්‍රහාරයක් එල්ල කලේය.

■ දෙසැම්බර් 13 වනදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන “‍නිදහස උදෙසා කාන්තාවෝ”‍ ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියන් පිරිසක් කාන්තා අයිතිවාසිකම් පිලිබඳ දැනුවත් කිරීමේ සහ ආධාර එකතු කිරීමේ වැඩසටහනක නිරතව සිටියදී කොටුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීමට කිසිඳු හේතුවක් පොලිසිය විසින් ඉදිරිපත් කර නැති අතර ආධාර එකතු කිරීමට අවසර ඇතත් “මහජනතාව සමඟ සාකච්ඡා නොපැවත්විය යුතු” බව පවසා ඔවුන් පසුව මුදා හැර ඇත.

මීට අමතරව, මාධ්‍යවේදීන්ට එල්ලවන ප්‍රහාරයන් පිලිබඳ පාර්ශව කිහිපයක් විසින් කැඳවූ මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා සමාජ ජාල මාධ්‍ය සංගමයේ කැඳවුම්කරු නුවන් නිරෝධ පැවසුවේ රාජපක්ෂ බලයට පත්වී ගතවුනු දින 26ක කාලය තුල මාධ්‍යවේදීන් 13 දෙනෙකුට තර්ජන එල්ල වී ඇති බවයි.

ගතවූ මාසයක කාලය තුල දිගහැරෙමින් පවතින මෙම ප්‍රහාරයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ ආන්ඩුව වේගයෙන් සිය පාලනයට එරෙහි මත දරන්නන් දඩයමට ලක් කිරීමට සූදානම් වන බවයි. උතුරේ සහ දකුනේ කම්කරුවන්, පීඩිතයින් සහ තරුනයන් අතර කැකෑරෙමින් පවතින ආර්ථික හෝ සමාජයීය ගැටලු‍ පොදු මහජනතාවන් අතර සාකච්ඡාවට බඳුන් වීම නිසා ඒවා පුලු‍ල් මහජන සහයෝගයක් දිනාගත් අරගල බවට පත්වේ යැයි ආන්ඩුව සලිත වී සිටියි.

පෙසප කාන්තා ව්‍යාපාරයේ සාමජිකාවන් නිදහස් කරද්දී “මහජනතාවන් සමඟ සාකච්ඡා පැවැත්වීම තහනම්” යැයි පොලිසිය විසින් කල තර්ජනය දේශපාලන සංවිධානයකට සිය කටයුතු ගෙනයාමට පවතින ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් අමුඅමුවේ උල්ලංඝනය කිරීමකි. ආන්ඩුවට අවශ්‍යවී ඇත්තේ එහි වැඩපිලිවෙල කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ගෙනයාමයි.

ජනාධිපතිවරනයට පූර්වයෙන් රටේ අංශ ගනනාවක පැනනැගුනු පුලු‍ල් අරගලයන්ට කම්කරුවන් අවතීර්න වූයේ ඔවුන් අත් විඳිමින් සිටි දරුනු ජීවන හා රැකියා කොන්දේසි තවදුරටත් දරා සිටිය නොහැකි නිසා ය. ද්‍රෝහී වෘත්තීය සමිති විසින් එම අරගල බලෙන් යටපත් කලා මිස කම්කරුවන් මුහුනදුන් එකදු ගැටලු‍වක් හෝ විසඳී නැත. මහජනයාගේ එකදු සමාජ ප්‍රශ්නයක් විසඳීමට නොහැකි, අර්බුදයේ බර ඔවුන් මත පැටවීමට සූදානම් වන ආන්ඩුව එම අරගල යලි මතුවීම අනිවාර්ය බව දනී.

තමන්ට එරෙහි යයි පෙනෙන මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරිකයන් මෙල්ල කිරීමට ආන්ඩුව අවි ඔසවා ඇත්තේ මේ තත්වය තුලය. 2005 සිට 2015 දක්වා බලයේ සිටියදී විරුද්ධවාදී මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යාම හා වධ බන්ධනයන්ට ලක්කිරීම පිලිබඳ ලේවැකි වාර්තාවක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සතු ය. ආන්ඩුවේ අනුග්‍රහය යටතේ පොලිස් සහ පැරා-මිලිටරි ඒකක යාන්ත්‍රනයක් පවත්වාගෙන යමින් එම ප්‍රහාර දියත්කල බවට ඉහලින්ම චෝදනා ලැබුවේ එවක ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයි.

මධ්‍යවේදීන්ට ප්‍රහාරයන් එල්ල කෙරී ඇති තතු යටතේ දෙසැම්බර් 12දා පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා පැවැත්වූ සාකච්චාවකදී ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කලේ “මාධ්‍යයට බලපෑම් කිරීමේ අරමුනක් තමන්ට නැති” බවයි. රාජපක්ෂගේ මෙම ප්‍රකාශය මුලු‍මුනින්ම ව්‍යාජයකි.

එම සාකච්චාවේදීම මාධ්‍ය නිදහස සුරකින බව පැවසූ රාජපක්ෂ එම “නිදහස” කෙසේ විය යුතුද යන්න පිලිබඳ කොන්දේසියක් දැම්මේ “සියලු‍ මාධ්‍ය ආයතන රට වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරමින් රටේ ගෞරව නාමය ඉහල නැංවීමට හිතකර වන මාධ්‍ය වාර්තාකරනයක යෙදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන” බව කියමිනි. රාජපක්ෂ කර ඇත්තේ අනතුරු ඇඟවීමකි. ඔහුගේ “‍මාධ්‍ය නිදහස”‍ ක්‍රියාත්මක වනු ඇත්තේ ආන්ඩුවට ගැලපෙන ලෙස ක්‍රියාකරන තාක් දුරට ය.

රජයේ මූලික ආයතනවල ප්‍රධානීන් ලෙස මිලිටරියේ ඉහල නිලධාරීන් පත්කරමින් රාජපක්ෂ විසින් ගෙනයන රාජ්‍ය පාලනය මිලිටරීකරනය කිරීමේ වැඩකටයුතු වල වඩාත් තීරනාත්මක පියවරක් ලෙස ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසමේ සභාපති ලෙස ඔහු පත්කර ඇත්තේ ආරක්ෂක ලේකම් ධුරයට පත්කල විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුනරත්න ය. මෙය එම ආයතනය මගින් නියාමනය කෙරෙන විද්‍යුත් මාධ්‍ය, අන්තර්ජාල හා සමාජ මාධ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ඍජු අධීක්ෂනය යටතට ගැනීමකි.

මාධ්‍යවේදීන් දඩයමට ලක් කිරීම හා ආන්ඩුවට එරෙහි දේශපාලන ක්‍රියාකාරීන්ට සීමා පැනවීම කම්කරුවන්ගේ හා සෙසු මහජනතාවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව ආන්ඩුව සූදානම් කරන පලල් ප්‍රහාරයක කොටසකි.

Share this article: