සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම:

ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිං නිදහස් කරනු!

SEP/IYSSE public meeting in Colombo: Free Julian Assange and Chelsea Manning!

2019 දෙසැම්බර් 14

ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිං නිදහස් කරගැනීම සඳහා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගෙන යන ජාත්‍යන්තර උද්ඝෝෂනයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ජනවාරි 2දා කොලඹ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි.

එක්සත් රාජධානියේ උපරිමාරක්ෂිත බෙල්මාෂ් බන්ධනාගාරයේ සිරගත ව සිටින විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ්, එක්සත් ජනපදය, බි්‍රතාන්‍යය හා ඕස්ටේ්‍රලියාව විසින් ක්‍රියාවට දමනු ලැබ ඇති ජාත්‍යන්තරව සම්බන්ධීකරනය කෙරනු කුමන්ත්‍රනයක ගොදුර යි. ඔහුව දන්ඩනයට ලක් කෙරෙන්නේ, මෙම අධිරාජ්‍යවාදී බලයන්ගේ අපරාධ හෙලිදරවු කිරීම නිසා ය. මෙම ම්ලේච්ඡ ප්‍රහාරය අසාන්ජ්ට පමනක් නො ව, ප්‍රකාශනයේ නිදහස හා සත්‍යය දැනගැනීමට තමන්ට ඇති අයිතිය අගය කරන ලොව පුරා බිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුන ජනයාට එරෙහි ව එල්ල කෙරුනකි.

ඔවුන්ගේ අධිරාජ්‍යවාදී හාම්පුතුන් සමග පෙලගැසී සිටින ගෝලීය පරිමාන, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, අසාන්ජ්ට හා විකිලීක්ස් වෙත ඇමරිකානු යුද අපරාධ පිලිබඳ රහසිගත තොරතුරු සම්පාදනය කල ධෛර්යය සම්පන්න එක්සත් ජනපද තොරතුරු හෙලිකරන්නියක වන චෙල්සී මැනිංට තිබෙන මහජන සහයෝගය නො තකා, ඔවුන් පිලිබඳව නිශ්ශබ්දතාවේ කුමන්ත්‍රනයක් පවත්වාගෙන යයි.

අසාන්ජ්ට සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සම්පාදනය කරන ලෙස ඉල්ලමින් ලොව පුරා ප්‍රමුඛ වෛද්‍යවරුන් 65ක් හා ඔහු ව වහා ම නිදහස් කරන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන් 700කට අධික පිරිසක් නිකුත් කල “විවෘත ලිපි” නො තකා මාධ්‍ය නිශ්ශබ්දතාව පවත්වාගෙන යනු ලැබේ. අසාන්ජ් දිගු කාලයක් තිස්සේ දන්ඩනයට ලක් කිරීම වධබන්ධන පැමිනවීමට සමාන බවත් ඔහු බන්ධනාගාරයේ දී මිය යා හැකි බවත් එක්සත් ජාතීන්ගේ වධබන්ධන පිලිබඳ විශේෂ කොමසාරිස් නිල්ස් මෙල්ට්සර් අනතුරු අඟවා ඇත.

ඕස්ටේ්‍රලියානු පුරවැසියෙකු වන අසාන්ජ් ව එක්සත් ජනපදයට උදර්පනය කිරීම පිලිබද නඩුව, බි්‍රතාන්‍ය උසාවියක දී පෙබරවාරි 25දා විභාගයට ගැනෙනු ඇත. අසාන්ජ් ව ඔත්තු බැලීම පිලිබඳ ව්‍යාජ චෝදනා මත කැලෑ උසාවියක් ඉදිරියට පමුනුවා, වසර 175කට වැඩි සිර දඬුවම් පමුනුවනු ඇති එක්සත් ජනපදය වෙත ඔහු ව හැකි ඉක්මනින් උදර්පනය කිරීමට බි්‍රතාන්‍ය බලධාරීහු නිසැක ව ම කුමන්ත්‍රනය කරමින් සිටිති.

මාධ්‍ය නිදහසට එරෙහිව එල්ල කෙරෙන තීව්‍ර වන ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයන්ගේ කොටසක් ලෙස ද යුද-විරෝධී මහජන මනෝගතිය හා ආන්ඩුවල කප්පාදු පිලිවෙත්වලට එරෙහි විරෝධය බියවැද්දීම පිනිස ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එහි සගයෝ අසාන්ජ් හා මැනිං දන්ඩනයට භාජනය කරමින් සිටිති. ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි මෙම ප්‍රතිගාමී ප්‍රහාරය පරාජය කිරීමට ජාත්‍යන්තර කම්කරු පන්තියේ ශක්තිය බලමුලු‍ගැන්විය යුතු ය.

කම්කරුවන්, තරුනයන් හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් රැකීම කෙරෙහි උත්සුක වන සියල්ලන්ගෙන් අසාන්ජ් හා මැනිංට එල්ල කරන ප්‍රහාරයට විරුද්ධ වන ලෙසත්, කොලඹ පැවැත්වෙන සසප/සසජාතශි රැස්වීමට පැමිනෙන ලෙසත් අපි ඉල්ලමු.

ජනවාරි 02 බ්‍රහස්පතින්දා සවස 4ට

කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය

Share this article: