සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම:

නව රාජපක්ෂ තන්ත්‍රයට එරෙහි ව සටන් වදින්නේ කෙසේ ද

Sri Lankan SEP/IYSSE to hold public meeting on how to fight the new Rajapakse regime

2019 දෙසැම්බර් 14

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රාජ්‍ය මර්දනයට හා කප්පාදු පිලිවෙත්වලට විරුද්ධ ව කම්කරු පන්තියට සටන් කල හැක්කේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය ජනවාරි 12 දා කොලඹ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි.

නොවැම්බර් 16දා පැවති මැතිවරනයෙන් ජය ලැබීමෙන් අනතුරු ව, පුලු‍ල් ආන්ඩු බලතල ගොනු කරගැනීම සඳහා රාජපක්ෂ පෙර නුවූ විරූ වේගයකින් ක්‍රියාකොට ඇත. අගමැති රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වන ලෙසට වහා ම බල කල ඔහු, සුලු‍තර ආන්ඩුවක නායකයා ලෙස ඔහුගේ සහෝදර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කලේ ය.

රාජපක්ෂ, ආන්ඩුවේ වැදගත් ආයතන ගනනාවක ප්‍රධානීන් ලෙස හිටපු මිලිටරි නිලධාරීන් පත්කර ඇත. ජනවාරි 3දා දක්වා පාර්ලිමේන්තුව කල්තබා තිබෙන ඔහු අපේක්ෂා කරන්නේ, ජනාධිපතිගේ ආඥාදායක බලතල සීමා කරන මෑත ව්‍යවස්ථා සංශෝධනයක් අහෝසි කිරීමට යි.

මෙම පියවරයන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ කම්කරු පන්තිය යි. ශ්‍රී ලංකාවේ ධනේශ්වරය වාඩි වී සිටින්නේ සමාජ කාල බෝම්බයක් මත බව රාජපක්ෂ හොඳින් දනී. ඔහුගේ තේරී පත්වීමට පෙරාතු කාල පරිච්ඡේදය තුල, 1980 ගනන්වලින් මෙපිට ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ වඩාත් ම පුලු‍ල් කාර්මික ක්‍රියා රැල්ලක් පැන නැග්ගේ, වැඩ වර්ජන නැවැත්වීමට වෘත්තීය සමිති දැරූ මංමුලා සහගත ප්‍රයත්නයන් නො තකා ය.

ඒ අතර ම, තියුනු වන භූ-දේශපාලනික ආතතීන්ගේ වාසුලිය තුලට කොලඹ දේශපාලන සංස්ථාපිතය ශීඝ්‍රයෙන් ඇදගනු ලැබෙමින් පවතී. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, චීනයට එරෙහි එහි ගැටුමේ පෙරමුනු රාජ්‍යයක් බවට මෙම දිවයින පරිවර්තනය කරගැනීමට අධිෂ්ඨානවත්ව සිටී.

සියලු‍ ධනේශ්වර පක්ෂත් ඒවායේ ව්‍යාජ-වාම ඒජන්තයිනුත් හෙලිදරවු කිරීම සහ ඉදිරියේ එලඹෙන පුපුරනසුලු‍ සමාජ අරගලවලට සූදානම් වීම සඳහා සවිඥානික දේශපාලන මූලෝපායක-එනම්, ජාත්‍යන්තර සමාජවාදය- පදනම මත සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ ඒකාබද්ධ කාර්මික ක්‍රියාව ඉදිරියට ගෙන යාම පිනිස සසප ජනාධිපතිවරනය තුල මැදිහත් විය.

එම දේශපාලන අරගලයේ කොටසක් ලෙස, කොලඹ පැවැත්වෙන සසප-සසජාතශි රැස්වීම, ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තර ව ද කම්කරු පන්තිය මුහුන දෙන අන්තරායන් සමාලෝචනය කරමින්, කප්පාදු පිලිවෙත්වලට හා රාජ්‍ය මර්දනයට ද තවත් අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයක් සඳහා තීව්‍ර වන සූදානම්වීම්වලට ද එරෙහිව සටන් වැදීමට අවශ්‍ය ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය පැහැදිලි කරනු ඇත.

කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා මෙම තීරනාත්මක ප්‍රශ්න ගැන උත්සුක ඕනෑම අයෙකුගෙන් අප ඉල්ලා සිටින්නේ, අපේ රැස්වීමට පැමින මෙම වැදගත් දේශපාලන සාකච්ඡාවට සහභාගි වන ලෙසයි.

දිනය හා වේලාව: ජනවාරි 12 වන ඉරිදා, පස්වරු 3ට

ස්ථානය: කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය

Share this article: