මියන්මාරයේ හමුදා පාලනයට රංගන ශිල්පීහු අභියෝග කරති

ආනන්ද වක්කුඹුර විසිනි, 2019 දෙසැම්බර් 6

මියන්මාරයේ 2019 අප්‍රේල් අලුත් අවුරුදු උත්සවයේ දී ‘තංගියාත්’ නමැති සමාජ විවේචක සම්ප‍්‍රදායට අයත් රංගනයක් මගින් මියන්මාරයේ හමුදාව උපහාසයට ලක් කිරීමේ චෝදනා මත තරුන රංගන ශිල්පීන් පස්දෙනෙකුට එක් අවුරුද්දක සිර දඬුවමක් දී ඇත. ‘පීකොක් ජෙනරේෂන්’ (මොනර පරම්පරාව) නමැති රංගන කන්ඩායමේ, කේ. කයින් කුන්, සේයාර් ල්වින්, පායිං පියෝ මිං, පායිං යේ තුං, සහ සෝ ලින් හ්ටුට් නමැති තරුන තරුනියන් මෙසේ දඩයමට ලක්ව ඇත.

මියන්මාරයේ මෙම අවුරුදු උත්සවය ‘ග‍්‍රහ සංක්‍රාන්ති’ පිලිබඳ සාම්ප‍්‍රදායික විශ්වාසයන්ට අනුව ආසියානු රටවල් ගනනාවක් තුල ම පැවැත්වෙන්නකි. එම උත්සව තුල දී මියන්මාරයේ ‘තංගියාත්’ යනුවෙන් කවි ගායනා, නැටුම් සහ නාට්‍ය අංග අඩංගු වන සමාජ විවේචක රංගන සම්ප‍්‍රදායයක් සියවස් කිහිපයක් තිස්සේ පැවතී ඇති අතර, වසර පනහක් තිස්සේ පැවතුනු මිලිටරි ඒකාධිපති පාලනය තුල මෙය දේශපාලන විරෝධතා ප‍්‍රකාශ කෙරෙන ප‍්‍රජතන්ත‍්‍රීය සංස්කෘතික අවකාශයක් ලෙස වර්ධනය වී පවතී.

2019 අප්‍රේල් උත්සවයේ දී ඉදිරිපත් කල රංගනයන් තුලින් හමුදාව අගෞරවයට ලක් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුනු ඉහත කී කන්ඩායම දඬුවම් කරන තෙක් මාස හයක් රිමාන්ඩ් භාරයේ තබා ගන්නා ලදී. එම රංගනය එසැනින් ම අන්තර්ජාලය තුලින් පෙන්වීමේ චෝදනා මත ඔවුන් දෙදෙනෙකුට විරුද්ධව තවත් නඩුවක් විභාග වෙමින් පවතී. මීට අමතරව එම චෝදනා මත ම නොවැම්බර් 18 වැනිදා තවත් නඩුවකින් ඔවුන් වසරකට සිර ගත කරන ලදී. ඔවුන්ට එම චෝදනා මත ම ප‍්‍රාදේශීය උසාවිවල ද නඩු කිහිපයක් පවරා ඇත. මියන්මාරයේ හමුදා නීතියට අනුව, ‘නීති-විරෝධී’ කලා කෘතියක් ප‍්‍රදර්ශනය කරන වාර ගනනට අනුව නඩු පැවරිය හැක.

මෙම නඩු පවරනු ලැබූයේ එරට හමුදා ඒකාධිපතිත්වය විසින් සම්මත කෙරුනු අපරාධ විධිවිධාන පනතේ 505 වගන්තිය ද 2013 නව විද්‍යුත් සන්නිවේදන පනතේ 64 ඩී* වගන්තිය ද යටතේ ය.

505 වගන්තිය හමුදා භටයින් කැරලි ගැසීමට හෝ යුතුකම් මගහැරීමට හෝ යොමු කෙරෙන්නේ යැයි සැලකෙන ප‍්‍රකාශ නීති විරෝධී කරවයි. මෙහි දී අපරාධයන් හෝ නීතිමය වැරැද්දක් නො වන විවේචනාත්මක ප‍්‍රකාශයක් අපරාධයක් බවට පත් කෙරෙන අතර චූදිතයින් මාස හයක් රිමාන්ඩ් භාරයේ තබා ගනිමින් නඩු විභාගය පමා කෙරේ. ඇප ලබා ගත හැක්කේ විනිශ්චයකරුවකුගේ අභිමතය මත පමනකි. ඇප ලබා ගැනීම චූදිතයාගේ අයිතියක් නොවන අතර විනිශ්චයකරුවන් පත් කරන්නේ ද හමුදාව විසිනි.

ඉහත ශිල්පීහු එරට හමුදාව, පාර්ලිමේන්තුව තුල නියෝජනය වෙමින් රාජ්‍ය බලය භුක්ති විඳීම විවේචනය කෙරෙන රැඟුමක් ඉදිරිපත් කලහ. එහි දී හමුදා ඇඳුමක් ඇදගත් සුනඛයෙකුගේ චිත‍්‍රයක් ප්‍රේක්ෂකයින්ට පෙන් වන ලදී. ඔවුහු රංගනය සඳහා මිලිටරි ඇඳුම් ඇඳ සිටියහ.

නඩුකාරයා තීන්දුව ප‍්‍රකාශ කරමින් මෙසේ පැවසීය. “ඉදිරිපත් කර ඇති වාක්‍ය කොටස් යොදා ගනිමින් මහජනතාව ඉදිරිපිට රංගනය ඕනෑකමින් සිදු කල බවත් පැහැදිලිය. රංගන කන්ඩායම වැරදිකරුවෝ වෙති.” එහෙත් තීන්දුව දීමෙන් පසු නාට්‍යකරුවෝ තමන් අපරාධයක් නො කල බවත් අධිකරනයේ අධිකාරය නොපිලිගන්නා බවත් පවසමින් “දවසක් හිරේ ගියත් එකයි, අවුරුද්දක් හිරේ ගියත් එකයි” යනුවෙන් පැවසූහ. නොවැම්බර් 18 දා තීන්දුවෙන් පසු, දඩයමට ලක්වූ එක් ශිල්පියෙක්, විනිශ්චයකරුවන් හමුදාවේ රූකඩ යැයි පැවසීය.

දඬුවම් හෙලා දකිමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය මෙසේ පැවසීය: උපහාස නාට්‍යයක් රඟ දැක්වීම නිසා දඬුවම් කිරීම පෙන්වන්නේ මියන්මාරය තුල ප‍්‍රකාශනයේ නිදහස ඇදවැටී ඇති තරමයි. මේ චූදිතයෝ හෘද සාක්ෂියේ සිරකරුවෝ වෙති. ඔවුහු දැනටමත් මාස හයක් රිමාන්ඩ් සිරභාරයේ සිට ඇත්තාහ. එයට හේතුව වන්නේ බලධාරීන් ඉතාම මෘදු විවේචන පවා ඉවසීමට නොහැකි අයවලුන් වීමයි.

අවුරුදු පනහක් තිස්සේ පවතින හමුදා පාලනය, 1989 දී ඇති වූ මහජන නැගිටීම මැඩලීමෙන් පසු, තංග්යාත් ප‍්‍රදර්ශන සම්පූර්නයෙන් ම තහනම් කරන ලදී. එහෙත් 2013 සිට සමාජ දේශපාලන අරගල පැතිර යෑම මධ්‍යයේ ඒවාට නැවත අවසර දීමට පාලකයින්ට සිදු විය.

හමුදා පාලනයට අභියෝගීව සංස්කෘතික ක්ෂේත‍්‍රය තුල විරෝධතා ව්‍යාපාර වර්ධනය වෙමින් පවති. දැන් අලූත් අවුරුදු මෙන් ම වෙනත් උත්සවවල දී ද ඉදිරිපත් කෙරෙන අභිවහනවලට ප්‍රේක්ෂකයින් ලක්ෂ ගනනක් සහභාගි වෙති. නාට්‍යකරුවෝ දහස් ගනනක් නව නිර්මාන ඉදිරිපත් කරති. ඔවුහු තම පිටපත් රාජ්‍ය කමිටුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම ප‍්‍රතික්ෂේප කරන අතර, සමහර නාට්‍ය තුල දී වාරනයට එරෙහි සටන්පාඨ කීම ද වර්ධනය වී තිබේ.

කලින් රටින් පැන යාමට සිදු වූ සමහර නාට්‍යකරුවෝ තම රංගනයන් රට තුලට එවන සංයුක්ත තැටි (සීඩී) මගින් ප‍්‍රචාරය කරති. ඉන් එක් අයෙක් වන සලායි කවුං මියාන් මිං වසර 20ක් තුල නව දිල්ලියේ සිටිමින් ඒවා නීති විරෝධීව රට තුලට එවීය.

දිග්ගැස්සුනු මහජන නැගිටීම්වල නායකත්වයට පැනගෙන මැතිවරනය ජයගත් ඕං සාං සූකී බලයට පත් වූ පසු දඬුවම් ලැබූ ප‍්‍රථමයා වූයේ මවුං සවුං ඛා නමැති තරුනයා ය. ජනාධිපතිගේ රූපය තම පුරුෂ ලිංගය මතු පිට පච්ච කොටා ඇති බවත් විවාහයෙන් පසු ඔහුගේ බිරිඳ එය දැක දැඩි කම්පනයකට පත් වූ බවත් කියැවෙන කෙටි කවියක් ෆෙස්බුක්හි පල කිරීම නිසා ඔහු විදුලි සංනිවේදන නීතිය මත අත් අඩංගුවට ගෙන හයමසක් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමෙන් පසුව නඩු පවරා හය මසක සිර දඬුවමක් දෙන ලදී. ඔහු තීන්දුව අභියෝගාත්මක ව විවේචනය කලේ ය.

මාධ්‍යවේදීන් සහ අන් ක්‍රියාධරයින් සිය ගනනක් මෙම නීති මත දඬුවම් ලැබ සිටිති. රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන වා ලෝන් සහ කියා වූ සූ ඌ අධිරාජ්‍යවාදී යුගයේ පනවනු ලැබූ රාජ්‍ය රහස් පනත යටතේ සත් අවුරුදු සිර දඬුවමකට ලක් කෙරී ඇත. අක්මාවේ පිලිකාවක් සඳහා ප‍්‍රධාන ශල්‍ය කර්මයකට භාජනය වූ මින් හ්මින් කෝ කෝ ගියාට 505 අපරාධ නීතිය මත ම හමුදාව දේශපාලනයෙහි යෙදීම මුහුනුපොතින් විවේචනය කිරීම ගැන වසරකට සිර දඬුවම් දී ඇත. තවත් ගනනාවකට එවැනි සිර දඬුවම් ලැබිනි. රසායනික ආයුධ නිෂ්පාදනාගාරයක් තැනෙන බව වාර්තා කල මාධ්‍යවේදීන් හය දෙනෙක් 2014 දී අවුරුදු 10 බැගින් සිරගත කරන ලදහ.

සමාජයේ ප‍්‍රාථමික සංස්කෘතික භාවිතයන් අපරාධකරනය කිරීම සහ මැර කල්ලි, ආගමික බුද්ධිවිරෝධවාදය සහ ඥානශ්‍රැතතාව, ජන ඝාතන සහ යුද්ධ මත තම පාලනය රැඳවීම මියන්මාරයේ පමනක් නොව දකුනු ආසියාවේ සියලු පාලන තන්ත‍්‍රයන්ට පොදු වූ පිලිවෙතකි. මෙම පිලිවෙත යටතේ ඉන්දියාව තුල පමනක් මැර කන්ඩායම් යොදා කෙරුනු ඝාතන සහ සාපරාධී ප‍්‍රහාරයන් සිය ගනනක් සිදුවී තිබේ. ලංකාව තුල ශක්තික සත්කුමාර සහ මාලක දේවප‍්‍රිය යන කලාකරුවන්ගෙන් ආරම්භ කරමින් දියත් කෙරී ඇත්තේ ද මෙම පිලිවෙතමය.

මෙම ධනේශ්වර තන්ත‍්‍රයන්, කලාවට එරෙහිව සමාජය මත නිර්ලජ්ජිතව පටවන්නා වූ ආධිපත්‍යය, මානුෂික උත්තමභාවය සහ ගෞරවය සඳහා කලාව මගින් කෙරෙන ප‍්‍රදානයන් වනසා දමමින් උසස් නිර්මානයන් කිරීමේ හැකියාවන් කලාකරුවන්ට ලබා දෙන තත්ත්වය විනාශ කරයි. කලා කෘතීන් පමනක් නොව සුවිශේෂ කලාත්මක පෞරුෂය ද නිග‍්‍රහයට පත් කෙරෙයි.

මෙම මිලිටරි විරෝධී කලා ප‍්‍රවනතා ගැඹුරුවන රැඩිකලීකරනයක පිලිබිඹුවකි. එම රංගන සම්ප‍්‍රදාය අභිරූපන කලාව සමග සම්මිශ‍්‍රන වෙමින් රංගනය, ලේඛනය, තරගකාරිත්වය සහ ප්‍රේක්ෂක සහභාගිත්වය අන්තර්ගත කර ගනියි. රංගනය අතරතුර කෘතියක් වර්නනා කිරීමේ මෙන් ම ප‍්‍රතික්ෂේප කිරීමේ අවසරයද ප්‍රේක්ෂකාගාරය සතුවෙයි.

සාම්ප‍්‍රදායික කලා රූපයන්හි පවතින සමහර සීමාවන් ඉක්මවා යන මෙම මාධ්‍යය ස්වභාවයෙන්ම කැරලිකාරී ස්වරූපයක් ගනියි. එය පිටපතක් අනුව නොයමින් ස්ථානය සහ කාලය නිදහස් ලෙස හසුරුවයි. මෙම නාට්‍ය 1980 ගනන්වල දී චිකාගෝ නුවරින් ඇරඹීමෙන් පසු පලල් ව්‍යාපාරයක් බවට පත්ව ඇති “ස්ලෑම් පොයට්‍රි” (ප‍්‍රහාරක කවි) නමැති කවි කීමේ සම්ප‍්‍රදායට විචාරකයින් විසින් සමාන කෙරී ඇත. අධිරාජ්‍ය විරෝධි ජාතික සටන තුල ලංකාවේ ද ඉන්දියාවේ ද වර්ධනය වූ දේශීය කලා ව්‍යාපාරද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වභාවය මූලික ලක්ෂනය කර ගත්තාවූ කලාපීය ජන සම්ප‍්‍රදායක කොටස් වෙති.

මරනීය අර්බුදයකට වැටී සිටින හමුදා පාලනයට එරෙහි මහජන ව්‍යාපාරය පීලි පන්නවන ලද්දේ ඕං සාං සූකීගේ ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පය තුලිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පොරොන්දු දෙමින් බලයට තල්ලු වූ වහාම ඇය මිලිටරි පාලනයට සහාය දීම ඇරඹුවාය. මුස්ලිම් රෝහින්ග්‍යා ජන කන්ඩායමේ හත්ලක්ෂ තිස්දාහක් අසල්වැසි බංග්ලාදේශයට පලවා හැරීමටත් පක්ෂ වූ ඇය කලාකරුවන් මර්දනයට උදව් දෙන්නීය.

නිල වශයෙන් පිලිගැනුනු 100 කට වැඩි වාර්ගික කන්ඩායම් සංඛ්‍යාවක් වසන්නාවූ මියන්මාරය තුල වර්ගවාදය සහ ආගම්වාදය ඇවිස්සීම, සමාජ අසමානතාවය ආරක්ෂා කර ගැනීම සදහාත් වැඩී එන රැඩිකලීකරනය ලේ විලක ගිල්වීම සඳහාත් ධනපති පන්තියට අත්‍යාවශ්‍ය මූලෝපායකි. මියන්මාරයේ ආදායම් පරතරය ලෝකයේ ඉහලම එකකි. කම්කරු බලකායෙන් කොටසක් දරුනු සූරාකෑමේ කොන්දේසි යටතේ තායිලන්තය තුල සංක්‍රමනිකයින් ලෙස සේවය කරති. මෙම ඛේදවාචකයේ මූලික ඓතිහාසික නිර්මාතෘවරුන් වන්නේ අධිරාජ්‍යවාදය සහ ඊට ගැති ධනේශ්වරයයි.

දෙවන ලෝක යුද්ධය මියන්මාරයේ ආර්ථිකය විනාශ කලේය. ජපන් සහ බ්‍රිතාන්‍ය ආක්‍රමනකාරී යුද්ධයේ ප‍්‍රධාන යුදපිටියක් වූ බුරුමය (මියන්මාරය) 1942 දී ජපානය විසින් ආක්‍රමනය කරද්දී බ්‍රිතාන්‍ය පාලකයින් පසු බැස්සේ ආර්ථිකය විනාශ කරමිනි. මියන්මාර ධනපතියෝ බ්‍රිතාන්‍යට විරුද්ධව ජපානයට සහයෝගය දැක්වූහ.

බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ආන්ඩු 1942 දී රට නැවත අල්ලා ගත් අතර. යුද්ධයෙන් රට තුල දෙලක්ෂයකට ආසන්න පිරිසක් මිය ගියහ. 1948 දී බ්‍රිතාන්‍යයන් ජාතික ධනේශ්වරයට බලය මාරු කලහ. ගතවූ දශක හතකට වැඩි කාලය තුල සෑම අතින්ම සනාථව ඇත්තේ මියන්මාර ධනපති පන්තිය ජාතික නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරනත්වය තහවුරු කිරීමට උපතින් ම අසමත් බවයි.

Share this article: