විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ්ට ලැබෙන සහයෝගය පුලු‍ල්වීම

Groundswell of support for WikiLeaks publisher Julian Assange

2019 නොවැම්බර් 30

වෛද්‍යවරු, මාධ්‍යවේදීන්, දේශපාලනඥයන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් ඇතුලු බ්‍රිතාන්‍යයේ, යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙලේ ප්‍රසිද්ධ පුද්ගලයින් විකිලීක්ස් නිර්මාතෘවරයා එක්සත් රාජධානියේ උපරිම ආරක්ෂිත බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ සිරගත කිරීම හෙලා දැක තිබේ. සත්‍යය ප්‍රකාශයට පත් කිරීම නිසා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය හැකි ඔත්තු බැලීමේ චෝදනාවලට ලක්ව සිටින එක්සත් ජනපදයට ඔහුව පිටුවහල් කිරීමේ උත්සාහය නතර කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

ඔවුන්ගේ ප්‍රකාශයන් සහ අසාන්ජ්ගේ ආරක්ෂාව පිලිබඳව වූ වැදගත් සිදුවීම් ගනනාවකින් ආන්ඩු, ලොව පුරා නිල දේශපාලන පක්ෂ සහ සංගත මාධ්‍ය විසින් බලාත්මක කරන ලැබ තිබෙන ඔහුව ලක් කල හිංසනය වටා ඇති නිහඬතාවයේ කුමන්ත්‍රනයට වැදුන ප්‍රහාරය අවශ්‍යම වූවකි.

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ බැල්කනියේ සිට ආධාරකරුවන්ට සුබ පතයි. ( ඡායාරූපය / ෆ්‍රෑන්ක් ඔග්ස්ටයින්, ගොනුව) (AP Photo/Frank Augstein, File)

අසාන්ජ්ට එරෙහිව එක්සත් ජනපදය මෙහෙයවන බද්ධ වෛරයට එරෙහි විරුද්ධත්වය ප්‍රකාශයට පත්වීම ලබන පෙබරවාරි මාසයේ එක්සත් රාජධානියේදී ඔහුව උදර්පනය කිරීමේ නඩු විභාගය එලඹෙමින් තිබිය දී පැමිනේ. බි්‍රතාන්‍ය බලධාරීන් ඔහුට විත්ති වාචකයක් පිලියෙල කර ගැනීමේ අයිතිය ද ඇතුලුව අසාන්ජ්ගේ නීතිමය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පාගා දමා ඇති අතර සිරගෙදර දී මිය යා හැකි තරමට ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහී ඇති බවට කල වෛද්‍ය විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් ද නිෂ්ප්‍රභා කර තිබේ.

අසාන්ජ්ට ලැබෙන සහයෝගය ඉහල යද්දී අවසානයේ ස්වීඩන් චෝදකයන් පසුගිය සතියේ ලිංගික විෂමාචාර චෝදනා පිලිබඳ වසර නවයක “මූලික පරීක්ෂනය” අත්හැර දැමීමත් සමඟ ඔහු “ස්ත්‍රී දූෂකයෙකු” ලෙස හංවඩු ගැසීමට ගත් උත්සාහයන් ද නින්දිත ලෙස බිඳ වැටුනි.

ව්‍යාජ ස්වීඩන් විමර්ශනය, අයුතු පටිපාටික ක්‍රමවේදයන් සහ නියමිත ක්‍රියාවලීන් උල්ලංඝනය කිරීම් වලින් සංලක්ෂිතවූ අතර, 2010 දී අසාන්ජ් භුක්ති විඳි මහජන සහයෝගය අඩපන කිරීමේ දී එය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කලේය. එය ගනන් කල නොහැකි තරම් ව්‍යාජ වාම සංවිධාන, මාධ්‍ය පන්ඩිතයන් සහ සිවිල් සංවිධාන යයි තමන් ම කියාගන්නා උදවියට අසාන්ජ්ට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ වීමට හෝ ඔහු ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීම සාධාරනීකරනය කිරීමට මග පෑදීය.

කෙසේ වෙතත්, දැන් මිලියන ගනනක ජනයාට පැහැදිලි වන්නේ අසාන්ජ් එදත් අදත් දේශපාලන සිරකරුවෙකු බව ය. එක්සත් ජනපද රජය සහ එහි සහචරයින්ට අනුව ඔහුගේ “අපරාධය” වූයේ ඔවුන්ගේ යුද අපරාධ, ගෝලීය රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රන සහ බිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන නිරීක්ෂන මෙහෙයුම් හෙලි කරන ඓතිහාසික වැදගත්කමක් ඇති ලේඛන ප්‍රසිද්ධියට පත් කිරීමයි.

ඔහුට එරෙහිව නඩු පැවරීමට එක්සත් ජනපදය ගත් උත්සාහය, මාධ්‍ය නිදහසට සහ කතා කිරීමේ නිදහසට පහරදීමක් සඳහා දිය දොර විවර කර දී ඇති අතර, “අසාන්ජ් පූර්වාදර්ශය” සමඟ ප්‍රන්සයේ, ඕස්ටේ්‍රලියාවේ සහ එක්සත් ජනපදයේ මාධ්‍යවේදීන්ට එරෙහිව ආන්ඩුවෙන් ප්‍රහාර එල්ල කිරීමට පෙලඹුනි.

මෙම සාධක පහත සඳහන් වැදගත් වර්ධනයන් සඳහා දායක වී ඇත:

* පසුගිය සති අන්තයේ ප්‍රවීන වෛද්‍යවරුන් 60 කට වැඩි පිරිසක් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් වෙත විවෘත ලිපියක් නිකුත් කරමින් අනතුරු ඇඟවූයේ හදිසි පියවර නොගතහොත් අසාන්ජ් බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ මිය යා හැකි බවයි. අසාන්ජ්ට බි්‍රතාන්‍යය ප්‍රමානවත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හෙලා දුටු වෛද්‍යවරු ඔහුව වහාම විශ්ව විද්‍යාල ශික්ෂන රෝහලකට ගෙන යන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන්ගේ මුල් පියවර තැබීම ලොව පුරා ප්‍රකාශන දුසිම් ගනනාවක වාර්තා විය.

* සඳුදා, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකොලොස් දෙනෙකුගෙන් යුත් මිශ්‍ර පාර්ලිමේන්තු කන්ඩායමක සමාරම්භක රැස්වීමේ දී එක්සත් ජනපදයට පිටුවහල් කිරීමේ ඉල්ලීම අත්හැර දැමීමට සහ අසාන්ජ්ට “ඕස්ටේ්‍රලියාවට ආපසු යාමට අවසර දෙන ලෙසට” බලපෑම් කිරීමට ඒකමතිකව තීරනය විය. මෙම ප්‍රකාශය මෙම කන්ඩායම නියෝජනය කරන අය ද ඇතුලු‍ව සියලු‍ ම නිල ඕස්ටේ්‍රලියානු දේශපාලන පක්ෂ විසින් අසාන්ජ් පිලිබඳ වසර ගනනාවක් පවත්වාගෙන ගිය නිහඬ තාවය බිඳදැමීය. හිටපු ඕස්ටේ්‍රලියානු අගමැති කෙවින් රඞ් ද එක්සත් ජනපදයට අසාන්ජ්ව පිටුවහල් කිරීම “පිලිගත නොහැකි” බවට අනතුරු ඇඟවීය.

* බදාදා ප්‍රන්ස මාධ්‍යවේදීන්ගේ සංගමය අසාන්ජ්ව හිංසනයට ලක්කිරීමට විරුද්ධ වන ලෙස එම්මානුවෙල් මැක්‍රොන් රජයට ආයාචනයක් කලේය.

* එදින ම බර්ලිනයේ බ්‍රැන්ඩන්බර්ග් ගේට්ටුවෙන් පිටත අසාන්ජ් සහ ධෛර්ය සම්පන්න විස්ල්-බ්ලූවර්වරුන් (අකටයුතු හෙලිකරන්නන්) වන චෙල්සි මැනිං සහ එඞ්වඞ් ස්නෝඩන් ගේ පිලිරූ නිරාවරනය කරන ලදී. වධහිංසා පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ සබඳතාකරු නිල්ස් මෙල්සර් ඔවුන්ව විස්තර කලේ “අපගේ වෙනස් මත දරන්නන්” ලෙසට සහ ඔවුන්ගේ නඩු “බටහිර නීතියේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වසනීයත්වය පිලිබඳව අපගේ කාලයේ වැදගත්ම පරීක්ෂනයයි” යනුවෙනි. මෙල්සර් අසාන්ජ්ගේ පියා වන ජෝන් ෂිප්ටන් සහ විකිලීක්ස් කර්තෘ ක්‍රිස්ටින් දී හ්රාෆ්සන් සමඟ ජර්මානු බුන්ඩෙස්ටැග් හි පැවති උත්සවයක කතා කල අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගනනාවක් ඔවුන්ව උනුසුම් ලෙස පිලිගත්තේය.

* බ්‍රහස්පතින්දා ලන්ඩනයේ පැවති සෙනග පිරී ඉතිරී ගිය ප්‍රසිද්ධ රැස්වීමක දී පිරිස අසාන්ජ්ට සහයෝගය දැක්වූහ. එය අමතනු ලැබුවේ සුප්‍රසිද්ධ ගවේෂනාත්මක මාධ්‍යවේදියෙකු වන ජෝන් පිල්ගර්, හිටපු බ්‍රිතාන්‍ය තානාපති ක්‍රේග් මරේ සහ ජනප්‍රිය රැප් ගායක ලෝකි ඇතුලු අසාන්ජ් ආරක්ෂා කිරීමට එක්වූ අනෙකුත් අය විසිනි.

* එදින සවස, ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ මාධ්‍ය උලෙල වන වෝක්ලි සම්මාන උලෙලේ ප්‍රධාන දේශනයේ දී අසාන්ජ්ව ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිලිබඳව ප්‍රකට ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදී කෙරී ඕ බ්‍රයන් දැඩි ලෙස කතා කලේය.

මාධ්‍ය නිදහසට එරෙහි ප්‍රහාරවලින් හෙලි වන “ෆැසිස්ට්වාදය” දෙසට හැරීම ගැන ඕ බ්‍රයන් අනතුරු ඇඟවීය. ඔහු රැස්ව සිටි පිරිසට මෙසේ පැවසීය: “අපි අද රාත්‍රියේ මෙහි වාඩි වී සිටින විට, ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට පිටුවහල් කිරීම බලාපොරොත්තුවෙන් බි්‍රතාන්‍ය බන්ධනාගාරයක විඳවමින් සිටී. ඔහුව ඕස්ටේ්‍රලියාවට නැවත ගෙන්වා ගැනීම පිනිස තම සමීපතම සගයා සමඟ ඇති සැලකිය යුතු බලපෑම යොදා ගනිමින් නිදහස් මාධ්‍යයක් සඳහා වූ තම කැපවීම මෙම ආන්ඩුවට පෙන්විය හැකිය.”

එක්සත් ජනපදය ඔහුට එරෙහිව නඩු පැවරීමට උත්සාහ කරන ප්‍රකාශන සඳහාම 2011 වෝක්ලි රන් සම්මානය අසාන්ජ්ට ලැබුනු බව ඕ‘බ්‍රයන් සිහිපත් කලේ විකිලීක්ස් නිර්මාතෘවරයා වෙත පිටුපස හැරවූ එම මාධ්‍ය සංවිධාන නිසැක හෙලාදැකීමක් ලෙසය. තම වෘත්තීය සමිතියේ සාමාජිකයෙකු ද වන අසාන්ජ්ගේ ආරක්ෂාව සඳහා කිසිදු සැලකිය යුතු උද්ඝෝෂනයක් දියත් කිරීමට මේ දක්වා අපොහොසත් වී ඇති මාධ්‍ය, විනෝදාස්වාද හා කලා සන්ධානයේ ප්‍රධානී පෝල් මර්ෆි ද පිටුවහල් කිරීමේ තර්ජනය හෙලා දුටුවේය.

මෙම වැදගත් ප්‍රකාශයන්ට යටින් සාමාන්‍ය ජනයා අතර අසාන්ජ්ට ඇති පුලුල් සහයෝගය සහ පිටුවහල් කිරීමේ තර්ජනය පිලිබඳ පුලුල් මහජන කෝපය හා කනස්සල්ල, ඔහුගේ නිදහස ඉල්ලා සිටින පෙත්සමට සිය දහස් ගනනක් විසින් අත්සන් තැබීම මගින් අනාවරනය වේ.

කෙසේවෙතත්, අසාන්ජ්ගේ නිදහස සුරක්ෂිත කිරීම සඳහා මැදිහත් විය හැකි දේශපාලන පක්ෂ එක්කෝ නිහඬව සිටී නැතිනම් ඔහුව ආරක්ෂා කරන ලෙස කරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ. මෙයට ඇතුලත් වන්නේ මහ මැතිවරන ව්‍යාපාරයක් අතරතුර විකිලීක්ස් නිර්මාතෘවරයා ගැන සඳහනක් පවා නොකල ජෙරමි කෝබින්ගේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සහ ඔහු ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වුව ද අසාන්ජ්ට එරෙහි උද්ඝෝෂනයට සහභාගී ව සිටින ඕස්ට්‍රේලියානු ආන්ඩුව ය.

ඔවුන්ගේ පැත්තෙන්, ව්‍යාජ වාම සංවිධාන, රාජ්‍ය බලධාරීන්ගෙන් නායකත්වය ගෙන ඉහල මධ්‍යම පන්තියේ වඩාත් ධනවත් ස්ථර නියෝජනය කරමින් මේ ගැන කිසිවක් පවසා නැත.

තිරය පිටුපස, අසාන්ජ්ට එරෙහි උද්ඝෝෂනයේ පෙරමුන ගෙන සිටින ඔත්තු අංශ සහ රජයයන්, ඔහු පිටුවහල් කිරීම හා ව්‍යාජ නඩු විභාගයට කිසිවකින් අවහිර නොවීමට හැකි සෑම දෙයක්ම කරති. පාලක ප්‍රභූන් ට අසාන්ජ්ට එරෙහි ප්‍රහාරය රජයේ විවේචකයන් නිහඬ කිරීම, යුද විරෝධී හැඟීම් යටපත් කිරීම සහ දැවැන්ත සමාජ හා දේශපාලන විරුද්ධත්වය බිය ගැන්වීමේ තීරනාත්මක පූර්වාදර්ශයක් වෙයි.

පසුගිය මාස 18 තුල, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානාත්මතා පක්ෂ අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා ඔවුන් දශක ගනනාවක් තිස්සේ පැවැත්වූ උද්ඝෝෂනය තීව්‍ර කර තිබේ. පසුගිය සතියේ වර්ධනයන් මෙම අරගලයේ ප්‍රධාන දේශපාලන පදනම් සනාථ කර තිබේ.

ඒකාධිපතිවාදය දෙසට වන ජාත්‍යන්තර තල්ලු‍වක තුඩග වන අසාන්ජ් හිංසනයට ලක්කිරීමෙන් ඔහුව ආරක්ෂා කිරීමේ සටන ගෝලීය පරිමානයෙන් සිදු විය යුතු බව ඔවුහු පෙන්වා දී ඇත. ජනමාධ්‍යවේදීන්, වෛද්‍යවරුන්, කලාකරුවන් සහ බුද්ධිමතුන් ඇතුලු ප්‍රතිපත්තිගරුක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්නන් බලමුලු‍ ගැන්වීම ඒ සඳහා අවශ්‍ය වේ.

සියල්ලටත් වඩා, උද්ඝෝෂනය පදනම් විය යුත්තේ සියලු‍ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන අධිෂ්ඨාන සහගත ප්‍රහාරයන් ඔවුන්ගේ අවශ්‍යතාවන්ගෙන් වෙන් කල නොහැකිවූත් ජනගහනයෙන් අති බහුතරයවූත් සහ බලගතු සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය මත ය. ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, එක්සත් ජනපදයට පිටුවහල් කිරීම අවහිර කිරීමට සහ ඔහුගේ නිදහස ලබා දීමට බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ බලධාරීන්ට බල කෙරෙනු ඇත්තේ අසාන්ජ් වෙනුවෙන් මහජන සහයෝගය ක්‍රියාවට නැංවීමෙන් පමනි.

පෙබරවාරි මාසයේ පිටුවහල් කිරීමේ නඩු විභාගයට පෙරාතුව මෙම සටන තීව්‍ර කිරීම ඉතා වැදගත්ය. ලොසවෙඅ විසින් සියලුම කම්කරුවන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්නන්ට ආයාචනා කරන්නේ:

* අසාන්ජ්ගේ ජීවිතයට ආසන්නයේ පවතින තර්ජනය සහ සමස්ත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ඇතිවිය හැකි අන්තරායන් සාකච්ඡා කිරීම සඳහා ඔබේ සේවා ස්ථානය, විද්‍යාලය, විශ්ව විද්‍යාලය හෝ පාසල තුල රැස්වීම් පවත්වන්න.

* ඔහුව වහාම නිදහස් කිරීම සහ ඔහු එක්සත් ජනපදයට පිටුවහල් කිරීම වලක්වන ලෙස ඉල්ලා යෝජනා සම්මත කරන්න.

* පෙබරවාරි මාසයේ කැඳවා ඇති ගෝලීය උද්ඝෝෂන සඳහා නියෝජිතයින් සංවිධානය කිරීම. එක්සත් රාජධානියේ දුම්රිය හා තැපැල් සේවකයින්, එක්සත් ජනපදයේ, ජර්මනියේ සහ වෙනත් තැන්වල මෝටර් රථ හිමියන් සහ ජාත්‍යන්තරව පන්ති සටන්වලට පිවිසෙන මිලියන සංඛ්‍යාත පිරිස ඇතුලුව දැන් අරගලයේ යෙදී සිටින කම්කරු කොටස්වලට විශේෂ ආයාචනයක් කරන්න.

ජූලියන් අසාන්ජ් සහ සියලු‍ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ මෙම තීරනාත්මක සටනට සහභාගී වීමට අදම අප හා සම්බන්ධ වන්න.

ඔස්කාර් ග්‍රෙන්ෆෙල්

Share this article: