වැඩ තීව්‍ර කිරීමට එරෙහි ව හා වැඩි වැටුප් ඉල්ලමින් වතු කම්කරුවන් දහස් ගනනක් වර්ජනය කරති

එම්. දේවරාජා සහ කේ. කාන්දීපන් විසිනි, 2019 දෙසැම්බර් 5

ඵලදායිතාව ඉහල දැමීමට සමාගම් දරන උත්සාහයන් ප්‍රතික්ෂේප කරමින් හා වතු කිහිපයක් විසින් පොරොන්දු වූ පරිදි වැටුප් වැඩි නො කිරීමට විරෝධය පලකරමින් ශ්‍රී ලංකාවේ වතු කම්කරුවෝ දහස් ගනනක් පසුගිය සතියේ වැඩ වර්ජනය කල හ.

ඵලදායිතාව ඉහල දැමීමේ කොටසක් ලෙස වතු කලමනාකාරීත්වය විසින් ඩිජිටල් හැඳුනුම්පතක් හා විද්‍යුත් කිරුම් යන්ත්‍රයක් හඳුන්වාදීමට එරෙහි ව හොරන වතු සමාගමට අයත් වතු හතරක 5,000ක පමන කම්කරුවෝ නොවැම්බර් 29දා වැඩ වර්ජනයක් දියත් කල හ.

වතු කාර්ය මන්ඩල සේවක පාගමන

එම වතු හතර වන්නේ, මධ්‍යම වතු දිස්ත්‍රික්කයේ අප්කොට්හි පිහිටි ඕල්ටන්, ගවරවිල, ස්ටොක්හෝම් හා මහනිලු‍ ය. හොරන වතු සමාගම පාලනය කරනු ලබන්නේ හේලීස් සමූහ ව්‍යාපාරය විසිනි.

වතු සමාගම විසින් සකස් කරන ලද ඩිජිටල් හැඳුනුම්පතේ කම්කරුවාගේ විස්තර සහිත සිම් පතක් තිබේ. උදෑසන වැඩට යාමට පෙර කම්කරුවා ඩිජිටල් කිරුම් යන්ත්‍රයට ඇතුලුකොට ඔහුගේ හෝ ඇයගේ දලු‍ නෙලන කාලය තුල ලඟ තබාගත යුතු ය. වැඩ දිනය අවසානයේ, කම්කරුවාගේ චලිතය සටහන් වී ඇති හැඳුනුම්පත යලිත් කිරුම් යන්ත්‍රයට ඇතුලුකල යුතු ය. කම්කරුවාට සම්පූර්න දිනක ගෙවීම ලැබෙන්නේ තේ දලු‍ කිලෝ 18ක් හෝ ඊට වැඩියෙන් නිෂ්පාදනය කල හැකි නම් පමනි. කම්කරුවා එම ඉලක්කය සැපිරීමට අපොහොසත් වුවහොත් ඔහුට ලැබෙන්නේ දින බාගයක වැටුපක් පමනි.

හැඳුනුම්පත සකස් කිරීම සඳහා සමාගමේ පරිපාලනය දැනට මත් රුපියල් 5,000ක් කම්කරුවන්ගෙන් කපාගෙන ඇත. මෙම ක්‍රමය හඳුන්වා දෙනු ලැබ ඇත්තේ කිසිදු විවේකයක් නො ලබා වැඩ කිරීම පිනිස කම්කරුවාට බලකිරීමට ය.

නව ඩිජිටල් ක්‍රමය ඔක්තෝබර් මාසයේ හඳුන්වා දුන් විට ඕල්ටන් වත්තේ කම්කරුවෝ වැඩ වැරූ නමුත් ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) හා ජාතික කම්කරු සමිතියේ (එන්යූඩබ්ලිව්) සමිති නිලධරයෝ මෙය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරන ලෙස සමාගමෙන් ඉල්ලා සිටිමින් ජනාධිපතිවරනය අවසන් වන තෙක් සිටින ලෙස කම්කරුවන්ට කී හ. සීඩබ්ලිව්සී හා එන්යූඩබ්ලිව් පිලිවෙලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ගෝඨාභය රාජපක්ෂ හා එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සජිත් ප්‍රේමදාස යන ජනාධිපති අපේක්ෂකයන් සමග පෙලගැසී තිබුනි.

හැඳුනුම්පත් ක්‍රමය තාවකාලික ව නතර කල සමාගම නොවැම්බර් 29දා එය යලි හඳුන්වා දුන්නේ ය. කම්කරුවෝ ක්ෂනික ව වැඩ වර්ජනය කල හ. මෙම ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමට ප්‍රාදේශීය සමිති නිලධාරීන් සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් මුනගැසුනු විට, මෙම නව ක්‍රමය හඳුන්වා දීම සඳහා තමන් සමාගම සමග ගිවිසුමකට එලඹ ඇති බව කී ඔහු එය පිලිගන්නා ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය.

මෙය අනාවරනය කරන්නේ සූරාකෑම තීව්‍ර කිරීම සඳහා තොන්ඩමන් සමාගම සමග ද්‍රෝහී රහස් කාමර ගනුදෙනුවක නිරත වී ඇති බව යි. ඔහු ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුවේ කැබිනට් ඇමතියෙකි. ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල කම්කරුවෝ වර්ජනය දිගට ම පවත්වාගෙන ගිය හ.

නොවැම්බර් 29දා ඕල්ටන් වත්තේ සීඩබ්ලිව්සී ප්‍රාදේශීය නායක පෙරුමාල් රානීගේ නිවසට පැමිනි මස්කෙලිය පොලීසිය, ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කල හ. කෝපයට පත් කම්කරුවන් ඔහුව අත්අඩංගුවට ගැනීම වැලක්වී ය. ඊලඟ දිනයේ පොලීසියට පැමිනෙන ලෙස රානීට දැන්වූ පොලීසිය ආපසු ගිය හ. නොවැම්බර් 30දා පොලීසියට ගිය රානී වර්ජනය පිලිබඳ ප්‍රකාශයක් දුන්නේ ය. තොන්ඩමන්ගේ ක්‍රියාවන්ට විරෝධය පලකරමින් රානී වෘත්තීය සමිතියෙන් ඉල්ලා අස් වී ඇත.

දෙසැම්බර් 2දා එන්යූඩබ්ලිව් ප්‍රාදේශීය නායකයෝ ඩිජිටල් හැඳුනුම්පත නො පැලඳ පැරනි ක්‍රමයට වැඩකරන ලෙස කම්කරුවන්ට උපදෙස් දුන්හ. ඒ අනුව කම්කරුවන් දෙසැම්බර් 3දා වැඩට ගිය ද දිනය අවසානයේ දී ඔවුන් නෙලූ දලු‍ බාරගැනීම කලමනාකාරීත්වය ප්‍රතික්ෂේප කලේ ය. එන්යූඩබ්ලිව් ප්‍රාදේශීය නායක ජෙය බාලන් මෙම ක්‍රමය පසුව කම්කරුවන්ට වෙනස් කල හැකි බව ඒත්තු ගැන්වීමට උත්සාහ කලේ, වැඩට යන ලෙස ඔවුන්ගෙන් ඉල්ලමිනි. කෝපයට පත් කම්කරුවෝ ඔහු සමග වාද කල හ. ඊලඟට ගන්නා ක්‍රියාමාර්ගය දෙසැම්බර් 4දා තීරනය කරන බව කම්කරුවෝ කී හ.

වතු කම්කරුවන්ගේ විරෝධතාව

ඕල්ටන් වත්තේ කාන්තා කම්කරුවෙක් ලෝසවෙඅ වාර්තාකරුවන්ට මෙසේ කීවා ය: “මෙම නව ක්‍රමය අපේ අනුදැනුමක් නැතුව ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම අත්සන් කිරීමට තොන්ඩමන්ට අයිතිය දුන්නෙ කවුද? මේ වෘත්තීය සමිති නායකයන් අප ව විකුනලා දාල. මෙම ක්‍රමය දික්ඔය ෆෝඩයිස් වත්තෙ, බතලගල වත්තෙ හඳුන්වා දුන්නා. ඒ කම්කරුවො අපට කිවුවෙ මෙය පිලි නො ගන්නා ලෙස යි. ඒත් තොන්ඩමන් අපෙන් මෙම ක්‍රමය පිලිගන්න කියල ඉල්ලනව. එහෙම නැත්නම් රස්සාවක් නැතුව අපට මැරෙන්න වෙයි ලු‍.”

සාමූහික ගිවිසුමේ සඳහන් කර ඇති වැටුප් වැඩිකිරීම ඉල්ලමින් මස්කෙලිය, කෑගල්ල හා නමුනුකුල වතු සමාගම්වල කාර්ය මන්ඩලයේ 1,500ක් පමන දෙනා නොවැම්බර් 26දා සිට තවත් වැඩ වර්ජනයක් දියත් කල හ. වර්ජිත කාර්ය මන්ඩලයට කාර්යාල සේවකයන්, ක්ෂේත්‍ර නිලධාරීන්, වතු බෙහෙත්ශාලාවල වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කම්කරුවන්, ලොරි රියැදුරන්, තාක්ෂනික නිලධාරීන් හා සුලු‍ සේවකයන් අයත් වේ. විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සමග සහයෝගී වෘත්තීය සමිති නිලධරය වර්ජනය කල්දැමීමට තැත් කල ද කම්කරුවෝ ක්ෂනික වර්ජනයක් ඉල්ලා සිටිය හ.

එම කම්කරුවන්ගේ වැටුප් සියයට 25කින් වැඩිකිරීමට ඔක්තෝබර් 1දා හාම්පුතුන්ගේ සම්මේලනය ලංකා වතු සේවක සංගමය (සීඊඑස්යූ) සමග සාමූහික ගිවිසුමක් අත්සන් කල ද වතු සමාගම් කම්කරුවන්ගේ මූලික වැටුපට මෙම වැඩිකිරීම එකතු කර නැත. සමාගම් මෙය ලබා දී ඇත්තේ, ඕනෑම අවස්ථාවක නතර කල හැකි දීමනාවක් ලෙස ය.

සමාගමේ තීරනයට එරෙහි ව විරෝධය පලකරමින් කිලෝමීටර තුනක් ගෙවා මස්කෙලිය නගරයට පැමිනි බ්රුන්ස්වික් වත්තේ සේවකයන් 300ක් පමන විරෝධතාවක් පැවැත්වූ හ. විරෝධතාව නැවැත්වීමට පොලීසිය දැරූ උත්සාහය ඔවුහු ව්‍යර්ථ කල හ.

සමාගම් සමග සාකච්ඡා පැවැත්වුව ද ඒවා අසාර්ථක වූ බව සීඊඑස්යූ සභාපති චතුර සමරසිංහ කීවේ ය. දෙසැම්බර් 2දා සිට අනෙක් වතුවල කම්කරුවන් ද වැඩ වර්ජනයට එක්වනු ඇති බව ඔහු පාරම්බෑව ද කිසිවක් සිදු නො වී ය. ඒකාබද්ධ ක්‍රියාවක් සඳහා අනෙක් වතුවල කම්කරුවන්ගෙන් ඉල්ලීමක් වත් සමිතිය කර නැත.

සමිති නිලධරයෝ දෙසැම්බර් 3දා කලමනාකාරීත්වය සමග තවත් සාකච්ඡාවක් පැවැත්වුව ද එය ද අසාර්ථක විය. කෝපයට පත් කම්කරුවෝ දිගට ම වර්ජනයේ යෙදී සිටිති. බ්රුන්ස්වික් වත්තේ එක් කාර්ය මන්ඩල සේවකයෙක් ලෝසවෙඅ වෙත මෙසේ කීවේ ය: “වැටුප් වැඩිකිරීම දීමනාවක් ලෙස දීම විශ්‍රාම වැටුප ඉහල යාමට හේතුවෙන්නේ නැහැ.”

ඔහු බ්රුන්ස්වික් වත්තේ සේවයට බැඳී ඇත්තේ ගවරවිල වත්තේ ඊනියා ආදායම් බෙදාගැනීමේ ක්‍රමය ක්‍රියාත්මක කල විට ය. මෙම ක්‍රමය හේතුවෙන් කම්කරුවන් පමනක් නො ව කාර්යාල සේවකයන් ද ගැටලු‍වලට මුහුන පාන බව ඔහු කීවේ ය. මෙම ක්‍රමය යටතේ සෑම කම්කරුවෙකුට ම තේ පඳුරු 1,000ක් පමන බෙදා දෙනු ලැබේ. ඔහු හෝ ඇය හා සමස්ත පවුලට එය නඩත්තු කිරීම පිනිස කැඹිරීමට සිදු වේ. සමාගමේ සැපයුම් පිරිවැය, කාර්යාල නඩත්තුව හා ලාබ කපාගැනීමෙන් පසු කම්කරුවාට ඔහුගේ කොටස ලෙස සොච්චමක් ලැබේ.

කම්කරුවන් බෙදන වෘත්තීය සමිති විවේචනය කල කම්කරුවා, ඒවායින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු තැනීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) කරන යෝජනාව කම්කරුවන්ගේ පොදු අරගලයකට අත්‍යවශ්‍ය බව කීවේ ය. වැඩපොල හා නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට සටන් කරන සසප, සමාජවාදී පිලිවෙත් සඳහා අරගල කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලයි.

සියයට 100ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් පසුගිය දෙසැම්බරයේ පැවති දින 11ක වර්ජනය ඇතුලු‍ අඛන්ඩ අරගලයක ලක්ෂ ගනනක වතු කම්කරුවෝ නිරත වූ හ. එහෙත් අරගලය පාවා දී කම්කරුවන් රුපියල් 30ක සොච්චමකට සීමා කල වෘත්තීය සමිති, ඊනියා “ආදායම් බෙදාගැනීමේ ක්‍රමය” ක්‍රියාත්මක කිරීමට එකඟ වූ හ.

තමන්ගේ වැඩ කොන්දේසි, ආදායම හා අනෙකුත් අයිතීන්ට බලපාන මෙම ක්‍රමයට කම්කරුවන් විරුද්ධ ය. කම්කරුවන්ට විරුද්ධ කාර්මික පොලීසිය බවට පත්ව ඇති වෘත්තීය සමිතිවල සම්පූර්න සහයෝගය සමාගම්වලට ලැබේ.

හේලීස් සමූහ ව්‍යාපාරයේ වැවිලි අංශයේ ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් රාජදුරෙයි සන්ඬේ ඔබ්සවර් පුවත්පතට මෙසේ කීවේ ය: “කලමනාකාරීත්වය මත රඳා සිටින, දීමනා ගැන තකන හා සුභසාධනයට යොමු වූ පහල ඵලදායිතාවක් සමග තනිපුද්ගල ආදායම වැඩිකිරීමේ අඩු විභවයක් හා දෛනික වැටුප් මත රඳන ක්‍රමයක් සහිත වැවිලි මාදිලිය ක්ෂනික ව වෙනස් කිරීම අවශ්‍ය ය.”

ධනයේ සැබෑ නිෂ්පාදකයා වන කම්කරුවා සූරාකමින් තරවන මෙම පරපුටු ධනපති පන්තිය, වෘත්තීය සමිතිවල උදවුවෙන් සූරාකෑම තීව්‍ර කිරීමට අධිෂ්ටානවත් ව සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිනීමෙන් යන්තම් දින දහයකට පසුව පුපුරා ගිය මෙම වතු කම්කරු අරගල, කම්කරු පන්තිය තුල පවතින යෝධ විරෝධය පෙන්නුම් කරයි. මැතිවරනය හුවාදක්වමින් ව්‍යාජ-වාම සංවිධානවල ද උදව්ව සහිත ව වෘත්තීය සමිති වැඩ වර්ජන හා විරෝධතා නවතා දැමූ හ. ඒවා දැන් යලි ඉස්මතු වීමට නියමිත නමුත් පාලක පන්තිය විසින් ප්‍රධාන වසයෙන් ම පන්ති අරගල තලා දැමීමට බලයට ගෙන ආ රාජපක්ෂගේ නව පාලනය යටතේ අන්තරායන්ට මුහුන පායි.

ආන්ඩුවේ හා මහ ව්‍යාපාරිකයේ කාර්මික පොලීසිය බවට පත්ව ඇති වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව පන්ති අරගල වර්ධනය කිරීමට හා තමන්ගේ යුක්ති සහගත අයිතීන් රැකීමට සටන් කිරීම පිනිස ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලයි. සෑම වැඩපොලක ම හා කම්කරු පන්තික නිවහන් ප්‍රදේශයක ම මෙම ක්‍රියාකාරී කමිටු ගොඩනගනු ලැබිය යුතු ය.

මෙම අරගලය සමාජවාදී පිලිවෙත් හා එම පිලිවෙත් ක්‍රියාවට දැමීම පිනිස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම මත පදනම් කරනු ලැබිය යුතු ය. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය සමග බැඳී තිබේ. මෙම ඉදිරිදර්ශනය ඉදිරිපත් කරන සසප සමග එක්වී එම අරගලයට උරදෙන ලෙස ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලයි.

Share this article: