වෘත්තීය සමිති වැඩ වේගවත් කිරීමට එරෙහි කම්කරුවන්ගේ අරගලය පාවාදෙයි

එම්. දේවරාජා විසිනි, 2019 දෙසැම්බර් 19

ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) සහ කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) එකතුවී හොරන වතු සමාගමට අයත් නුවර එලිය දිස්ත්‍රික්කයේ අප්කොට් හි පිහිටි ඕල්ටන්, ගවරවිල, ස්ටොක්හෝම් හා මහනිලු‍‍ වතු හතරක කම්කරුවන් නොවැම්බර් 29දා ආරම්භ කල අඛන්ඩ වැඩ වර්ජනය දෙසැම්බර් 2 නතර කර දැමීය.

කම්කරුවන් වර්ජනයට පිවිසුනේ වැඩ වේගවත් කිරීමේ කොටසක් ලෙස වතු කලමනාකාරීත්වය විසින් විද්‍යුත් හැඳුනුම්පතක් හා කිරුම් යන්ත්‍රයක් හඳුන්වාදීමට විරුද්ධව ය. වර්ජනයට 5,000ක පමන කම්කරුවෝ සහභාගී වුහ.

නව ක්‍රමය යටතේ වැඩ වේගවත් කිරීමක් මෙන් ම කම්කරුවන්ගේ වැටුප් කප්පාදුවක් සිදුවෙයි. මෙම විද්‍යුත් හැඳුනුම් පත මගින් කම්කරුවන්ගේ නිෂ්පාදන ක්‍රියාකාරිත්වය පරීක්ෂාවට ලක් කෙරන අතර තේ දලු‍ කිලෝ 18 නියමිත දෛනික ඉලක්කය සම්පූර්න කිරීමට සමත් නොවෙතොත් ඔවුන්ට ලැබෙන්නේ දින භාගයක වැටුප පමනි.

වෘත්තීය සමිතිවල පීඩනය මත ඔල්ටන්, ගවරවිල සහ මහනිලු‍ වතු වල කම්කරුවන් දෙසැම්බර් 2 වර්ජනය නතර කර අකමැත්තෙන් ආපසු වැඩට ගිය නමුත් ස්ටොක්හෝම් වත්තේ කම්කරුවන් දෙසැම්බර් 4 දක්වා වර්ජනය ගෙන ගියේ ය.

වර්ජනය බිඳීම සඳහා ආන්ඩුව පොලීසිය මෙහය වූ නමුත් කම්කරුවන් ඉන් බිය ගැන්වීමට නොහැකි විය.. නොවැම්බර් 29 වෙනිදා රාත්‍රී පැමිනි පොලීසිය තොන්ඩමන්ගේ අන නොතකා වර්ජනයට සම්බන්ධ වූ ඔල්ටන් වත්තේ සීඩබ්ලිව්සී ප්‍රාදේශීය නායක පෙරුමාල් රානි අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ කලේ ය. කම්කරුවන්ගේ බරපතල විරුද්ධත්වය නිසා එය අසාර්ථක විය. වර්ජනයට විරුද්ධවීම සහ පොලීසිය යෙදවීමට එරෙහිව කිසිදු පියවරක් නොගැනීම නිසා තොන්ඩමන් ඇතුලු‍ සීඩබ්ලිව්සී නායකයන්ට විරෝධය පෑමක් ලෙස රානී සීඩබ්ලිව්සී යෙන් ඉවත් වී ඇත.

අරගලය සෙසු වතුවලට පැතිර යතැයි බිය වූ සමිති නායකයෝ සහ වතු පාලකයෝ ඉමහත් පීඩනයක් වර්ජිත කම්කරුවන් මත යෙදූහ. සමාගමේ තීරනය පිලිගෙන වර්ජනය නතර කරන ලෙස වෘත්තීය සමිති දිගටම කම්කරුවන්ට බල කලහ.

දෙසැම්බර් 2 වෙනිදා ඔල්ටන් වත්තට පැමිනි එන්යූඩබ්ලිව් ජාතික සංවිධායක සහ සීඩබ්ලිව්සී නායකයෙකු වන බාරත් අරුල්සාමි වර්ජනය නතර කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියහ. පසු දින වතු කලමනාකරුවන් සමඟ වර්ජනයේ යෙදී සිටි කම්කරුවන් හමුවට පැමිනි එන්යූඩබ්ලිව් නායකයෙකු වන ජයපාලන් වර්ජනය නතර කරන ලෙස ඉල්ලු‍ අතර නව ක්‍රමය යටතේ කිසියම් ප්‍රශ්නයක් ඇති වුවහොත් කලමනාකරනය සමග සාකච්චා කර එය විසඳීමට කටයුතු කරන බවට පොරොන්දු වී ඇත.

නව ක්‍රමය තමන් මත පැටවූ අධි සූරාකැමේ ක්‍රමයක් බව ස්ටොක්හෝම් වත්තේ කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තා කරුවන්ට කීහ. ”‍මෙම ක්‍රමය මගින් අපේ වැඩ ප්‍රමානය වැඩි කරලා. නියමිත ටාර්ගට් එක දුන්නේ නැත්නම් පඩි කපනවා. ලබන මාසේ පඩිපත ලැබුනට පස්සේ තමයි ඒ ගැන හරියටම දැනගන්න පුලුවන් වෙන්නේ. මේ අසාධාරනය නිසා අලු‍ත් ක්‍රමයට විරුද්ධව සටන් කරන්න අපට බල කෙරුනා. නමුත් වෘත්තීය සමිති වලින් අපට නිසි නායකත්වයක් නොලැබුන නිසා අපේ සටන අසාර්ථක වුනා. රුපියල් 1000 පඩි සටන පාවා දීලා අත්සන් කරපු ගිවිසුමේ දී සීඩබ්ලිව්සී එක මේ නව ක්‍රමයට එකඟ වෙලා තියෙනවා. එන්යූඩබ්ලිව් සහ යූපීඑෆ් සමිතිත් ඒකට සහයෝගය දුන්න.”‍

“‍වෘත්තීය සමිති කම්කරුවන් වෙනුවෙන් කිසිම සටනක් කරන්නේ නැහැ. සමිතිවලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගෙන වතු කම්කරුවන්ගේ අයිතීන් සඳහා ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම ගැන ඔබ කරන යෝජනාව නිවැරිදියි. ඒ ගැන සාකච්චා කරන්න අපි එකඟයි,”‍ එක කම්කරුවෙක් පැවසුවේය.

නව ක්‍රමය ඔක්තෝබර් මාසයේ ඔල්ටන් වත්තට හඳුන්වා දුන් විට එහි කම්කරුවෝ ඊට විරුද්ධව වර්ජනය කලහ. වර්ජනය සෙසු වතුවලට පැතිර යාමට පැවති හැකියාව සහ ඉන් ජනාධිපතිවරනයේ දී එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂකයන්ට ඇති විය හැකිව තිබූ අයහපත් දේශපාලනික ප්‍රතිවිපාක කෙරෙහි උත්සුක වූ වෘත්තීය සමිති අලු‍ත් ක්‍රමය තාවකාලිකව අත්හිටුවන ලෙස වතු පාලකයන්ගේ ඉල්ලා සිටියහ. එන්යූඩබ්ලිව් සහ යූපීඑෆ් එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාසටත්, සීඩබ්ලිව්සී ශ්‍රීලපොපෙ ගෝඨාභය රාජපක්ෂටත් සහයෝගය දුන්හ.

නොවැම්බර් 29 වතු හතරේම කම්කරුවන් එකවර වර්ජනයට පිවිසුනේ ජනාධිපතිවරනයෙන් පසු සමාගම් විසින් නව ක්‍රමය ක්‍රියාවට දැමීමට විරුද්ධව ය. තමන් ඊට එකඟ වී ඇති නිසා වර්ජනය නතර කරන ලෙස සීඩබ්ලිව්සී නායක අරුමුගම් තොන්ඩමන් වතු ශාඛාවල සමිති නායකයන් මෙහය වූ නමුත් එය අසාර්ථක විය.

වෘත්තීය සමිති විසින් කල පාවාදීම කෙරෙහි කම්කරුවන් තුල ඇත්තේ බරපතල කෝපයකි. දෙදරු මවක් වන ඔල්ටන් වත්තේ තිස්හතර හැවිරිදි පරිමාලා දෙවි තම සටන අසාර්ථක වීම ගැන කලකිරීමෙන් හා කෝපයෙන් යුතුව මෙසේ පැවසුවාය: “අපේ අරගලය දිගටම කරගන යාමට නිසි නායකත්වයක් නොලැබුන නිසා එය නතර කරන්න අපට බල කෙරුනා. අලු‍ත් ක්‍රමය පිලි අරගෙන අපි ආපහු වැඩට ගියේ හරිම අකමැත්තෙන්. ප්‍රාදේශීය සමිති නායකයන් මුලින් කිව්වා ඔවුන් වර්ජනයට සහයෝගය දෙන බව. නමුත් අන්තිමේ දී ඔවුන් කම්කරුවන් ඉදිරියට ආවේ අලු‍තෙන් හඳුන්වා දුන් ඩිජිටල් කිරන මැසිමත් අරගෙන. මෙම ක්‍රමය යටතේ අනාගතයෙ දී අපට ලොකු ප්‍රශ්නවලට මුහුන දීමට සිදු වේවි.

ඇය තව දුරටත් තමන් මුහුන දෙන දුස්කරතා ගැන මෙසේ විස්තර කලාය: “‍කාන්තා කම්කරුවන් විදිහට අපි විශේෂ ප්‍රශ්න වලට මුහුන දෙනවා. දරුවන්ට කිරි දීම හා කෑම බීම දීම සඳහා වැඩ කරන අතර තුර කෙටි නිවාඩුක් අරගෙන ගෙදර යන්න සිදු වෙනව. මේ ක්‍රමය යටතේ ඒක කරන්න බැහැ. අලු‍ත් ක්‍රමය යොදාගෙන පාලකයන් වැඩ කාලය සහ ඉලක්කයන් ගැන නිතරම සොයා බලනවා. වැසි දවස් වලට දලු කැඩෙන්නේ අඩුවෙන්.

“‍කූඩැල්ලෝ, සරපයින් සහ දිවියෝ ඉන්න නිසා වැඩ කරන්න වෙලා තියෙන්නේ පරිස්සමින්. වැඩ වෙලාවට ශාරීරික අවශ්‍යතා පිරි මහගන්න වැසිකිලි නැහැ. එහෙම වුවමනාවක් ආවොත් කිලෝ මීටර් දෙකක් තුනක් ඇවිදගෙන යන්න ඕන. හැඳුනුම්පත දවසකට තුන්වතාවක් පංච් කරන්න ඕන. මම සීඩබ්ලිව්සී සාමාජිකයෙක්. මාසෙකට රුපියල් 230 සාමාජික මුදල් ගෙවනවා. නමුත් පලක් නැහැ. ඒ නිසා මම සමිතියෙන් අයින් වෙන්න තීන්දු කලා”‍.

සමිති කෙරෙහි කම්කරුවන් තුල පවතින කෝපය සාධාරන ය. වෘත්තීය සමිති වල පාවාදීම වතු කම්කරුවන් මෙන් ම, ශ්‍රී ලංකාවේත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තිය මුහුන දෙන පොදු තත්වයකි. වෘත්තීය සමිති ධනේශ්වර ප්‍රාග්ධනයේ උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයෝ ය.

වතු වෘත්තීය සමිතිවල උත්සුකය කම්කරුවන්ගේ අයිතීන් ගැන නොව, ධනපති වතු සමාගම් හා ධනපති ආන්ඩුවේ උවමනාවන් කෙරෙහිය. මෙම සමිති නිලධරයට වතු කම්කරුවන් තම ආර්ථික සහ දේශපාලන වරප්‍රසාදයන් සඳහා ධනපති ආන්ඩු සමග කේවල් කිරීමේ වෙන්දේසි භාන්ඩයක් පමනක් වන අතර කම්කරුවන්ගේ අරගල මැඩීම සඳහා සමාගම් සහ ධනපති ආන්ඩුව වෙනුවෙන් ක්‍රියාත්මක වන කාර්මික පොලීසියකි.

වතු කම්කරුවන්ට තම අයිතීන් සඳහා සටන් කල හැක්කේ වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් වතු සමාගම් සහ ධනපති ආන්ඩුවේ ප්‍රහාරවලට විරුද්ධව ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම තුලින් පමනි. එම අරගලය ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම ඉදිරිදර්ශනය මත පදනම් කරනු ලැබිය යුතු ය.

Share this article: