දුම්රිය කම්කරුවෝ දරුනු සේවා කොන්දේසිවලට මුහුන දෙති

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 දෙසැම්බර් 05

දුම්රිය කම්කරුවන්ගේ දුෂ්කර සේවා කොන්දේසි සහ දුම්රිය සේවයේ ඛාදනය බලයට පත් ආන්ඩු විසින් කරනු ලබන වියදම් කප්පාදුවේ ප්‍රතිඵලයකි.

සේවක පුරප්පාඩු සඳහා නව ස්ථීර බඳවා ගැනීම් මුලු‍මනින්ම පාහේ සීමා කිරීම, අනියම් පදනමින් බඳවාගත් කම්කරුවන් ස්ථීර නො කිරීම හා වියදම් කප්පාදුව නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවෝ දරුනු සේවාකොන්දේසි හා රැකියා අනාරක්ෂිත තත්වයකට මුහුන දී සිටිති.

ප්‍රමානවත් කාර්යමන්ඩලයක් නොසිටීම, දුම්රිය මාර්ග නිසි පරිදි නඩත්තු නොකිරීම, සංඥා පද්ධතිවලට නවීන තාක්ෂනය හඳුන්වා නොදීම සහ දශක ගනන් පැරනි දුම්රිය එන්ජින් කට්ටලවලින් දුම්රිය ධාවනය කිරීම වැනි සාධක, කම්කරුවන්ගේ සේවා කොන්දේසි තවත් අසීරු කර තිබේ. මෙම තත්වය සමස්ථ දුම්රිය සේවයේම ඛාදනයට හේතු වී තිබේ.

දුම්රිය සේවය නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා දෙපාර්තමේන්තුවේ සේවක සංඛ්‍යාව 21,000 ක් වියයුතු නමුත් දැනට සිටින්නේ 13,000 ක් බවත් ඒ අනුව 7,000 හිඟයක් පවතින බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මගී ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර ට මෙම සතියේ දැනුම් දී ඇත.

දුම්රිය කම්කරුවෝ තමන් මුහුන දෙන දුෂ්කර සේවා කොන්දේසි සහ රැකියා අනාරක්ෂිත තත්වය ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට විස්තර කලහ සේවක හිඟය නිසා නඩත්තු අංශයේ සේවකයන්ට සහ දුම්රිය රියදුරන්ට බොහෝවිට පැය 24 ක් හෝ ඊට වැඩිකාලයක් එකදිගට වැඩකිරීමට සිදුවන බව ද විශේෂයෙන් ම, දුම්රිය රියදුරන්ට එසේ වැඩකිරීමට සිදුවීම අතිශයින් ම අනතුරුදායක බව ද ඔව්හු කීහ. නිසිලෙස මාර්ග නඩත්තු නොකිරීම, සංඥා පද්ධති ක්‍රියාත්මක නොවීම සහ දුම්රිය රියදුරන්ට දීර්ග පැය ගනනක් වැඩකිරීමට සිදුවීම දුම්රිය අනතුරුවලට ප්‍රධාන හේතුවක් බව ද ඔව්හු කියති. එහෙත් අනතුරක් සිදු වූ විට එහි වගකීම ඍජුව පැටවෙන්නේ දුම්රිය රියදුරන් මතට ය. එහි අලාභය අයකරගනු ලබන්නේ ද ඔවුන් ගෙනි.

කොලඹ-පුත්තලම මාර්ගයේ කම්කරුවෙක් පැවසූ ආකාරයට ස්ථීර නොකල සනීපාරක්ෂක අනියම් කම්කරුවන් සංඛ්‍යාව 2250 කි. ඔවූන්ගේ සේවාකාලය වසර හයකි. ස්ථීර කිරීම ප්‍රමාද කිරීම හා රැකියාවෙන් දොට්ට දැමීම ඉලක්ක කරගෙන ස්ථීර කිරීම සඳහා අපොස සාමන්‍ය පෙල සමත්ව තිබීම හා වයස අවුරුදු 45 අඩුවීම වැනි කොන්දේසි ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.

ඔහු සේවය කරන දුම්රිය ස්ථානයේ එක් ස්ථානාධිපතිවරයෙක්, පොලිස්මන්ලා දෙදෙනෙක්, කාර්යාල සහායකවරයෙක් සහ සංඥා පාලකවරයෙක්ගේ තනතුරු හිස්ව තිබේ. ඒ හේතුවෙන් පවිත්‍රතා කටයුතු, ටැබ්ලට් මාරු කිරීම, පාර්සල් බාගැනීම හා පැටවීම, කාර්යාලයේ සමහර වැඩ, සංඥාකරුගේ කාර්යයන් යන සියල්ල ඔහුට පැවරී ඇත. අනියම් පදනමේ සිටින ඔහුගේ දෛනික වැටුප රුපියල් 725 කි. අතිකාල පැයකට රුපියල් 80 කි. අතිකාල ගෙවීම් සහිත ඔහුගේ මාසික වැටුප රුපියල් 30,000 පමන වේ.

“ආන්ඩුව සහ දුම්රිය බලධාරීන් අපිව රවට්ටනවා. දේශපාලනඥයන්ගේ හෙන්චයියො ඔය කිසිම කොන්දේසියක් නැතිව ස්ථීර කරනව. අපි වසර ගනන් බලන් ඉන්නවා.”‍ ඔහු පැවසීය.

“ජීවන වියදම දරා ගන්න බැරි තරමට ඉහල යනවා. දරුවන්ට හරියට උගන්න ගන්න බැරි වුනා. අපිට අවශ්‍ය වෙලාවට නිවාඩු ගන්න බැහැ. නිවාඩු නොදුන් නිසා ඡන්දේ දාන්නත් බැරි වුනා. වෘත්තීය සමිති අපේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. බොහොමයක් අරගලවලට අනියම් කම්කරුවන්ව සම්බන්ධ කර ගන්නෙ නාහ” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ ය.

කම්කරුවන් හිතාමතා දුම්රිය සේවය කඩාකප්පල් කරන බවට දිවයින පත්‍රයේ කතුවැකියකින් මෑත දී කර තිබු චෝදනාව ගැන විමසු විට ඔහු එය දැඩිව හෙලා දුටුවේය. “දුම්රිය හිතා මතාම ප්‍රමාද කිරීමෙන් අපිට තියෙන වාසිය මොකක් ද? අපි බලන්නේ පුලු‍වන් උපරිමයෙන් සේවය ලබා දෙන්න. දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රශ්න ගැන කථාවක් නැතිව, කම්කරුවන් දඩයමට ලක් කිරීමේ වැඩකටයි මාධ්‍ය අත ගහලා තියෙන්නේ “.

දකුනු පලාතේ දුම්රිය ස්ථානයක දුම්රිය ආරක්ෂක කම්කරුවෙක් මෙසේ පැවසීය: “මගේ සේවා කාලය අවුරුදු 32 ක්. 1992 සැරයන් තනතුරට පත්විය යුතු මම 2019 තමයි ඒ තනතුරට පත් වුනේ. කිසිම හිඟ වැටුපක් මට ලැබුනේ නැහැ . මේ වෙද්දි මම උප පරීක්ෂක හෝ පරීක්ෂක තනතුරක් දරන්න ඕනා”.

ඔහුගේ මූලික වැටුප රුපියල් 41,000 වන අතර අතිකාල සමග රුපියල් 70,000ක මුලු‍ වැටුප රුපියල් 70,000 පමන වේ. දරුවන් තිදෙනාගේ අධ්‍යාපනය සඳහා විශාල මුදලක් වැයවන බව ප්‍රකාශ කල ඔහු බලයට පත් සියලු‍ ආන්ඩුවලින් කෙරුනේ කම්කරුවන්ට එරෙහි ප්‍රහාර තීව්‍ර කිරීමක් බව සඳහන් කලේ ය..

කැලනිවැලි මාර්ගයේ උප දුම්රිය ස්ථානයක සේවය කරන ස්ථානාධිපතිවරයෙක් ද දිවයින පත්‍රයේ ප්‍රකෝපකාරී චෝදනාව ප්‍රතික්ෂේප කලේ ය. “දැනට මගේ මූලික වැටුප 31,000 යි. දීමනා එක්ක 40,000 ක් විතර ගන්න පුවන්. ලක්ෂයක් පඩි ගන්න නම් පඩිය ගන්නවා නම් ගෙදර යන්නේ නැතුව ස්ටේෂන් එකේම ඉන්න ඕනා. මගේ වැටුපෙන් භාගයක් විතර නයවලට කැපෙනවා. ඇත්තටම කලයුතුව තිබෙන්නේ සේවක පුරප්පාඩු පුරවලා වැටුප් තව වැඩි කිරීම. මේ ගැටලු‍ යටගහලා තමයි දිවයින ලියලා තියෙන්නේ“ යයි ඔහු සදහන් කලේ ය.

අත්‍යාවශ්‍ය සේවා නියෝග පැනවීම ඇතුලු‍ කම්කරු පන්තියේ අරගල තලා දැමීමේ රාජ්‍ය සූදානම පිලිබඳ ඔහු මෙසේ ප්‍රකාශ කලේ ය: “මර්දනය කරලා කම්කරු පන්තිය නතර කරන්න බැහැ. දුම්රිය කම්කරුවන්ටත් අනෙකුත් අංශවල කම්කරුවන්ටත් තමන්ට තියෙන හැකියාව නිසාම විශාල කාර්මික බලයක් තියෙනවා. තම අයිතීන් දිනා ගැනීමට ඒ ශක්තිය අපි පාවිච්චි කරන්න ඕන. නමුත් වෘත්තීය සමිති ඊට විරුද්ධයි”.

ශ්‍රේනිවාදී පදනමක ඔවුන් ව භේද කරන වෘත්තීය සමිති තම අයිතීන් සඳහා දුම්රිය කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් ඇතිවීම දැනුවත්වම වලක්වා ඇත. ආන්ඩුවේ කප්පාදු සහ පෞද්ගලීකරන වැඩපිලිවලට සහයෝගය දෙති. පුද්ගලීකරනයේ පියවරක් ලෙස දුම්රිය සේවය ආවෘත සේවාවක් කිරීමට දුම්රිය සමිති සමිති එකගය. පසුගිය හා මෙම වසර තුල දුම්රිය කම්කරුවන්ගේ අරගල පුපුරා ගිය නමුත් ආන්ඩුවේ බොරු පොරොන්දු මත සමිති විසින් ඒවා පාවා දෙන ලදි. “වැටුප් විෂමතා” ඉවත් කිරීම යන ඔවුන්ගේ ඝෝෂාව තුල පොදුවේ කම්කරුවන් මුහුන දෙන සේවා කොන්දේසි සහ ජිවන වියදමට සරිලන වැටුපක් යන මූලික ඉල්ලිම් යට ගසා තිබේ. අනෙකුත් ක්ෂේත්‍ර තුල දී මෙන්ම දුම්රිය කම්කරුවන් තුලත් වෘත්තීය සමිතිවලට එරෙහිව වර්ධනය වෙමින් ඇත්තේ බරපතල වෛරයකි.

ධනපති පාලක පන්තිය සැලසුම් කරමින් සිටින්නේ දුම්රිය කම්කරුවන් ඇතුලු සමස්ත වැඩකරන ජනයා මතට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කිරීමටය. ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී දෙසතියක් ඉක්මීමටත් පෙරාතුව ජනතාවට සහන සැලසීම පිලිබඳ මැතිවරන පොරොන්දු පසෙක තබා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝග හා නිර්දේශ ක්‍රියාවට දැමීමේ සූදානම පෙන්නුම් කර තිබේ.

Share this article: