ආන්ඩුව මුස්ලිම්-විරෝධී ප්‍රකෝපකරනය ඉස්මත්තට ගැනීම සඳහා වෛද්‍ය සාෆිට එරෙහි “‍පරීක්ෂන”‍ යලි අරඹයි

වසන්ත රූපසිංහ විසිනි,2019 දෙසැම්බර් 29

සිංහල-බෞද්ධ මවුවරුන්, යලි ගැබ්ගැනීමෙන් වලකා ලන වන්ධ්‍යකරනයට ලක්කලේයැයි චෝදනා ලැබ සිටින වෛද්‍ය සාෆි ශියැබ්දීන්ට එරෙහි “‍පරීක්ෂන”‍, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් යලි ආරම්භ කොට ඇත.

දරුවන් බිහි කිරීමේදී සිදුකරන “සිසේරියන්” සැත්කම් අතරතුරදී ඉහත වන්ධ්‍යකරනයන් සිදුකර ඇතැයි යන චෝදනාව මත, පසුගිය මැයි 24 දා කුරුනෑගල ශික්ෂන රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකුවූ සාෆි අත්අඩංගුවට ගැනුනි.

සිද්ධිය පිලිබඳව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) විසින් සිදුකරන ලද පරීක්ෂනවල පිටු 210 ක වාර්තාවක් කුරුනෑගල මහේස්ත්‍රාත් අධිකරනයට පසු ගිය ජුනි 27 දා ඉදිරිපත් කර තිබූ අතර, වෛද්‍යවරයාට එරෙහි චෝදනා ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව එම වාර්තාවෙන් පෙන්වාදී තිබුනි.

මෙම තතු තුල, ජූලි 25 දා වෛද්‍යවරයා නිදහස් කිරීමට අධිකරනයට සිදු විය. ඒ, රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇප හා ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත යි.

කෙසේවෙතත්, වෛද්‍ය ශියැබ්දින්ට එරෙහිව නව පරීක්ෂනයක් ආරම්භ කිරීමට දෙසැම්බර් 12 දා කුරුනෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට (සීඅයිඩී) අවසර ලබා දුන්නේ ය. රාජපක්ෂ ආන්ඩුවෙන් පත් කෙරුනු සීඅයිඩී යේ නව අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න විසින් අධිකරනයට දැනුම් දුන්නේ නව පරීක්ෂන කන්ඩායමක් යොදා “‍විනිවිදභාවයෙන් යුක්තව”‍ නැවත සාක්ෂි විභාගය සිදු කිරීමට පියවර ගෙන ඇති බවය.

ලබන වසරේ ජනවාරි 16 දා නඩුව යලි කැඳවීමට නියමිතව තිබේ. දැනට මඩකලපුව කාන්තන්කුඩිය මූලික රෝහලට මාරුකර යවා සිටින ශියැබ්දින්ට සෑම මසකටම වතාවක් කොලඹ සීඅයිඩීයට පැමින පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ශියැබ්දීන්ට එරෙහි දඩයම ආරම්භවූයේ, කලින් පැවැති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ඊනියා “‍ජාතික සමගි”‍ ආන්ඩුවේ අවසන් සමයේදී විය. එය සිදු කෙරුනේ, පාස්කු බෝම්බ ප්‍රහාරවලින් පසු පාලක පන්තියේ අනුග්‍රහය යටතේ සිංහල-බෞද්ධ වර්ගවාදී නඩ විසින් දියත් කල තිරස්චීන මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩ ක්‍රියාවලට සමගාමීව ය.

සුලු‍තර ජනයාට එරෙහි ප්‍රහාරවල ජුගුප්සාජනක බව මොනවට පෙන්නුම් කල සාෆි ශියැබ්දීන් සිදුවීම මුල සිට අග දක්වාම පදනම්වී තිබුනේ තහවුරු නොකල සාක්ෂි, පදනම් විරහිත චෝදනා හා පොදුවේ මුස්ලිම් ජනයාට එරෙහිව බොදුබල සේනා සංවිධානය වැනි සිංහල වර්ගවාදී නඩ හා මාධ්‍ය විසින් කාලයක් තිස්සේ වර්ධනය කරන ලද අවලාද කන්දක් මත ය.

සමස්ත පාලක පන්තිය දැනදැනම වෙන්නට ඉඩහැරි, පාස්කු බෝම්බ ප්‍රහාරවලින් මාසයක් පමන ගෙවෙන තැන, මැයි 24 දා, ඔහුගේ වත්කම් ඉපැයීම් පිලිබඳ ප්‍රශ්න කිරීමට යැයි කියමින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට (සීඅයිඩී) භාරදෙන ලද වෛද්‍ය ශියැබ්දින්, මාස තුනකට අධික කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කලේ ත්‍රස්ත-විරෝධී රුදුරු නීතිය යටතේ ය.

දෙමල ජනයාට එරෙහි ලේවැකි වර්ගවාදී යුද්ධයේ ප්‍රධාන කසකරුවෙක්වූ වර්ගවාදී දිවයින පුවත්පත විසින් ආරම්භ කොට අනෙකුත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලය විසින් වමාරන ලද, “‍සිංහල මව්වරුන් දහස්ගනනක් සාෆි විසින් වන්ද්‍යකරනයට ලක්කලේය”‍ යන චෝදනාවේ සංවේදීභාවය නිසාම දහස් ගනන් පිරිසක් කුපිත කෙරුනි.

එකල විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ ඇතුලු‍ පිරිස් මෙම විෂකුරු වර්ගවාදී උද්ඝෝෂනයේ පෙරමුනේ ම සිටි අතර “වින්දිත”‍ මව්වරුන්ට “‍වන්දි”‍ ලබා දෙන්නැයි රාජපක්ෂ වරෙක ඉල්ලා සිටියේ ය. වෛද්‍ය ශියැබ්දින් සම්බන්ධවී සිදුකල සිසේරියන් සැත්කම්වලට ලක්වූ බව කියමින් මව්වරුන් දහසක් පමන දෙනා වෛද්‍යවරයාට එරෙහිව “‍සාක්ෂි”‍ දීමට රොද බැඳගත්තේ මෙම ප්‍රකෝපකාරී උද්ඝෝෂනයේ ප්‍රතිඵලයක් වසයෙනි.

වෛද්‍ය හා හෙද කන්ඩායමක ප්‍රයත්නයක් ලෙස කෙරෙන සිසේරියන් සැත්කමකදී එක වෛද්‍යවරයෙකුට රහසේ මෙවන් වන්ධ්‍යකරනයක් කිරීම “අපහසු”‍ බව අදාල විෂය පිලිබඳ ප්‍රමානිකයන් කීපදෙනෙක්ම මාධ්‍ය හරහා පැහැදිලි කලහ. කොලඹ විශ්වවිද්‍යාලයේ නාරි හා ප්‍රසවවේද අධ්‍යන අංශයේ ප්‍රධානියාවන මහාචාර්ය හේමන්ත සේනානායක ඒ අතරින් ප්‍රමුඛ ය.

වෛද්‍ය ශියැබ්දීන්ට එරෙහි එකදු චෝදනාවක්වත් විද්‍යාත්මකව සනාථ නොවීම මෙන්ම වෛද්‍යවරයා සමග සේවයේ නිරත අවශේෂ වෛද්‍යවරුන් හා කාර්යමන්ඩලයේ සාක්ෂි කිසිවක් මගින් වර්ගවාදීන්ගේ බොරු චෝදනා සනාථ නොවීම හේතුවෙන්, වර්ගවාදීන්ගේ උද්ඝෝෂනයේ නින්දිත බව බහුතර මහජනතාවක් ඉදිරිපිට හෙලිදරව් කෙරුනි. වෛද්‍ය ශියැබ්දීන් නිදහස් කිරීමට ආන්ඩුවට බලකෙරුනේ මෙම තතු මගිනි.

කෙසේවෙතත්, පසුගිය ජනාධිපතිවරන උද්ඝෝෂනයේදී සුලු‍තර දෙමල හා මුස්ලිම් ජනයාට එරෙහි විෂකුරු වර්ගවාදය ඇවිලවීම තම මූලික උපාය කරගත් රාජපක්ෂ කඳවුර, මෙම සිද්ධිය යලියලි වමාරමින් මැතිවරනයේදී සිංහල ඡන්ද ගසාකෑම සඳහා යහමින් පාවිච්චි කලේ ය. තමන්ගේ පාලනයක් තුලදී, ශියැබ්දින් සිද්ධිය පිලිබඳ “‍අපක්ෂපාති පරීක්ෂනයක් පැවැත්වීම”‍ ගැන, රාජපක්ෂ මෙන්ම අතුරලියේ රතන භික්ෂුව වැනි එම කඳවුරේ ආන්තික වර්ගවාදීන් සපථ වූහ.

මෙම පරීක්ෂනය “අපක්ෂපාතී”‍ වනවා වෙනුවට, ශියැබ්දින්ට එරෙහිව අමුතුවෙන් ගොතන ව්‍යාජ චෝදනා මාලාවකින් නිසැකවම සමන්විත වනු ඇත. ඔහුට විරුද්ධව නඩුව විභාගකල කුරුනෑගල මහේස්ත්‍රාත් හේවාවසම්ගේ පක්ෂපාතිත්වය සහ විෂමාචාරය පිලිබඳව වෛද්‍ය ශියැබ්දින්ගේ බිරිඳ සහ “‍තරුන මාධ්‍යවේදීන්ගේ සංවිධානය”‍ දැනටමටත් අධිකරන සේවා කොමිෂම වෙත පැමිනිලි ඉදිරිපත් කර තිබේ.

ශියැබ්දීන් රඳවා ගැනීමේ නියෝගය ඉවත් කරගන්නා බව ඉහල අධිකරනය විසින් දැනුම්දී තිබියදීත් මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු ජූලි 25 දා දක්වා තවත් දින කීපයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම ඔවුන්ගේ පැමිනිල්ලේ අඩංගු එක් කාරනයක් විය. මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳ සේවය කරන්නේ මෙම නඩුවට සම්බන්ධ කුරුනෑගල රෝහලේ වන අතර ඇගේ ප්‍රධානියා වන්නේ ශියැබ්දීන්ට එරෙහි නඩුවේ එක් පාර්ශවයක් වන කුරුනෑගල රෝහලේ අධ්‍යක්ෂ එස්. වීරබන්ඩාර ය.

එමතු නොව, වෛද්‍ය ශියැබ්දින් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තුන්වැනි වගඋත්තරකරු වන කුරුනෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳත් මෙම රෝහලේ ඉහත අධ්‍යක්ෂ වීරබන්ඩාර යටතේ සේවය කරන්නියකි. ඒ අනුව ”‍සාධාරන නඩු විභාගයක්”‍ පවත්වා ගෙන යාම සඳහා හේවාවසම් මහේස්ත්‍රාත්වරයා මේ නඩුවෙන් ඉවත් කරන්නැයි වෛද්‍ය ශියැබ්දින්ගේ බිරිඳ අධිකරන සේවා කොමිෂමෙන් ඉල්ලා තිබිනි. මෙම ඉල්ලීම් ගඟට කැපූ ඉනි බවට පත්ව ඇති බව දැන් පැහැදිලි ය.

මුස්ලිම් වෛද්‍යවරයාට එරෙහි සමස්ත ක්‍රියාදාමය මගින් පෙන්නුම් කරන්නේ, රාජපක්ෂ ආන්ඩුව යටතේ සුලු‍තර ජනයාට එරෙහිව වෛරය හා සැකය පෝෂනය කරමින්, ෆැසිස්ට් නැඹුරුවක් සහිත සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී නඩ ශක්තිමත් කෙරෙන වාතාවරනයක් වේගයෙන් නිර්මානය කෙරෙමින් පවතින බවයි.

පදවියේ දිව්රුම් දෙන පලවෙනි දවසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට ඡන්ද නොදුන් මුස්ලිම් හා දෙමල ජනයාට එරෙහි තර්ජනාංගුලිය ඔසවමින්, තමන් බලයට පත්වූයේ “‍සිංහල ඡන්දවලින් පමනක්”‍ යැයි සඳහන් කලේ ය. වර්ගවාදී යුද්ධයේ අවසන් දිනවල ආරක්ෂක ලේකම් ලෙස ඉෂ්ට කල විෂකුරු භූමිකාවත්, රාජපක්ෂ පාලන සමයේදී මුස්ලිම් ජනයාට එරෙහිව වාර්ගික ප්‍රහාර දියත් කල බොදුබල සංවිධානය වැනි ෆැසිස්ට් නැඹුරුවත් සහිත කන්ඩායම්වලට ඔහුදුන් අනුග්‍රහය නිසාත් සුලු‍තර ජනයා බහුතරයක් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඡන්ද පාවිච්චි කලහ.

ජනාධිපතිවරනයේ ප්‍රතිපල නිකුත් කිරීමත් සමග වාර්තාවූයේ, භාෂා ත්‍රිත්වයෙන් පැවැති මාර්ග නාමපුවරු කීපයකම, දෙමල අක්ෂරයන් මකා දමා ඇති බවයි. මෙවැනි සිදුවීම් පෙන්නුම් කරන්නේ ඉදිරියේදී මෙම වර්ගවාදී කොටස් ඉන් එහා යන රුදුරු ප්‍රහාර සුලු‍තර ජනයාට එරෙහිව දිගේලි කරනු ඇති බව යි.

ලංකාවේ පාලක පන්තිය ඇතුලු‍ ලොවපුරා පාලක පන්තීන්ගේ පිලිවෙත බවට පත්ව ඇත්තේ තමා මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදයේ සමස්ත බර, දැවැන්ත කප්පාදු හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම සහ එයට එරෙහිව ජාත්‍යන්තර පරිමානව වේගයෙන් වැඩෙමින් පවත්නා පන්ති අරගල රැල්ල මැඩීම සඳහා ආඥාදායක පාලන රූපයන් වෙතට මාරු වීමයි.

මෙම පන්ති අරගල අපසරනය කිරීම සඳහා පාලක පන්තීන් විසින් යොදා ගැනෙන මූලික අවියක් වන්නේ වර්ගභේදවාදය යි. 1948 ඊනියා නිදහසේ සිට මෙය නිරතුරුවම භාවිතා කිරීම සම්බන්ධයෙන් ලංකාවේ පාලක පන්තිය කුප්‍රකටය. 1983 දී ඔවුහු එය වාර්ගික යුද්ධයක් දක්වාම ඉහලට නැංවූහ. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ඇදීගිය එම යුද්ධය, කම්කරු පන්තිය බෙදීමටත්, කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල රුදුරු ලෙස තලා දැමීමටත් බලයට පැමිනි සෑම ආන්ඩුවක් විසින්ම යොදැ ගැනුනි.

වෛද්‍ය ශියැබ්දීන් ට එරෙහි පරීක්ෂන යලි වටයකින් ආරම්භ කිරීමේ සැබෑ අරමුන වනුයේ, නැගෙන පන්ති අරගල රැල්ල අපසරනය කිරීම සඳහා රුදුරුම ආකාරයේ මුස්ලිම්-විරෝධී ප්‍රකෝපකරනයක් ඉස්මත්තට ගැනීමයි.

Share this article: