ලේඛක ශක්තික සත්කුමාරට එරෙහි පොල්ගහවෙල නඩුව දෙසැම්බර් 10 කැඳ වේ;
ප්‍රකාශනයේ නිදහස රැකගැනීමේ උද්ඝෝෂනය ගොඩ නගමු!

විමුක්ති විදර්ශන විසිනි, 2019 දෙසැම්බර් 9

නව ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිලිවෙලට එරෙහිව ඉහල මට්ටමකින් වැඩීමට නියමිත කම්කරු පන්තික අරගල බිඳ විසරවීම සඳහා ආගමික සංස්ථාවන් හා විෂඝෝර වාර්ගික භේදකරනයන් යොදාගැනෙන පසුබිමක පාලක පන්තිය සත්කුමාර මෙන්ම දේවප්‍රිය සම්බන්ධවද තීන්දුව ලියනු ඇත.

දින 130 ක සිරගත කිරීමකින් පසු බරපතල ඇප කොන්දේසි මත නිදහස්ව සිටින ලේඛක ශක්තික සත්කුමාරට එරෙහි පොල්ගහවෙල මහේස්ත්‍රාත් උසාවි නඩුව එලඹෙන අඟහරුවාදා (10) කැඳවේ. ඒ ලේඛකයාට එරෙහිව අධිචෝදනා ගොනු කරන්නේද යන නීතිපතිගේ තීරනය පොලීසිය මගින් උසාවියට දැනුම්දීම සදහාය.

පසුගිය අප්‍රේල් 01 වන දින සත්කුමාර නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගනු ලැබුනේත්, රඳවා තැබුනේත් දන්ඩ නීති සංග්‍රහයේ 291බී වගන්තිය හා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (අයිසීසීපීආර්) පනතේ 3 වන වගන්තිය යටතේ වන වැරදිවලට සැකකරුවෙකු ලෙසයි.

එම චෝදනා යටතේ අධිචෝදනා ගොනුකිරීමට තීරනය කරනු ලැබුව හොත් සත්කුමාරට එරෙහිව කුරුනෑගල මහ අධිකරනයේ නඩු පැවරෙන අතර, වසර දහයක සිර දන්ඩනයකට ඔහුව යටත්කරනු ලැබිය හැකිය.

අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම මගින් ප්‍රකාශනයේ නිදහස ඇතුලු‍ ඔහුගේ ව්‍යවස්ථාපිත අයිතීන් උල්ලංඝනය කිරීමට එරෙහිව සත්කුමාර ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් නඩුවේ වගඋත්තරකරුවන් අතර පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති වෙනුවෙන් දැනටමත් නීතිපති පෙනීසිටින බැවින්, අධිචෝදනා ගොනුකිරීම පිලිබඳ අපක්ෂපාතී තීන්දුවක් ගැනීමෙන් නීතිපති දැනටමත් වලක්වනු ලැබ ඇත.

ලේඛකයා අත්අඩංගුවට ගනු ලැබුනේ ඔහුගේ මුහුනුපොත් ගිනුමේ ලියා පලකල “අර්ධ”‍ නමැති කෙටි කතාව මගින්, බුද්ධාගමට හා බුදුන්ට අපහාස කරන බවටත් බුදුන්ගේ ගිහි ජීවිතය විකෘත කරන බවටත් සිංහල වර්ගවාදී සංවිධානවලට සම්බන්ධ භික්ෂුවක් විසින් වෛරී සහගත ලෙස කර තිබූ පැමිනිල්ලක් මතයි. කතාව තුල බෞද්ධ භික්ෂූන් අතර පවතින සමලිංගිකත්වය පිලිබඳ වක්‍ර සැඳහුමක් පවතින අතර තම සංස්ථාවේ ව්‍යජ “‍පූජනීයත්වය”‍ තුල නිදන්ගත කුනුවීම හෙලිදරවි වීම පිලිබඳ මෙම සංවිධාන උරනව සිටී.

කල් පමාකොට අගෝස්තු 15 දින ගොනුකල තම විරෝධතා තුල පොල්ගහ⁣වෙල පොලිස් ස්ථානාධිපති ආර්.ඩී.එම්. සිරිල්, සත්කුමාර අත්අඩංගුවට ගැනීම සාධාරනීකරනය කිරීම සඳහා, මුල් අවස්ථාවේම බැලූබැල්මට පෙනෙන කරුනු අනුව “සාධාරන සැකයක්”‍ පැවතියාය යන්න කියාපෑම හැරෙන්නට එය සනාථ කරන කිසිදු කරුනක් ඉදිරිපත් කර නැත. ගොනුකොට ඇති ලේඛන අතර අප්‍රේල් 01 දින පොලිස් පරීක්ෂක විසින් තබා ඇති සටහන ද සාක්ෂි දරන්නේ පොලීසිය ලේඛකයා අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේ හුදෙක් පැමිනිලිකාර භික්ෂුවගේ ඉල්ලීම පිට බවයි.

සත්කුමාරට ඇප ලබා නොදීම තහවුරු කිරීම සඳහා පොල්ගහවෙල පොලීසිය අන්තවාදී භික්ෂූන්ට සහාය දෙමින් මහජන උද්ඝෝෂන සංවිධානය කිරීම⁣ට කටයුතු කල බවට සාක්ෂි සත්කුමාර තම ප්‍රති විරෝධතා ගොනුකරමින් හෙලිදරව් කර ඇත.

පොලීසිය හා ආගමික සංස්ථාපිතය යන දෙකම ධනපති පන්ති පාලනයේ උපකරන ලෙස එකිනෙකට ඓන්ද්‍රීයව සම්බන්ධිතය. අන්තවාදී හා වර්ගවාදී බෞද්ධ සංස්ථාපිතයේ අවශ්‍යතාවයන් ඉටුකර දීම සඳහා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහිව කුමන්ත්‍රනය කිරීමේ හා ක්‍රියාත්මක වීමේ කුප්‍රකට වාර්තාවකට ලංකාවේ පොලීසිය හිමිකම් කියයි. පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මැයි 13 මිනුවන්ගොඩ ප්‍රදේශයේ මුස්ලිම් වැසියන්ගේ කඩ හා නිවෙස් වලට සිංහල බෞද්ධ වර්ගවාදී නඩ විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයට පොලීසිය සෘජු හා වක්‍ර අනුග්‍රහය ලබා දුන්නේය.

සත්කුමාරගේ කලා නිර්මානය තුලින් ආගමකට අපහාස නොවන බව දක්වමින් හා ඒ මත ලේඛකයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව තම විරෝධය දක්වමින් ප්‍රවීන හා නවක කලාකරුවන් රැසක් දැනටමත් තම ප්‍රකාශන නිකුත් කර ඇත.

සත්කුමාර විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් නඩුව පසුගිය සැප්තැම්බර් 30 වන දින කැඳවීමෙන් අනතුරුව ලබන වසරේ ජුලි 28 තෙක් කල් තබා ඇත.

සත්කුමාර පසුගිය සඳුදා සිට මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස නැවත සේවයේ පිහිටුවා ඇත්තේ කෙටිකතාව ලියා පලකිරීමේ සිද්ධිය සම්බන්ධව විනය පරීක්ෂනයකට යටත් කිරීමේ කොන්දේසිය මතයි. එහෙත් සේවයට අදාල අක්‍රමිකතාවයක් නොවන කරුනක් සම්බන්ධව විනය පරීක්ෂන පැවැත්වීමේ බලයක් බලධාරීන්ට නැත.

මීට පෙර ඔක්තෝබර් 24 දින ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබූ අතර ⁣එහි සේවයට වාර්තා කල පසු ලේඛකයා හරවා එවා තිබුනේ “‍භික්ෂූන් වහන්සේලාට විරුද්ධව පොතක් ලියූ කෙනෙක් මෙම දෙපාර්තමේන්තුවේ සේවයට නොගැලපෙන බව”‍ පවසමිනි.

සත්කුමාරට එරෙහි දඩයමට විරුද්ධව දැනුවත් බොහෝ පිරිසකගේ සහාය ලැබෙමින් තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මස බංග්ලාදේශයේ සිසු සටන් අතරදී අල්ජසීරා මාධ්‍යයට ප්‍රකාශයක් දෙමින් සිසුන්ට එරෙහි පොලිස් ප්‍රහාර හෙලාදකිමින් ප්‍රකාශයක් කිරීම නිසා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව දේශීය හා ජාත්‍යන්තර විරෝධය මධ්‍යයේ නිදහස් කෙරුනු සම්මානලාභී ජායාරූපකලාවේදී සහිදුල් අලාම් සත්කුමාරට සහාය පලකරමින් ලිපියක් එවා තිබිනි. අලාම් 2013 දී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ඇමරිකානු රජය මහජනතාවගේ පනිවිඩ දත්ත සොරකම් කර ගබඩාකර තබා ගැනීමේ මහා සෝදිසි මෙහෙයුම් හෙලිදරව් කිරීම නිසා දඩයමට ලක්ව සිටි එඞ්වඞ් ස්නෝඩන් ආරක්ෂා කිරීම සඳහා කැඳවා තිබූ ආරක්ෂක උද්ඝෝෂනයට සහාය පලකරමින් ලෝසවෙඅට ප්‍රකාශයක් එවීය. සත්කුමාරට ලිපිය එවා තිබුනේ ජාත්‍යන්තරව ලේඛක මර්දනයට විරුද්ධව ආන්ඩුවලට බලපෑම් දැමීම සිදුකරන ජාත්‍යන්තර “පෙන්”‍ සංවිධානය ඔහුව ආරක්ෂා කිරීම වෙනුවෙන් කරමින් සිටින වැඩසටහනක කොටසක් ලෙසය.

අලාම් ට පිලිතුරු ලිපියක් ලියමින් සත්කුමාර මෙසේ ලියා ඇත:

“‍මා මුහුන දෙමින් සිටින මර්දනය මෙරටට පමනක් පොදු වූවක් නොවේ... අර්බුද ග්‍රස්ථ ධනේශ්වර ක්‍රමයේ සමාජ ව්‍යවසනයට සැබෑ හේතු සඟවනු වස් අප මරනින් එහා මායා ලෝකයක් වෙත කැඳවාගෙන යෑම සිදු වේ. මේ සඳහා ධනේශ්වර පාලක පන්තියට ප‍්‍රයෝජනවත් උපකරනයක් වී ඇත්තේ ආගම හා ආගමික සංස්ථාවයි. ඔවුන් තමන්ගේ කොල්ලකාරී ක්‍රමය රැකගැනීම සඳහා ආගම අවියක් කොට ගෙන ඇත. අප වැනි රටවල ව්‍යවස්ථාවෙන් පවා ආගමට ප‍්‍රමුඛස්ථානයක් දී ඇත. මෙය කම්කරු පොදු පීඩිත මහජනතාව වාර්ගික හා ආගමික රේඛා ඔස්සේ බෙදා වෙන්කර ධනපති පාලන බලය රැකගැනීම සඳහා යොදා ගන්නා නෛතික අවියකි... පාලක පන්තිය දැනුවත්වම මහජනතාවට එරෙහිව මුසාව, සමාජ හා සංස්කෘතික පසුගාමීත්වය සහ ප්‍රතිගාමීත්වය වගා කරයි. ඒ හෙයින්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධ හෙලිදරව් කිරීම නිසා දඩයමට ලක්ව සිටින මාධ්‍යවේදී ජුලියන් අසාන්ජ්ට, ඔබට මෙන්ම මට ද එරෙහි ප්‍රහාරය අතිශයින් දේශපාලනිකය.”‍

සත්කුමාරගෙන් පසු ලේඛකයන් හා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට එරෙහිව මෙම මර්දක නීති යොදාගැනීමට සූදානම් කෙරිනි. ජනාධිපතිවරනය ආසන්නයේදීම චිත්‍රපට අධ්‍යක්ෂ හා නාට්‍යකරු මාලක දේවප්‍රිය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් අයිසීසීපීආර් පනත යටතේම චෝදනාවලට ප්‍රශ්න කරනු ලැබිනි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ගෝලීය ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනක්ම මෙම මර්දනයේ දේශපාලන අන්තර්ගතය පැහැදිලි කරමින් එයට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් සටන් වැදුනි.

සිංහල වර්ගෝත්තමවාදී භික්ෂූන් හා ෆැසිස්ට් පන්නයේ නඩ වලට රිසිසේ චන්ඩිකම් කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් ඔවුන්ගේ ආශිර්වාදය ලබා සිටින වත්මන් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ අගමැති මහින්ද රාජපක්ෂ බුද්ධ සාසන අමාත්‍යයවරයා ලෙස වැඩ භාර ගනිමින් නොවැම්බර් 25 කල කතාවේදී, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය සඳහන් කරමින් ප්‍රකාශ කලේ “‍බුද්ධාගමට හෝ වෙනත් ආගමකට අපහාස කරන”‍ අයට එරෙහිව නීතිමය පියවර ගන්නා වන බවයි.

නව ආන්ඩුවේ එලඹෙන කප්පාදු පිලිවෙත හා ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිලිවෙලට එරෙහිව ඉහල මට්ටමකින් වැඩීමට නියමිත කම්කරු පන්තික අරගල බිඳ විසරවීම සඳහා මෙම ආගමික සංස්ථාවන් හා විෂඝෝර වාර්ගික භේදකරනයන් යොදාගැනෙන පසුබිමක සත්කුමාර මෙන්ම දේවප්‍රිය සම්බන්ධවද පාලක පන්තියේ තීන්දුව ලියවෙනු ඇත.

සසප මූලිකත්වයෙන් පිහිටවනු ලැබූ කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) ප්‍රකාශන නිකුත්කර ගනිමින්, 'සහයෝගිතා පෙත්සම' ඉදිරියට ගනිමින් හා රැස්වීම් සංවිධානය කරමින් කම්කරු පන්තික නායකත්වය යටතේ කලාකරුවන්ද, මාධ්‍යවේදීන්ද, තරුනයන්ද, බුද්ධිමතුන්ද ආදී සියල්ලම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා රැලිකර ගැනීම වෙනුවෙන් උද්ඝෝෂනයේ නිරතව සිටී. සසප සටන් වදින්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය, මහජනතාවගේ සමාජ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා ගෙනයන කම්කරු-ගොවි ආන්ඩුවක් ස්ථාපිත කිරීමේ දේශපාලන අරගලයේ අත්‍යන්ත කොටසක් ලෙස සලකාගෙන ය. මෙම අරගලයට එක් වන්න.

Share this article: