කම්කරු පන්තික සංවිධානවලට තහංචි පැනවීමට මැතිවරන ඇපමුදල් දැවැන්තව ඉහල දැමීමට යෝජනා කෙරේ

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 දෙසැම්බර් 11

මැතිවරන සඳහා තැන්පත් කල යුතු ඇප මුදල් තිස් ලක්ෂයකින් පමන ඉහල දැමීමට මැතිවරන කොමිසම විසින් පාර්ලිමේන්තුවට යෝජනා කිරීමට අපේක්ෂා කරන බව දෙසැම්බර් 4 වෙනිදා පක්ෂ නියෝජිතයන් සහ මැතිවරන කොමිසම් අතර පැවති සාකච්චාවක දී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නිවේදනය කලේ ය.

මෙම දුෂ්ට ප්‍රජාතන්ත්‍ර-විරෝධී යෝජනාවේ ඉලක්කය වන්නේ වාම හා කම්කරු පන්තික සංවිධාන මැතිවරන තුල මැදිහත්වීම වලක්වා විශාල ධනස්කන්ධ වියදම් කිරීමට හැකි ධනපති හා සුපිරි මධ්‍යම පන්තිකයන්ගේ ගේ ඒකාධිකාරයක් බවට එය පත් කර ගැනීමයි. මැතිවරන කොමිසමේ යෝජනාව ඉදිරිපත්වී ඇත්තේ ආඥාදායක පාලනයක් තහවුරු කරගැනීම සඳහා ක්‍රියා කරන ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වී සති තුනක් වත් ගතවීමට ප්‍රථම වීම අර්ථභාරී ය. ඉහල නිලධාරීහු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දඬුගැසීමට රාජපක්ෂ සමග පෙලගැසෙමින් සිටිති.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මැතිවරන ගැති පක්ෂයක් නොව විප්ලවවාදී පක්ෂයකි. එහෙත් එය කම්කරුවන්, තරුනයන් හා අනෙකුත් හිතනමතන කොටස් අතර සිය දේශපාලන අරගලය වර්ධනය කිරීමට මැතිවරන තුල මැදිහත්වෙයි. සසප මැතිවරන කොමිසමේ යෝජනාවට තරයේ විරුද්ධවෙයි.

වැඩිකරන ප්‍රමානයන් පිලිබඳව නිශ්චිත තීන්දුවක් තවමත් ගෙන නැත. එහෙත් උදාහරනයක් ලෙස දේශප්‍රිය සඳහන් කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකයෙකු සඳහා දැනට පවතින ඇප මුදල් ප්‍රමානයන් තීන්දු කෙරුනේ 1981 දී බවයි. ඇප මුදල් එම වසරේ සිට මේ දක්වා රජයේ සිවිල් නිලධාරියෙකුගේ මූලික වැටුප වැඩි වී ඇති ප්‍රමානයට සමානුපාතිකව වැඩි කල යුතු බව කොමිසම් අදහස් කරන බවත් ඔහු පවසා ඇත. ඔහුට අනුව රජයේ සිවිල් නිලධාරියෙකුගේ මූලික මාසික වැටුප මේ වනවිට පනස් ගුනයකින් වැඩි වී ඇත.

මාධ්‍ය වල ඉදිරිපත් කර ඇති ගනන් හිලව් වලට අනුව ලියාපදිංචි දේශපාලන පක්ෂයක ජනාධිපති අපේක්ෂකයෙකු සඳහා ඇප මුදල රුපියල් 26,00000 (විසිහය ලක්ෂය) සහ ස්වාධීන අපේෂකයන් සඳහා ඇප මුදල 32,00000 (තිස්දෙලක්ෂය) දක්වාත් ඉහල යනු ඇත. දැනට පවතින ඇප මුදල් පිලිවෙලින් රුපියල් 50,000 ක් සහ 75,000 කි. ජනාධිපති චන්දයෙන් පටන්ගෙන පාර්ලිමේන්තු, පලාත් සභා හා පලාත් පාලන මැතිවරන දක්වා ඇපමුදල් ඉහල දැමීම සිදුවනු ඇත.

මැතිවරන කොමිසමේ සභාපති, සිවිල් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම හා මැතිවරන ඇපමුදල් අතර තකතිරු සමානකමක් ඇඳ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන මොනම තැකීමක් වත් ඔවුන්ට නැතිබව පෙන්වමිනි.

යෝජනාව ඉදිරිපත් කෙරී ඇත්තේ “අනවශ්‍ය” ලෙස අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම මගින් මැතිවරන සඳහා වැය කෙරෙන මහජන මුදල් “අවම” කිරීමේ කඩතුරාවක් යටතේය. අපේක්ෂකයින් වැඩිවී ඇත්තේ ඇපමුදල් අඩු නිසා බවට කරන තර්කය ද එවැන්නකි. ජනාධිපතිවරන අපේක්ෂකයින් ඉහල යාම ධනපති පන්ති පාලනයේ අර්බුදයේ ප්‍රකාශනයකි.

ධනපති පන්තියේ ආධාර හා අනුග්‍රහය ලබන දේශපාලන සංස්තාපිතයේ ප්‍රධාන පක්ෂ මැතිවරන සඳහා කරන වියදම රුපියල් මිලියන දහස් ගනනකි. මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂන මධ්‍යස්ථානයේ ඇස්තමේන්තු වලට අනුව මෙවර ජනාධිපතිවරනයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, යුඇන්පී යේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුන හා ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ජනබලවේගය පිලිවෙලින් රුපියල් මිලියන 1518, 1422, සහ 160 බැගින් මිලියන 3,100 ක් වියදම් කර තිබේ.

පවතින මැතිවරන අනපනත් හා නීති රෙගුලාසිමත් ධනපතියන් හා ධනපති පක්ෂ සඳහා වැඩිවාසි සලසන ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒවාය. උදාහරන වශයෙන් චන්දය ඉල්ලිය හැකි නමුත් ගෙයින් ගෙට ගොස් තමන්ට හෝ තම පක්ෂයට චන්දය දෙන ලෙස ඉල්ලමින් අපේක්ෂකයාට හෝ ඔහුගේ පවුලේ අයට මැතිවරන ප්‍රචාරක කටයුතුවලට සහභාගිවීමට නොහැකිය.

චන්ද ලකුන ප්‍රදර්ශනය කල හැක්කේ අදාල අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ හෝ පක්ෂයේ මැතිවරන ප්‍රචාරක කාර්යාලවල, රැස්වීම් ස්ථානවල, සහ අපේක්ෂකයාට හෝ පක්ෂයට මැතිවරන කොමිසමේ අනුමැතිය ඇතිව ලැබෙන රූපවාහිනි කතාවල දී පමනි. එම සීමාවන්ගෙන් පිටස්තරව කටවුට්, පෝස්ටර් හෝ වෙනත් ආකාරයකින් එය ප්‍රදර්ශනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් බලයේ සිටින පක්ෂය හා මුදල් බලය යහමින් තිබෙන ධනපති පක්ෂ මෙම සීමාවන් හිතාමතාම බිඳිමින් මැතිවරන ප්‍රචාරක කටයුතුවල යෙදෙන බව රහසක් නොවේ.

මැතිවරන කොමිසමේ සභාපති දේශප්‍රිය කලක සිටම දේශපාලන පක්ෂ ගනන සීමා කල යුතු බවට සහ “අනවශ්‍ය” වියදම් කැපීය යුතු බවට ප්‍රතිගාමී උද්ඝෝෂනයක යෙදී සිටි. මෙම දුෂ්ට යෝජනාවන් මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට කෙටීමට බලා සිටින රාජපක්ෂට පිනුම් පිත්තක් වනු ඇත.

පොපෙ සහ ගෝඨාභය ආන්ඩු බලය අල්ලා ගත්තේ රට තුල ආර්ථික සහ දේශපාලන අර්බුදය පෙර නොවූවිරූ ලෙස ගැඹුරු වෙද්දී ධනපති පාලක පන්තියේ කල්ලි කන්ඩායම් අතර ඇති වූ රුදුරු කාකොටා ගැනීමක් මධ්‍යයේ ය. රාජපක්ෂ ආන්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයේ අංක එකට තිබෙන්නේ ලොව පුරා පාලක පන්තීන්ගේ ප්‍රහාර වලට එරෙහිව ඉහල නැගෙන ගෝලීය සමාජ අරගලයන්ගේ කොටසක් ලෙස ලංකාවේ කම්කරු පීඩිත ජනයාගේ වැඩෙන අරගල තලා දැමීම සහ “ශක්තිමත්” එනම් ආඥාදායක පාලනයක් තහවුරු කිරීම ය.

Share this article: