ශ්‍රී ලංකාවේ ඒකාධිපති, වර්ගවාදී රාජපක්ෂ තන්ත්‍රයට විරුද්ධව සටන් කිරීම සඳහා
කම්කරුවන් සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙල මත පදනම් විය යුතුය

Workers must adopt a socialist internationalist program to oppose Sri Lanka’s authoritarian, communalist Rajapakse regime

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2019 දෙසැම්බර් 7

ගෝඨාභය රාජපක්ෂ නොවැම්බර් 16දා ජනාධිපතිවරනයෙන් ජයග්‍රහනය කල තැන් පටන්, ආන්ඩු බලය සියතට ගැනීම සඳහා කඩිනම් පියවර ගෙන තිබේ. ඔහු දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයාට ඉල්ලා අස්වීමට බලකොට සිය සහෝදරයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සුලු‍තර ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීපොපෙ) ආන්ඩුවේ නායකයා ලෙස පත් කලේය.

ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තැබූ ඔහු මේ සතිය මුලදී පාර්ලිමේන්තුව මසකට අත්හිටුවීය. දූෂිත ගනුදෙනු සහ අල්ලස් දීමෙන් ඔහුට බහුතරයක් එකතු කර ගත නොහැකි නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැර මාර්තු මාසයේ හදිසි මැතිවරනයක් කැඳවීමේ ව්‍යවස්ථාදායක බලය හිමිකර ගන්නා තෙක් හෝ එය අත්හිටුවීම රාජපක්ෂගේ බලාපොරොත්තුවයි. තමන්ගේ ඉලක්කය, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කර ජනාධිපති වෙත අත්තනෝමතික බලතල පැවරීමට අවශ්‍ය තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීම බව ඔහු අවංකව ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ගේ ඉලක්කය කටුක ලෙස බෙදී ගිය, අර්බුද ග්‍රස්ත ප්‍රභූ පැලැන්තිය තුල සිටින රාජපක්ෂගේ ප්‍රතිවාදීන් පමනක් නොවේ. ඒවායේ ප්‍රධාන ඉලක්කය කම්කරු පන්තියයි.

ධනේශ්වරය සමාජ කාල බෝම්බයක් මුදුනේ වාඩිවී සිටින බව රාජපක්ෂ හොඳින්ම දනී. එපමනක් නොව, දැනටමත් එය පුපුරා යාමට පටන් ගෙන තිබේ. ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව “නිදහස් වෙලඳපොල” “ආයෝජක ගැති” ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමට එරෙහිව 1980 පුපුරා ගිය මහා වැඩ වර්ජනය පොඩිපට්ටම් කිරීමෙන් පසු වැදගත්ම වැඩ වර්ජන රැල්ල පසුගිය මාස 18 තුල පුපුරා ගියේය.

මැතිවරන ව්‍යාපාරය අතරතුර, වැඩ වර්ජන නවතා දැමීමට වෘත්තීය සමිති සමත් විය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වී දින 10 ක් වත් ගතවීමට පෙර දරිද්‍ර වැටුප් හා වැඩ ප්‍රමානය ඉහල දැමීමට එරෙහිව වතු කම්කරුවෝ දහස් ගනනක් වැඩ වර්ජනයකට එලඹුනහ.

මෙම ආරම්භක අරගලයන් පෙන්නුම් කරන්නේ ඉහල යන මිල ගනන්, මහජන විරැකියාව, ඌන රැකියා නියුක්තිය, පුද්ගලීකරනය සහ මහජන සේවාවන් ගරාවැටීම සම්බන්ධයෙන් කම්කරු පන්තිය තුල වසර ගනනාවක් තිස්සේ වර්ධනය වී ඇති කෝපයයි.

සමාජ වියදම් වැඩි කරන බවට දුන් රාජපක්ෂගේ වාචාල මැතිවරන පොරොන්දු තිබියදීම, ඔහු සහ ඔහුගේ ශ්‍රීලපොපෙ ආන්ඩුව මුහුනපා සිටින්නේ, ආර්ථික වර්ධනය හා අපනයන ආදායම් පහත වැටෙන අතරම ආන්ඩුවේ හා ව්‍යාපාරික නය බර ඉහල නැගීමකට ය. එවන් තත්වයක් තුඩුදෙනවා ඇත්තේ, කම්කරු පන්තියට හා ගම්බද දුගීන්ට එල්ල කරන ප්‍රහාර බරපතල ලෙස උත්සන්න කිරීමටයි. වැඩ කරන ජනතාව දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු වලට එරෙහිව කැරලි ගසමින් සිටිති. එසේ වුවත් මේ වන විට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 ක් වන අයවැය හිඟය 2020 වන විට සියයට 3.5 දක්වා අඩකින් අඩුකිරීමට කොලඹ පාලනය ජාමූඅට පොරොන්දු වී තිබේ.

ධනේශ්වර පාලනයේ පුලු‍ල් අර්බුදයේ අතිශය වැදගත්ම සාධකය වන්නේ කම්කරු පන්තියේ ප්‍රතිරෝධය වර්ධනය යි. එනිසා, කලින් පැවති සිරිසේන-වික්‍රමසිංහගේ “ජාතික සමඟි” ආන්ඩුව පමනක් නොව, ධනේශ්වරයේ සියලු‍ම කන්ඩායම් ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට තවතවත් පහර දීමට පැනගෙන සිටියි.

භූ-දේශපාලන ආතතීන් වේගයෙන් තියුනු වීමෙන් ද කොලඹ දේශපාලන සංස්ථාපිතය දෙදරුම්කා තිබේ. ශ්‍රී ලංකාව ඉතා වැදගත් ඉන්දියන් සාගර නාවික මාර්ග ආසන්නයේ පිහිටා ඇති හෙයින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අධිෂ්ඨාන කරගෙන සිටින්නේ, චීනයට එරෙහි මිලිටරි-මූලෝපායික ප්‍රහාරයේදී එය පෙරමුනු රාජ්‍යයක් බවට පරිවර්තනය කර ගැනීමට ය. එවන් වැටලීමක් තුඩුදෙනු ඇත්තේ න්‍යෂ්ටික යුද්ධයකට යි. එම අරමුන ඇතිව වොෂින්ටනය නැවත නැවතත් ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව තුල කාකොටා ගැනීම් වලට මැදිහත් වී ඇත. ඒ සම්බන්ධයෙන් ගත්කල, 2015 ජනවාරි ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ නෙරපා හැරීම විශේෂයෙන් ම වැදගත්ය.

“නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් තහවුරු කිරීම සඳහා” ශ්‍රී ලංකාව එක්වනු ඇතැයි වොෂින්ටනය අපේක්ෂා කරන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී ඇත. එක්සත් ජනපද හමුදා කඳවුරු පිහිටුවීමට දොර විවර කරන අතරම සියලු‍‍ම එක්සත් ජනපද මිලිටරි නිලධාරීන්ට දිවයිනේ තුල නීතිමය මුක්තිය ලබා දෙනු ඇති එක්සත් ජනපද-ශ්‍රී ලංකා හමුදා තත්ව ගිවිසුම (සෝෆා) ඉක්මනින් අත්සන් කිරීම සහ ක්‍රියාත්මක කිරීම මෙයට ඇතුලත් ය.

එපමනක් නොව, වසර 30 ක දෙමල විරෝධී සිවිල් යුද්ධයේ නැඟීමට තුඩු දුන් කිසිදු ගැටලු‍‍වක් විසඳී නැත.

2009 අප්‍රෙල්- මැයි මාසවල සිවිල් යුද්ධය අවසන් අදියරේදී සිවිල් වැසියන් දසදහස් ගනනක් සමූලඝාතනය කරන විට ඔහුගේ සහෝදර ජනාධිපති යටතේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස එහි මූලිකයා විය. ජනාධිපතිවරන ව්‍යාපාරය තුල ඔහු නිර්ලජ්ජිතව බෞද්ධ අධිපතිවාදය ප‍්‍රවර්ධනය කල අතර යුද අපරාධ සම්බන්ධ චෝදනා වලට ලක්ව සිටින හමුදාවේ “වීරයන්” ගේ ප්‍රමුඛ ආරක්ෂකයා ලෙස පෙනී සිටියේය. රාජපක්ෂ සිය මංගල ජනාධිපති දේශනයේදී දෙමල හා මුස්ලිම් සුලු‍ ජාතීන්ට සැඟවුනු තර්ජනයක් එල්ල කලේය. තමා “සංහිඳියාව” සඳහා පෙනී සිටින බව කියාසිටි ඔහු, මැතිවරනය ජයග්‍රහනය කිරීම සඳහා සුලු‍තර ඡන්ද තමන්ට අවශ්‍ය නොවූ බව පෙන්වා දුන්නේය.

මේ අතර, දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) සහ අනෙකුත් දෙමල ධනේශ්වර පක්ෂ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) අලු‍ මතින් නැඟී සිටිමින්, ප්‍රමුඛ සිංහල සංස්ථාපිතය තුල රාජපක්ෂගේ ප්‍රතිවාදීන් පිටුපස දෙමල ජනතාව පෙල ගැස්වීමට වෙර දැරීය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ සමීප සබඳතා පැවැත්වීම සඳහා වඩාත්ම හඬ නගන්නවුන් ලෙස ඔවුන් ඉස්මතු වී ඇත. ඒ, “බලය බෙදා ගැනීමේදී” වැඩි පංඟු‍‍වක් ලබා ගැනීම සඳහා වන ඔවුන්ගේ ඉල්ලීම්වලට වොෂින්ටනය සහාය දෙනු ඇතැයි යන බලාපොරොත්තුව ඇතිව, එනම් සිය බලය සහ වරප්‍රසාද වැඩිකර ගැනීම සඳහා ය.

ව්‍යාපාරික මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද මිලියන 6.9 (සියයට 52) “දැවැන්ත ජනවරමක්” බවයි. මෙය බොරුවකි. එය කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව බිය ගැන්වීමට සහ මහජන විරෝධයට මුහුන දෙන කල රාජ්‍ය මර්දනයට ආන්ඩුවේ යොමු වීම නීත්‍යානුකූල කිරීමට ප්‍රචාරය කරනු ලබන බොරුවකි.

ගෝඨාභය රාජපක්ෂට ලැබුන ඡන්දය, බොහෝ දුරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ දක්ෂිනාංශික පාලනයට එරෙහිව, විශේෂයෙන්ම දකුනේ ගම්බද කම්කරුවන් හා දුප්පතුන් අතරින් පලවූ විරෝධතා ඡන්දයකි. ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පැටවීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි එම ආන්ඩුවේ ප්‍රහාර කෙරෙහි මහජනයා අතර පුලු‍‍ල් සතුරුකමක් ගොඩනැගී පැවතුනි.

මැතිවරන ප්‍රතිපලවලින් කම්කරු පන්ති නායකත්වයේ හා ඉදිරිදර්ශනයේ උග්‍ර අර්බුදයක් ප්‍රකාශයට පත්වූ බව පැහැදිලි ය.

වැඩිවෙමින් පවතින හා වැඩි වැඩියෙන් පුපුරන සුලු‍‍ සමාජ අරගල මධ්‍යයේ - එනම්, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් හා තරුනයින් අතර එක්සත් කම ඇති කලාවූ හා කම්කරු පන්තියේ සමාජ බලය පිලිබඳ ඉඟියක් සපයන අරගල මධ්‍යයේ - බොහෝ වැඩකරන ජනතාව, මැතිවරනයේදී දේශපාලන සංස්ථාපිතයේ ප්‍රධාන ප්‍රතිගාමී කඳවුරු දෙකෙන් එකක් හෝ අනෙක පිටුපස පෙල ගැසී සිටියහ.

එජාපය සිංහල බෞද්ධ වර්ගවාදයේ ගිලී සිටින පක්ෂයකි. එය දෙමල විරෝධී සිවිල් යුද්ධය දියත් කල අතර මෙරට පාලක පක්ෂ දශක තුනකට නොඅඩු කාලයක් තිස්සේ එය ගෙන ගියේය. එහෙත් සුලු‍ජන ඡන්දදායකයින් බොහෝ දෙනෙක් ඡන්දය ප්‍රකාශ කලේ, එජාපයේ කුප්‍රකට හිටපු සිංහල ස්වෝත්තමවාදී ජනාධිපතිගේ පුත්‍රයා වන සජිත් ප්‍රේමදාසට ය. ඒ “අඩු නපුර” යන පදනම මත ය.

කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව ඉතා ඉක්මනින් රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රිලංපොපෙ ආන්ඩුව සමඟ උග්‍ර ගැටුම් වලට එලඹෙනු ඇත.

එම අරගල ජය ගැනීමට නම් ඔවුන්, දක්ෂිනාංශික, වර්ගවාදී පදනම් සහිත ධනවාදී දේශපාලන රාමුවෙන් සහ “විරෝධතා ඡන්ද” සහ “අඩු නපුර” පිලිබඳ දේශපාලනයෙන් නිදහස් විය යුතුය.

ධනවාදයේ රාමුව තුල, වැඩකරන ජනතාව මුහුන දෙන දැවෙන ගැටලු‍‍ කිසිවක් විසඳා ගැනීම කෙසේ වෙතත් ඒවාට ආමන්ත්‍රනය කිරීමක් පවා කල නොහැකි ය. එය වනාහි, සියලු‍ සමාජ අවශ්‍යතා කුඩා ධනවාදී කතිපයාධිකාරයක් පොහොසත් කිරීම සඳහා කැප කෙරී ඇත්තාවූද, අධිරාජ්‍යවාදීන් සහ මහා බලවතුන් වෙලඳපල, සම්පත් සහ මූලෝපායික වාසි සඳහා පොර කමින් තවත් ලෝක යුද්ධයක විනාශයට මානව වර්ගයා ඇද දැමීමට තර්ජනයකරන්නාවූද යල්පැනගිය සමාජ-ආර්ථික පර්යායකි.

අර්බුදයක ගිලී සිටින ලංකාවේ ධනේශ්වරය පැහැදිලිවම සමාජ විරෝධයේ වර්ධනයෙන් කම්පනයට පත්ව සිටී. එහෙත් එය ආර්ථිකයේ පාලනය සහ විශාල මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රනය සතුකරගෙන සිටින අතර, සිය පාලනය රැක ගැනීම සඳහා නවදිල්ලියේ සහ වොෂිංටනයේ සහයෝගය මත විශ්වාසය තබා සිටියි. කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස නැගී සිටිමින් කම්කරුවන්ගේ බලය සඳහා වන අරගලයේදී පීඩිත හා ග්‍රාමීය දුප්පත් ජනතාව එක්සත් කරන තුරු සහ එසේ නොකරන තාක් දුරට, ධනේශ්වරයට එහි පන්ති යුද ප්‍රහාරය ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇත. මේ සඳහා දේශපාලන උපාමාරු, රාජ්‍ය මර්දනය, ජාතිවාදය උසිගැන්වීම මෙන්ම එලෙසම තීරනාත්මක ව ධනවාදයට ගැති වෘත්තීය සමිති සහ සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ද නව සම සමාජ පක්ෂය (නසසප) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි විවිධ “වාමාංශික පක්ෂ” ද යොදාගනු ඇත. ඒ සමාජ විරෝධය මැඩපවත්වා එය ධනවාදී මැතිවරන හා විරෝධතා දේශපාලනයේ වඳ රාමුව වෙත හරවා යැවීම සඳහා ය.

පානි විජේසිරිවර්ධන සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් සමාජවාදී සමානතා පක්ෂය ජනාධිපතිවරනයට මැදිහත් විය. ඒ කම්කරු පන්තියේ ගොඩනැගෙමින් ඇති මහජන ව්‍යාපාරයට සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙල සහ විප්ලවවාදී දේශපාලන නායකත්වය ලබා දීම සඳහාය. කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා සටන් කරමින් සමාජය සමාජවාදී ආකාරයට පරිවර්තනය කිරීම පිනිස කම්කරු පන්තියට ප්‍රහාරාත්මක දේශපාලන පිලිවෙතක් සම්පාදනය කිරීම එහි අරමුන විය.

මහින්දගේ සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා: සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ නැගීම හා වැටීම පිලිබඳ පාඩම්

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව සමඟ ගැටුමට එලඹෙන කම්කරු පන්තිය විසින් ඇතිකරගන්නා දේශපාලන සූදානමේ තීරනාත්මක අංගයක් වන්නේ පසුගිය වසර පහක අත්දැකීම් විවේචනාත්මකව විමසා බැලීමයි: සිරිසේන-වික්‍රමසිංහගේ “ජාතික සමගි” ආන්ඩුව බලයට ගෙන ආවේ කුමන බලවේගයන් ද; ඒවායේ වාර්තාව; එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ චීන විරෝධී යුද මෙහෙයුමට ශ්‍රී ලංකාව ඈඳා ගැනීම මෙන්ම එම ආන්ඩුවේ කප්පාදු පියවරයන් කෙරෙහි මහජන කෝපය දේශපාලනිකව ගසාකෑමට රාජපක්ෂයට සහ ඔහුගේ බලවේගයන්ට හැකි වූයේ මන්ද? යන්න විමසා බැලීම ඊට ඇතුලත් වේ.

2015 ජනවාරි ජනාධිපතිවරනයට සති කිහිපයකට පෙර වොෂිංටනය සිය සමීපතම සගයා වන ඉන්දියාව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංඟ සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් මහින්ද රාජපක්ෂගේ දීර්ඝ කාලීන හෙංචයියා වූ සිරිසේන ආන්ඩුවෙන් ඉවතට ගෙන ඔහුගේ දිගුකාලීන ලොක්කාට එරෙහිව “පොදු විපක්ෂ” අපේක්ෂකයා කරගත්තේය.

රාජපක්ෂ චීනයට වඩා සමීප යැයි සැලකූ නිසා ඔහු ඉවත් කිරීමට එක්සත් ජනපදය අධිෂ්ඨාන ශීලී විය. ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ “ගුවන් යානා මධ්‍යස්ථානයක්” ලෙස භාවිතා කිරීමේ වොෂින්ටනයේ සැලසුම් වලට රාජපක්ෂගේ එම සම්බන්ධතා බාධාවක් ලෙස සලකන ලදී. එජාප නායක හා එවක ජනාධිපති අපේක්ෂකයා වීමට බලා සිටි රනිල් වික්‍රමසිංහ වොෂිංටනයේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ක්‍රියා කිරීමට උනන්දුවක් දැක්වූ නමුත් මහා ව්‍යාපාර සමඟ ඇති සමීප සබඳතා සහ ඔහුගේ දක්ෂිනාංශික වාර්තාව නිසා ඔහු චන්දයෙන් තෝරා ගත නොහැකි යැයි සැලකුනි. මෙය සිරිසේන වෙත එලඹීමටත්, අවසානයේදී ධනේශ්වර පාලනයේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුපුරවා හැරිය හැකි සිදුවීම් ආරම්භ වීමටත් හේතු විය. එම පක්ෂය 1950 ගනන්වල සිටම මෙරට පාලනය කල ප්‍රධාන ධනපති පක්ෂ දෙකෙන් එකක් විය.

කඩිමුඩියේ සංවිධානය කරන ලද, එක්සත් ජනපදය විසින් පිටුබල දෙන ලද පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම හේතු දෙකක් නිසා සාර්ථක විය.

පලමුව, මහින්ද රාජපක්ෂ ආන්ඩුව පුලු‍ල්ව අපකීර්තියට පත්ව තිබුනි. සිවිල් යුද්ධය අවසාන වීමෙන් පසුව “සාමයේ ප්‍රතිලාභ” ලබා දෙන බවට ඔහු දුන් පොරොන්දුව කුරිරු ප්‍රෝඩාවක් බව ඔප්පු විය. ඒ වෙනුවට ඔහු වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන්ට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව නව ප්‍රහාර එල්ල කරමින් දැවැන්ත මිලිටරි වියදම් පවත්වා ගෙන ගියේය.

දෙවනුව, ටීඑන්ඒ, බොහෝ රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති ගනනාවක් සහ ව්‍යාජ වාමාංශික දේශපාලන පක්ෂ සියල්ලම කාලයක් තිස්සේ රාජපක්ෂට අත එසවූ සිරිසේනට සහ ඔහුගේ නව සගයා වූ එක්සත් ජනපද ගැති වික්‍රමසිංහට ප්‍රජාතන්ත්‍රවාදී නැගිටීමක නායකයන් ලෙස මල්මාලා දැමුහ. නසසප නායක වික්‍රමාබාහු කරුනාරත්න එය “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්” ලෙස හැඳින්වීය.

නසසප වැනි සමහර ව්‍යාජ වාම කන්ඩායම් සිරිසේනගේ මැතිවරනයට විවෘතව සහාය දැක්වූහ. එක්සත් සමාජවාදී පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි තවත් අය රාජපක්ෂගේ “ආඥාදායක පාලනය” පරාජය කිරීමේ අවශ්‍යතාව අවධාරනය කරමින් වක්‍ර ලෙස ඊට සහයෝගය ලබා දුන් අතර පසුව “ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය” විවෘත කිරීම ගැන ආන්ඩුවට ප්‍රශංසා කලහ.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු ඇඟවූ පරිදි, සිරිසේන-වික්‍රමසිංහ “ජාතික සමගි” ආන්ඩුවේ “ප්‍රජාතන්ත්‍රවාදය”, දෙමල ජනතාව සමඟ “සංහිඳියාව” සහ “යහපාලනය” පිලිබඳ පොරොන්දු රාජපක්ෂගේ “සාම සහන වලට” බඳු ම වංචාවක් බව ඔප්පු විය. ආන්ඩුව වොෂිංටනයට හා නවදිල්ලියට ගැලපෙන පරිදි දිවයිනේ විදේශ ප්‍රතිපත්තිය රැඩිකල් ලෙස වෙනස් කල අතර, හමුදාව, විශේෂයෙන් නාවික හමුදාව, චීනයට එරෙහි පෙන්ටගනයේ පෙරමුනු බලය වන එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් අනදෙන මධ්‍යස්ථානය සමඟ සමීපව ගැට ගැසීය.

ජාමූඅ නයක් සඳහා ඇප වශයෙන් එය අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා බදු ඉහල නැංවීම සහ සුභසාධන වැඩසටහන්, සෞඛ්‍ය හා අධ්‍යාපනය තවදුරටත් කප්පාදු කිරීම ආදී ම්ලේච්ඡ වැඩපිලිවෙලක් ක්‍රියාවට දැමුවේය.

ආන්ඩුව, ප්‍රධානකොටම දෙමල ජනතාව වාසය කල උතුරු හා නැගෙනහිර හමුදා වාඩිලා ගැනීම අඛන්ඩව පවත්වා ගෙන ගියේය. එමෙන්ම, එක්සත් ජනපදයේ සහ එහි සහචරයින්ගේ සහාය ඇතිව, වොෂිංටනය මීට පෙර බීජිං සමඟ ඇති සබඳතා නතර කරන ලෙස රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් කිරීමේ යාන්ත්‍රනයක් ලෙස භාවිතා කල යුද අපරාධ විමර්ශන යටපත් කලේය.

2018 පෙබරවාරි පලාත් පාලන මැතිවරනයෙන් රාජපක්ෂ අලු‍තින් නිර්මානය කරන ලද දේශපාලන වාහනය වන ශ්‍රීලංපොපෙ ලබා ගත් වාසිය ආන්ඩුවට එරෙහිව වැඩෙමින් පැවති මහජන විරෝධයේ විකෘත ප්‍රකාශනයක් විය.

වැඩි කල් යන්නට මත්තෙන් වැඩ වර්ජන රැල්ල ආරම්භ වූ අතර එය මේ වසර අවසාන භාගය තෙක්ම අඛන්ඩව පෙරට ගියේය. ඒවාට වෙන කවරදාටත් වඩා කම්කරු පන්තියේ පුලු‍ල් කොටස් සම්බන්ධ විය. පසුගිය මාස 18 තුල දුම්රිය සේවකයින්, සෞඛ්‍ය සේවකයින්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින්, විදුලිය, ඛනිජ තෙල්, තැපැල් හා වතු කම්කරුවන් සහ සමහර නිදහස් වෙලඳ කලාපවල ඇතැම් කම්කරු කොටස් විසින් වැඩ වර්ජන දියත් කර තිබේ.

ධනේශ්වර රාජ්‍යයට සහ ලාභ ක්‍රමයට යටත්වුන, බොහෝ විට ආන්ඩුවේ ආධාරකරුවන් විසින් මෙහෙයවනු ලබන වෘත්තීය සමිති, නිරන්තරයෙන් වැඩ වර්ජන අරගල හුදකලාකරමින් හා නතර කරමින් ඒවා යටපත් කිරීම සඳහා ක්‍රියාත්මකවී ඇත.

දෙමල ජාතිකවාදීන්, ජවිපෙ සහ ව්‍යාජ වාමාංශික සංවිධාන යන සියල්ලෝම කම්කරු පන්තිය ධනේශ්වරයේ දේශපාලන හස්තය යටතේ තබමින් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි කම්කරු පන්තියේ සෑම දේශපාලන අභියෝගයකටම විරුද්ධ වුහ, එමගින් ඔවුහු රාජපක්ෂ සහ ශ්‍රීලංපොපෙට නරුම ලෙස එකම විපක්ෂය ලෙස පෙනී සිටින්නට අවස්ථාව උදාකර දුන්හ.

වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කොට ඔහු වෙනුවට මහින්ද රාජපක්ෂ පත් කල සිරිසේනගේ 2018 ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රනයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය සහ නසසප ප්‍රතිචාර දැක්වූයේ, එජාපයේ “ප්‍රජාතන්ත්‍රවාදය” සඳහා වූ ව්‍යාජ ව්‍යාපාරය වටා පෙල ගැසෙමිනි.

ප්‍රතිවාදී ධනේශ්වර කන්ඩායම් දෙකට විරුද්ධව, දේශපාලන අර්බුදයට කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත් වීම වෙනුවෙන් සටන් කලේ සසප පමනි. දෙදෙනාම ඒකාධිපති ක්‍රියාමාර්ග දෙසට හැරෙමින් සිටින බවට අනතුරු ඇඟවූ සසප, වික්‍රමසිංහට සහාය දැක්වීම සඳහා වොෂින්ටනයේ නිර්ලජ්ජිත මැදිහත්වීම හෙලි කලේය. (බලන්න: “ ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට සමාජවාදී විසඳුමක් සඳහා සටන් කරනු ”).

මාස හයකට පසුව ආන්ඩුව සහ බුද්ධි අංශ පූර්ව අනතුරු ඇඟවීම් ලබා දී තිබියදීත්, අයිඑස්අයිඑස් පිටුබලය ලත් කන්ඩායමකට 2019 අප්‍රේල් මස පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට ඉඩ දී සිය ගනනක් ජනයා ඝාතනය කිරීමට ඉඩ සැලසීමෙන් පසුව සියලු‍‍ විරුද්ධ පක්ෂ ඒ පසුපස ගාල් විය. රුදුරු හදිසි නීති රෙගුලාසි පැනවීම, රට පුරා හමුදාව යෙදවීම සහ දරුනු මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා සිරිසේන මෙම ප්‍රහාරය උපයෝගී කර ගත්තේය. විපක්ෂය, එනම්, ජවිපෙ, ටීඑන්ඒ සහ ව්‍යාජ වාම පෙසප, එසප සහ නසසප යන සියලු‍‍ සංවිධාන හදිසි රෙගුලාසිවලට සහාය දෙමින් “අන්තවාදයට” එරෙහි සටන ජාතික ප්‍රමුඛතාවයක් ලෙස ප්‍රකාශයට පත් කල අතර වෘත්තීය සමිති සියලු‍‍ වැඩ වර්ජන වහාම නවතා දැමීමට සහාය දුන්හ.

එසේ කිරීමෙන් ගෝඨාභය රාජපක්ෂට, පාස්කු බෝම්බ ප‍්‍රහාර ගසා කමින් ඔහුගේ මිලිටරිවාදී හා වර්ගවාදී වාචාල කතා වේගවත් කිරීමට සහ මිලිටරි බුද්ධි යාන්ත‍්‍රනය “දුර්වල කිරීම” පිලිබඳව ආන්ඩුව හෙලා දැකීමේ වේදිකාවක් සපයා දීමට ඔවුහු උදව් කලහ.

ඔවුන් 2015 දී කලාක් මෙන් 2019 ජනාධිපතිවරන සමයේදී ද දෙමල ජාතිකවාදී සහ “වාම” යයි කියාගන්නා පක්ෂ වැඩ කරන ජනතාව එජාප පිටුපස පෙල ගස්වා ගැනීමට උත්සාහ කලහ. සමහරු එසේ කලේ එලිපිටම ය. පෙසප සහ එසප වැනි තවත් සමහරු එසේ කලේ “රාජපක්ෂගේ ෆැසිස්ට්වාදයට” එරෙහිව නැගී සිටින්නේ යයි පවසමිනි. ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එරෙහි ප්‍රහාර පිලිබඳව හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඒජන්තයෙකු ලෙස කටයුතු කිරීමේ දීර්ඝ වාර්තාවකට හිමිකම් කියන එජාපයේ ජාතිවාදය ගැන නිහඬව සිටියහ.

කම්කරු පන්තිය දේශපාලනිකව මර්දනය කොට එය දක්ෂිනාංශික එජාපයට ගැට ගැසීමෙන්, දෙමල ජාතිකවාදී සහ “වාම” යයි කියා ගන්නා පක්ෂ, රාජපක්ෂට ජාමූඅ කප්පාදු පිලිබඳ මහජන කෝපයට වාචාල ආයාචනා කිරීමට දොර විවර කර දුන්හ. සිය සිංහල වර්ගවාදී සහ බෞද්ධ සහචරයින් යොදා ගනිමින් චීනයට එරෙහි කුමන්ත්‍රන වලදී ශ්‍රී ලංකාව ඉත්තෙකු ලෙස සේවය කල යුතු බවට වන වොෂින්ටනයේ ඉල්ලීම් කෙරෙහි පවතින මහජන විරෝධය ගසාකෑමට පවා ඔහු උත්සාහ කලේය.

එසේ කරන අතර වාරයේම ඔහු, කම්කරු පන්තියට එරෙහිව කුරිරු ක්‍රියාමාර්ග ගැනීමේ සිය අධිෂඨානය හා හැකියාව පෙන්වමින්, ධනේශ්වරයේ සහ මිලිටරි යාන්ත්‍රනයේ සහාය ඉල්ලා සිටියේය.

ඔහුගේ අභිලාෂයන් නොවලහා පෙන්වමින් ගෝඨාභය රාජපක්ෂ මේ සතියේ ප්‍රකාශ කලේ, විදේශ ප්‍රාග්ධනය විසින් ඉල්ලා සිටිනු ලබන “ස්ථාවරත්වය” ඇති කිරීම සඳහා ජනාධිපති වෙත අත්තනෝමතික බලතල පැවරීම සඳහා වහාම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට තමා අධිෂ්ඨාන කරගෙන සිටින බවයි. “ස්ථාවරත්වයක් නොමැති කල ආයෝජකයින් පැමිනෙන්නේ නැත” යනුවෙන් ඔහු ප්‍රකාශ කලේය.

කම්කරු පන්තිය සඳහා ඉදිරි මාවත

රාජපක්ෂ-ශ්‍රීලංපොපෙ ආන්ඩුව කෙරෙහි වැඩකරන ජනතාව අතර කුමන මිත්‍යාවන් පැවතියත් ඒවා ඉක්මනින් දුරුව යනු ඇත. කෙසේ වෙතත් තීරනාත්මක ප්‍රශ්නය වන්නේ එලඹෙන මහජන අරගලයන්ට මග පෙන්වන්නේ කුමන මූලෝපාය සහ වැඩපිලිවෙල ද යන්නයි.

සිය පන්ති අවශ්‍යතා තහවුරු කර ගැනීම සඳහා කම්කරු පන්තිය සමාජවාදී ජාත්‍යන්තරවාදී මූලෝපායක් අනුගමනය කල යුතු අතර එය මූර්තිමත් කරන නව අරගල සංවිධාන ගොඩනැඟිය යුතුය.

මෙරට වැඩෙන වැඩ වර්ජන රැල්ල වනාහි ඉන්දියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මහ වැඩ වර්ජන, ප්‍රන්සයේ සමාජ අසමානතාවයට එරෙහි “කහ බැනියම්” ව්‍යාපාරය සහ චිලී සහ ඉක්වදෝරය හා ඇල්ජීරියාව සහ ලෙබනනය දක්වා පැතිර ඇති ලොව පුරා මහජන විරෝධතා වලින් ඇලලී ගිය ගෝලීය කම්කරු පන්තියේ නැගිටීමක කොටසකි. ධනවාදය තුල කම්කරු පන්තිය ගෝලීය සතුරෙකුට මුහුන දෙයි. අන්තර්ජාතික සංගත ආයෝජන සඳහා ඉහලම ප්‍රතිලාභ සොයමින් ලෝකය පුරා සැරිසරන අතර ප්‍රධාන ධනවාදී බලවතුන් 1930 ගනන් වලදී මෙන්, වෙලඳ යුද්ධ සහ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ යුද්ධවල නිරත වෙමින් උමතු මිලිටරීකරනයට හැරී සිටියි.

ගෝලීය වශයෙන් සංවිධානය වී ඇති ප්‍රාග්ධනය පරාජය කිරීම සඳහා, කම්කරු පන්තිය ජාතික සීමාවන් හා මහාද්වීප හරහා සිය අරගල එක්සත් කිරීම හා සම්බන්ධීකරනය කිරීම සඳහා ගෝලීය මූලෝපායක් අනුගමනය කල යුතුය.

පෙරලිකාර කම්කරු පන්තියකට ප්‍රතිචාර වශයෙන් සෑම රටකම ධනේශ්වරය, ඒකාධිපති පාලන ක්‍රම දෙසට හැරී අන්ත දක්ෂිනාංශික ජාතිකවාදී සහ වාර්ගික බලවේග වර්ධනය කරමින් සිටී. ෆැසිස්ට් ප්‍රකෝටිපතියෙකු ධවල මන්දිරයේ වාඩි වී සිටින එක්සත් ජනපදය, ජර්මනිය සඳහා විකල්පය යන නව ෆැසිස්ට් සංවිධානය නිල විපක්ෂය බවට පත්ව සිටින ජර්මනිය, ධනේශ්වරය විසින් නරේන්ද්‍ර මෝඩි සහ ඔහුගේ හින්දු අධිපති භාරතීය ජනතා පක්ෂය වැලඳගෙන සිටින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙය සත්‍යයකි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු‍‍ ගැන්වීම සහ “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ” නාමයෙන් කම්කරු පන්තිය එජාප වැනි ධනේශ්වරයේ එක් හෝ තවත් කන්ඩායමකට බැඳ තබන සියලු‍‍ දෙනාට එරෙහිව නිර්දය අරගලයක් අවශ්‍ය වේ.

ජනාධිපතිවරනයේදී සසප මැදිහත්වීමේ කේන්ද්‍රය වූයේ, වත්මන් වැඩ වර්ජනය තුල ප්‍රකාශිත සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ වෛෂයික සමගිය සවිඥානික දේශපාලන මූලෝපායක් බවට පත් කිරීමේ අරගලයයි.

වර්ගවාදයේ හා ජාතිකවාදයේ වස විස කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතුය. දශක ගනනාවක් තිස්සේ පාලක පන්තියේ ප්‍රධාන දෘෂ්ටිමය ආයුධය වන සිංහල ජනතාවාදය වැඩකරන ජනතාව ඔවුන්ගේ පන්ති සතුරන් සමඟ ගැටගැසීමට හා කම්කරු පන්තිය බෙදීමට භාවිතා කෙරෙයි. දෙමල ධනේශ්වරයේ දෙමල ජාතිකවාදී ඉදිරිදර්ශනය පීඩිත දෙමල ජනතාව ආවෘත අන්ත්රයකට තල්ලු‍‍ කර ඇත. කම්කරු පන්තියට සතුරු වූ එල්ටීටීඊය ඉන්දියාවේ සහ පසුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහය පැතීම සිය මූලෝපායික පදනම් කර ගත්තේය. ටීඑන්ඒ ගමන් කරන්නේ එහි අඩිපාරේ ය.

දෙමල හා මුස්ලිම් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත වන්නේ, ධනේශ්වර පාලනය පෙරලා දැමීම සහ දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස සහ සමාජවාදය සඳහා වන ලෝක අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීමෙන් පමනි.

සසප සිය අරගලය පදනම් කරගන්නේ, 1917 ජයග්‍රාහී රුසියානු විප්ලවය ජීවමාන කල, කම්කරු පන්තිය සඳහා ගෝලීය විප්ලවවාදී මූලෝපායක් විස්තාරනය කල, නොනවතින විප්ලවයේ න්‍යාය මත ය. නොනවතින විප්ලවයේ ප්‍රධාන මූලධර්මයක් නම්, කල්පසුවී ධනවාදී සංවර්ධනයක් සිදුව ඇති රටවල මූලික ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් සාක්ෂාත් කල හැක්කේ කම්කරු පන්තියේ නායකත්වයෙන් යුත් සමාජවාදී විප්ලවයක් තුලින් පමනක්ය යන්නයි.

කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම මගින් ග්‍රාමීය පීඩිතයින් මහා ව්‍යාපාරිකයන්ගේ ආධිපත්‍යයෙන් නිදහස් කරගැනීමේ වැඩපිලිවෙලක් සපයනු ඇති අතර එමඟින් සිංහල ජනතාවාදීන්ගේ සහ දෙමල ජාතිකවාදීන්ගේ ව්‍යාජ ආයාචනා යටපත් කරනු ඇත.

යුද්ධයට එරෙහි අරගලය සමාජවාදය සඳහා අරගලයේ තියුනු තුඩයි. කම්කරුවන් හා තරුනයින් දිවයින සිය යුද සැලසුම් වලට ඈඳා ගැනීමේ එක්සත් ජනපද ප්‍රයත්නයට දැඩි ලෙස විරුද්ධ විය යුතුය. ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක කොටසක් ලෙස යුද්ධයට එරෙහි කම්කරු පන්තිය විසින් මෙහෙයවන ව්‍යාපාරයක් දකුනු ආසියාව පුරා ගොඩනැගිය යුතුය.

කම්කරුවන් හා තරුනයින් ඇබොට්ස්ලී වතු කම්කරුවන් ගෙන ඇති මූලිකත්වය අනුගමනය කල යුතුය. ඒ අනුව සමිති වලින් ස්වාධීනව ප්‍රදේශ බද ක්‍රියාකාරී කමිටු ගොඩනඟමින් මහා ව්‍යාපාර හා රාජ්‍යයෙන් එල්ල වන ප්‍රහාරයන්ට එරෙහි විරෝධය බලමුලු‍‍ ගැන්වීමටත් කම්කරු පන්තියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයකට කම්කරු ජනතාවගේ විවිධ අරගලයන් එක්සත් කිරීමටත් කටයුතු කල යුතුය.

සියල්ලටත් වඩා, කම්කරු පන්තියට අවශ්‍ය වන්නේ ධනවාදයට, කප්පාදුවට සහ යුද්ධයට එරෙහිව ලෝක කම්කරු පන්තිය බලමුලු‍‍ ගැන්වීමට කැපවුන විප්ලවවාදී පක්ෂයකි. එය පදනම් විය යුත්තේ, විසිවන සියවසේ විප්ලවවාදී පන්ති අරගලවල මූලෝපායික පාඩම් මත ය. එම පක්ෂය සමාජවාදී සමානාත්මතා පක්ෂය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි. සසප එහි ශ්‍රී ලාංකා ශාඛාවයි.

Share this article: