රාජපක්ෂ ආන්ඩුව බදු සහන වලට මුවාවෙන් පන්ති යුද්ධය උග‍්‍ර කිරීමට සැරසෙයි

දිල්රුවන් විතානගේ විසිනි, 2019 දෙසැම්බර් 12

පසුගිය නොවැම්බර් මස 27 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කල නව කැබිනට් මන්ඩලයේ පලමු රැස්වීමේදීම මහා ව්‍යාපාර ප්‍රමුඛ ව්‍යාපාරික ක්ෂේත්‍රය එල්ල කර ගනිමින් බදු සංශෝධනයන් සහ කප්පාදු කිරීම් මාලාවක් හඳුන්වාදීම සමගම ප්‍රකට වූයේ කම්කරු පීඩිත මහජනයාගේ සමාජ අයිතීන් සහ ජීවන කොන්දේසි වලට එල්ල කරන ප්‍රහාර තීව්ර කිරීමට ආන්ඩුව ලක ලෑස්ති වෙමින් සිටින බවයි.

එදිනම බදු සංශෝධන ප්‍රකාශයට පත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී තොරතුරු සන්නිවේදන තාක්ෂන හා උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුනවර්ධන “මෙය මහජනයාට ලැබීමට නියමිත ජයග්‍රහනයන්ගෙන් පලමුවැන්නයි” යනුවෙන් කයිවාරු ගැසීය.

ආන්ඩුවේ මෙම කයිවාරුව ධනපති සංස්ථාපිතයේ සියලුම ජන මාධ්‍ය වලින් වැමෑරුවද මෙම බදු සහන වලින් ජීවන වියදම අඩුවී නොමැති බවත් පාරිභෝගික ජනතාවට යන්තමින් හෝ බලපාන්නේ වැට් බද්ද සියයට හතකින් පමන අඩු කිරීම පමනක් බවත් පසුගිය දින කිහිපය තුල සනාථ වී තිබේ.

මීට ප්‍රතිකූලව මෙම බදු සංශෝධනයන්ගේ සෘජුවම වාසි ලබා ගන්නේ විශාල සමාගම්, බැංකු සහ සුපිරි ධනපතියන් ඇතුලු ව්‍යාපාරික ක්ෂේත්‍රය විසිනි.

පුද්ගල ආදායම් බද්ද සියයට 24 සිට 18 දක්වා අඩුකිරීම, ලාභාංශ හා පොලී මත පනවා තිබූ සියයට පහක බද්ද, ජාතිය ගොඩ නැගීමේ බද්ද හා ආර්ථික සේවා බද්ද ඉවත් කිරීම, කෘෂිකර්මාන්තය, ධීවර, පශු සම්පත් හා තොරතුරු තාක්ෂන සේවා ව්‍යාපාර සඳහා පැවති බදු ඉවත් කිරීම, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා බදු අනුපාතිකය සියයට 28 සිට සියයට 14 දක්වා පහත හෙලීම, බැංකු සහ මුල්‍ය ආයතන මත අයකරන හර බද්ද ඉවත් කිරීම ධනපතියන්ට ලබාදුන් සහන මල්ලෙන් කොටසක් පමනි.

මෙය “මහජනයාගේ ජයග්‍රහනයක්” යැයි කියා කටගත් විගස ගුනවර්ධන ඊලඟට විස්තර කලේ බදු සහන මගින් ආන්ඩුවට අහිමි වන අදායම පියවා ගැනීම සඳහා රාජ්‍ය වියදම් කප්පාදු කිරීමටත් ඉදිරියේදී අලුතින් බදු හඳුන්වාදීමටත් ආන්ඩුව සූදානම් බවයි.

“අපි බලාපොරොත්තු වෙනව මෙම පියවර මගින් දිගු කලක් මන්දගාමීව පැවති ආර්ථිකය වර්ධනය වීම ඇරඹෙයි කියල. ආර්ථිකය වර්ධනය වීම පටන් ගත්තම අපි රජයේ ආදායම් වැඩි කර ගන්නා ආකාරය පිලිබඳ සලකා බලනවා”. ආයෝජන ආකර්ශනය කර ගැනීම සහ රාජ්‍ය වියදම් කප්පාදු කිරීම කෙරෙහිද රජය අවධානය යොමු කරන බව ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙම බදු සංශෝධනය සම්බන්ධයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යංශය විසින් නිකුත් කල නිවේදනයක මෙසේ සඳහන් විය.

“මෙම පිලිවෙත් ක්‍රියාවට දමනුයේ රාජ්‍ය වියදම් කලමනාකරනය, රජයේ ව්‍යවසායන් වැඩි දියුනු කිරීම සහ පරිපාලනමය ක්‍රම සහ පිලිවෙත් සරල කිරීම යන සියල්ල ඇතුලත් කරගත් උචිත ප්‍රතිපත්තිමය රාමුවක් තුලය.”

තවද එම නිවේදනයට අනුව බදු සංශෝධන නිසා 2019 වසරේ ලංකාවේ අයවැය පරතරය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 ක් දක්වා ඉහල යා හැකිය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග ප්‍රකාරව මෙම අයවැය හිඟය 2020 වන විට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5කට අඩු කල යුතුය. ඒ සඳහා ලබන වසර මැද වනවිට ආන්ඩුව ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ දක්වා ඇති අතර එහි අර්ථය වන්නේ ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත මහ මැතිවරනයෙන් අනතුරුව ජාමූඅ හි යෝජනා අනුව දැවැන්ත කප්පාදු වැඩ පිලිවෙලකින් කම්කරුවන් හා දුගීන් තලා දැමීමට ආන්ඩුව ඉලක්ක කරගෙන සිටින බවයි.

දෙසැම්බර් 4 දාතමින් එම අමාත්‍යාංශය ආන්ඩුවට සම්බන්ධ සියලු ආයතන වලට නිකුත් කර ඇති චක්‍රලේඛයක් මගින් නියෝග කර ඇත්තේ ජනාධිපතිගේ ඉල්ලීමකට අනුව “සියලු අත්‍යවශ්‍ය නොවන හා ප්‍රමුඛතාවක් නොමැති” වියදම් කපා හැරිය යුතු බවයි.

මෙම නියෝග වල ඇඟවුම නම් ධනපති බදු සහන සැපයෙන්නේ සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුලු ආන්ඩුවේ සේවාවන් සඳහා කෙරෙන වියදම් කපා හැරීමේ උදව්වෙන් බවයි. එමෙන්ම ජාමුඅ හි නියෝග අනුව සිදු කෙරෙන රාජ්‍ය ව්‍යවසායයන් වානිජකරනය හරහා රාජ්‍ය වියදම් කප්පාදුව සහ පෞද්ගලීකරන වැඩ පිලිවෙල අලුත් වටයකින් පැමිනීමට නියමිත බව ආන්ඩුවේ ප්‍රකාශ මගින් ඉස්මතු කර තිබේ.

මීට අමතරව ඉදිරියේදී විදේශ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා තවත් බදු සහන හඳුන්වාදීමට ආන්ඩුව බලාපොරොත්තු වන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල උපුටා දක්වමින් ඬේලිඑෆ්ටී පුවත්පත දෙසැම්බර් 4 වන දින වාර්තා කලේය.

“අපි ලංකාව ඕනෑම ආයෝජකයෙකුට සාපේක්ෂව වාසිසහගත වන පරිදි සකස් කරන අතර ලංකාවේ ආයෝජන අවස්ථා ගැන සලකා බලන අයෝජකයන් වෙනුවෙන් නැවතත් බදු සහන හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා”යනුවෙන් ඔහු මාධ්‍යයට පැවසීය.

මෙම බදු අඩු කිරීම මගින් වාර්ෂිකව රුපියල් බිලියන 550ක් (එනම් ඇමරිකානු ඩොලර් බිලියන 3ක් පමන) අහිමි වන බව පැවසූ රඹුක්වැල්ල එය පියවා ගන්නා ආකාරය පිලිබඳව නරුම ලෙස විස්තර කලේ මෙසේය.

“මේ වන විට අපගේ දල දේශීය නිෂ්පාදිතය ඇ.ඩොලර් බිලියන 80ක්. මෙය මත සියයට 5ක බද්දක් පැනෙව්වත් ඇ. ඩොලර් බිලියන 4ක් හොයා ගන්න පුලුවන්, මෙම සරල න්‍යාය තමයි අපගේ මූල්‍ය විශාරදයන් විසින් ක්‍රියාවට දමන්න බලාපොරොත්තු වෙන්නේ.”

රඹුක්වැල්ලගේ “සරල න්‍යායට” අනුව මහා ධනපතියන්ට බදු සහන පූජා කිරීමෙන් අහිමි වන බදු ආදායම පියවීම සඳහා සෑම පුද්ගලයෙක් මතම සාමාන්‍ය වශයෙන් සියයට 5ක් බදු වැඩි කල යුතුය.

මේ අතර දෙසැම්බර් මස 5 වන දින ලෝක බැංකුවේ දකුනු ආසියාව පිලිබඳ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ හෑන්ස් ටිමර් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කල දේශනයකදී පැවසුවේ “ලංකාවේ ආර්ථිකයට ඉදිරි කාලය සඳහා මූල්‍යමය උත්තේජනයක් සැපයීම නෛසර්ගික අවශ්‍යතාවක් වුවත් එසේ කිරීම සඳහා ඉඩක් නොමැති” බවය.

තවද ඉහත බදු සහන ආර්ථිකයට අතිශයින්ම අනතුරුදායක බව පැවසූ ඔහු ගෝලීය වශයෙන් ඒකාග්‍ර වෙමින් මහා පරිමාන මූල්‍ය ප්‍රාග්ධන ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීම සඳහා ලංකාවේ මූල්‍ය විනය ඇති කරමින් ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කල යුතු බවත් ශ්‍රමය සූරාකෑම වඩාත් කාර්යක්ෂමව කරමින් නිෂ්පාදන ඵලදායිත්වය ඉහල දමා ගැනීම සඳහා අවශ්‍ය කොන්දේසි සකස් කල යුතු බවත් කියා සිටියේය.

මූල්‍ය විනය හා ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් යන්නෙහි අර්ථය වන්නේ මුල්‍ය සහනාධාර දීම් හා සුබ සාදන කටයුතු කපා දමමින් රාජ්‍ය ව්‍යවසායයන් රාජ්‍ය භාන්ඩාගාරයෙන් මුදල් නොලබන පාරිභෝගිකයන්ගෙන් අය කරගනු ලබන ගාස්තු වලින් නඩත්තු වන වානිජ ආයතන බවට හරවන්නාවූ සමාජ ප්‍රතිවිප්ලවයේ ක්‍රියා මාර්ගයයි.

“ලංකාවේ දැනට ඌන වශයෙන් ප්‍රයෝජනයට ගෙන අවිධිමත් අංශයේ කම්කරුවන්, කාන්තාවන් වැනි කොටස් රැකියා වලට යොමු කරවමින් ආයෝජකයන්ට ලංකාවේ ශ්‍රම තටාක මගින් උපරිම පල නෙලා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සැකසිය යුතුය” යනුවෙන් ඔහු සඳහන් කලේය.

මෙහි අර්ථය වන්නේ ඉන්දියාව, බංග්ලාදේශය, වියට්නාමය වැනි රටවලට වඩා අඩු මිලට ශ්‍රමය විකිනිය හැකි රටක් ලෙසට ලංකාව පත් කිරීමේ එල්ලය සහිතව ලංකාවේ ගම්බද දුගීන්, ගොවියන්, කාන්තාවන් ඇතුලු සමාජයේ වඩාත් පහලට වට්ටා ඇති කොටස් ඉතා සොච්චම් වැටුපකට දරුනු සූරාකෑමේ කොන්දේසි යටතේ වැඩකරන වැටුප් ශ්‍රමිකයන් බවට පරිවර්තනය කිරීමය.

මෙම වුවමනාව ලංකාව තුල ධනපති කව තුල සාකච්ඡා වෙමින් පවතියි. “පෞද්ගලික අංශයට බදු කපා හැරීම් වලට අමතරව අවශ්‍ය වන්නේ මොනවාද” යන හිසින් දෙසැම්බර් 4 වන දින ඬේලිඑෆ්ටී පුවත්පතට ලිපියක් ලියමින් ලංකාවේ තොරතුරු තාක්ෂනික ක්ෂේත්‍රයේ සමාගමක ප්‍රධානියෙකු ලියූ ලිපියක මෙසේ සඳහන් කොට තිබුනි.

“ආදායම් වැඩි කරගැනීමට ඇති ප්‍රධානම බාධකය පුහුනු ශ්‍රමිකයන් නොමැතිකමයි. එක් අතකින් ශ්‍රම වෙලෙඳපොලේ පවතින තරඟය (සමාගම් අතර) නිසා සුදුසු සේවකයන් අත්පත් කරගැනීමට සමාගම් වලට විශාල පිරිවැයක් දැරීමට සිදු වෙනවා. අනෙක් අතට ශ්‍රම බලකායේ නිපුනතා මට්ටම් ප්‍රමානවත් නොවීම නිසා ලෝක වෙලෙඳපොලේ තරඟකාරීත්වය අඩු වෙනවා.” ඔහුගේ යෝජනාවද කලාපයේ අනෙකුත් රටවල් සමඟ කරට කර තරඟ කිරීම සඳහා අඩු වැටුප් ශ්‍රම හමුදාවක් ලංකාවේ නිර්මානය කිරීමය.

ආන්ඩුවේ ඇමතියන් ප්‍රධාන පෙලේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් හරහා මෙම බදු සහන මහජනයාගේ ජයග්‍රහනයක් ලෙස හුවා දැක්වුවද මේවායේ සැබෑ අරමුන දේශීය සහ විදේශීය ප්‍රාග්ධනයේ අවශ්‍යතා ඉෂ්ට කිරීම බව පැහැදිලි වෙයි. මෙම බදු සහන හරහා කම්කරුවන්, දුගීන්, ගොවීන් ඇතුලු මහජනයාගේ ජීවන මට්ටම් තව තවත් පහලට ඇද දැමීම මිස ඉහල යෑමක් සිදු නොවනු ඇත.

Share this article: