ශ්‍රී ලංකාවේ ජනාධිපති සුලු‍තර ආන්ඩුවක් පත්කරමින් ආරක්ෂක හමුදා සීරුවෙන් තබයි

Sri Lankan president appoints minority government and puts security forces on alert

සමන් ගුනදාස විසිනි, 2019 නොවැම්බර් 29

නව පරිපාලනය, විෂඝෝර “ජාතික ආරක්ෂක” පියවරයන් දිගට ම පවත්වාගෙන යනු ඇති අතර, සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත ප්‍රහාරයන්ට එරෙහි ගැඹුරට ගිය මහජන විරෝධයට මුහුන දෙයි.

රටෙහි ආරක්ෂාව බලාත්මක කිරීමේ ආයතන විසින්, “සාමයට බාධා ඇති කරන ඕනෑම පුද්ගලයෙකුට හෝ කන්ඩායමකට විරුද්ධ ව තරාතිරම නො බලා නීතිය ක්‍රියාත්මක කරනු” ඇතැ යි සඳහන් කරමින්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න විසින්, තමා ආරක්ෂක ලේකම් ධුරයට පත්කරනු ලැබීමෙන් දින ගනනක් ඇතුලත, පසුගිය සතියේ, ප්‍රකාශයක් නිකුත් කලේ ය.

අලු‍තින් පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරක්ෂක ලේකම් ධුරයට පත්කල ගුනරත්න, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි කොලඹ ආන්ඩුවේ ලේවැකි යුද්ධය සමයේ රඳවාගත් එල්ටීටීඊ සාමාජිකයන් නඩු නොඅසා ඝාතනයන්ට බඳුන් කලේ යයි චෝදනා ලත් මිලිටරි ඒකකයකට නායකත්වය දුන්නේ ය.

පොලිස් නිලධාරීන් “රටෙහි ආරක්ෂාව පිලිබඳ ව වඩා සුපරීක්ෂාකාරී” වනු ඇති බවත්, “අදාල ප්‍රදේශයේ ආරක්ෂාව ගැන ඔවුන් වගකීම දරන” බවත් ආරක්ෂක ලේකම් වරයා කීවේ ය. “මෑත ජනාධිපතිවරනයට පසු රටෙහි ඇති වී තිබෙන දේශපාලන වෙනස්කම් හේතුවෙන් කිසිදු දේශපාලන පලිගැනීමක්, පැහැරගෙන යාමක් හෝ බාධාවක් ඇති වේ යයි රටෙහි ජනතාව අතර අනියත බියක් නො තිබිය යුතු ය” යි ඔහු අවධාරනය කලේ ය.

මැතිවරනයෙන් අනතුරු ව ශ්‍රී ලාංකිකයන් අතර “දේශපාලන පලිගැනීම්, පැහැරගෙන යාම් හා බාධාකිරීම්” ගැන බියක් තිබේ නම් එය පුදුමයක් නො වේ. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දැරූ 2005 සිට 2015 දක්වා පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය සමයේ ඒවා සුලභ දේවල් විය. ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත කෲර හා ම්ලේච්ඡ ප්‍රහාරයක් අධීක්ෂනය කල ගෝඨාභය, එල්ටීටීඊයට එරෙහි යුද්ධය සමයේ සිදුකල යුද අපරාධ චෝදනාවන්ට ලක්වූවෙකි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (ස්තුතිය: ඒපී ෆොටෝ)

ගුනරත්නගේ ප්‍රකාශය, ප්‍රජාතන්ත්‍ර හා සමාජ අයිතීන් රැකගැනීමට සටන් කරන සියල්ලන් බියවැද්දීමේ උත්සාහයකි. පූර්ව ආන්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවරයන් පැටවීමට එරෙහි ව ශ්‍රී ලංකාවේ කම්කරුවන් හා දුගීන් 2018 පටන් මහජන වැඩ වර්ජන හා විරෝධතාවන්හි නියැලී ඇත.

මේ මාසයේ පැවති ජනාධිපතිවරනයට පෙරාතුව හටගත් දුම්රිය කම්කරුවන්ගේ, ගුරුවරුන්ගේ හා විශ්ව විද්‍යාල අනධ්‍යයන කම්කරුවන්ගේ ජාතික වර්ජන, මැතිවරන කොමසාරිස්ගේ නියමයන් මත වෘත්තීය සමිති විසින් නවතා දමන ලදී.

මෙම අරගල සමගින් ශ්‍රී ලංකාවේ වැඩෙන නය හා ආර්ථික ගැටලු‍ කොලඹ පාලක ප්‍රභූව ගැඹුරු අර්බුදයකට ඇද දමා ඇත. මහ ව්‍යාපාරික කොටස් මහජන විරෝධය මැඩීම පිනිස “ශක්තිමත් පාලකයෙක්”ඉල්ලමින් සිටී. වැටුප් හා සමාජ කොන්දේසි අරබයා ජාතික වර්ජන හා විරෝධතා කෙලෙසකින් හෝ යලි ආරම්භ වීම “සාමයට බාධාවක්” ලෙස සලකමින් ආන්ඩුව විසින් තහනම් කල හැකි ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා සමස්ත පාලක ප්‍රභූව විසින්, ඉස්ලාමීය මූලධර්මවාදී කන්ඩායමක් විසින් අප්‍රේල් 21දා එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාර, හදිසි තත්ත්වයක් ප්‍රකාශ කොට රට පුරා මිලිටරිය දිගේලි කිරීමට වහාම ඩැහැගත්තේ ය.

මෙම මර්දනීය පියවරයන් අනුමත කල මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) ප්‍රජාගනවාදී මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයක් ඇවිලවී ය. මිලිටරි ඔත්තු සේවය බිඳ එය දුර්වල කලේ යයි ආන්ඩුවට චෝදනා කල ශ්‍රීලපොපෙ, “ශක්තිමත් පුද්ගලයෙකු” ලෙස හුවාදක්වමින් හා යුද්ධය තුල ඔහුගේ ම්ලේච්ඡ වාර්තාව ඉස්මතු කරමින් ගෝඨාභය රාජපක්ෂ එහි ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරියට දැමී ය.

ජනමාධ්‍යවේදියෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් නොවැම්බර් 23දා ආරක්ෂක ලේකම්වරයා “ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සීමාකරමින් ආන්ඩුව මිලිටරි පාලනයක් දෙසට ගමන් කරමින් සිටින බවට සමහර ජනයා දක්වන අදහස්වල අංශු මාත්‍ර සත්‍යයක් නැත” යි ප්‍රකාශ කලේ ය. එහෙත් ගුනරත්න අනතුරු ඇඟවූයේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට පොලීසිය වගකීම දරන බවත්, තත්ත්වය පාලනය කල නො හැකි තැනට පත්වුව හොත් විශේෂ කාර්ය බලකාය හා ආරක්ෂක හමුදා දිගේලි කරනු ඇති බවත් ය.

නොවැම්බර් 22දා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කල ජනාධිපති රාජපක්ෂ ශ්‍රී ලංකාව පුරා නීතිය හා සාමය පවත්වාගෙන යාමට යුද, නාවික හා ගුවන් හමුදාවලට නියෝග කලේ ය. මෙම තීරනය හිටපු ජනාධිපති සිරිසේන විසින් අගෝස්තු මාසයේ හඳුන්වා දුන් රටෙහි දිස්ත්‍රික්ක 25ට හා රටට අයත් සාගර ප්‍රදේශයන්ට සන්නද්ධ හමුදා දිගේලි කිරීම දිගට ම පවත්වාගෙන යාමකි. (බලන්න: “ශ්‍රී ලංකාවේ ජනාධිපති හදිසි නීතිය ‘ඉවත් කල’ ද ‘ආරක්ෂාව පවත්වාගෙන යාමට’ සන්නද්ධ හමුදා දිගේලි කරයි”).

ආරක්ෂක ලේකම් ගුනරත්න මෙම විෂඝෝර පියවරයන් දිගට ම පවතිනු ඇති බව තහවුරු කල අතර, දේශපාලනික ව අස්ථාවර වන නව තන්ත්‍රය ප්‍රජාතන්ත්‍ර හා සමාජ අයිතීන් මත ප්‍රහාරයන්ට එරෙහි කම්කරු පන්තියේ ගැඹුරට ගිය විරෝධයට මුහුන දෙයි.

මැතිවරනයේ පටන් ජනාධිපති රාජපක්ෂ ක්‍රියාකොට ඇත්තේ, ඔහුගේ පාලනය ශක්තිමත් කිරීම හා ස්ථාවර කිරීම පිනිස දේශපාලනික ගජමිතුරන් පත්කිරීමට ය. පසුගිය අගමැති ධුරයෙන් ඉවත් වන ලෙස රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටි ඔහු, එම තනතුරට ඔහුගේ සහෝදර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ඇමතිවරුන් ලෙස අනෙකුත් දේශපාලනික විශ්වාසවන්තයන් 16 දෙනෙකු ද පත්කලේ ය.

රාජ්‍ය බලය සාරභූතව පාලනය කරමින් අගමැති රාජපක්ෂ මුදල්, නාගරික සංවර්ධන, නිවාස, ජල සම්පාදන හා බුද්ධ ශාසන කාර්යභාරයන් දරමින් නව කැබිනට්ටුවට නායකත්වය දෙයි. එහෙත් ශ්‍රීලපොපෙට පාර්ලිමේන්තු බහුතරයක් නැත.

“හැකි ඉක්මනින්ම” ක්ෂනික මහ මැතිවරනයක් ඔහුට අවශ්‍ය බව ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කොට ඇත. වර්තමාන පාර්ලිමේන්තුවේ පස්-අවුරුදු කාල සීමාව අවසන් වන්නේ ලබන අගෝස්තුවේ දී වුවත්, පාර්ලිමේන්තුව විසුරුවා මාර්තු මාසයේ නව මැතිවරනයක් පැවැත්වීම පිනිස තම ජනාධිපති බලතල භාවිතා කිරීමට ඔහුට අවශ්‍ය ය.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ජනාධිපතිවරයා ඇමති තනතුරු දැරීමෙන් වලක්වන නිසා එය කටුගා දැමීම ද ශ්‍රීලපොපෙ විසින් ඉල්ලා සිටී. සුලු‍තර ආන්ඩුවකට මෙය කල නො හැක.

1994 හා 2015 අතර කාලයේ අනුප්‍රාප්තික ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවල ඇමති ධුර දරා ඇති කොලඹ දේශපාලන සංස්ථාපිතයේ නායක චරිතයක් වන ශ්‍රීලපොපෙ සභාපති ජී. එල්. පීරිස්, වහා ම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරනයක් පවත්වන ලෙස මේ සතියේ එජාපයෙන් ඉල්ලා සිටියේ ය.

නව ජනාධිපති හා අගමැති අත්තනෝමතික ලෙස ක්‍රියාකිරීමට සූදානම් බව පීරිස් ඉඟිකලේ ය. “අපට පාර්ලිමේන්තුව තුල බහුතරයක් නැති නිසා පමනක් ම ගෝඨාභය-මහින්ද ඒකාබද්ධතාව නිකම්ම සිටින්නේ නැහැ. ආරක්ෂක අංශය හා ජාතික ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම ඇතුලු‍ ප්‍රධාන පොරොන්දු ඔවුන් ඉටු කරාවි” යි ඔහු ප්‍රකාශ කලේ ය.

පී. බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ලෙස හා එස්. ආර්. ආටිගල භාන්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙස පත්කිරීම ඇතුලු‍ ව රාජපක්ෂ විසින් ප්‍රධාන රාජ්‍ය නිලධරයන් ද පත්කොට ඇත. මෙම පත්කිරීම් අර්ථභාරී ය.

මහ බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥයෙකු හා 1990 ගනන් සිට 2014 දක්වා විවිධ ආන්ඩු යටතේ මුදල් අමාත්‍යාංශ ලේකම් වූ ජයසුන්දර, ජාමූඅ නියෝග අනුකම්පා විරහිත ව ක්‍රියාවට දැමීම ගැන කුප්‍රකට ය. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතියෙකු වන ආටිගල, පසුගිය වසර 10 තුල නියෝජ්‍ය භාන්ඩාගාර ලේකම් හා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් ලෙස සේවය කලේ ය.

මෙම පත්කිරීම් තිබියදීම අලු‍තින් පත්වූ ජනාධිපති හා ශ්‍රීලපොපෙ සුලු‍තර ආන්ඩුව දුර්වල ය. තියුනු මූල්‍ය අර්බුදයකට මුහුන දෙන එයට ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය අනවන කප්පාදු පියවර ක්‍රියාවට දැමීමට බලකෙරෙනු ඇත. ශ්‍රී ලංකාවේ මිලියන ගනන් කම්කරුවන්ගේ ජීවන හා සමාජ කොන්දේසි මත එල්ල කරන අනුකම්පා විරහිත ප්‍රහාර ප්‍රමාද නො වී ප්‍රධාන පන්ති සටන් අවුලු‍වනු ඇත.

Share this article: