නේටෝව සම්බන්ධයෙන් මැක්‍රොන් කල විවේචන ලන්ඩන් සමුලුවේදී ට්‍රම්ප් හෙලා දකී

Trump denounces Macron’s criticisms of NATO at London summit

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2019 දෙසැම්බර් 4

දෙදින නේටෝ සමුලුව ලන්ඩනයේදී ආරම්භ වීමත් සමඟ ඊයේ, එක්සත් ජනපදය සහ ප්‍රධාන යුරෝපීය බලවතුන් අතර දරුනු ගැටුම් හට ගත්තේය.

නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් සමඟ උදේ කෑමට පෙරාතුව කෙටි පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වූ ට්‍රම්ප්, ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හෙලා දුටුවේය. නේටෝ සන්ධානය “මොලය මියගිය” එකක් යයි මීට කලින් මැක්‍රොන් ඉකොනොමිස්ට් සඟරාවට ප්‍රකාශ කර තිබුනි. ඒ, රුසියාව සහ චීනය ඇතුලු‍ රටවල් ඉරානය සමඟ අත්සන් තබන ලද, මධ්‍ය දුර න්‍යෂ්ටික මිසයිල පිලිබඳ ගිවිසුම ට්‍රම්ප් විසින් අවලංඟු‍ කිරීම, බ්‍රෙක්සිට්, හෝ තුර්කිය විසින් මෑතකදී සිරියාව ආක්‍රමනය කිරීම මුල්කරගෙන හටගත් ඇමරිකා-යුරෝපීය ගැටුම් සම්බන්ධයෙනි. ඒ කථා “ඉතා දුෂ්ඨ” යයි ට්‍රම්ප් පැවසීය.

“මම හිතන්නේ එය විවිධ බලවේගයන්ට කල දරුනු අපහාසයක්” යැයි ට්‍රම්ප් පැවසීය, “ඔබ එවැන්නක් කරන විට එය දැඩි ප්‍රකාශයකි. එය අවශ්‍යයෙන්ම රටවල් 28 කට බලපාන ඉතා දුෂ්ඨ ප්‍රකාශයකි. ”

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් වින්ෆීල්ඩ් මැඳුරේදී හමුවීම, (AP Photo/ Evan Vucci)

නේටෝව පිලිබඳ මැක්‍රොන්ගේ ප්‍රකාශය ගැන ට්‍රම්ප්, දැඩි විරෝධයට ලක්ව ඇති මැක්‍රොන්ගේ කප්පාදු ප්‍රතිපත්තිවලට එරෙහි “කහ බැනියම්” ව්‍යාපාරයට ලිහිල් ආකාරයෙන් සම්බන්ධ කරමින් කථා කලේය. “ප්‍රන්සයේදී ඔබ එවැනි දුෂ්කරතාවන්ට මුහුනපා සිටියදී කරන ප්‍රකාශ දරුනුය. කහ බැනියම් ව්‍යාපාරය පිලිබඳව සිදුවන්නේ කුමක්දැයි බලන්න... එයට දල වශයෙන් වසරක් ගත වී ඇති අතර ඔබට නේටෝව ගැන එවැනි ප්‍රකාශයක් කල නොහැක. එය අගෞරවයකි. ”

ට්‍රම්ප් ස්ටොල්ටන්බර්ග් සහ මාධ්‍ය ඉදිරියේ කතා කල විනාඩි 53 තුලදී විවිධ කරුනු පිලිබඳව අවධානය යොමු කලේය. 2020 මැතිවරනය අවසන් වන තෙක් චීනය සමඟ එක්සත් ජනපද තීරුබදු ආරවුල ඇද ගෙන යන බවට තර්ජනය කිරීම ඇතුලු මෙය හමුවේ එක්සත් ජනපද කොටස් වෙලඳපොලේ අනාගත තොග දර්ශකය පහත වැටුනි. එදින පසු භාගයේ ට්‍රම්ප්, මැක්‍රොන් සහ කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ සමඟ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.

මිලිටරි වියදම් ඉහල නැංවීම සඳහා නේටෝවේ යුරෝපීය සාමාජික රටවලට බල කිරීමට තමා සමත් වූ බවට මැක්‍රොන් සමඟ කල සාකච්ඡාවේදී ට්‍රම්ප් පුරසාරම් දෙඩීය. ඇත්ත වශයෙන්ම, දැවැන්ත මිලිටරි තරකිරීමක් සිදුවෙමින් පවතින අතර, නේටෝව සාමූහිකව සිය මිලිටරි වියදම් 2016 සිට ඩොලර් බිලියන 160 කින් වැඩි කර ඇත. 2024 වන විට එය තවත් ඩොලර් බිලියන 240 කින් වැඩි කිරීමට සැලසුම් කර තිබේ.

ට්‍රම්ප් සහ මැක්‍රොන් පුවත්පත් සාකච්ඡාවේදී නැවත නැවතත් ගැටුම් ඇති කර ගත් අතර මැක්‍රොන් කියා සිටියේ තමා සිය අදහස් “වෙනුවෙන් පෙනී සිටින” බවයි. සිරියාවේදී අල්ලා ගත් යුරෝපීය ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) සටන්කරුවන් ප්‍රන්සයට ආපසු බාර දෙන බවට ට්‍රම්ප් විහිලුවක ස්වරූපයෙන් තර්ජනය කල විට මැක්‍රොන් පිලිතුරු දුන්නේ, බොහෝ අයිඑස් සටන්කරුවන් මැද පෙරදිග අය වන අතර නේටෝව පිටුබලය දෙන සිරියානු කුර්දි සටන්කාමීන්ට පහර දීමට සිරියාවේ තුර්කිහමුදාවන්ට අවසර දීම ගැන ට්රිම්ප් විවේචනයට ලක් කරමිනි. නේටෝව තුර්කිය සමඟ “ඉතා හොඳ සම්බන්ධතාවයක්” ඇති කරගෙන තිබෙන බව ට්රටම්ප් පැවසීමෙන් පසුව මැක්‍රොන් පිලිතුරු දුන්නේ “අපට තුර්කිය සමඟ සහයෝගීතාවය නැති වී ඇති” බවයි.

ට්‍රම්ප් විසින් ඉරාන න්‍යෂ්ඨික ගිවිසුම අවලංගු කිරීම සහ “යුරෝපයේ සාමය” පිලිබඳ ප්‍රශ්නය ද මැක්‍රොන් විසින් මතු කරන ලදී. ඊට ප්‍රතිචාර දැක්වූ ට්‍රම්ප්, නේටෝ බලවතුන් “රුසියාව සමඟ සුහදව කටයුතු කරන” බව තරයේ කියා සිටියේය.

දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 කටත් වඩා අඩු ප්‍රමානයක් මිලිටරිය වෙනුවෙන් වියදම් කිරීම මුල්කරගෙන ටෲඩෝ සමඟ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ට්‍රම්ප්, කැනඩාවට පහර දුන්නේ ය: “අපි ඒවා ගෙවීම සැලැස්මක් මත තබන්නෙමු, ඔබ දන්නවාද? අගමැති එයට කැමති බව මට විශ්වාසයි.”‍ ඉරාන රජයට එරෙහිව ඉරානයේ විරෝධතාකරුවන්ට සහාය දෙන බවත්, රුසියාව සහ චීනය සමඟ නව න්‍යෂ්ටික ගිවිසුමක් ගැන වොෂින්ටනය “බලා සිටින” බවත් ඔහු කියා සිටියේය. පසුව ඔහු රුසියාව හා චීනය සමඟ න්‍යෂ්ටික අවි පාලන ගිවිසුමක් ඇති කර ගැනීම ප්‍රතික්ෂේප කල අතර, “එය කිසිසේත්ම සිදු නොවනු ඇත.”

පරිසරය කෙරෙහි තමාගේ සතුරුකම පෙන්නුම් කරමින් පැරිස් දේශගුනික ගිවිසුමෙන් ඉවත් වූ ට්‍රම්ප්, ටෲඩෝට කියා සිටියේ, තමා මෙම ප්‍රශ්නය පිලිබඳව දැඩි අවධානයෙන් සිටින බවයි. “මම ඒ ගැන නිතරම සිතමි. අවංකවම, දේශගුනික විපර්යාස මට ඉතා වැදගත් ය, “පිරිසිදු ජලය සහ පිරිසිදු වාතය දේශගනික විපර්යාසයේ විශාල කොටසක් බව ඉතා පැහැදිලි”‍ යයි ඔහු පැවසීය.

ටෲඩෝ ප්‍රතිචාර දැක්වූයේ කැනඩාවේ යුද්ධ පිලිබඳ වාර්තාව ගැන පුරසාරම් දොඩමිනි: “නේටෝවේ සෑම මෙහෙයුමකටම කැනඩාව සම්බන්ධවී තිබේ. අපි නිරතුරුවම නැගී සිට ඇත. එයින් අපේ භට පිරිස් වලට හානි සිදුවිය. අපගේ බොහෝ සගයන් මෙන් අපි දිගටම ඉදිරියට යමු. සමහර රටවල් සියයට 2 ට ලඟා විය හැකි වුවත් ඇති තරම් ඉක්මනින් ඒ සඳහා පියවර ගෙන නැත. ඇත්ත වශයෙන්ම සිදුවෙමින් පවතින දේ දෙස බැලීම වැදගත් යැයි මම සිතමි. එක්සත් ජනපදය සහ සියලු‍ නේටෝ සගයින් කැනඩාව ශක්තිමත්, විශ්වාසදායක හවුල්කරුවෙකු වන බව දනී. නේටෝව ආරක්ෂා කිරීමට සහ අපගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට කැනඩාව දිගටම කටයුතු කරනු ඇත. ”

නේටෝ රටවල ඉහල නිලධාරීන් අතර ඇති මෙම විවෘත ආරවුල් සහ අන්‍යෙන්‍ය හෙලාදැකීම් සන්ධානයේ ගැඹුරු බිඳවැටීම පෙන්නුම් කරයි. නේටෝ රාජ්‍ය නායකයින්ගේ රැස්වීම අද පැවැත්වෙන අතර, ස්ටොල්ටන්බර්ග් සමඟ පැවැත්වූ මාධ්‍ය හමුවෙන් පසුව, දේශපාලන ගැටුම් වලින් සන්ධානය ඉරා දැමෙන බව පැහැදිලිය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව සෝවියට් සංගමයට එරෙහි යුරෝපීය සන්ධානයක් ලෙස 1949 දී ආරම්භ කරන ලද එහි මූලික අරමුන, 1991 දී ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමඟ වාෂ්ප විය. එරෙහිව එක්සත් වීමට පොදු සතුරෙකු තවදුරටත් නොවූ තතු හමුවේ, වොෂිංටනය සහ එහි ප්‍රධාන යුරෝපීය සහචරයින් මෑත දශක කිහිපය තුල වෙන කවරදාටත් වඩා දරුනු ලෙස ගැටී ඇත. යුරෝ බිලියන ගනනක වෙලඳපල පාලනය කිරීම පිලිබඳව වෙලඳ යුද්ධ ගැටුම් පුපුරා යාමෙන් අවධාරනය වන්නේ, 20 වන සියවසේ ලෝක යුද්ධ මෙන් ප්‍රධාන සංගතවල සහ බැංකුවල තරඟකාරී ලාභය සහ උපායමාර්ගික අවශ්‍යතා සඳහා වූ අවසාන විශ්ලේෂන තුල මෙම ගැටුම් මුල් බැස ඇති බවයි.

2002-2003 දී ප්‍රන්සය, ජර්මනිය සහ රුසියාව, තෙල්වලින් පොහොසත් ඉරාකය නීතිවිරෝධී ලෙස ආක්‍රමනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලබා ගැනීමට බුෂ් පාලනාධිකාරිය ගත් උත්සාහයට විරුද්ධ වූ විට මෙම ගැටුම් ඉස්මත්තට පැමිනියේය. කෙසේ වෙතත්, දශක දෙකකට ආසන්න කාලයකට පසුව, නේටෝ සන්ධානය ඉරා දමන ගැටුම්, එම යුද්ධය පැවති කාලයට වඩා බොහෝ ගැඹුරු ය. මෙම ගැටුම් මුල්කරගෙන ඇත්ත වශයෙන්ම සන්ධානය බෙදී යා හැකි ද යන්න පිලිබඳව යුරෝපීය මාධ්‍යවල සමපේක්ෂනය වර්ධනය වෙමින් පවතී.

2016 දී ට්‍රම්ප්ගේ මැතිවරන ජයග්‍රහනයෙන් පසු කාලයේ මාධ්‍යය විසින් වොෂින්ටනය සහ එහි යුරෝපීය සහචරයින් අතර වැඩෙන ගැටුම්, නව එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ කල්තියා කිව නොහැකි පෞරුෂත්වය පිලිබඳ ප්‍රශ්නයන්ට ලඝු කලේය.

කෙසේ වෙතත්, මැක්‍රොන් ඉකොනොමිස්ට් සමඟ කතා කිරීමෙන් පසුව, යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් හුදෙක් ට්‍රම්ප් සමඟ නොව සමස්තයක් වශයෙන් එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය සමඟම ගැටෙන බව වඩාත් පැහැදිලිව පෙනේ. සිකුරාදා පැරිසියේදී ස්ටොල්ටන්බර්ග් හමුවීමෙන් පසු නේටෝව සමඟ සබඳතා යථා තත්වයට පත්කර ගැනීමට උත්සාහ කල මැක්‍රොන් මෙසේ පැවසීය: “අද අපේ සතුරා රුසියාවද? නැත්නම් චීනයද? ඔවුන් සතුරන් ලෙස නම් කිරීම නේටෝවේ ඉලක්කය ද? මම විශ්වාස කරන්නේ නැහැ.” අවධානය යොමු කල යුතු ප්‍රධාන කරුනු “ යුරෝපයේ සාමය, මිසයිල ගිවිසුමේ පශ්චාත් තත්වය, රුසියාව සමඟ ඇති සම්බන්ධතාවය, තුර්කි ප්‍රශ්නය නම්, සතුරා කවු ද? ” යන කරුනු ඔහු පෙන්වා දුන්නේය.

සිරියානු යුද්ධයේදී නේටෝව, අල්කයිඩා සංවිධානයට සම්බන්ධ කුලී මිලීෂියාවන් පරාජය කිරීමෙන් පසු “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” දේශපාලන වංචාව අතහැර දැමූ, 2017 එක්සත් ජනපද ජාතික ආරක්ෂක මූලෝපායට එවැනි ප්‍රකාශ පටහැනි ය. 2017 මූලෝපායික ලියවිල්ල ඊට පටහැනි ලෙස, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය කර්තව්‍යය ලෙස එක්සත් ජනපද ලෝක ආධිපත්‍යය තහවුරු කිරීමේදී ”‍මහ බලවතුන්ගේ තරඟය”‍ තුල, රුසියාව සහ චීනය සතුරන් ලෙස නම් කරන ලදී; න්‍යෂ්ටික නොවන තර්ජනයන්ට ප්‍රතිචාරයක් ලෙස එක්සත් ජනපදය පලමුව න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ අවශ්‍යතාවය අවධාරනය කරයි.

කෙසේ වෙතත් එක්සත් ජනපද ලෝක ආධිපත්‍යය තහවුරු කිරීම මූලික වශයෙන් අරමුනු කර ඇත්තේ, රුසියාව හෝ චීනය මෙන්ම, වොෂින්ටනයේ යුරෝපීය අධිරාජ්‍යවාදී ප්‍රතිවාදීන් ය.ඩ

මේ වන විට, “මොලය මියගිය” නේටෝවක් පිලිබඳ මැක්‍රොන්ගේ ප්‍රකාශ, සමස්ත සන්ධානය පුරාම විවේචනයට ලක්ව තිබේ. ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මෙම වෙනස්කම් සමථයකට පත් කිරීමට උත්සාහ කරමින්, සමුලුව ගැන තමා “ඉතා සුබවාදී” බව පැවසුවාය. ”‍අප අප අතර සාකච්ඡා කල යුතු විවිධ කරුනු තිබියදීත්, නේටෝවේ අනාගතය සහ අපගේ පොදු මූලෝපායික අවශ්‍යතා පිලිබඳව සාකච්ඡා කල යුතුය.”‍

කෙසේවෙතත් නැටෝ සන්ධානය “මොලය මියගිය” එකක් ලෙස හැඳින්වීම සාධාරනීකරනය කිරීම සඳහා මැක්‍රොන් සිය ඉකොනොමිස්ට් සාකච්ඡාවේදී මතු කල ගැටලු වලට එරෙහිව යුරෝපය පුරා පුලුල් ලෙස බොහෝ විවේචන තිබේ. මහා පරිමාන ප්‍රති මිලිටරීකරනය, නැවත පදිංචි කිරීම සහ ස්වාධීන යුරෝපීය ප්‍රතිපත්තියක් සඳහා ජර්මනියේ ඉල්ලීම්, යුරෝපීය ආයුධ වෙලඳපොලවලින් එක්සත් ජනපද ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් ඉවත් කිරීමට දරන උත්සාහයන් පිලිබඳව රාජ්‍යතාන්ත්‍රික පිටුබලය සහිත මාධ්‍ය ජාල වාර්තා, වොෂින්ටනය කටුක ගැටුමකට පොලඹවා ඇත. චීනයේ බෙල්ට් හා රෝඞ් ආරම්භක යටිතල පහසුකම් සැලසුම් සමඟ ඇති සබඳතා නතර කරන ලෙසට එක්සත් ජනපදය කරන ඉල්ලීම් ඉතාලිය විසින් නොසලකා හරිනු ලැබ ඇත.

2014 පෙබරවාරි මාසයේ කියෙව්හි එක්සත් ජනපදයේ පිටුබලය ලත් ෆැසිස්ට් නායකත්වයෙන් යුත්, කුමන්ත්‍රනයෙන් අර්බුදයට පත් යුක්‍රේනය තුල ගැටුම් වලට සාමකාමී විසඳුමක් ඇති කර ගැනීමට උත්සාහ කිරීම සඳහා මැක්‍රොන් ප්‍රන්ස, ජර්මානු, රුසියානු සහ යුක්‍රේන නිලධාරීන් අතර සාකච්ඡා පවත්වනු ඇත. වොෂිංටනය මෙම කතා වලින් බැහැර කර තිබීම සැලකිය යුතු කාරනයකි. අද මැක්‍රොන්ට එරෙහිව ට්‍රම්ප්ගේ කඩා පැනීමට යටින් පවතින්නේ මෙවැනි ගැටුම් ය.

Share this article: