විග්නේස්වරන් දෙමල ධනේශ්වරයේ වරප්‍රසාද සඳහා ඉන්දියාවේ පිහිට පතයි

පානි විජේසිරිවර්ධන විසිනි, 2019 දෙසැම්බර් 20

“‍උතුරු හා නැගෙනහිර පලාත් ඒකාබද්ධ කෙරුනු ෆෙඩරල් පාලන ක්‍රමයක් පදනම් කරගත් විසඳුමක් සෙවීම”‍ සඳහා වහා මැදිහත්වන ලෙස ඉන්දියාවට ආයාචනා කෙරෙන ලිපියක්, උතුරු පලාතේ හිටපු මහ ඇමති සී.වී.විග්නේස්වරන් විසින්, දෙසැම්බර් 04 වන දා, කලම්බු ටෙලිග්රාෆ් වෙබ් අඩවියට ලියා තිබුනි. දෙමල ජනතාවගේ “‍ස්වයං-නිර්නය අයිතිය මත පාදක වූ”‍ එවන් විසඳුමක් සඳහා ඉන්දියාව කඩිනමින් පියවර ගනු ඇතැයි යන්න “‍ශ්‍රී ලාංකික දෙමල ජනතාවගේ අපේක්ෂාව”‍ බව, විග්නේස්වරන් එම ලිපිය තුල පවසයි.

“‍මෝදි ගේ ඉල්ලීම, 13 ව්‍යවස්ථා සංශෝධනය ගෝඨා සහ දෙමල අපේක්ෂාවන්”‍ යන හිසින් පල කෙරුනු මෙම ලිපියට නිමිත්ත වී ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා ඉන්දියාවට කල සංචාරයේදී අගමැති නරේන්දු මෝදි සමග කල සාකච්චාව යි.

ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මුලු‍මනින්ම ක්‍රියාත්මක කරන ලෙස මෝදි විසින් එහිදී රාජපක්ෂට කල අවධාරනයට “‍දෙමල ජනතාවගේ ක්ෂනික අවධානය යොමුවූ බව සත්‍ය නමුත්, පමාවකින් තොරව එය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම”‍ ඔවුනගේ “‍අපේක්ෂාව”‍ බව විග්නේශ්වරන් කියා සිටී.

2015 දී ඉන්දීය අගමැතිවරයා ලංකාවට පැමිනි අවස්ථාවේ පාර්ලිමේන්තුව අමතමින්, “සහයෝගී ෆෙඩරල්වාදය”‍ ගැන කල කතාවෙන්, දෙමල ජනයාට “‍බලාපොරොත්තුවක්”‍ ලබා දුන් බව සඳහන් කරන විග්නේස්වරන්, මෙම කාරනය “‍ඉන්දීය නායකයින්ට මතක් කිරීම අවශ්‍ය”‍ බව පවසයි. දෙමල ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කෙරෙන නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව පවසන විග්නේස්වරන්, අඩුපාඩු ඇති වුවද, 13 වන සංශෝධනය මුලු‍මනින්ම ක්‍රියාත්මක කිරීම මේ මොහොතේ ක්ෂනික අවශ්‍යතාවය බව අවධාරනය කරයි.

13 වන සංශෝධනය

විග්නේස්වරන් විසින් ක්ෂනිකව ක්‍රියාත්මක කලයුතුයැයි යෝජනා කරන්නේ ප්‍රතිගාමී ව්‍යවස්ථා සංශෝධනයකි. එය 1987 දී ජුලි මාසයේ ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි මැදිහත්වී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සමග ඇති කරගත් ඉන්දු-ලංකා ගිවිසුමේ කොටසකි. ගිවිසුම හරහා, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නොසන්සුන්තාවයට හේතු වූ ලංකාවේ සිවිල් යුද්ධය අවසන් කිරීම, අර්බුදයට පත්ව තිබු කොලඹ ධනපති රාජ්‍ය බේරා ගැනීම හා කලාපය තුල තම ආධිපත්‍යය තහවුරුකර ගැනීම නවදිල්ලියේ අරමුන විය.

ගිවිසුම මත, ඉන්දීය “‍සාම සාධක හමුදා”‍ ලංකාවේ උතුරු-නැගෙනහිර පලාත් වාඩිලා ගත්හ. බෙදුම්වාදී එල්ටීටීඊ ය නිරායුධ කිරීමට පැමිනි එම හමුදා, එල්ටීටීඊ සමග ගැටුමක් අවුලු‍වා ගෙන දෙමල පීඩිත මහජනතාව රුදුරු මර්දනයකට යටත් කල අතර, දහස් ගනනක් මරා දැමූහ. එවකට පැවති, ජේ.ආර්. ජයවර්ධන ආන්ඩුව තම හමුදා උතුරු-නැගෙනහිරෙන් ඉවත් කොට, දකුනේ ගම්බද තරුනයන් අතර වැඩෙමින් පැවති කැරලිකාරිත්වය මැඩීමට යොදා ගන්නා ලදී. 1988-89 කාල පරිච්ඡේදයේ ගෙනගිය මෙම රුදුරු මර්දනයෙන් දකුනේ ගම්බද තරුනයන් 60,000 ක් පමන ඝාතනය කෙරුනු අතර තවත් දහස් ගනනක් සිරගත කෙරුනි.

13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පලාත් සභා ක්‍රමය ඇති කෙරුනද, එය කිසිසේත්ම, දෙමල පීඩිත මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය සුරක්ෂිත කිරීමට තැබූ පියවරක් නොවේ. ඉන් අපේක්ෂා කෙරුනේ ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙමල ප්‍රභූ පැලැන්තියට සීමිත බලතල බෙදා දීමක් පමනි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 1987 නොවැම්බරයේදී නිකුත් කරන ලද විශේෂ ප්‍රකාශයක ඉන්දු-ලංකා ගිවිසුමේ ප්‍රතිගාමිත්වය මෙසේ පෙන්වා දුනි:

“‍ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම ද ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පලාත් ඉන්දියානු හමුදා විසින් ආක්‍රමනය කරනු ලැබීම ද මේ සියවස තුල පසුගාමී රටවල ජාතික ධනේශ්වරයේ ද්‍රෝහී. ප්‍රතිගාමී ස්වභාවය පිලිබඳව පීඩිත ජනතාවන් දැනට මත් ලබා ඇති අප්‍රමාන ඛේදජනක අත්දැකීම් සම්භාරයට තවත් එකක් එකතු කරමින් ඔවුන්ට තවත් කටුක පාඩමක් සපයා දී ඇත.”‍

“‍... ඉන්දියාවේ ද ශ්‍රී ලංකාවේ ද ධනපති පන්තියට අනාගතයේ දී තම දෙරටේ ප්‍රගතිය උදෙසා මොන යම් මැ හෝ ප්‍රගතිශීලී කාර්ය භාරයක් ඉටු කිරීමට තිබේ ය යන වංචාවේ නූල් පටක් හෝ ඉතිරිව තිබුනේ නම් දැන් ඒ සියල්ල ජයවර්ධනගේ හා ගාන්ධිගේ පිලිවෙත්වලින් සුනු විසුනු වී ගොස් තිබේ.”‍

13 වන සංශෝධනයේ අඩුපාඩු ලෙස, මධ්‍යම ආන්ඩුව විසින් පත් කරන ආන්ඩුකාරවරයාගේ අනුමැතියකින් තොරව පලාත් සභාවේ මූල්‍යය භාවිතා කල නොහැකිවීම, පලාත් ඇමතිවරුන් පත් කිරීමේ සහ ඉවත් කිරීමේ පූර්න බලතල ආන්ඩුකාරවරයා සතුවීම ආදිය ඉදිරිපත් කරන හිටපු මහ ඇමතිවරයා, එම සංශෝධනයෙන් පලාත් සභා වලට ලබා දුන් ඉඩම් සහ පොලිස් බලතල මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම ගැන ද සඳහන් කරයි.

විග්නේස්වරන් යෝජනා කරන නව ව්‍යවස්ථාවෙන් තහවුරුකර ගැනීමට අපේක්ෂා කරන්නේ, ඔහු ඇතුලු‍ දෙමල ධනපති පන්තිය අත ඉහත බලතල සහ වරප්‍රසාද සුරක්ෂිත කෙරෙන “‍අභ්‍යන්තර ස්වයංපාලනය”‍ ක් බව ඔහුගේ ලිපියෙන් ප්‍රකාශයට පත්වෙයි.

මේ සඳහා ආවශ්‍යක දේශපාලනික පදනම වන ප්‍රතිගාමී දෙමල සුවිශේෂතාවාදය තොරොම්බල් කරමින් විග්නේස්වරන් මෙසේ තර්ක කරයි: “‍උතුරු සහ නැගෙනහිර ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් මෙම දූපතේ මුල් වැසියන් ය. සිංහල භාෂාවේ පැවැත්ම ආරම්භ වූයේ ක්‍රිස්තු වර්ෂ හයවැනි හෝ හත්වැනි සියවසේ දී පමනි. ඊට පෙර ශ්‍රී ලංකාවේ සිංහල කතා කරන අය සිටියේ නැත. ද්‍රවිඩයන් වන අපි අදටත් උතුරු හා නැගෙනහිර බහුතර ප්‍රජාව ලෙස දිගටම සිටින්නෙමු.”‍

දෙමල ජනයා සිංහල ජනයාට ඉහලින් සිටින සුවිශේෂ ජන කන්ඩායමක් නිසා ඊට විශේෂ වරප්‍රසාද හිමිවිය යුතු බව ඔහුගේ ප්‍රතිගාමී තර්කයයි.

“ජාතීන්ගේ ස්වංය-නිර්න අයිතිය” සටන් පාඨයේ අදදින අර්ථය

විග්නේස්වරන් ඇතුලු‍ ලංකාවේ දෙමල ධනපති පන්තිය මෙන්ම, වාර්ගික සහ ආගමික සුවිශේෂතාවාදය මත පදනම් වෙමින් අද දින ලොවපුරා විවිධ ධනපති කල්ලි කන්ඩායම් විසින්, “‍ස්වයං-නිර්නය අයිතියේ”‍ නාමයෙන් වෙනම රාජ්‍ය කැබිලිති පිහිටුවා ගැනීමට දරන ප්‍රයත්නයන්හි කවර හෝ ප්‍රගතිශීලී අන්තර්ගතයක් නොමැත.

“ජාතීන්ගේ ස්වංය-නිර්න අයිතිය” තොරොම්බල් කරන වත්මන් ධනපති කන්ඩායම් වල අභිප්‍රාය වන්නේ, තමා නියෝජනය කරන්නේ යැයි කියන ජන වර්ගයට අයත් කම්කරු-පීඩිත මහජනතාවගේ ශ්‍රම ශක්තිය, ජාත්‍යන්තර ප්‍රාග්ධනයට අවශ්‍ය පරිදි උපරිම අයුරින් උකහා දෙන ලාභ ශ්‍රම වේදිකාවන් තනා දෙමින් ඉන් ලැබෙන වරප්‍රසාද භුක්ති විඳීමයි.

සියවසකට පෙරාතුව, ලෙනින් ඇතුලු‍ මාක්ස්වාදීන් “ජාතීන්ගේ ස්වංය-නිර්න අයිතියට” සහයෝගය දුන්නේ, වාර්ගික රේඛා කපාගෙන කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමේ සහ සාර්වාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය සඳහා පීඩිත ජාතීන්ගේ සහයෝගය රැලි කරගැනීමේ විධික්‍රමයක් ලෙස යි.

අදදින “ජාතීන්ගේ ස්වංය-නිර්න අයිතිය” තොරොම්බල් කරන්නන්, අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය සඳහා පීඩිත ජාතීන්ගේ සහයෝගය රැලි කරදෙනු වෙනුවට, ඒ හෝ මේ අධිරාජ්‍යවාදයේ සෘජු ආවතේවකරුවන් බවට පත්ව තිබේ.

විග්නේස්වරන් ඇතුලු‍ ලංකාවේ දෙමල ධනපති පන්තිය මේ සඳහා ඉතා බලගතු උදාහරනයක් සම්පාදනය කරයි. එක්සත් ජනපදය, තම ප්‍රධානතම කලාපීය සගයා වන ඉන්දියාව සමග එක්ව, චීනයට එරෙහිව ගෙනයන යුදමය සහ වෙලඳ මූලෝපායික වැඩකටයුතු වලට ඔවුහු තම පූර්න සහයෝගය ලබා දෙති.

2015 දී මහින්ද රාජපක්ෂ තන්ත්‍රය ඉවත් කොට එක්සත් ජනපද හිතකාමී සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය බලයට ගෙනඒම සඳහා වොෂින්ටනය කල මෙහෙයුමේදී දෙමල ධනපති පන්තියේ ප්‍රධානතම දේශපාලනික හස්තය වන, දෙමල ජාතික සන්ධානය එයට පූර්න සහාය ලබා දුන්නේ ය.

එතැන් පටන් ලංකාව ද තම මූලෝපායික කක්ෂයට ඒකාග්‍ර කර ගනිමින් එක්සත් ජනපදය කලාපය තුල වර්ධනය කොට ඇති යුද අන්තරායන් සම්බන්ධයෙන් ලංකාවේ දෙමල ධනපති පන්තිය ද වගකිව යුතුය.

සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කල ප්‍රහාර හමුවේ, එය බලයට ගෙනඒම සඳහා දරදිය ඇදි දෙමල ජාතික සන්ධානය කෙරෙහි දෙමල පීඩිත ජනයාගේ වෛරය වේගයෙන් වැඩෙන්නට විය.

විශේෂයෙන්ම, එම ආන්ඩුව යටතේ, උතුරු-නැගෙනහිර මිලිටරි පාලනය අහෝසි කරන බවට, මිලිටරිය විසින් අල්ලාගත් තම ඉඩම් ආපසු ලබාදෙන බවට, යුද්ධයෙන් අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට සහ තම ජාතික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරන බවට දෙමල කම්කරු-පීඩිත මහජනතාවට එම සන්ධානය ලබාදුන් ව්‍යාජ පොරොන්දු සම්බන්ධයෙන් ඔවුන් අතර වැඩී ඇත්තේ බලගතු විරෝධයකි.

මෙම විරෝධය හමුවේ විග්නේස්වරන් දෙමල ජාතික සන්ධානයෙන් ඈත්වූ බවක් පෙන්වුවද, තම වරප්‍රසාද සඳහා එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් සහ ඉන්දියාව මත යැපීමේ දෙමල ධනපති පන්තික දේශපාලන පිලිවෙතින් කවර ලෙසකින් හෝ දුරස් වී නොමැති බව ඔහුගේ ලිපියෙන් සනාථ වෙයි.

එක්සත් ජනපදය ලංකාවේ දෙමල පීඩිත ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් ඉඳහිට කරන සැඳහුම් මුලු‍මනින්ම කුහකය. ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහනයට සුබපතා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් එවන ලද පනිවුඩයේ “මානව හිමිකම්” ගැන කරන සඳහන, රාජපක්ෂ බෙයිජිනයට සමීප වුවහොත්, ඔහුගේ සහෝදර මහින්ද රාජපක්ෂ පහකිරීමට යොදාගත් පරිදි ඔහුට විරුද්ධ ව මානව හිමිකම් ගසාකෑමට කරන තර්ජනයකි. දෙමල ජනයාට එරෙහිව ගෙනගිය වාර්ගික යුද්ධයේදී රාජපක්ෂ සහෝදරයින් දෙදෙනා ම යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් සෘජුවම පටලැවී ඇත. කෙසේ නමුත්, එක්සත් ජනපදය එම කුරිරු යුද්ධයට පිටුබලය දුන් අතර, රාජපක්ෂ තන්ත්‍රයේ අපරාධ සම්බන්ධයෙන් මුනිවත රැක්කේ ය.

මෝදිට කෙරෙන ආයාචනයේ නරුමත්වය

වඩාත්ම නරුම වන්නේ, ඉන්දියාවේ ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් සුලු‍තරයට විරුද්ධව ෆැසිස්ට් පන්නයේ මර්දනයක් ගෙනයන අගමැති මෝදිගෙන් ලංකාවේ දෙමල සුලු‍තර ජන වර්ගයේ අයිතීන් තහවුරු කිරීම සඳහා මැදිහත්වන ලෙස විග්නේස්වරන් කරන ඉල්ලීමයි.

1947 සිට අර්ධ ස්වයං පාලන ප්‍රදේශයක් ලෙස ව්‍යවස්ථාවෙන් තහවුරුකර තිබූ, ඉන්දියාව සතුව තිබූ එකම මුස්ලිම් බහුතර ප්‍රදේශය වන ජම්මු-කාශ්මීරය, නවදිල්ලියෙන් සෘජුව පාලනය කරන ප්‍රාන්ත දෙකක් බවට ව්‍යවස්ථාමය කුමන්ත්‍රනයකින් දෙකඩ කල මෝදි ආන්ඩුවෙන්, ලංකාවේ උතුර සහ නැගෙනහිර එක්කොට “‍අභන්තර ස්වයං පාලනයක්”‍ ඇති කිරීමට මැදිහත්වන ලෙස විග්නේස්වරන් ආයාචනය කරයි.

එපමනක් නොව, හින්දු ස්වෝත්තමවාදය මත පාදක වෙමින් පසුගිය දා, අගමැති මෝදිගේ බීජේපී ආන්ඩුව විසින් සම්මත කරගත් සංශෝධිත පුරවැසිභාවය පිලිබඳ පනතට අනුව, ඉන්දියාවේ බිලියන 1.3 කට වැඩි මහජනතාවට ඔවුන් ඉන්දියානු පුරවැසියන් බව ඔප්පු කිරීමට සිදුවනු ඇත. එසේ කිරීමට නොහැකි අය රාජ්‍යයක් නොමැති අය බවට ප්‍රකාශයට පත් කරනු ලබන අතර රඳවා තබා ගැනීමට සහ පිටුවහල් කිරීමට යටත් වේ. මෙම පනතෙහි හි අරමුන වනුයේ ඉන්දියාවේ මුස්ලිම් සුලුතරයට හිරිහැර කිරීම, බිය ගැන්වීම සහ හිංසා කිරීම යි.

මෙම තතු තුල, මුස්ලිම්-විරෝධී සහ හින්දු වර්ගෝත්තමවාදී මෝදි ආන්ඩුවට දෙමල පීඩිත මහජනතාවගේ ජාතික ප්‍රජාතන්ත්‍රීය අයිතිය වෙනුවෙන් මැදිහත්වන ලෙස විග්නේස්වරන් කරන තුච්ඡ ආයාචනා එම මහජනතාව විසින් පිලිකුලෙන් හෙලා දැකිය යුතුය.

විග්නේශ්වරන් දෙමල සුවිශේෂතාවාදය ඉදිරිපත් කරමින් මැදිහත්වී සිටින්නේ ඇයි? කොලඹ ධනපති පන්තිය මෙන්ම දෙමල ධනේශ්වරයේ සියලු‍ කොටස් උතුරු-නැගෙනහිර සහ දකුනු පලාත්වල කම්කරුවන් දෙමල, සිංහල මුස්ලිම් ජනවාර්ගික වෙනස්කම් කපාගෙන අරගලයන්ට එලඹීම ගැන භීතියට පත්ව සිටිති. මෙහි ප්‍රකාශයට පත්වන්නේ ජාත්‍යන්තර පන්ති අරගලය තුලදී ඉස්මත්තට වැඩෙන කම්කරුවන්ගේ වෛෂයික එකමුතුවයි. මෙම වර්ධනයන්ට සවිඥානික ප්‍රකාශයක් අත්පත් කර දිය හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයට සටන් කරන විප්ලවවාදී පක්ෂයටයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකාවේ ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය--- එහි පූර්වගාමියා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයයි---සටන් වදින්නේ එම ඉදිරිදර්ශනයටයි.

මෙම වර්ධනයන් මැඩලීමට පාලක පන්තීන් සෑම රටකම සංක්‍රමනික විරෝධය හා වර්ග භේදවාදය ආයුධයක් කරගෙන ඇත. විග්නේස්වරන් මෙන්ම ඔහු කලින් සම්බන්ධවී සිටි දෙමල ජාතික සන්ධානය අතර මොන මතභේද පැවතුනත් ඔවුන් කම්කරු පන්තියේ එකමුතුවට එකහෙලා සතුරු ය. විග්නේස්වරන් පසුගියදා යලි “‍දෙමලු‍නි නැගිටිවු”‍ යන ප්‍රතිගාමී උද්ඝෝෂනය ඇරඹුවේ එහි කොටසක් ලෙසය.

මැතිවරනය තුල සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය යහමින් භාවිතා කල රාජපක්ෂ නඩය, දැන් එය වඩාත් ඉහල තලයකට වර්ධනය කරමින් සිටී. එයටම පෑහෙන පරිදි, ජනාධිපතිවරනයේදී කවර හෝ සිංහල අපේක්ෂකයෙකුට ඡන්දය නොදෙන ලෙස විග්නේස්වරන් ඉල්ලා සිටියේය. ඔහු විසින් තොරොම්බල් කරන දෙමල සුවිශේෂතාවාදය මෙම වාර්ගික අපසරනයට ලබා දෙනුයේ දැවැන්ත රුකුලකි.

ඉන්දු උපමහාද්වීපීය සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා

මෙම සියලු‍ අත්දැකීම් මගින් පෙන්වා දෙන්නේ, 1940 ගනන් අගදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ඉන්දු උපමහාද්වීප කලාපයේ ජාතික ධනපතියන් සමග එක්ව අටවන ලද ඊනියා නිදහස් රාජ්‍යයන්හි ඓතිහාසික ප්‍රතිගාමිත්වය යි. මෙම සෑම රාජ්‍යයක්ම උපතේ සිට වාර්ගික පීඩනයේ උපකරනයන් වන අතර, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ඉටු කිරීම සම්බන්ධයෙන් එම ධනපති පන්තීන් ඓතිහාසිකව අපොහොසත් ය.

1917 රුසියානු විප්ලවයට වී.අයි. ලෙනින් සමග සමනායකත්වය දුන් ලියොන් ට්‍රොට්ස්කි ශතවර්ෂයකටත් පෙර පෙන්වාදුන් පරිදි, ධනේශ්වර විප්ලවය කල් පමා වූ රටවල, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් පවා ඉටු කල හැක්කේ කම්කරු පන්තිය පීඩිත ජනතාවන්ගේ නායකත්වය ගෙන ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීමෙනි.

පරදුවට තැබී ඇති තම සමාජ අයිතීන් මෙන්ම, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඇතුලු‍ සියලු‍ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කල හැක්කේ කලාපයේ රටවල කම්කරු පන්තීන්, ගොවීන් ඇතුලු‍ අනෙකුත් පීඩිතයන් තම නායකත්වය වටා රැලිකර ගනිමින්, ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ඉන්දු උපමහාද්වීපීය සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ස්ථාපිත කිරීමට සටන් වැදීමෙන් පමනකි.

Share this article: