කටුනායක ඒටීජී කම්කරුවන්ගේ අරගලය: හාම්පුතුන්ගේ දෑත් ශක්තිමත් කර වර්ජනය නවතා දැමීමට වෘත්තීය සමිති සැරසෙයි

කපිල ප්‍රනාන්දු විසිනි, 2019 පෙබරවාරි 1

ඇන්ටන් මාකස් නායකත්වය දෙන නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමය (නිවෙකපොසේස) විසින් ඊයේ කොලඹ දී, කටුනායක ඒටීජී සිලෝන් සමාගමේ කම්කරුවන්ගේ පාගමනක් හා විරෝධතාවයක් සංවිධානය කර තිබුනි.

කොල්ලුපිටියේ අගමැති කාර්යාලය ඉදිරිපිට පැවති කටුනායක ඒටීජී සිලෝන් සමාගමේ කම්කරුවන්ගේ විරෝධතාව

විහාර මහා දේවි උද්‍යානය අසලින් ආරම්භ වී කොල්ලුපිටියේ අගමැති කාර්යාලය දක්වා ගමන් ගත් විරෝධතාවයට තුන් සියයකට ආසන්න කම්කරු පිරිසක් සහභාගී වූහ.

විරෝධතාවයේ නිමිත්ත වූයේ සමාගම විසින් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පස් දෙනෙකු රැකියාවෙන් දොට්ට දැමීමයි. ඒටීජී සමාගම තුල පවතින දරුනු රැකියා කොන්දේසිවලට එරෙහි සටන් කිරීමේ අරමුනින් කම්කරුවෝ 2015 දී නිවෙකපොසේසට අනුබද්ධ වෘත්තීය සමිති ශාඛාවක් පිහිටුවා ගෙන තිබුනි.

එම සමිතියට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීම පිලිබඳ දැන්වීමක් කලමනාකාරිත්වයේ අවසරයකින් තොරව කම්හල් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කලේය යන ව්‍යාජ චෝදනා මත පසුගිය ජනවාරි මස 11 දා ඒටීජී පරිපාලනය වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඇතුලු හය දෙනෙකු රැකියාවෙන් දොට්ට දමන ලදී. මේ වන විට ඒටීජී සිලෝන්හි කම්කරුවෝ අඛන්ඩ වැඩවර්ජනයක නිරත වී සිටිති.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කම්කරුවන් ප්‍රකාශ කල අන්දමට වෘත්තීය සමිතිය පිහිටුවීමෙන් පසුවත් සූරාකෑම හා මර්දනය උග්‍ර කෙරී ඇත. මාසයම රැකියාවේ නිරතව ලැබෙන වැටුපෙන් සිය දරු පවුල් නඩත්තු කිරීමට කම්කරුවන්ට හැකියාවක් නැත.

හමුදාවේ සහ පොලිසියේ විශ්‍රාමික නිලධාරීන් කම්කරුවන් අධීක්ෂනයට යොදවා සූරාකෑම හා මර්දනය උග්‍ර කොට තිබේ. පසුගිය වසර කිහිපය තුල විවිධ විනය ක්‍රියාමාර්ග ගනිමින් සේවකයන් දස දෙනකු පමන දොට්ට දමා තිබේ. සේවක වර්ජනය පැවතියේ වී නමුත් මේ වන විට මිනිස් බල කම්කරුවන් (මෑන් පවර්) යොදවා කම්හලේ නිෂ්පාදන කටයුතු පවත්වා ගනිමින් සිටී.

සේවක දොට්ට දැමීම ඇතුලු මෙම ප්‍රහාරවලට එරෙහිව නිවෙකපොසේස අයත් අනෙක් කම්හල් තුල හෝ සෙසු කම්හලවල කම්කරු පන්තිය හෝ ඒකාබද්ධ කිරීම වෙනුවට ඇන්ටන් මාකස් කම්කරුවන් කම්හල ඉදිරිපිට නිරර්ථක උපවාසයක වාඩි කොට තිබේ.

ඊයේ විරෝධතා පාගමනත් කම්කරුවන් හෙම්බත් කිරීමේ එවැනිම ප්‍රෝඩාවකි. විරෝධතාවයෙන් පසු කම්කරුවන් ඇමතූ මාකස්, සේවක දොට්ට දැමීම නීති විරෝධී යයි කම්කරු කොමසාරිස් කල නියෝග ද නොතකා ඒටීජී හිමිකරු ෆසාල් ආබ්දීන් කටයුතු කරන බව පැවසීය. කම්කරු කොමසාරිස් ජෙනරාල් තවත් කොන්දේසි ඒටීජී පරිපාලනයට කර තිබෙන බවත් ඒවා අද දිනයේ (31 දා) සාකච්ඡාවට ගැනෙන බවත් ප්‍රකාශ කලේ ය.

කම්කරු කොමසාරිස් ජනරාල් ගේ නියෝග මොනවා දැයි ලෝසවෙඅ මාකස්ගෙන් ප්‍රශ්න කලේ ය. “රැකියාවෙන් නෙරපූ එක කම්කරුවෙක් සමාව ගත්තා වගේ අනෙක් කම්කරුවන් පස් දෙනාටත් අවවාදයක් කරලා වැඩට ගන්න කියලා. අපි සූදානම් අපේ පැත්තෙන් යම් වරදක් සිදු වුනානම් කනගාටුව ප්‍රකාශ කරන්න. කම්කරුවො වරදක් කරලා නැති වුනත් අපි ඒකට එකඟයි. මොකද අපිට ඕන දෙපාර්ශවයටම දිනන්න පුලුවන් සමථයකට එන්න“ යනු මාකස්ගේ පිලිතුර විය.

මාකස්ගේ වෑයම “දෙපාර්ශවයටම ජයගත හැකි සමථයක්“ යන ප්‍රෝඩාව යටතේ කම්කරුවන් කම්හල් පරිපාලනයේ රුදුරු කොන්දේසිවලට යට කොට කම්හල් පරිපාලනයේ දෑත් ශක්තිමත් කිරීමයි. සමාව ගත් කම්කරුවා රැකියාව ලබා දී ඇත්තේ වෘත්තීය සමිතියෙන් ඉවත් වීම පදනම් කොට ගෙනයි. අලුතින් සේවයට එන කම්කරුවන් බඳවා ගනු ලබන්නේම මාහිස (මානව හිතවාදී සංගමය) නමින් පරිපාලනය විසින් පිහිටුවන ලද තවත් ප්‍රෝඩාකාරී සමිතියට බැඳීමේ පදනම මතයි.

නිදහස් වෙලද කලාප තුල, විශේෂයෙන් 2008 ගෝලීය ධනේශ්වර මූල්‍ය අර්බූදය පුපුරා යෑමෙන් ඉක්බිති විදේශ ආයෝජන ඉවත්කර ගැනීම හේතුවෙන් කම්හල් විශාල සංඛ්‍යාවක් වසා දැමුනි. තම රැකියා අහිමි වීමට එරෙහිව දහස් සංඛ්‍යාත කම්කරුවන් අතරින් පැන නැගුනු අරගල ද, ආයෝජන ආකර්ෂනය සඳහා අනෙකුත් රටවල් සමග තරගයේ දී උග්‍ර කෙරුනු රැකියා කොන්දේසි සහ මර්දනයට එරෙහිව පැන නැගුනු කම්කරු අරගල ද, හුදකලා කොට ධනපති මහා සමාගම්වලට හිතකර කොන්දේසි නිර්මානය කරදීම පිලිබඳව මාකස් ට ඇත්තේ දීර්ඝ සහ කුප්‍රකට වාර්තාවකි.

2013 දී බියගම නිදහස් වෙලද කලාපයේ ඇන්සල් ලංකා සමාගමේ වැඩ වේගවත් කිරීමට එරෙහිවූ කම්කරුවන් දොට්ට දැමූ අවස්ථාවේ, එයට එරෙහිව අවශේෂ කම්හල්වල කම්කරුවන් බලමුලු ගන්වා ගනිමින් කම්කරුවන් යලි සේවයේ පිහිටුවීමට සටන් කරනු වෙනුවට, එවක කම්කරු ඇමති සහ කම්කරු කොමසාරිස් වෙත බඩ ගෑ මාකස්, ඔවුන් සමග එක්ව කම්කරුවන් සම්බන්ධව විනය පරීක්ෂනයක් පවත්වන ලෙස සමාගමට යෝජනා කලේය. මෙයින් අත ශක්තිමත් කරගත් සමාගම මාකස්ගේ, සොච්චම් වන්දි මුදලක් ලබා දී කම්කරුවන් දොට්ට දැමීය.

2011 දී කටුනායක බ්‍රටෙක්ස් සමාගමේ කම්කරුවන් 1700 දෙනා වැටුප් වැඩි කිරීමට හා සංවිධානය වීමේ තම අයිතිය වෙනුවෙන් වර්ජනයක නිරත විය. එහිදී සමාගම සේවකයන් 38 ක් දොට්ට දැමූ අතර ඇන්ටන් මාකස්, ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ උපකරනයක් වන ජාතික කම්කරු උපදේශක සභාවට (ජාකඋස) යොමු කරන බව ප්‍රකාශ කරමින් එම කම්කරුවන් අත හැර දැමී ය.

ඇන්ටන් මාකස් නායකත්වය දෙන නිවෙකපොසේස හා ඔහු විධායක කමිටු සාමාජිකත්වය දරන යුරෝපා සංගමය ඇතුලු අධිරාජ්‍යවාදී ඒජන්සිවලට සම්බන්ධ ඉන්ඩස්ටී්‍ර ඕල් නැමැති ජාත්‍යන්තර වෘත්තීය සමිති ජාලය “කම්කරුවන්ගේ කේවල් කිරීමේ ශක්තිය“ නැමැති කඩතුරාව යටතේ, කම්කරු පන්තිය පවත්නා පර්යාය තුල සිරගත කොට අන්තර් ජාතික සංගතවල හා ධනපති ආන්ඩුවල සූරාකෑමට ගෝලීය පරිමානව කොන්දේසි සලසා දෙන සංවිධානයකි.

ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස), ඒටීජී සමාගමට අයත් වෙනත් කම්හලක් වන ඒටීජී ඔකියුපේෂන් හි වෘත්තීය සමිතිය මෙහෙයවයි. ඒටීජී සිලෝන් කම්හලේ සේවක දොට්ට දැමීමට එරෙහි අරගලයට “සහාය“ පල කරන අසසේස යේ බැනර් කලාපයේ ප්‍රදර්ශනය කෙරෙමින් පවතී. එසේ වුවද, ඒටීජී සිලෝන් ම්කරුවන්ගේ විරෝධතා පෙලපාලියට ඒටීජී ඔකියුපේෂන් කම්කරුවන් සම්බන්ධ නොකිරීමෙන් ම අසසේස යේ “සහායේ“ ප්‍රෝඩාකාරී බව එලිමහනට පැමිනෙයි.

රුපියල අවප්‍රමානය වී ජීවන වියදම ඉහලගොස් ඇති බැවින් පුද්ගලික අංශයේ සියලු කම්කරුවන්ගේ වැටුප් රුපියල් 10,000 කින් වැඩි කල යුතු යයි ආන්ඩුවට බල කරන අත් පත්‍රිකා එම සමිතිය විසින් මෑතදී බෙදා හැර තිබේ. කම්කරුවන් ඒ සඳහා එකතු විය යුතු යයි ද එසේ ඒකාබද්ධ අරගලයක් තුල “රට තුල කාර්මික සාමය බිඳවැටුනහොත් එහි වගකීම ආන්ඩුව මුලුමනින්ම භාරගත යුතු” යයි සඳහන් කරයි. අසසේසය හා නිවෙපොසේස එකසේ බියට පත්වී සිටින්නේ, කම්කරු පන්තියේ පුපුරා යන අරගල මගින් ධනපති “කාර්මික සාමය” බිඳ වැටීම පිලිබඳවයි.

ජාත්‍යන්තරව ගතහොත් මෙක්සිකෝව, ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු ලොව පුරා මෝටර් රථ කම්කරුවන්ගේ අරගල, ඇමරිකාවේ, ප්‍රන්සයේ හා ඉන්දියාවේ පාසල් ගුරුවරුන්ගේ අරගල හා ප්‍රන්සයේ “කහ බැනියම්“ ව්‍යාපාරය තුලත්, මේ දිනවල ක්‍රියාත්මක ලංකාවේ වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය තුලත් පෙන්නුම් කර ඇත්තේ වෘත්තීය සමිතිවල හිර කිරීම් කඩාගෙන කම්කරු පන්තිය තම අරගල ජාතිකව පමනක් නොව ජාත්‍යන්තරව ඒකාබද්ධ කර ගැනීමට දක්වන සූදානමයි.

සිය කතාවේ දී මාකස් කම්කරුවන් ධනපති පර්යයාට හිර කිරීමට බේගල් කිහිපයක්ම ඇද බෑවේ ය. බි්‍රතාන්‍යයේ ආයෝජකයන් ද ඒටීජී හි ආයෝජනය කර ඇති තතු තුල ආබ්දීන් කරන වැඩ හේතුවෙන්, “මේ ආන්ඩුව අමාරුවෙන් ලබා ගත් ජීඑස්පී ප්ලස් බදු සහනය” නැති වීමේ අවදානමක් ඇති බවත් ඒ පිලිබඳව අගමැතිගේ අවධානයට යොමු කරන බවත් මාකස් පැවසීය.

ඒටීජී කම්කරුවන් දොට්ට දැමීමේ වගකීමෙන් බි්‍රතාන්‍ය ආයෝජකයන් මුදාහැර එහි සම්පූර්න වගකීම ආබ්දීන් වෙත පැවරීම වංචනිකය. මාකස් ගේ ප්‍රලාප වලට විපරීතව, ඒටීජී කම්කරුවන් මත ප්‍රහාර එල්ල කොට ඇත්තේ බි්‍රතාන්‍ය ආයෝජකයන්ගේ ද පූර්න සහභාගිත්වයෙනි.

අනෙක් අතට, මහින්ද රාජපක්ෂ පාලන කාලය තුල ජීඑස්පී ප්ලස් කපා හැරියේ එම තන්ත්‍රය යුද අපරාධ ඇතුලු මානව හිමිකම් උල්ලංඝනය කල නිසා හෝ කම්කරුවන් දැඩි ලෙස මර්දනය කල නිසා නොව, චීනයට වඩවඩාත් සමීප වෙමින් සිටි රාජපක්ෂ ඉන් ඈත්කරලීමට එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලයන් යෙදූ පීඩනයේ කොටසක් ලෙසිනි.

යුරෝපා සංගමය වත්මන් ආන්ඩුවට යලි බදු සහනය ලබා දුන්නේ ආන්ඩුව වඩ වඩා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී බලයන්ගේ භූ-දේශපාලනික අවශ්‍යතා සමග වෙලී ගැනීමට හිලව් වශයෙනි.

එමෙන්ම, කම්කරුවන්ට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ජීඑස්පී ප්ලස් කපා හැරෙතැයි මාකස් කරන ප්‍රකාශයේ ව්‍යාජභාවය, වත්මන් ආන්ඩුවේ පූර්න අනුග්‍රහය යටතේ කම්කරුවන්ට එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාරයන් ගැඹුරු කෙරෙන තතු යටතේ පවා ජීඑස්පී ප්ලස් එලෙසම පවත්වාගෙන යාමෙන් තහවුරු වෙයි.

කෙසේ වෙතත්, ජීඑස්පී ප්ලස් හි ප්‍රතිලාභ හිමි වන්නේ කම්කරු පන්තියට නොව ඇඟලුම් අංශයේ ධනපති සමාගම්වලට හා විශේෂයෙන් ම දැවැන්ත අතරමැදි වෙලඳ ව්‍යාපාරවලටයි.

ඇන්ටනි මාකස් හා ජවිපෙ 2015 දී රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වර්ධනය වූ පලල් මහජන වෛරය සිරිසේනගේ සහ වික්‍රමසිංහගේ ඊනියා යහපාලන ආන්ඩුව පිටුපස ගැට ගැසීමට හවුල් වූ නඩයේ කොටස්කරුවන් ය.

ඒටීජී පරිපාලනය හේතුවෙන් කම්කරු කොමසාරිස් ද “අසරන” වී යයි පැවසූ මාකස් අගමැතිට ප්‍රශ්නයට මැදිහත් වෙන්නැයි කියා සිටියේ “හාම්පුතුන්ගේ අවශ්‍යතා නොව, ඔබතුමාලාව බලයට ගෙනආ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්න“ යි කන්නලව් කරමිනි.

Share this article: