දොට්ට දැමු සමිති ක්‍රියාකාරීන් සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා කටුනායක ඒටීජි කම්කරුවන් කොලඹදී උද්ඝෝෂනයක් පවත්වයි

අපේ වාර්තාකරුවන් විසිනි , 2019 පෙබරවාරි 18

දොට්ට දැමූ සමිති ක්‍රියාකාරීන් යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ඒටීජී සිලෝන් කම්හලේ කම්කරුවෝ බ්‍රහස්පතින්දා කොලඹ දී විරෝධතා උද්ඝෝෂනයක යෙදුනහ. කොලඹ ලිප්ටන් වටරවුමේ සිට මහජන පුස්තකාල ශාලාව දක්වා පෙලපාලියකින් පැමිනි කම්කරුවෝ එහිදී රැස්වීමක් පැවැත්වුහ. උද්ඝෝෂනයට ඒටීජී කම්කරුවන් සමග සිංගර්, කලු‍තර ඒඑම්ඩබ්ලිව් ඇතුලු‍ කම්හල් කීපයක කම්කරුවන් 600 ක් පමන සහභාගිවිය.

ඒටීජී සමාගම ආරක්ෂක අත්වැසුම් නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයකි. කටුනායක, වතුපිටිවල සහ කොග්ගල අපනයන ප්‍රවර්ධන කලාප වල මෙහි කම්හල් 6 ක් ඇත. ඒටීජි සිලෝන්, ඒටීජි ඔකියුපේසනල්, ඒටීජි ලංකා කටුනායක ද, ඒටීජි ග්ලොව් නිටින් සහ ඒටීජි හෑන්ඞ් කෙයා වතුපිටිවල ද , තවත් හෑන්ඞ් කෙයා කම්හලක් කොග්ගල ද පිහිටා ඇත. මෙම සමාගමේ සේවය කරන මුලු‍ සේවක සංඛ්‍යාව 5000 කට වඩා වැඩිය. සමාගමේ නිෂ්පාදන රටවල් පහකට අපනයනය කරනු ලබයි.

ඒටීජී පාලකයන් විසින් “‍ආයතනයේ දේපල අනිසිලෙස භාවිතා කිරීම”‍ යන සාවද්‍ය චෝදනාව යටතේ ජනවාරි 11 වෙනිදා සමිති ක්‍රියාකාරීන් 6 දෙනෙකු සේවයෙන් නෙරපා දැමූහ. ආයතන විසින් පවත් වන ලද විනය පරීක්ෂනයේ දී ඔවුන් වැරදි කරුවන් බව ඔප්පු වූ නිසා සේවය අත් හිටුවන බව කම්කරුවන් වෙත එවන ලද ලිපියෙහි සඳහන් කර ඇත. මෙම දොට්ට දැමීමට එරෙහිව ඒටීජී කම්කරුවන් එදිනම ආරම්භකල වර්ජනය මේ වනවිට සති හයකට ආසන්න වී තිබේ.

මෙම කම්කරුවන්ට එල්ල කර ඇති සාවද්‍ය චෝදනාවට පදනම් කර ගෙන ඇත්තේ වෘත්තීය සමිතිය පිහිටුවාගෙන දෙවසරක් ගත වීම නිමිත්තෙන් 2015 නොවැම්බර් මාසයේ සංවිධානය කල ලේ දන්දීමේ වැඩපිලිවෙලක් සම්බන්ධ දැන්වීමක් කම්කරුවන්ගේ නිවේදන හා නිර්මාන ප්‍රසිද්ධ කරන ආයතනය පරිශ්‍රය තුල පිහිටි “‍කැටපත් පවුරේ”‍ ප්‍රසිද්ධ කිරීම ය. කම්කරුවන් 11 දෙනෙකුට මෙම චෝදනාව ඉදිරිපත් කර ඇති අතර ඉන් 5 දෙනෙකු විවිධ බොරු චෝදනා මත කලින් දොට්ට දමා ඇත. පසුව දොට්ට දැමු හය දෙනාගෙන් එක් අයෙකු සමාව අයැද යලි සේවය ලබාගෙන ඇති අතර ඔහු සෙසු කම්කරුවන්ට විරුද්ධව ආයතනයේ සාක්ෂි කරුවෙකු බවට පත්ව ඇතැයි කම්කරුවෝ කීහ.

සිය අරගලය වටා කම්කරු පන්තියේ සෙසු කොටස්වල සහයෝගය ගොනු කර ගැනීමේ අවශ්‍යතාවය ඔවුන්ට ඇත. බ්‍රහස්පතින්දා රැස්වීම ආරම්භයේ සිය අරගලය පිලිබඳව පැහැදිලි කල කම්කරු තරුනියක් ඒටීජී කම්කරුවන්ට එල්ල කෙරී ඇති දඩයම වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීම නිසා එරෙහිව සිදුකර ඇති බවත් එය කම්කරු පන්තියේ සංවිධානය වීමේ අයිතියට එරෙහි ප්‍රහාරයක් බවත් සඳහන් කලාය. “අපේ අරගලය ට දින තිස් හයක් ගත වෙලා තියෙනව. අපි එය කරගන යන්නේ හුඟක් දුෂ්කරතා මැද. කොහොම උනත් අපි අරගලය අත හරින්න සූදානම් නැහැ. අපිට කම්කරු පන්තියේ සහයෝගය අවශ්‍යයි. අපේ අරගලය පැරදුනොත් එය සමස්ත කම්කරු පන්තිය ලබන පරාජයක්.”‍

සිය සහෝදර කම්කරුවන් කොන්දේසි විරහිතව යලි සේවයේ පිහිටුවීම සහ සංවිධානය වීමේ මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතිය වෙනුවෙන් ධෛර්ය සම්පන්න අරගලයක ඒටීජී කම්කරුවෝ යෙදී සිටිති.

එහෙත් ඔවුන් සාමාජිකත්වය දරන නිදහස් වෙලඳ කලාප හා පොදුසේවක සංගමය (නිවෙකහාපොසේස) ක්‍රියාත්මක වී සිටින්නේ ඒටීජී අරගලය වටා කම්කරු පන්තියේ සෙසු කොටස් බලමුලු ගන්වනු වෙනුවට ආන්ඩුවට සහ සමාගමේ පාලකයන් ට බලපෑම් දැමීමේ නිස්සාර උද්ඝෝෂනයන්ට හරවා ඔවුන්ගේ අරගලය දිය කර හැරීමේ ප්‍රයත්නයකය.

ආන්ඩුවට ආයාචනය කිරීම මගින් විසඳුමක් ලැබේයයි ඒටීජී කම්කරුවන්ට විස්වාසයක් නැත. ඩිපින් අංශයේ කම්කරුවෙක් මෙසේ සඳහන් කලේ ය. “‍ආන්ඩුව, කම්කරු දෙපාර්තමේන්තුව, කම්කරු ඇමති, කොමසාරිස් ඒ හැමෝම වැඩ කරන්නේ පාලකයන් වෙනුවෙන්. අපේ ප්‍රශ්නය ගැන කම්කරු දෙපාර්තමේන්තුවේ පරීක්ෂනයක් තිබුනා. වන්දියක් දීලා වර්ජනයේ ඉන්න හැමෝම දොට්ට දානව කියල පාලකයන් තර්ජනය කලා. කොමසාරිස් කටවහගෙන හිටිය. ඉතින් කොහොම ද ඒ ගොල්ලන්ට කියල විසඳුමක් ලබා ගන්නේ. වෘත්තීය සමිති වලින් ප්‍රශ්නයට විසඳුමක් ලබෙයි කියලා හිතන්නත් බැහැ. අපේ අරගලයට අඩුවශයෙන් සමාගමේ අනෙක් ෆැක්ටරි වල කම්කරුවන්ගේ සහයෝගයවත් ගොනු කරන්න වෘත්තීය සමිතිය වැඩකරන්නේ නැහැ. තනි වුනාම අපිව මර්දනය කරන්න පාලකයන් ට පහසුයි.

වෘත්තීය සමිති වලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින් ආන්ඩුවේ සහ ධනපති හාම්පුතුන්ගේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉදිරිපත් කරන වැඩපිලිවෙල ගැන ඔහු එකඟතාවය පල කලේ ය. “කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩ නගනවා නම් ඒක ලොකු ශක්තියක් වෙනවා. එහෙම ව්‍යාපාරයක් නැතිව කම්කරුවන්ට අයිතිවාසිකම් දිනා ගන්න බැහැ”‍ ඔහු සඳහන් කලේ ය.

බ්‍රහස්පතින්දා උද්ඝෝෂනයට ආන්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ නායක ලීනස් ජයතිලක, ලංකා වෙලඳ සේවක සංගමයේ සිල්වෙස්ටර් ජයකොඩි ඇතුලු සමිති නායකයන් ගනනාවක් ද කැඳවාගෙන තිබුනි. ඔව්හු පසුගිය දසක කිහිපය තුල කම්කරු පන්තියේ අරගල ධනේශ්වර පාලක පන්තියට සහ හාම්පුතුන්ට යටත් කර පාවාදීම සම්බන්ධයෙන් වාර්තාවක් ඇති සමිති නායකයන් රොත්තකි.

ඒටීජී කම්කරු ගැටලු‍ව විසඳීමට මැදිහත් වන ලෙස ආයාචනා කරමින් අගමැති රනිල් වික්‍රමසිංහට සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට නිවෙකහාපොසේස විසින් ලිපි යවා ඇත. එකී ආයාචනයන්ට පිලිතුරක්වත් මෙතෙක් ලැබී නැතැයි එහි ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස් රැස්වීමේ දී අඳෝනා නැගීය.

නිවෙකහාපොසේස විසින් පෙබරවාරි 7 වෙනිදා ජනාධිපතිට යවන ලද ලිපිය මගින් “‍ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලයේ නිසි බලධාරියා ලෙස ඔබට පැවරී ඇති බල තල අනුව සේවයෙන් පහකල එම සේවකයන් 5 දෙනා යලි සේවයේ පිහිටුවීමට නියෝග කරමින්”‍ වර්ජනය සමතයකට පත් කරන ලෙස “ගෞරවයෙන්”‍ ඉල්ලා ඇත. ජනාධිපති සිරිසේන හෝ ධනපති පාලක පන්තිය ක්‍රියා කරන්නේ කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් නොව ආයෝජකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හා ආයෝජකයන් කැඳවා ගැනීම සඳහා කම්කරු පන්තියේ අයිතීන් මැඩලීම පිනිස ය.

පාලකයන් හෝ ආන්ඩුව ගැටලු‍ව විසඳීමට අසමත් වන්නේ නම් වෘත්තීය සමිති, ආගමික, සිවිල් සහ බහුජන සංවිධාන, දේශපාලන පක්ෂ හා ශිෂ්‍ය සංවිධාන වල පෙරමුනක් තුලින් පෙබරවාරි 27 වෙනිදා ආන්ඩුවට සහ පාලකයන්ට දැනෙන බලපෑමක් කරන බව මාකස් පැවසීය. ලීනස් ජයතිලක සහ සිල්වෙස්ටර් ඇතුලු සමිති නායකයන්ගේ කතාවල පොදු හරය වූයේ ද එවන් පෙරමුනක් තුලින් ආන්ඩුවට සහ ඒටීජී හාම්පුතුන්ට බලපෑම් කල යුතු බවය.

විවිධ සංවිධාන සමග එක්ව ලොකු අරගලයක් කිරීම ගැන රැස්වීම තුල දී කයිවාරු ගැසූ මාකස් රැස්වීමෙන් පසුව පැවති ඉදිරි වැඩ කටයුතු සංවිධානය කිරීම සම්බන්ධව සාකච්චාව තුල දී උත්සාහ කලේ ඒටීජී කම්කරුවන් දුර්මුඛ කර ආපසු වැඩට තල්ලු‍ කිරීමට ය. සටන ඉදිරියට ගෙන යනවාද නැතිනම් වැඩට යනවාදැයි ඔහු යලි යලිත් කම්කරුවන්ගෙන් වීමසීය. සටන ඉදිරියට ගෙනයායුතු බවත් පෙබරවාරි 27 වෙනිදාට පෙර පන්ති ක්‍රියාවන් සංවිධානය කලයුතු බවත් කම්කරුවෝ ඒකමතිකව ප්‍රකාශ කල හ. අවසානයේ මාකස් ඊට එකඟ වූ නමුත් පලල් පෙරමුනක් ගොඩ නගන තුරු උද්ඝෝෂනය පෙබරවාරි 27 දාට කල් තැබීය.

පලල් පෙරමුනකින් බලපෑම් දමා ආන්ඩුවේ උදව්වෙන් දඩයම ගෙනයන සමාගමේ වැඩපිලිවෙල වෙනස්කරගත හැකි නොවේ. පුද්ගලීකරනයට එරෙහිව, හම්බන්තොට වරාය කම්කරුවන් සේවයෙන් දොට්ට දැමීමට විරුද්ධව ආදී වශයෙන් නිමක් නැති මෙවන් පෙරමුනු සමිති නායකයන් ශිෂ්‍ය සංවිධාන සහ ව්‍යාජ වාම පක්ෂ විසින් අටවන ලදී. එමගින් සිදු කෙරුනේ කම්කරු පන්තියේ, ශිෂ්‍යයන්ගේ සහ පීඩිත ජන කන්ඩායම් වල අරගල දිය කර දැමීම ය.

ඒටීජී කම්කරුවන් ට එරෙහි මර්දනය ලංකාවද ඇතුලු‍ ලොවපුරා කම්කරු පන්තියට විරුද්ධව, ධනපති හාම්පුතුන්, ආන්ඩු සහ වෘත්තීය සමිති ඒකාබද්ධව ගෙනයන ගෝලීය පරිමාන මර්දනයක කොටසකි. එහෙයින් ධනපත්ජි හාම්පුතුන්ට හා ආන්ඩුවට බලපෑම් මගින් හෝ යුරෝපා සංගමය හා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදී බලයන් ට ආයාචනා කිරීම තුලින් එය ජය ගත නොහැකිය.

“කටුනායක ඒටීජී කම්කරු අරගලයට අවශේෂ කම්කරුවන්ගේ සහාය ගොනු කරනු!” මැයෙන් පෙබරවාරි 9 වෙනිදා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පල කල ලිපිය තුල සමාජවාදී සමානතා පක්ෂය මෙසේ අවධාරනය කලේය.

“ඒටීජී කම්කරු සටන ඉදිරියට ගෙනයාම සඳහා නව ආරම්භකත්වයක් අවශ්‍ය ය. නිවෙකපොසේස ඇතුලු‍ සියලු‍ වෘත්තීය සමිති වලින් බිඳී, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් තෝරා පත්කර ගැනෙන සහ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පාදක වූ ස්වාධීන ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගා ගැනීමට ඒටීජී කම්කරුවන් ඉදිරියට පැමිනිය යුතු ය.

එම ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයන් කටුනායක වෙලඳ කලාපයේ මෙන්ම අවශේෂ ප්‍රදේශයන්හි කම්හල් සහ වැඩබිම් වලට යමින් එම කම්කරුවන්ගේ සහාය තම අරගලය වටා ගොනුකර ගැනීම අත්‍යවශ්‍ය ය”.

එවන් වැඩපිලිවෙලක් මත කම්කරුවන් අරගලය තමන් අතට නොගන්නේනම් සමිති විසින් එය අවමන්ගත කොට පාවාදීම නොවැලැක්විය හැකි බවට අපි අනතුරු අනතුරු අඟවමු.

එමෙන් ම වෘත්තීය සමිතිවල පාවාදීමට එරෙහිව සහ කම්කරු පන්තියේ ඉදිරිමාවත සාකච්චා කිරීම සඳහා සසප සහය ඇතිව ඇබෝස්ලි වතු කම්කරු කිරියාකාරී කමිටුව විසින් මාර්තු 17 වෙනි දින හැටන් නගර ශාලාවේ පවත් වනු ලබන කම්කරු සම්මේලනයට සහභාගී වන ලෙස ද අපි ඒටීජී කම්කරුවන් ඇතුලු‍ නිවෙක කම්කරුවන්ට ආරාධනය කරමු.

Share this article: