උතුරේ ගංවතුරෙන් විපතට පත් ජනයාට ආන්ඩුවේ නිසි ආධාර නොලැබෙයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 පෙබරවාරි 11

දෙසැම්බර් මාසයේ ගංවතුරෙන විපතට පත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ට කිසිදු නිසි ආධාරයක් නො දී ආන්ඩුව විසින් අතහැර දමා ඇත. මෙම ජනයා කොලඹ ආන්ඩු විසින් දශක තුනක් තිස්සේ ගෙන ගිය වාර්ගික යුද්ධයේ විනාශකාරී විපාකවලට තවමත් මුහුන දෙති.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පමනක් පවුල් 25,281ක පුද්ගලයන් 75,528 දෙනෙකු ගංවතුරේ බලපෑමට ලක් වූහ. එක් අයෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇත. නිවාස 388කට පමන මුලුමනින් හානි වී නිවාස 2225ක් අර්ධ වසයෙන් හානියට ලක් ව තිබේ. එලඹෙන අනතුර පිලිබඳ ව පූර්න අනතුරු ඇඟවීම් නො තිබූ නිසාවෙන් ඔවුන් ජලගැල්මට හසුවිය.

අලුතින් පිලිසකර කල ඉරනමාඩු ජලාශයේ ජල මට්ටම ක්ෂනික ව ඉහල ගිය නිසා බලධාරීහු ප්‍රමානවත් පූර්ව දැනුම් දීමක් නො කර වාන් දොරටු හතක් විවෘත කල හ. මෙහි ප්‍රතිඵලය වූයේ කන්ඩවාලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන ජලයට යටවීම යි. කුඹුරු සේදී ගිය අතර හා ගවයන් විනාශ විය.

ධර්මපුරම්, පුලියම්පොක්කනෙයි, පෙරියකුලම්, මුරසමෝට්ටෙයි, පුන්නයිනීරවි, කොරක්කන්කට්ටු, පිරිබන්දනාරු, ඌරියන්, කට්ටුවන්කොට්ටි, උමයන්පුරම් හා කුමාරපුරම් යන ප්‍රදේශ ඍජු ව බලපෑමට ලක් විය. ගංවතුරින් පසුව පැතිරෙන බෝවන රෝග පිලිබඳ ව මෙම ගම්මානවල ජනයා පැමිනිලි කරති. ගංවතුර සමගින් ගම්මානවලට වැදුනු කිඹුල්ලු තවමත් ඒවායේ ජලාශවල රැඳී සිටිමින් ගම්මුන්ගේ ඉතිරි ව සිටින ගවයන් කා දමති. ගංවතුරින් බලපෑමට ලක්වූ නිවාස තවමත් පිලිසකර කර නැත.

සිවිල් යුද්ධය අවසාන වීමත් සමග උතුරු පලාතේ යටිතල පහසුකම් වර්ධනය කිරීම සුදුසු සැලසුමකින් තොර ව ලාබ පිපාසිත පුද්ගලික සමාගම්වලට පැවරීම මෙවැනි ව්‍යසනයන්ට හේතුව බව ද මේ ප්‍රදේශයේ ජනයා පැමිනිලි කරති.

ආපදා කලමනාකරනය කෙරෙහි ආන්ඩුවේ නොතැකීම හෙලිදරවු කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්. ප්‍රතාබරාජා ලිපියක් ලියා ඇත. එම ලිපිය මෙසේ සඳහන් කරයි: “ඉරනමාඩු ජලාශ ප්‍රදේශයේ වර්ෂාපතනය මිලිමීටර 50ට වැඩි බව ඉහල නිලධාරීන්ට දැන්වූයේ නම් මහජනයා ආරක්ෂිත ස්ථාන වෙත මාරු කල හැකි ව තිබුනි. ජල මට්ටම අනවරත ව ඉහල යාම නිරීක්ෂනය කිරීම පිලිබඳ ව නිලධාරීන් දැනුවත් කමින් යුක්තවිය යුතු ය. මහජනයා ගංවතුර පිලිබඳ ව දැනගත්තේ එය ඔවුන්ගේ නිවාස තුලට ඇතුලුවීමෙන් පසුව පමනි.”

විනාශ වීඇති පූනකාරි මාර්ගය

“කිලිනොච්චි, මුලතිවු දිස්ත්‍රික්කවල ගංවතුර සඳහා හේතු වූයේ අධික වර්ෂාව පමනක් නො ව, සුදුසු ජලාපවාහන පද්ධතියක් නොමැතිකම හා පූර්වාරක්ෂාව රහිත ව කරන සැලසුම් රහිත සංවර්ධන වැඩකටයුතු ය. ස්වාභාවික හා කෘතිම ජලාපවාහනය නො තකා මාර්ග, ගොඩනැගිලි හා බිත්ති ඉදිකල අතර, ඒවාන් ජලය ගලායාම අවහිර කෙරුනි. මේ ගංවතුරට ප්‍රධාන හේතුව එය යි” යි ඔහු තවදුරටත් ලීවේ ය.

තම නිවාස කරා ආපසු පැමින සිටින ජනයාට ආන්ඩුවේ කිසිදු ආධාරයක් හෝ සහනාධාරයක් නො ලැබුනු බව ගම්වාසීහු කීහ. ගංවතුර සමයේ හා ඉන්පසුව මහජන සංවිධාන හා පුද්ගලයෝ ඔවුන්ට උදවු කල හ. එලෙස ඔවුන්ට ලැබුනේ දෛනික ව භාවිතයට ගතහැකි ද්‍රව්‍ය පමනකි.

ආන්ඩුව එක් පුද්ගලයෙකුට රුපියල් 900ක් වටිනා හාල්, සීනි හා පරිප්පු අඩංගු පාර්සල් ලබා දුන් අතර, සාමාජිකයන් පහකට වැඩි පවුල්වලට රුපියල් 1,800ක් වටිනා එවැනි පාර්සල් ලබාදුන්නේ ය.

විනාශයෙන් පසුව මහජනයාගේ හිත දිනාගැනීම සඳහා ආන්ඩුවේ හා විරුද්ධ පක්ෂයේ නායකයෝ බලපෑමට ලක්වූ ප්‍රදේශවල සංචාරය කොට බොරු පොරොන්දු දුන් හ. ඒ අතර දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) දේශපාලනඥයෝ ද සිටිය හ.

මානව හිතවාදී චරිත සහතික ලබාගැනීම සඳහා යුද අපරාධ සඳහා වගකිව යුතු බලවේග ද ප්‍රතිසාධන ක්‍රියාකාරකම්වල හා සහනාධාර බෙදාහැරීම්වල නිරත විය. එවැනි සංචාර ලැයිස්තුවක් දක්වතොත් මෙලෙසය.

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙසැම්බර් 24දා කිලිනොච්චියේ සංචාරය කරමින් බලපෑමට ලක්වූ ජනයාට උදවු කරන කැමරා සටහන් වාර්තා විය.

තම ඇමතිවරුන් කිහිප දෙනෙක් ද සමග දෙසැම්බර් 27දා දිස්ත්‍රික්ක දෙකෙහි සංචාරය කල අගමැති රනිල් වික්‍රමසිංහ කිලිනොච්චියේ දී රැස්වීමක් ඇමතී ය. බලපෑමට ලක්වූ පවුලකට වහා ම රුපියල් 10,000ක් ලබාදෙන බව රැස්වීමේ දී ප්‍රකාශ කල ඔහු සම්පූර්න තක්සේරුවකට පසුව රක්ෂන හරහා රුපියල් මිලියන 2.5ක් ලබාදෙන බව පැවසී ය.

ජනවාරි 3දා කථානායක කරූ ජයසූරිය හා චන්ද්‍රිකා කුමාරතුංග බලපෑමට ලක්වූ ප්‍රදේශවල සංචාරය කල හ.

ලෝසවෙඅ වාර්තාකරුවන්ට කථාකල ජනයා මේ පොරොන්දු කිසිවක් ඉටු නො කල බවත් බොහෝ ලිං පිරිසිදු නොකර ක්ලෝරීන් ප්‍රමානයක් ලබාදීම පමනක් කර ඇති බවත් කී හ.

ඌරියන් ගම්මානයේ සිව්දරු පියෙක් වන 55 හැවිරිදි ශ්‍රී මෙසේ කීවේ ය: “ආන්ඩුවට බලපෑමට ලක්වුනු මිනිස්සුන්ට කිසිදු වන්දියක් හෝ ආධාරයක් දුන්නේ නැහැ. අපිට දුන්නෙ වියලි සලාක විතර යි. රනිල් ඤවික්‍රමසිංහ% රුපියල් 10,000ක් දෙන්න පොරොන්දු වුනත් අපේ ගමේ එහෙම දීලා තියෙන්නේ පවුල් කිහිපයකට විතර යි.”

අසල පාසලේ රැඳී සිටින විට තමන්ට පැදුරු හා කොට්ට ලබාදෙමින් උදවු කලේ රාජ්‍ය නො වන සංවිධාන හා සාමාන්‍ය ජනයා පමනක් බව ඔහු පැවසී ය. ඔහුගේ කුඹුර හා අක්කර දෙකක කෙසෙල් ගස් මුලුමනින් ම විනාශ වී ගවයන් හතක් හා කුකුලන් අහිමි වී ඇත. කුනු මඩ පිරී ඇති ජලාශවල කිඹුලන් සිටින බව ඔහු කීවේ ය.

බලපෑමට ලක්වුනු ප්‍රදේශයේ ඔහු ඇතුලු ජනයාට වැඩට යා නො හැකි බව ඔහු වැඩිදුරටත් විස්තර කලේ ය. “ආන්ඩුව කිසිම රැකියාවක් දීලා නැහැ. බොහෝ තරුනයන්ට රස්සාවල් නැහැ. මගේ දුව හෙද ඩිප්ලෝමාවක් කලා ඒත් රැකියාවක් නැහැ. අපේ හයදෙනා යැපෙන්නේ මං හම්බ කරන දෙයින්. දුප්පත් කම හා නය ප්‍රශ්න නිසා කිහිප දෙනෙක් දිවිනසා ගත්තා.”

ඉටුකල නො හැකි පොරොන්දු දීම ගැන ශ්‍රී දේශපාලනඥයන් ව විවේචනය කලේ ය: “ජනාධිපතිවරනයෙදි අපි සිරිසේනට ඡන්දය දුන්නා. ඒත් කිසි ප්‍රතිඵලයක් නැහැ. පහුගිය පලාත් පාලන ඡන්දෙදි අපි දෙමල ජාතික මහජන පෙරමුනට ඡන්දය දුන්නා. කවුරුවත් ගංවතුර වෙලාවෙ ආවෙ නැහැ.” ජනයා මේ දේශපාලනඥයන් ගැන පිලිකුලෙන් පසුවන බව ඔහු පැවසී ය.

තිල්ලෙනයාගි

මුහුන පෑමට සිදුවුනු දැවෙන ගැටලු නිසා තම ස්වාමියා දිවි හානි කරගත් බව තිල්ලෙනයාගි කීවා ය. “පවුල නඩත්තු කරගන්න මම නොවිඳනා දුක් විඳිනවා. යුද්දෙ අන්තිම කාලෙදි මගේ පුතාල දෙන්න ව මරා දැම්ම. මගේ දුවගෙ ස්වාමිය එයා ව දාල ගියා. එයත් එයාගේ දරුවොත් නඩත්තු කරන්න ඕන මම.”

ඇගේ කුඹුර සම්පූර්නයෙන් විනාශ විය. ඇගේ ගවයන් පනස්අට දෙනා එක්කෝ ගංවතුරට හසුවී ඇත; නැතහොත් කිඹුලන් විසින් කා දමා ඇත. රුපියල් 850,000ක ප්‍රමානවත් නො වන වන්දි මුදලක් ඇයට දී ඇති අතර, පුද්ගලික ආයතනවලින් ඉහල පොලියට නය ගැනීමට ඇයට සිදු වී තිබේ. ඇයට හරක් සිටින නිසා සමෘද්ධි වැඩසටහනින් ඇය ව ඉවත් කොට ඇත. “දැන් අපිට සමෘද්ධිත් නැහැ, හරකුත් නැහැ.”

මුරුගයියා මහත්මිය

පන්නන්කන්ඩි ගම්මානයේ මුරුගයියා කීවේ ඔවුන් ජීවත් වන්නේ පැල්පතක බව යි. පුදුකුඩියිරිප්පු සිට වව්නියාවේ මැනික් ෆාම් ගෙගිය ඔවුන් ව වසර දෙකක් සරනාගතයන් ලෙස තබන ලදී. “එහෙන් අපි මෙහේට ආවා, ආන්ඩුව අපිට ටකරම් මඩුවක් දුන්නා. ඒකට අපි මැටි ගසා ගත්තා. ගංවතුරට මැටි බිත්ති හේදිලා ගියා. අපේ බෙල්ල ගාවට ගංවතුර ආවට පස්සෙ අපි එහෙන් පැනගත්තා.”

“මේ ඉඩමට අපිට ඔප්පුවක් නැති හින්ද ආන්ඩුව අපි ව කිසිම නිවාස ව්‍යාපෘතියකට ඇතුලත් කරන්නේ නැහැ. ජීවත් වෙන්න සුදුසු ඉඩමක් ඉල්ලුව ම ආන්ඩුව අපි ව කැලේට යොමු කලා. කිසිම රස්සාවක් නැති ව අපි කොහොමද මෙහේ ජීවත් වෙන්නෙ? මේ විදිහට පවුල් 15ක් විතර ජීවත් වෙනවා. අපිට කවදාවත් දිනපතා වගා කටයුතු කරන්න බැහැ. වැඩ නැති වෙලාවට අපි හරියට කන්නවත් නැතුව ඉන්නවා” යි ඇය වැඩිදුරටත් කීවා ය.

යුද්ධය හේතුවෙන් අවතැන් වෙමින් මෙම දුගී ජනයා වසර 45ක් පමන එහි ජීවත් වී ඇත. දේශපාලනඥයන් ගංවතුරට ගොදුරු වූ ජනයාට පොරොන්දු දුන්නත් කිසිවක් නො ලැබුනු බව ඇය කීවා ය. වික්‍රමසිංහ නිවේදනය කල රුපියල් 10,000 වන්දි මුදල ද ඔවුන්ට ලැබුනේ නැත.

Share this article: